දෙවැනි දිනයේ සිදුකළ සංකීර්ණ මෙහෙයුමෙන් පසු තවත් දරුවන් හතරදෙනකු ගුහාවෙන් පිටතට ගෙන ඒමට සමත් වූ බව තායිලන්ත බලධාරීහු පවසති . මේ අනුව දරුවන් අට දෙනකු සාර්ථක ලෙස බේරා ගැනීමට හැකිවූ බව තායි සීල් නාවුක භටයින් පවසයි. 

තවත් දරුවන් හතරදෙනකු සහ ඔවුන්ගේ පුහුණුකරු සමඟ ගුහාවේ රැඳී සිටින අතර ඔවුන් හෙට (10) දිනයේ නිදහස් කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසේ.

බේරාගත් දරුවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ දෙමාපියන්ට මුණගැස්වූයේ නැති බව බලධාරීහු පවසති. සෞඛ්‍ය හේතූන් මත මෙම පියවර ගෙන ඇත. කෙසේ වුවද බේරාගත් දරුවන්ගේ අනන්‍යතාවය තවම හෙළිකර නොමැති බවද පැවසේ.

බේරාගත් දරුවන්ට ආහාර වශයෙන් කැඳ ලබාදුන් බවත් දින දහයක් කුසගින්නේ සිටි බැවින් ජීර්ණ පද්ධතිය යථා තත්ත්වයට පත්වන තෙක් බර ආහාර ලබා නොදෙන බවත් වෛද්‍යවරු පවසති. 

(බීබීසී ඇසුරිනි - 085)