බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ගේ සහභාගිත්වයෙන් වික්ටෝරියා ජලාශය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සඳහන් කළේ ඉන්දියාවේ තමිල්නාඩුවට පවා විදුලිය සැපයීමට ලංකාවට හැකියාව තිබෙන බවය. වික්ටෝරියා ජලාශ බලාගාරයෙන් නිපදවන විදුලිය හේතුවෙන් ඒ හැකියාව ලැබෙන බවට ද ජයවර්ධන ජනාධිපතිවරයා එදා උදම් ඇනුවේය. තම ජීවිත කාලයේ ඒ සිහිනය සැබැකර ගැනීමට ජයවර්ධන ජනාධිපතිවරයාට නොහැකිවුවද රටක් හැටියට එය සැබෑ කරගත යුතු සිහිනයක් ලෙස කල්පනා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ගවේෂණ කටයුතු කිරීමේ භාරධූර වගකීම පැවරුවේ මොරටුව විශ්වවිද්‍යාලයටය. ඒ විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයකු ලෙස සේවය කළ ආචාර්ය නිශාන්ත නානායක්කාර ඒ ගවේෂණ කණ්ඩායමේ නායකයා විය. පුරා වසර 17 ක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස මොරටු සරසවියේ සේවය කළ ආචාර්ය නානායක්කාර දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක බැංකුවත් පිළිගත් බලශක්ති නිෂ්පාදකයෙකි, බලශක්ති උපදේශකයෙකි. ‘කළ යුත්තේ කුමක්ද?’ විශේෂාංගයෙන් අද අප එතුමන් සමඟ සාකච්ඡා කරන්නේ නූතන ලංකාවේ විදුලිබල අර්බුදය පිළිබඳවය. අර්බුදය හා ඊට විසඳුම් එතුමෝ මෙසේ දකිති. 

පවතින විදුලි අර්බුදය විසඳීම සඳහා සමාගම් තුනකින් විදුලිය මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව අප්‍රේල් 04 වැනිදා ‘ලංකාදීප’ මුල් පුවතින් රටට අනාවරණය කර තිබිණි. අප්‍රේල් 09 වැනිදා ‘ලංකාදීප’යට විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක කියා තිබුණේ ඒකකයක් රුපියල් 25ත් 26ත් අතර මිලකට පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා බවය. මෙගවොට් 500ක් එසේ අතිරේක වශයෙන් මිලදී ගන්නා බවද අමාත්‍යවරයා එහිදී හෙළිකර තිබිණි. අමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශයෙන් අනාවරණය වන්නේ විදුලි බල මණ්ඩලයත්, විදුලිබල අමාත්‍යංශයත් අවසානයේ රටේ නීතියේ සඳහන් ලෙස ජන රජයත් දැන් විදුලි නිෂ්පාදකයාගේ භූමිකාවෙන් ඉවත්ව මිලදී ගන්නාගේ භූමිකාව රඟ දක්වන බවය. 1996 තෙක් ලංකාව නමැති රඟමඬලේ විදුලි නිෂ්පාදකයාගේ භූමිකාව රඟපෑවේ ලංකා විදුලිබල මණ්ඩලය පමණකි. ඒ රඟ මඬලේ වෙනත් නළුවෝ නොසිටියහ. සිටි එකම නළුවා ලංකා විදුලිබල මණ්ඩලය පමණකි. ඒ චරිතය රඟ පාන්නට ලංවිමෙන් පිට වෙනත් නළුවන්ට ඉඩකඩ සලසා දුන්නේ එවකට පැවැති ආණ්ඩුවය. ඒ මෙරට ඉතිහාසයේ පළමු වරටය. දිනකට පැය 10ක් විදුලිය කපන තරම් අර්බුදයක් ඇතිවූයේ 1996 දීය. එදා සිට අදටත් ලංවීම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී. ගතවී තිබෙන කාලය අවුරුදු 23කි. අද පවතින්නේ එදා පැවැති ආණ්ඩුවද නොවේ. එහෙත් කෙරෙන්නේ එදා පැවැති ආණ්ඩුව කළ දේමය. එනම් අර්බුදයට විසඳුම් ලෙස පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමය. 

1996 වනතුරු ලංකා විදුලිබල මණ්ඩලය රටටත් ජනතාවටත් රටේ මහා භාණ්ඩාගාරයටත් බරක් නොවූ ආයතනයකි. එහෙත් 1996 සිට එය රටටත් ජනතාවටත් මහා භාණ්ඩාගාරයටත් කොඩි විනයක්ව තිබෙන බව දැන් රටේ සාමාන්‍ය ජනතාව පවා දනිති. එය එසේ වූයේ පෞද්ගලික අංශයෙන් ගිනි ගණනට විදුලිය මිලදී ගැනීම නිසාය. ලංවිම ඉංජිනේරුවන්ගේ දිගුකාලීන ජනන සැලසුම් (Long Term Gcneration Expansion Plan) ක්‍රියත්මක කිරීමට ඉඩ නොදීම හේතුවෙන් මේ අර්බුදය ඇතිවූ බව පරම සත්‍යයකි. ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමේ චෝදනාව 1996ට පෙර පැවැති ප්‍රේමදාස ආණ්ඩුවටද එල්ල වෙයි. රටේ නූගත් හා නොදැනුවත් ජනතාවගෙන් සේම ඊනියා පරිසර සංවිධානවලින් එල්ලවූ විරෝධය ද ආණ්ඩු අකර්මණ්‍ය කිරීමට හේතුවූ බව අසත්‍යයක් නොවේ. එහෙත් ආණ්ඩු තීරණ ගත යුත්තේ සහ ක්‍රියාත්මක විය යුත්තේ ඒ අතළොස්සකගේ මන දොළ පිනවීමට නොව සමස්ත රටේ හා එහි වෙසෙන ජනතාවගේත් රටේ ආර්ථිකයේත් දියුණුවට හේතුවන අයුරිනි. ඒ සියලු දෙනාට හා ඒ සියල්ලට සුබසෙත සැලසෙන අයුරිනි. 

මහින්ද රාජපක්ෂ යුගයේ නොරොච්චෝලේ ඉදිකළ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමට මුලින්ම යෝජනාවී තිබුණේ ත්‍රිකුණාමලයේය. පසුව එය හම්බන්තොටටද අනතුරුව නොරොච්චෝලේටද තල්ලු විය. එසේ වූයේ දැනුමෙන් හීන පිරිස්වල සහ සංවිධානවල විරෝධතා හේතුවෙනි. මහින්ද රාජපක්ෂ යුගයේදීද ඒ විරෝධතා ඒ ලෙසම එල්ලවිය. නොරොච්චෝලේ බලාගාරයට මුල්ගල් තබන දිනයේ එහිදීත් ඒ විරෝධතා දියත් විය. එහෙත් විරෝධතාකරුවෝ පල්ලියක ඉඩමකට ගාල්කර ඒ වටා ආරක්ෂාව යොදා බලාගාරයට මුල්ගල තැබීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේය. මුල් ගල් තබා අවුරුදු තුනකින් ඒ බලාගාරය විවෘත කළේය. අතළොස්සකගේ විරෝධයට යටවී ඔවුනගේ හඬට සවන්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එදා කටයුතු කළේනම් අද පවතින මේ විදුලි අර්බුදය මීට වඩා දරුණුය. දැවැන්තය. නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේ රටේත් පොදු ජනතාවගේත් රටේ ආර්ථිකයේත් සුබ සිද්ධිය සැලසෙනු පිණිස මිස විරෝධතාකරුවන් අතළොස්සක් නැළවීමට හේතුවන අයුරින් නොවේ. රාජපක්ෂ යුගයේ යුද්ධය නිම කිරීම සම්බන්ධයෙනුත් ජයවර්ධන යුගයේ 1987 දී ඉන්දු ලංකා ආරවුල් සම්බන්ධයෙනුත් රටට හිතකර ලෙස කටයුතු කෙරුණු බව අද කවුරුත් පිළිගනිති. 

