මොළයෙන් ජයගත් අගමැති ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන 
03 වැනි කොටස

 

අවට වැසියෝ දොරවල් වසාගෙන නිවෙස් තුළට වී තම කතාව ශ්‍රවණය කරන බව ඔහු දැන සිටියේය. හික්කඩුවේදී පැවැත්වූ එ.ජා.ප රැස්වීමේ වැඩිපුරම සිටියේ සංචාරයේ පැමිණි විදේශිකයෝය. මේ දුටු වේදිකාවේ සිටි ලලිත් ඇතුළත් මුදලි මහතා ප්‍රේමදාසයන්ගේ කනට කොදුරා කීවේ “මේක හරියට එක්සත් ජාතීන්ගේ රැස්වීමක් වගේනෙ” කියාය. “කමක් නෑ අපි අපේ වැඬේ කරගෙන යමු” ප්‍රේමදාස මහතා කීවේය. ඔහුට ඉලක්කයක් සහ පැහැදිලි අපේක්ෂාවක් ඇති බව ලලිත් වටහා ගත්තේ එවිටය.
 
තීරණාත්මක දිනය වූයේ 1988 දෙසැම්බර් 19 වැනිදාය. එදින සමස්ත දිවයින පුරාම වෙඩි හඬ ගිගුම් දෙන්නට විය. මෙයින් ප්‍රධාන සිදුවීම ලෙස සැලකිය හැකිවූවේ කුරුණෑගල අතිරේක දිසාපතිවරයාගේ සහ මූලස්ථාන අතිරේක දිසාපතිවරයාගේ නිවාසවලට වෙඩි තැබීමය. ඔව්හු මැතිවරණ කටයුතු භාරව කටයුතු කළ උසස් නිලධාරීන් වූහ. දෙදෙනෙක් මරණයට පත්ව තවත් කීප දෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් කෑගල්ල මැතිවරණ කාර්යාලයට ගිනි තැබීමට උත්සහයක් දරා තිබුණි. වන්නි දිස්ත්‍රික්කයේ (මන්නාරම, වවුනියා සහ මුලතිව්) යම්කිසි කණ්ඩායමකගේ මැදිහත්වීම නිසා ඡන්ද කටයුතු මුළුමනින්ම ඇන හිටියේය. මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49ක කටයුතු ජ.වි.පෙ සහ රජයේ පාර්ශවයේ තර්ජන සහ බලපෑම් නිසා සම්පූර්ණයෙන්ම අත් හිටුවන ලදි. වාර්තාවල සඳහන්වන ආකාරයට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මෙම භීෂණකාරී කටයුතු ආරම්භ කරන ලද්දේ වුවද මැතිවරණය ආසන්න වෙද්දී එම තත්ත්වයට මුහුණදීම සඳහා වෙනත් දාමරික පිරිස්ද මැදිහත් වූ බව පෙනී යයි. දිස්ත්‍රික්ක දහතුනක ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටිවල සලකුණු කළ එකම ඡන්ද පත්‍රිකාවක්වත් තිබුණේ නැත. දිස්ත්‍රික්කයේ ඡන්ද නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට පැමිණි ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවේ ලුණුගල ප්‍රාදේශීය නිලධාරි ඇම්. ඒ. ගුණවර්ධන මහතා සහ ඔහුගේ රියැදුරු ඩබ්ලිව්. ජී. ජයරත්න මහතා ද වෙඩි වැදී මිය ගියහ.
 
මේ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් මස 11 වැනි සඳුදා පැවැත්වුණි.
කිසිදු අපේක්ෂකයෙකුට 50% ඡන්ද සංඛ්‍යාව ලබාගත නොහැකි වෙතැයි බොහෝ දෙනා අනාවැකි පළ කරන ලද්දේ වුවද ආර්. ප්‍රේමදාස මහතා 50% ඉක්ම වූ. 43 ක සියුම් ජයක් වාර්තා කිරීමට සමත් වූවේය. ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන ලද කොළඹ නගර සභාවේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ සිට ජනතාව ඇමතූ ප්‍රේමදාස මහතා මෙසේ පැවසූ බව පුවත්පත්වල පළවිය.
 
