මන්ද පෝෂණය නිසා මියගිය මාස 11ක් වයසැති බිලිඳකු සම්බන්ධ හද පාරවන ශෝකී පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තිස්සමහාරාම, හැදිගම්විල ග්‍රාමනිලධාරී වසමේ විජේපුර පදිංචිව සිටි මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ නමැති දරුවා ඒ අවාසනාවන්ත අකල් මරණයට ගොදුරු විය. නිසි පෝෂණයක් නොමැති වීම නිසාම මරණය වැළඳ ගැනීමට සිදු වූ ඒ පුංචි පුතණුවන්ගෙන් මුළු ජාතියම සමාව අයැද සිටිය යුතුය. බුදුන් පහස ලද මේ බිමේ කිසිදු දරුවකුට එවන් අකාරුණික ඉරණමක් අත් විය නොහැක. අත්වීමට ඉඩ දිය යුතු ද නැත.
දරුවන් තිදෙනකුගේ පවුලට මලිත් මිහිරංග එකතු වන්නේ මෙයට මාස 11 කට පෙරය. පියා මිරිදිය මත්ස්‍ය වෙළඳාමේ යෙදෙන්නෙකි. ධීවරයකුගෙන් මිලදී ගන්නා මාළු ගම් පුරා ඇවිදිමින් විකුණා උපයා ගන්නා සොච්චම ඒ පවුලේ එකම ආදායම් මාර්ගය බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. බඩ බැඳ ගත් අගහිඟකම් මැද කුස පිළිසිඳ ගත් දරු පැටවුන්ට මෙවන් වේදනාබර ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඒ මවුපියන් සිතන්නට නැත. එහෙත් මලිත් මිහිරංගගේ අම්මා අප පුවත්පතට කියා තිබුණේ මෙබඳු කතාවකි.
“මගේ දරුවා මියගියේ පසුගිය මැයි මාසේ 14වැනිදා. හම්බන්තොට රෝහලේ දොස්තර මහත්තයා කිව්වේ දරුවා මන්දපෝෂණයෙන් මැරුණා කියලා. අපේ මනුස්සයාටත් ඒ හැටි ආදායමක් නෑ. කිරි පැකට් එකක් දැක්ක කාලයක් මතක නෑ. ළමයි දුක් විඳිනවා තමයි. ඒත් අපට කරන්න දෙයක් නැ. අපි අන්ත අසරණ වෙලා ඉන්නේ”.
ඒ අම්මාගේ ප්‍රකාශය එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. සමාජයේ සෑම පුරවැසියකුම සමාන බුද්ධි මට්ටමකින් යුතු නැත. එවැන්නක් අපේක්ෂා කළ හැකි ද නොවේ. ඕනෑම අයකු ඕනෑම දෙයක් විග්‍රහ කර ගනු ලබන්නේ තමන්ගේ බුද්ධි මට්ටමට අනුවය. සමාජ ගැටලු පැන නඟින්නේ ඒ අනුවය.
සමාජයක් සතුව දියුණු යාන්ත්‍රණයක් තිබිය යුත්තේ ද එහෙයිනි. කෙනකු දුප්පත් වී ඉපදීම ඔහුගේ වරදක් නොව එහෙත් ඔහු මිය යන්නේ ද දුප්පතකු ලෙස නම් එය ඔහුගේ වරදක් බවට කියමනකි. මී කුණක් විකුණා සිටුවරයකු බවට පත් වූ දිළින්දකු පිළිබඳ පුවතක් බෞද්ධ සාහිත්‍යයෙන් අසා කියවා තිබුණද ඒ ඉරණම වෙනස් කරගැනීමට සමත් දියුණු ප්‍රඥාවක් සෑම පුරවැසියකුම සතුව නැත. ජන ජීවිතයට සම්බන්ධ විවිධ ආයතන පද්ධතියක් රාජ්‍ය යන්ත්‍රය ලෙස ක්‍රියාත්මක වන්නේ එහෙයිනි. ග්‍රාමසේවකවරයා, පොලිසිය, පවුල් සෞඛ්‍ය සේවිකා, සමෘද්ධි නිලධාරි, කෘෂිකර්ම නිලධාරි, සංවර්ධන සහකාර වැනි තනතුරු හා නිලධාරි පද්ධතියක් හඳුන්වා දී තිබෙන්නේ ද ඒ ඒ වෙනුවෙනි. සමාජය මහා ප්‍රවාහයක්ව ගලා බසින්නේ ඒ සියල්ලෙහිම එකතුවෙනි.
මන්ද පෝෂණයෙන් මියගිය තිස්සමහාරාම දරුවා සම්බන්ධයෙන් අප පුවත්පතට ප්‍රකාශයක් කර ඇති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වගකීම් පැහැර ඇති බවය. පවුල් සෞඛ්‍ය සේවිකාව දරුවන් පිළිබඳ සොයා බැලීම් කරමින් දරුවාගේ උස, බර සටහන් කරමින් කාඞ් එකක් පවත්වාගෙන යන අතර පෝෂණ ඌණතාවෙන් පෙළෙන මෙම දරුවන් සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාව කිසිදු පියවරක් ගෙන නොමැති බවය.
රාජකාරිය දේවකාරිය සේ සලකා අවංකව කැපවීමෙන් කටයුතු කළ ඉතිහාසයක් මෙරට තිබුණේය.
එහෙත් අප රටේ දරුවෝ මන්ද පෝෂණයෙන් මිය යති. පෙර කී රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් ඌණපෝෂණයෙන් පෙළෙන මෙම දරුවන් හඳුනා ගනිමින් අවශ්‍ය කළමනා කටයුතු සංවිධානය කළ හැකිව තිබිණි. එහෙත් එය එසේ නොවීමේ තාර්කිකභාවයට ගොදුරු වීමට සිදු වූයේ ඉපදි යම්තම් මාස 11ක් ගත කළ දරු පැටියකුටය. ඒ දරු පැටියාගේ අකල් මරණය වෙනුවෙන් මුළු ජාතියම සමාව ඉල්ලා සිටිය යුතු යැයි අවධාරණය වන්නේ ඉහත පරිසරය තුළය.
අලුතෙන් සොයා ගත් අඩුආදායම්ලාභී පවුල් ලක්ෂ 5කට සමෘද්ධිය ප්‍රදානය කරන ජාතික මහෝත්සවය රටේ තැනින් තැන පැවැත්වෙයි. එහෙත් සමෘද්ධි සහනාධාරය අත්‍යවශ්‍යම වන බවට සැකයක් නැති මලිත් මිහිරංග පවුලට එම සමෘද්ධි සහනාධාරය ලැබී නැති බවද අප පුවත්පත වාර්තා කර තිබිණි. මෙරට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ මෙබඳු දහසක් දුර්වලතා මැදය. ඒ දුර්වලතා හඳුනා ගත යුතුය.
මන්දයත් හය හතර තේරුම් ගත හැකි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව වගකීම් විරහිත බව හා අලස බව නිසා ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ හය හතර නොදත් අහිංසක දරු පැටවුන්ට වීමය.
‘පර දුක්ඛේ සති සාධුනං - හදෙ කම්පනං කරෝතීති කරුණා’ යනුවෙන් අනුන්ගේ දුකේදී යමකුගේ හදවත කම්පාවට පත්වන්නේ නම් එය කරුණාව ලෙස බුදුදහමේ දැක්වේ. ඒ කරුණාව අප අතරින් ගිලිහී ගියේද? නොඑසේ නම් රටේ දරු පැටවුන් මන්දපෝෂණයෙන් මියයන්නේ කෙසේද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දරුවාගේ වයස මාස 11 නම් මවුකිරි බොන වයසේ දරුවෙක් .මව ගෙදර සිටිනවානම් මවට පුළුවන් මේ දරුවට මව්කිරි දෙන්න . කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මන්ද පෝෂණය නිසා මවටත් කිරි නැහැ කියා. මෙතන ප්‍රශ්නය වී තිබෙන්නේ මන්දපෝෂණය නොවෙයි මන්දපෝෂණයෙන් කෙරෙන්නේ දරුවෙකුගේ වර්දනය මන්දගාමීවීමයි. දරුවා මියයන්න ඇත්තේ කිසුදු ආහාරයක් නොලැබීමෙන්. ආහාර නොගත්තොත් කවුරුත් මියයනවා.