රාජපක්ෂ යුගයේදී නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්බන්ධයෙන් පමණක් නොව සාම්පූර්හි ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන්ද කටයුතු සිදුවිය. එපමණක් නොව මෙරට නිපදවන විදුලිය ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන්ද අවශ්‍ය කටයුතු සිදුවිය. එසේම ස්වභාවික ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍ය කටයුතු ද එකල සිදුවෙමින් පැවැතිණි. විශේෂත්වය වන්නේ ඒ සියලු කටයුතු සිදුවූයේ යුද්ධය පැවැතියදී වීමය. මෙරට විදුලි නිෂ්පාදනය විවිධාංගීකරණය කර විදුලිය නිෂ්පාදනය ඉහළ දමා අතිරික්ත විදුලිය ඉන්දියාවට අලෙවි කිරීමට අවශ්‍ය කටයුතුද කෙරෙමින් පැවතිණි. පුත්තලමේ සිට දකුණු ඉන්දියාවේ ධනුස්කොඩියට මුහුද යටින් කේබල් දමා ඒ ඔස්සේ මෙගාවොට් 500ක විදුලිය ඉන්දියාවට අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු එකල සිදුවිය. ඒ සම්බන්ධයෙන් අපේ විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරු එදා ඉන්දියානු නිලධාරීන් සමඟ සාකච්ඡා කළහ. ලංවීම හිටපු අතිරේක සාමාන්‍යාධිකාරි රංජිත් ගුණවර්ධන ඒ කමිටුවේ හිටපු සභාපතිවරයාය. කේබල් එළන මුහුදු පතුලේ වෙනස්වීම් පිළිබඳව පර්යේෂණ කිරීමේ වගකීම රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පවරා තිබුණෙත් මොරටු විශ්වවිද්‍යාලයටය. සරසවියෙන් ඒ කාර්ය පැවරුණේ එහි විදුලි ඉංජිනේරු අධ්‍යයනාංශයටය. ඒ පර්යේෂණ කණ්ඩායමේ නායකයා වූයේ මාය. අප එය කළේ යුද්ධය පැවැති කාලයේදීමය. ඒ පර්යේෂණයට සහ ගවේෂණයට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂාව සහ පහසුකම් සැපයුවේ අපේ නාවික හමුදාවය. එකල නාවික හමුදාපතිවරයා වූයේ දයා සඳගිරිය. අපේ දේශසීමාව දක්වා මුහු තීරයේ ඩිංගි බෝට්ටුවක නැගී සතිපතා මුහුදු ගොස් අවුරුද්දක් තිස්සේ අපි ඒ පර්යේෂණයේ නියුක්ත වූයෙමු. අවසානයේ අපි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දුටු සිහිනය සැබැ කරගත හැකි බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැන් වූයෙමු. 

