රටක දියුණුවට සොබාදහම ජයගත යුතුය. මෙය සැමගේ පිළිගැනීමයි. එය එසේ වුවත් හිතුවක්කාර ලෙස සොබාදහම ජයගැනීමට ක්‍රියා කළහොත් ඇතිවන විනාශය දෙවියන්ටවත් නතර කළ නොහැකිය.

එයට විධිමත් කළමනාකරණයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. වත්මන් ලෝකයේ ස්වාභාවික විපත් වැඩි වී ඇත්තේ මිනිසා විසින් නොහික්මුණ ආකාරයෙන් අවිචාරවත් ලෙස සොබාදහම ජය ගැනීමට යාමෙනි. ශ්‍රී ලංකාවේ වෙසෙන අපට ද එය එසේමය. අප රට සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ එවැනි කනගාටුදායක සිද්ධිය. ඉන් අවදානම් තත්ත්වයක් උද්ගතව ඇත්තේ කැලෑ කැපීමේ අමානුෂික ක්‍රියාවයි.

අපට ජලය, ඔක්සිජන් ලබාදෙන්නේ වනගහනයෙනි. 50, 60 දශක දෙකේදී මෙරට සැලකිය යුතු වනගහනයක් තිබුණද අද වන විට එය 28% දක්වා පහළට වැටී ඇත. ඇතැම් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි මේ ප්‍රමාණය 28%ටත් අඩුය. එය එසේනම් එය ජාතියේ අවාසනාවකි.

උපදින්නට සිටින අනාගත පරම්පරාවට අභියෝගයකි. වගකිවයුත්තන්, දේශපාලනඥයන් ඇතුළු බලධාරීන් ක්‍රියා කළ යුත්තේ අද පමණක් නොව නූපන් පරම්පරාවේත් සුබ සිද්ධිය උදෙසාය. අද එවැන්නක ඡායා මාත්‍රයක්වත් පෙනෙන්නට නැත. අද එවැනි අය බොහෝ දෙනකු තම මඩිය තර කර ගැනීමට වෙහෙ​ෙසන ආත්මාර්ථකාමී අධමයන් බවට පත්වීම ඛේදජනකය. අද වනවිට සිංහරාජය, විල්පත්තුව වැනි වනාන්තර පවා විනාශ කරන නරුමයෝ සිටිති. ඒ අයට ජාතිමාමක හැඟීමක් නැත. මේ සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රැකීම ද පුදුම සහගතය.

මේ වනවිට මෙරට විදුලි අර්බුදයක් පවතී. එයට හේතු වී ඇත්තේ ද ජලය හිඟකමයි. දැනටමත් ජල විදුලි බලාගාර සිඳී ගොසිනි. බලාගාර ආශ්‍රිත රක්ෂිතවලට ගිනි තියන අමනුස්සයෝ ද සිටිති. සතා සිවුපාවා දඩයම් කරගෙන යක්ෂයන් සේ මස් අනුභව කිරීම එම මස්වැද්දන්ගේ අරමුණයි. ඔවුන් මස් අනුභවයට කරන ක්‍රියාවෙන් අපට නැති වන්නේ ජලයයි. සොබාදහමට එරෙහිවන්නන්ට සොබාදහමෙන්ම දඬුවම් ලැබීම ශක්‍රයාටවත් නතර කළ නොහැකිය. මේ අමනුස්සකම් කරන අය, කැලෑ කපන  පිරිස් මේ බව වටහා ගත්තොත් එය අද නොව මතු පරපුරේ ද වාසනාවකි.

අපේ මාතෘ භූමියේ සංවර්ධනයට කිසිවකුත් අකැමැති නැත. ඒත් සංවර්ධනයේ නාමයෙන් රටේ ස්වාභාවික සම්පත් විනාශ වන්නේ නම් ඇස්, කන් ඇති කිසිවකුට නිහඬවිය නොහැකිය. මෙරට සිදු වූ සිදුවෙමින් පවතින ඇතැම් සංවර්ධන යෝජනාක්‍රමවලින් පරිසර හානි සිදුවන බව පරිසර සංවිධානවලින් පෙන්වා දී තිබේ. මාධ්‍ය මගින් ද සාධක සහිතව අදාළ කරුණු හෙළි කර ඇත. 

මේ කැලෑ විනාශය තවදුරටත් අඛණ්ඩව පැවැතියහොත් අපට පානීය ජලය පවා නැති විය හැකිය. මුහුදු ජලය පානය කිරීමට පවා සිදුවේදැයි බියක් අප සිත් තුළ උපදී. පසුගියදා ජනාධිපතිතුමා සඳහන් කළේද වනගහනය අඩුවීමෙන් නුදුරු අනාගතයේදීම අප රට කාන්තාරයක් විය හැකි බවයි. මෙය බරපතළ ප්‍රකාශයකි. මේ වන විනාශය වැළැක්වීමට සැලසුම් සහගත තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බව ඉන් මොනවට පැහැදිලි වෙයි.

ජනාධිපතිතුමාගේ අවබෝධය ගැන ජාතියක් වශයෙන් අප සතුටු විය යුතුය. එහෙත් සෙසු නිලධාරීන්, වගකිවයුතු සෙසු අයගේ සහයෝගය​ නොමැතිව මේ විපතින් මිදිය නොහැකිය.

සුන්දර වනපියස විනාශ කරමින් කර්මාන්ත ඉදිවන්නේ නම්, සංචාරක හෝටල් බිහිවන්නේ නම් හෝ වෙනත් පොදු ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නම් එය සැබෑ සංවර්ධනයක් විය හැකිද? අද අපට අවශ්‍ය වන්නේ ‘‘සමතුලිත’’ සංවර්ධනයකි. හරිත සංවර්ධන ව්‍යාපෘති වැඩි වැඩියෙන් රටට අවශ්‍යව තිබේ. රජයේ එම සංකල්පය අගය කළ යුතුය.