ඒ ළමයා රාජපක්ෂ කෙනෙක් නිසා සමෘධිය දෙන්න නැතුව ඇති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලකය සැම ක්ෂේත්‍රයක්ම ආවරණය කිරීමට ක්ෂේත්‍ර නිලධාරින් ඕනවටත් වඩා ඉන්නවා. මේ අය මෙහෙම පවුලක් ඉන්නවා කියල දන්නේ නැද්ද.? අනික පවුල්සෞඛ්‍ය සේවිකාවො ඉන්නවා මේ වගේ අලුත උපන් දරුවන් හා ඔවුන්ගේ සෞඛ්‍ය ගැන බලන්න. ආර්ථික සංවර්ධන, ග්‍රාම ශක්ති නිලධාරින්, කාන්තා හා ළමා සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරින් ඇතුළු සෑම නිලධාරියෙක්ම ඉන්න මේ රටේ අර අහිංසකයා ජීවිතයෙන් වන්දිගෙවනකම්ම මේ කාටවත් මේ පවුල පෙනුනෙ නැද්ද. තමන්ගේ වගකීම ඉටු නොකිරීම සම්බන්ධව මේ නිලධාරින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ රටේ බොහෝ ප්‍රාද්ශය ලේකම් කාර්යාලවල තත්වය ඕකයි මේ ක්ෂේත්‍රනිලධාරින් ගන්න පඩියට වැඩක් කරන්නේ නෑ. මේ සිද්ධියවත් පාදක කරගෙන මොනව හරි කලොත් මේ අය පාඩමක් ඉගෙන ගනී.
වසර 71 ක් පාලනය කරපු කෙරුම් කාරයන්ගේ හපන්කම් තමා
මේ වගේ හෝ මීට සමාන දුක්බර සිදුවීම් තවත් අපේ රටේ සිදු වෙනවා. මේ සිද්ධියට පමණක් විශාල ප්‍රසිද්ධියක් ලැබුන නිසයි අපිට මේ ගැන දැනගන්න ලැබුනේ. දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළ යුතු කාලීන විෂයයක් .
දරුවාගේ උස බර මැන්න කියලා වැඩක් තියෙනවද. අම්මගෙන් දැනගන්න ඕන දරුවට දෙන කිරි වේල් ගණන අම්මා ගන්න ආහාර අම්මා දැනුවත් කරන්න ඕන. ඊටපසු සෞඛ්‍ය සේවිකාව රජයේ දෙන නොමිලේ ආහාර මේ මවට ලබා දෙන්න කටයුතු කරන්න ඕන.
මේ සම්බන්දයෙන් සම්පූර්ණ වගකීම බාර ගත යුත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව බව සියල්ලෝම දනිති. සමහර පවුල් සෙවිකාවන් ත්‍රිපෝෂ ටික විකුණණ කන සහ එහෙම අය ආරක්ෂා කරන්න දගලන වෘත්තිය සමිති ඉන්න රටක අහිංසක දරුවන්ට දෙවියන්ගේ පිහිටයි! තවද කාර්‍යයාලයේ සුවද විලවුන් වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කර කොමිෂන් සක්කුවේ දාගත්තු අයට ජනාධිපති විසින් තනතුරු දෙන මේ අපේ රට.
දේශපාලනයේ සිටින අයට මේවා තේරුම් ගන්න නිසි දැනුමක් නැහැ. හිතන්න උෟව මහා ඇමති ගැන, 5 වන පන්තිය සමත් කෙනෙක්, කොහේ ඉගෙන ගන්නද? ආර්ථික, සමාජීය, කරුණු... ඉතින් පහළ ඉන්න අය ගැන කතාකරන එකේ තේරුමක් නැහැ.. දැක්කත් අසුනේ නැහැ වගේ ඉන්න එක හොඳයි කියල මට නම් හිතෙන්නේ..
මහා ලොකුවට දන්සල්. එත් මම නම් යන්නේ නැහැ, කන්න නැති මිනිස්සු මේ වගේ ඕන තරම් ඉන්නවා. අඩු ගානේ මේ දන්සල් දෙන අය මෙහෙමවත් එක පවුලකට උදව් කරනවානම්. අද කාලේ දන්සල් දෙන්නේ ජොලියට. මට හිතා ගන්න බැහැ අයිස් ක්‍රීම් දන්සල්, ක්‍රීම් සරුවත් දන්සල් දෙන්නේ ඇයි කියල. මේක සමාජ යහපතක්, පිනක් සදහා දෙන එකක් නෙමි. හුදෙක් සතුටට දෙන්නේ.
කොහොමද උදව් කරන්නේ..?