එහෙත් 2015 ආණ්ඩු පෙරළියෙන් පසු සියල්ල යළි කනපිට හැරිණි. ස්වභාවික ගෑස් (L.N.G) බලාගාර දැන් සුරංගනා කතාය. සාම්පූර් බලාගාරය ඉදිනොකරන බවට විරෝධතාකරුවන්ට පොරොන්දු වූවෝ යහපාලන ආණ්ඩුවේ නායකයෝය. ඒ 2015 දීමය. විදුලි අර්බුදය අද මෙතරම් ඔඩු දුවා ඇත්තේ ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු නොගන්නා හේතුවයි. මේවා මෙසේ වන්නේ ඇයි දැයි දැනුමක් ජනතාවට සහ උගතුන්ට ඇත්තේ බරපතළ සැක සංකාය. ඒ සැක සංකා තහවුරු කරන පුවතක් 2019 පෙබරවාරි 06 වැනිදා ‘ලංකාදීප’යේද පළවිය. ඉන් කියැවුණේ ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය විකුණා ඩීසල් බලාගාරයක් හිමි පෞද්ගලික සමාගමකට කාලයක් තිස්සේ අයථා ලෙස මුදල් ගෙවීමක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවය. අවුරුදු පහක් තිස්සේ අදාළ සමාගමට එසේ ගෙවා තිබෙන මුදල රුපියල් කෝටි 1000ක් බවද ඒ පුවතෙහි සඳහන් විය. ඒ මුදල යළි අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ඇතුළත් වාර්තාවක් ලංවිම ඉහළ නිලධාරීන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් යටගසා තිබෙන බවද පෙබරවාරි 06 වැනිදා ‘ලංකාදීප’ පුවතෙහි සඳහන් විය. ලංවිම හෝ අමාත්‍යංශය හෝ ආණ්ඩුව හෝ ඒ පුවත මෙතෙක් ප්‍රතික්ෂේප කර නැත. එසේ නම් ඉන් අනාවරණය වන්නේ පෞද්ගලික බලාගාර හිමියන්ගෙන් විදුලිය මිලදී ගැනීම පිටුපස යම් යම් හේතු නිසා යයි කෙනකු අර්ථ නිරූපණය කළ හැකිය. 

ඉදිරි වසර පහක් සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් අප්‍රේල් 09 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ බවක් අප්‍රේල් 10 වැනිදා ලංකාදීපය වාර්තාකර තිබිණි. ලංවිම මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ කෙටි මැදි හෝ දිගු කාලීන විසඳුම් මොනවාදැයි ආණ්ඩුව තවමත් රටට හෙළිකර නැත. එසේ හෙළි නොකරන්නේ එවැනි සැලසුම් නැති නිසා දැයි අපි නොදනිමු. අලුතින් බලාගාර ඉදිකිරීමට පමණක් නොව විලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිසම අතරත් මණ්ඩලය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතරත් උද්ගතව තිබෙන බරපතළ අර්බුද නිරාකරණය කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට ඇති බවක් ද නො​ෙපනෙයි. විදුලිබල ක්ෂේත්‍රයට අදාළ සියලු නියාමන කටයුතු පැවරෙන මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් පත් කළ ද ඒ කාර්ය භාරය මැනවින් ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය ආණ්ඩුවෙන් ඒ කොමිසමට නුදුන්නේය. තමන්ට නීතියෙන් පැවරුණු වගකීම නිසිලෙස ඉටු කිරීමේ වුවමනාවක් ඒ කොමිසමටද නොමැත්තේය. ශක්තිමත් ලෙස කොන්ද කෙළින් තබා ගැනීමේ වුවමනාවක් ඒ කොමිසමට තිබෙන බවක්ද නොපෙනෙන්නේය. විදුලි බල මණ්ඩලයේ බලපෑම මත ඇතැම් ඇමැතිවරු ඒ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට පල නොකියා පලා බෙදූහ. ඒ කොමිසම ශක්තිමත් කළානම් විදුලි බල මණ්ඩලය සමඟ එක්ව රට වෙනුවෙන් බොහෝ දේවල් කිරීමට ඒ කොමිසමට හැකියාවක් තිබේ. 

එහෙත් කොමිසම ඒ තත්ත්වයට පත් කිරීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබෙන බවක්ද නොපෙනෙයි. එය ඛේදවාචකයක් වන්නේ විදුලි අර්බුදය ඔඩු දුවා තිබෙන තත්ත්වයක සිටියදී ආණ්ඩුව මෙසේ හැසිරීමය. සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංවිම අතර තිබෙන අර්බුද සම්බන්ධයෙන්ද ආණ්ඩුව අනුගමනය කරන්නේ අඳ ගොළු බිහිරි පිළිවෙතකි. කළ යුතු වන්නේ අර්බුද නිරාකරණය කිරීම මිස ආණ්ඩු කිරීමට තිබෙන කාලය නිමවනතුරු කල් ගැනීම සඳහා කමිටු පත් කිරීම නොවේ. කල් මැරීමේ ඒ ප්‍රතිපත්තියෙන් වන්නේ අර්බුදය තව තවත් ඔඩු දිවීමය. 

අර්බුදය මෙතරම් දියුණු තියුණු නොවනු පිණිස පුනර්ජනනීය විදුලි බලාගාරවලට ක්‍රියාත්මක වීමට ඉඩදිය හැකිව තිබුණද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන්ද අනුගමනය කළේත් කරන්නේත් අඳ ගොළු බිහිරි හා රට ප්‍රපාතය කරා ගෙනයාමේ පිළිවෙතකි. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පුනර්ජනනීය විදුලි බලාගාර 400ක් ඉදි කිරීම සඳහා අනුමැතිය දී තිබේ. ඒ විදුලි ව්‍යාපෘති අතර කුඩා ජල විදුලිබලාගාර 171 ක්ද දැව විදුලි බලාගාර 25ක්ද දහයියා විදුලිබලාගාර 20ක්ද කුණු කසළවලින් විදුලිය නිපදවන බලාගාර 3ක්ද සූර්ය විදුලි බලාගාර 176ක්ද සුළං විදුලි බලාගාර 5ක් ද තිබේ. ඊට අමතරව නිවාසවල වහලවල් මත ඉදිකරන මහා පරිමාණ සූර්ය පැනල 20,000ක සඳහාද සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අනුමැතිය හිමිවී තිබේ. ඒ ව්‍යාපෘති සියල්ලෙන් අවුරුද්දකට විදුලිය මෙගාවොට් පැය තිස් හය ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැට නවයක් (36,94,469) හෙවත් විදුලි ඒකක කෝටි 369ක් (369,44,69,000ක්) නිෂ්පාදනය කළ හැකිය. එහෙත් ඒ ව්‍යාපෘතිවලින් නිපදවන විදුලිය මිලදි ගන්නා බවට ඒ ආයෝජකයන් සමඟ විදුලි බල මණ්ඩලය ගිවිසුම් අත්සන් නොකරයි. මණ්ඩලය ඒ පිළිවෙත අනුගමනය කරන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි 2015 සිටය. ඊට පෙර මණ්ඩලය මෙවැනි පිළිවෙතක් අනුගමනය කළේ නැත. යෝජිත ඒ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් අවුරුද්දකට නිපදවිය හැකි ඒ විදුලි ඒකක කෝටි 369 ඩීසල්වලින් නිපදවීමට ඩීසල් සඳහා පමණක් අවුරුද්දකට රුපියල් කෝටි 4,986ක් වැය වෙයි. 

විදුලිබල අමාත්‍යාංශය යටතේම ක්‍රියාත්මක වන සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඕනෑම විදුලි ව්‍යාපෘතියකට අනුමැතිය දෙන්නේ රාජ්‍ය ආයතන 11ත් 18ත් අතර සංඛ්‍යාවකින් අනුමැතිය දුන් පසුවය. විදුලිබල මණ්ඩලය ඒ ආයෝජකයන් සමඟ විදුලිය මිලදී ගන්නා බවට ගිවිසුම් අත්සන් කර නැත්තේ එවැනි තත්ත්වයක් තිබියදීය. මණ්ඩලයේ ඉහළ නිලධාරීන් 2015 සිට අනුගමනය කරන මේ පිළිවෙත වෙනස් කිරීමට එදා සිට පත්වූ කිසිම ඇමැතිවරයකු කටයුතු කළේ නැත. ආණ්ඩුවද ඒ දෙස ඇස් හැර නොබලයි.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්