අද මේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය අත්පත් වෙලා තිබෙන්නේ සර්ව ජන ඡන්ද බලයටයි. ශ්‍රී ලංකාවේ ජනතාව බිහිසුණු වෙඩි උණ්ඩ පරදවලා සර්ව ජන ඡන්ද බලය ජයග්‍රහණය කරවා ඇත. ඒ කෙරෙහි කැපවීමක් තිබෙන සෑම පුද්ගලයෙකුටම, සෑම පක්ෂයකටම මේ ජයග්‍රහණය අති විශිෂ්ට ජයග්‍රහණයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය තම අවිය ලෙස ගත්තේ සර්ව ජන ඡන්ද බලයයි. භීෂණ සටන මැද සිහි නුවණ ඉස්මතු වී ඇත. එය අප කාගේත් සැනසීමට තීරණයක් මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පොදුවේ ලබා ගත් ජයග්‍රහණයක්. සෑම පක්ෂයකටම මෙය අතිවිෂ්ටතම ජයග්‍රහණයක්, බණ්ඩාරනායක මහත්මියක් ඔසී අබේගුණසේකර මහතාත් මගේ විරුද්ධවාදීන් නොවේ. ඒ දෙපොළ ජනතාවට විකල්ප ප්‍රථිපත්ති ඉදිරිපත් කළ තරගකරුවන්. දැන් එකට එකතු වී මැතිවරණයකින් පසු ඇතිවන විරුද්ධකම් පිටු දැකිය යුතුයි. ජයග්‍රහණය මිනිය හැක්කේ අපගේ ප්‍රතිවාදීන් ආරක්ෂා කිරීමෙන් ද ප්‍රකෝපකාරී කටයුතුවලින් වළකින ලෙසත් මා ඉල්ලා සිටිනවා. එය මගේ ඉහළම අපේක්ෂාවයි. එමෙන්ම අභීතව සහ අපක්ෂපාතිව මම ජනතාවට සේවය කරමි.
 
එහෙත් එම පුවත්පතේම පළවූ තවත් ප්‍රවෘත්තිකින් කියවුණේ ප්‍රතිඵල අපි පිළිගන්නේ නැහැ” යන සිරස්තලයෙන් යුතු ශ්‍රී.ල.නි.ප නායිකාවගේ ප්‍රකාශයකි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ශ්‍රී.ල.නි.පය නොපිළිගන්නා බවත් ආර්. ප්‍රේමදාස මහතා ජනතාවගේ නිදහස් ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ලෙස නොපිළිගන්නා බවත් ඇය ප්‍රකාශ කර තිබුණි. මේ රටේ ජනතාවගේ ඉල්ලීම වූවේ නිදහස් හා සාධාරණ ඡන්දයකි. පාර්ලිමේන්තුව විසුරුවා හැර පිළිගත් දේශපාලන පක්ෂවලින් සමන්විත අන්තර්වාර රජයක් පිහිටුවා ඒ යටතේ පවත්වන ඡන්දයකි. මෙය හුදෙක්ම ශ්‍රී.ල.නි.පයේ ඉල්ලීක් නොව මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ කතෝලික බිෂොප් සභාවේ ද (රදගුරු සමුළුවේ) වෘත්තී්‍ය සමිතිවල හා ශිෂ්‍ය සවිධානවල, පිළිගත් දේශපාලන පක්ෂවල, මානව සංවිධානවල ඉල්ලීමකි. මේවා ඉටු නොවීය. ආර්. ප්‍රේමදාස මහතා දැඩි උත්සාහයකින් යුතුව සටන් කර ජනාධිපතිවරණයට තරග කොට ජය ලබා එම උසස් තනතුරට පත්වූ නමුදු සිය නිල කාලය සේවය කිරීමට ඉඩ ලැබුණේ නැත. ජනාධිපති ධුරයන් සමග එතුමාට ලැබුණු දෙකොන දැල්වුණු විලක්කුවේ ගොදුරක් බවට පත්වීමට ප්‍රේමදාස මහතාට සිදුවිය. 1993 මැයි පළමුවැනිදා කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බොම්බයක් නිසා ඔහු මරුමුවට පත්විය.  
මෙම මරණය සිදුවන විට මා සිටියේ මැද පෙරදිග රටක් වූ ඕමාන් රාජ්‍යයේය. ලංකාවෙන් ලැබුණු ආරංචිය මා සමග ප්‍රකාශ කළේ මැද කොළඹ ආසනයේ ඡන්ද දායකයෙකු මෙන්ම ඩාර්ලි පාරේ ෆෝබස් ලේන්හි පදිංචි කරුවෙකු වූ මොහමඞ් ඉක්බාල් විසිනි. ඔහුද මා සමග සේවයේ යෙදී සිටියේය- කඳුළු පිරි දෑසින් යුතුව ඔහු පැවසු වදන ඊයම් බරු පොදියක් මෙන් මගේ හදවතේ කිදා බැස්සේය. “මේ තරම් පොර බදලා මේ කෙහෙල්මල් ජනාධිපතිකමක් පටවා නොගත්තානම් තව කොච්චර කාලයක් ජීවත්වෙන වටිනා මනුස්සයෙක්ද? ඉක්බාල් මගෙන් විමසුවේය. ඩාලිපාරේ සාමපුර නිවාස සංකීර්ණයෙන් ඉක්බාල්ට නිවසක් ලබාදීමට  ද ප්‍රේමදාස මහතා ඔහුට පොරොන්දු වී තිබුණි. මෙම ඝාතනයෙන් දහසය වසරක් ගෙවී ඇත. එහෙත් මේවා නැවත නැවතත් අපේ මතකයට නැගීම වැළැක්විය නොහැක.
 
 
 
 
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි