IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රන් ලොව රජ ගමනක් ආ හැටි කියන රාජා ජුවලර්ස් සභාපති අතුල එළියපුර

අභියෝග ජයගත් මිනිස්සු

 

ඊ.ඒ. ප්‍රනාන්දු හෙවත් එළියපුරගේ ප්‍රනාන්දු මුලින්ම යෙදී සිටියේ මිනිරන් කර්මාන්තයේය. ඒ, 1920 ගණන්වලදීය. මෙකල දෙවැනි ලෝක යුද්ධය ඇරැඹී තිබුණු බැවින් මිනිරන් කර්මාන්තය සාර්ථකව කරගෙන යාමට ඔහුට නොහැකි විණි. ඉනික්බිතිව රත්තරන් සහ රිදී ස්වර්ණාභරණ නිර්මාණය කරන ජුවලරි ව්‍යාපාරයට අත ගැසුවේය. ඒ, ඉතා සුළුවෙනි. ඔහු රන් රිදී භාණ්ඩ සාදාගෙන නැව්වලට ගොස් ඒවා අලෙවි කිරීමට පුරුදුව සිටියේය. එකල නාවික ගමනාගමනය ඉතා ප්‍රචලිතව තිබූ නිසා ඔහු ඒ කටයුත්ත සාර්ථකව පවත්වාගෙන ගියේය. කල්යත්ම ඔහුගේම ස්වර්ණාභරණ සාප්පුවක් කොළඹ චැතැම් වීදියේදී ස්ථාපිත කිරීමට හැකිවිණි. 1928 දී එය ඇරැඹියේ ඊ.ඒ. ප්‍රනාන්දු ජුවලරි නමින්ය.  


මේ කියන ඊ.ඒ. ප්‍රනාන්දුට දරුවන් එකොළොස් දෙනෙක් සිටි අතර වැඩිමලා වූවේ රාජා ප්‍රනාන්දුය. ඔහු​ගේ පියාණන් වූ ඊ.ඒ. ප්‍රනාන්දු මිය පරලොව ගිය පසු රාජා කරළියට පැමිණියේ තාත්තා පවත්වාගෙන ගිය ජුවලරි කර්මාන්ත අංශයෙනි.  


1960 දශකය ආරම්භ වීමත් සමග කරළියට පැමිණි රාජා හට මෙම ස්වර්ණාභරණ ව්‍යාපාරය වෙත නවතාවක් ගෙනදීමට සිත් විය. ඒ අනුව රාජාගේ බාල සොයුරු නන්ද ප්‍රනාන්දු ඊ.ඒ. ප්‍රනාන්දු ජුවලරි ආයතනය පවත්වාගෙන ගිය අතර රාජා වෙනස් ගමනකට මුලපිරීය. එනම් 1962 දී ‘රාජා ජුවලරි’ නමින් ස්වර්ණාභරණ කලාවේ අලුත් ගමනක් ඇරඹීමෙනි.  
රාජා ප්‍රනාන්දු රන් භාණ්ඩ කලාවට එළියක් වෙමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සත්ගුණවත් දානපතියකු ලෙස දිනෙන් දින ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ව්‍යාපාර ලෝකයේ ‘රාජා’ නමින් ප්‍රකටව සිටි ඔහුට දරුවන් පස්දෙනෙකි. පිරිමි දරුවන් හතරදෙනෙකු සහ එක් ගැහැණු දරුවකු ඊට අයත්ය.  


තාත්තාට එදා හැමෝම වගේ කතා කළේ ‘රාජා’ කියලා.  


එදා රත්තරන් භාණ්ඩ සාප්පු ප්‍රචලිතව තිබුණෙ හෙට්ටිවීදියෙ. තාත්තා චැතැම් වීදියෙ ඉඳලා බම්බලපිටියට එදා එන විට ‘ඇයි රාජා බම්බලපිටියට යන්නෙ? එහෙ ගිහිල්ලා නම් හරි යන එකක් නැහැ’ කියල තමයි තාත්තාගෙ යාළුවෝ තාත්තාට කියලා තියෙන්නෙ. කොහොම වුණත්, තාත්තා අභියෝගය බාර අරන්. එදා බම්බලපිටියට පළමුව ආ ජුවලරි අංශයේ සිංහල ව්‍යාපාරිකයා තාත්තා. බම්බලපිටියෙ සාප්පුව පටන් ගනිද්දී සේවක සේවිකාවන් දොළොස් දෙනෙක් විතරයි ඉඳලා තියෙන්නේ.  


ඉස්සර සාම විනිසුරු පදවිය හැමෝටම දුන්නෙ නැහැ. රජයෙන් එම ගරු පදවිය ලබා දුන්නේ සමාජයේ වැදගත්ම විදියට කටයුතු කළ අයටයි. අපේ තාත්තා ව්‍යාපාරවලට ආ දවසේ ඉඳලා විවිධාකාර විදියට සමාජ සේවා කටයුතුවල යෙදී සිටියා. තාත්තා දායකත්වය දරමින් උදව් කළ පන්සල් ගණන බොහෝමයි. ඒ වගේම දහම් පාසල් රැසකට බොහෝ උදව් කළා. කෙටියෙන්ම කිව්වොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් අපමණව කැපව සිටි චරිතයක්.   


මෙවැනි දේ නිසා එදා සිරිමාවෝ මැතිනියගේ රජයෙන් තාත්තාට ඒ ගෞරවනීය පදවිය ලබා දී තිබුණෙ මේ සබඳතා නිසා. එදා සාප්පුව විවෘත කරද්දී එවකට පාර්ලිමේන්තුවේ සිටි දේශපාලනඥයින් බොහෝදෙනෙක් පැමිණ තිබෙනවා.  


අද මේ විදියට පවසන්නේ එළියපුරගේ අතුල හෙවත් අතුල එළියපුරය. රාජා මහතාගේ බාල පුතු වන්නේ ඔහුය. අද රාජා ජුවලරි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම සභාපති ද වන්නේ ඔහුය. අතුලගෙ දෙවැනි අයියා අශෝක එළියපුර අධ්‍යක්ෂ තනතුරක් දරන අතර, අතුලගේ දියණියන් වන නෙත්මිණි සහ රන්මිණි එළියපුර මෙහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරති. එනම් එළියපුරගේ පරපුරේ හතරවැනි පරම්පරාව අනාගතය බාර ගැනීමේ අභිලාශයන් මෙලෙස කටයුතු කරන්නේය.  


එදා මුලින්ම රාජා මහතා බම්බලපිටියේදී ‘රාජා’ ජුවලර් ගොඩනැගිල්ල පුංචියට නිර්මාණය කළේ පර්චස් හතරක පහක පමණ පුංචි ඉඩමකය.  


‘බිල්ඩින් එකටත් එක්ක එදා මට මේකට ලක්ෂ දෙකයි ගාණක් වියදම් වුණා’ යැයි විටෙක රාජා පවසා තිබේ. ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ සේවයට මුළු ජීවිතයම කැප කර සිටි රාජා ප්‍රනාන්දු මියගියේ 1985 දීය.  


ඉනික්බිතිව රාජා ජුවලරි නොනැවතී යන ගමනකට මුල පිරුවේ කොහොමද? අශෝක මතකය අවදි කරද්දී, රාජාහි වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ සහ සභාපති වන අතුල එළියපුර ඒ ගැන කීවේ මෙලෙසිනි.  


තාත්තා මිය යනවිට අපට ව්‍යාපාර ක්ෂේත්‍රය ගැන එච්චර දැනුමක් තිබුණේ නැහැ. ලොකු අයියා අනුර එළියපුර සහ මම තාත්තාගෙන් පසුව ව්‍යාපාරයේ කටයුතු දිගටම කරගෙන යාමට පටන් ගත්තා.  


තාත්තා අසනීප වූ සමයේ ව්‍යාපාරයේ කටයුතු ටිකක් අඩපණ වෙලා තිබුණා. තාත්තාගෙ හිඩැස පිරවීමට එදා ලොකු අයියා අනුර කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. මම ප්‍රදර්ශනාගාරයේ කොටසක් බාරගෙන දියුණුව වෙනුවෙන් කටයුතු කළා. අශෝක අයියා ව්‍යාපාරයට එක්වූ පසු එයත් තව කොටසක් බාරව කටයුතු කළා. මේ විදියට අපි තුන්දෙනා වගකීම් හඳුනාගෙන රාජා ජුවලරි තවදුරටත් දියුණු කිරීමට පටන්ගත්තා. තාත්තා මිය යාමට පෙර අපට දර්ශනයක් ගැන කියාදී තිබුණා.  


‘කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා, ඒ නිසා ඒ ගැන හිතලා කටයුතු කරන්න’ කියලා.  


ඒ නිසා පුළුවන් තරම් ඉතිරි කරන්න කියලා කිව්වා. හැබැයි ඒ අතරේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් උපරිමයෙන් දායකත්වය දෙන්න කියලත් කිව්වා.  


අතුල රාජා ජුවලරි තෙවැනි පරම්පරාවට අයත් වූ හැටි සැකෙවින් ගෙන හැර පෑවේ එලෙසිනි. කෙසේ වෙතත් ටික කලකින් එ් පවුලේ වැඩිමලා වූ අනුර මේ ව්‍යාපාරයෙන් ඈත්වී වී ඔහුගේ ව්‍යාපාරයක් වෙනම පටන් ගත්තේය. ඉන්පසුව රාජා ජුවලරි ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස අතුල පත්වූ අතර අශෝක අධ්‍යක්ෂ ධුරය හෙබවූවේය.  
හතරවැනි පරම්පරාව ලෙස අතුලගේ දියණියන් දෙදෙනා සම්බන්ධ වී ඇත්තේ මෑත කාලයේදීය. තාත්තා කළ දේ පුතාලට කරන්න බැරි යැයි බොහෝදෙනා විශ්වාස කරති. එහෙත් අතුල ඇතුළු පුතුන් මෙන්ම රාජා ජුවලරි ආයතනයේ සේවක පිරිස මෙම ව්‍යාපාරය දිනෙන් දින ජයග්‍රාහී ගමනකට කැඳවාගෙන යාමේ රහසක් විය. ඒ ගැන අතුල කීවේ මෙලෙසිනි.  
තාත්තා මේ ව්‍යාපාරය ආරම්භ කළ පසු එය මිනිසුන් අතර වඩා ජනප්‍රිය වුණේ අනර්ඝ ලෙස සේවය සැපයූ නිසයි. අපි කවදාවත් බාල රත්තරන් දුන්නෙ නැහැ. වගකීමක් එක්ක අපි දුන්නේ ඉස්තරම්ම රත්තරන්. එ් නිසා ඒ උසස් ප්‍රමිතිය හේතුවෙන් ඉතා හොඳ උගත් පිරිසක් තමයි අපෙන් ස්වර්ණාභරණ මිලදී ගැනීමට ආවේ. ඉහළම ප්‍රමිතිය නිසා අපට ලැබුණෙ ඉහළම පිළිගැනීමක්.  


රාජා දියුණුවට ගිය රහස එයයි. මේ නිසා පරම්පරා හතරක පාරිභෝගිකයින් එනම් හතරවැනි පරම්පරාවේ අයත් ස්වර්ණාභරණ මිලදී ගැනීමට එන්නේ අපෙන්.  


අතුල ඇතුළු පිරිසට රාජා ජුවලරි ආයතනය එලෙසින් දියුණු කිරීමට අද හැකිව තිබෙන්නේ, යහපත් දැක්මක් ඇතිව ගමනක් ආ නිසා යැයි අතිශයෝක්තියකින් තොරව කිව හැකිය. එදා පර්චස් හතරක වැනි පුංචි ඉඩක ස්ථාපිත වූ රාජා ජුවලරි අද නැගී සිටින්නේ පර්චස් 60 ක පමණ දුරකට විහිදී ගොසිනි. එදා දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත වූ සේවක පිරිස අද දෙසීයකට ආසන්නය.  


එදා තාත්තා මුලින්ම අරගෙන තිබුණු පර්චස් හතරක ප්‍රමාණය පසුව පර්චස් 9 ක් දක්වා පැතිර ගියා. ඉන්පසු මාගේ ප්‍රධානත්වයෙන් කළමනාකරණ කටයුතු පවත්වාගෙන යද්දී 2018 වෙද්දී පර්චස් 60 දක්වා මේ භූමිය තවත් පුළුල් කිරීමට අපට පුළුවන් වුණා. අද වනවිට මේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව නුවර සහ මීගමුවේ අපේ ශාඛා පිහිටුවීමට හැකිව තිබෙනවා.  


දියුණුවේ තරම ගැන අතුල එසේ කියද්දී, එදා හැට ගණන්වලදී අද රාජා ජුවලරි ස්ථාපිතව ඇති අවට කලාපය කෙසේ වීද? අතුලට ඒ ගැන මතකයක් නැත්තේ එකල ඔහු කුඩා අවදියේ සිටි නිසාය. නමුත් තාත්තාගෙන් දැනගත් විස්තර අනුව ඒ ගැන විස්තර කළ අයුරුයි මේ.  


හැට දෙකේදී විතර මේ හරියෙ සම්පූර්ණයෙන්ම තිබිලා තියෙන්නෙ ගෙවල්. ඒත් ඉදිරිය ගැන පෙනුණ නිසා තාත්තා ඒ අභියෝගය බාරගෙන. එදා බණ්ඩාරනායක මහතා එක්කත් තාත්තාගේ කිට්ටු සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනා තාත්තාගේ හිතවතුන්. හැබැයි තාත්තා ඔවුන් ඇසුරු කළේ වරප්‍රසාද ගන්න නම් නෙවෙයි.  


එදා මේ ක්ෂේත්‍රයේ නැගී සිටියේ දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරිකයින්. තාත්තාට ඕනෑ කළේ සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාව අතරට ඒමටයි. ඒ වෙනුවෙන් තාත්තා සිංහල බෞද්ධයා වෙනුවෙන් බොහෝ සමාජ සේවයෙහි යෙදුණා.  


අතීතයේ ස්වභාවය ගැන කරුණු කී අතුල රාජා ජුවලරි ලද සම්මාන ගොන්න ගැනත් සඳහන් කළේ අභිමානයෙනි. මැණික් හා ස්වර්ණාභරණ අංශයේ ඉහළම ප්‍රමිතිය සහ ඒ වෙනුවෙන් කැපවීම උදෙසා වූ ප්‍රමිතියේ ඉහළම සම්මානය 1992 දී හිමිකරගත් රාජා ජුවලරි, හොඳම වෙළඳ නාමය වෙනුවෙන් ස්පාඤ්ඤයෙන් ජාත්‍යන්තර සම්මාන ලද පසු නැවත වතාවක් එහිදී රන්තරුව සම්මානය ද හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අපනයන සම්මාන ප්‍රදානයේදී වසර හතකදී සම්මාන ලද රාජා ජුවලරි ජාතික වාණිජ මණ්ඩලයෙන් පිරිනැමූ ඉහළම සම්මානයෙන් ද බැබළී සිටින ආයතනයකි.  


ඇත්තටම අපි සම්මාන පිපාසයෙන් ව්‍යාපාරයේ යෙදෙන්නෙ නැහැ. අනර්ඝ දේ ජනතාවට ලබාදීම අපි ලබන ඉහළම තෘප්තියයි. 2018 දී ජනාධිපති සම්මාන උළෙලේදී රන් සම්මාන 4 ක් අපට ලැබුණා. ඒ අතරට උසස්ම ප්‍රමිතිය සඳහා සම්මානය ලැබුණෙත් අපට.  


මේ විදියට අපට තවත් සම්මාන රැසක් ලැබී තිබෙනවා. එලෙසින් ගෞරවයට පාත්‍රවීමට අපට හැකිවුණේ අපේ සේවක පිරිස එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම නිසයි. රාජා ටීම් එක හෙවත් කණ්ඩායම කීම වඩා හොඳයි. සේවකයින්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව අපි වැඩමුළු පවා පවත්වනවා. මෝස්තර නිර්මාණයේදී හෙළ කැටයම් කලාවට මුල්තැන දෙන අතරේ ‘සිංහල’ කියන මෝස්තර එක්ක අපි ජාත්‍යන්තරයේ නිර්මාණ රටාවේ රිද්මයත් සංකලනය කරගන්නවා. දැනට ජුවලරි ආයතනයක් සතු ලොකුම ෆැක්ටරිය (කර්මාන්තශාලාව) තියෙන්නෙත් අප සතුවයි.  


රන් භාණ්ඩයක ගුණාත්මක බව ජනතාව දැන ගන්නෙ කොහොමද? අතුල ඔවුනගේ අනර්ඝත්වය ගැන කරුණු කියද්දී අපි ඒ පැනය ඔහු වෙත යොමු කළෙමු  


ජෙම් කෝපරේෂන් එකෙන් ප්‍රමිති සහතික ලාංඡනය (සලකුණ) 916 ලෙස ලබාදී තිබෙනවා. අපේ නිර්මාණ සියල්ල සඳහා ඒ සලකුණ ඇතුළත්. එවිට එය ඉස්තරම්ම රත්තරන්වලින් නිර්මාණය කර ඇති වග සහතික කරගන්න පුළුවනි.  


මෙරට රන් කර්මාන්තය ගැනත් යමක් කිව්වොත්?  


ලක්ෂ දෙකක පමණ පිරිසක් රන් ආභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිරතව සිටිනවා. ඒ වගේ විශාල රන් කාර්මිකයින් පිරිසක් සිටියත් ආණ්ඩු කරන්නෙ උපරිම තීරු බදු අයකර ගැනීමයි. ඒ අය ජීවත් වන්නෙ කොහොමද කියා සොයා බලන්න කවුරුවත් නැහැ. ඩොලරයේ මිල ඉහළ යාම නිසා සමහරු රන් ගෙන්වන්නෙත් නැහැ.  


මේ නිසා හොර පාරෙන් රත්තරන් මෙරටට එන්න පුළුවනි. එනිසා රජය රන් සහනයක් ලබාදීම හරිම වැදගත්.  


රන් කර්මාන්තය ගැන එලෙස පවසන අතුල අභියෝග ජයගත්තෙ කොහොමද?  


ව්‍යාපාරයක් ආරම්භ කළ පසු මුලින්ම ලාභය සොයා ලුහුබැඳ ගියොත් ඒ ව්‍යාපාරය අසාර්ථක වන බව ඔහුගේ හැඟීමය.  


‘ලාභය ගැන නොසලකා අනර්ඝ දේ ලබාදෙන්න’. ඒ චේතනාව ඇතිව කටයුතු කළොත්, තමුන් කරන ව්‍යාපාරය ඉතා සාර්ථක වේවි. අපේ තාත්තා අපට චීන කියමනක් ගැන කියා දුන්නා.  


‘සාප්පුවට සලකාපන්  
සාප්පුව උඹට සලකාවි’ 

 
මම කළේ අන්න එයයි. දවසක් අපෙන් රන් භාණ්ඩයක් මිලදී ගත් කෙනෙක් අපට ලියමනක් එවා තිබුණා. එයා මිලදී ගත් වළල්ලේ ලොක් එක හරියට වැසෙන්නෙ නැහැ කියලා. ඒ විදියට අපට දැන්වූවේ ‘රාජා ජුවලරි’ ගැන තියෙන විශ්වාසය නිසයි. ලොක් එක දාගන්න බැරිව ගිය නිසා වළල්ල නැතිවෙලා. හැබැයි අපි එයාට නැවත වළල්ලක් සාදා දුන්නා. අවංකභාවය කියන්නෙ ඒකටයි. වෙළෙඳාමක් කියන්නෙ ඇත්තටම ලාභය උපයන එකම නෙවෙයි. විශ්වාසය පළුදු නොකිරීමයි.  

 

 

 


රාජා ජුවලරි සභාපති අතුල එළියපුර ඇතුළු අධ්‍යක්ෂ මඩුල්ල එදා ‘රාජා’ මහතා පටන්ගත් සමාජ සේවය ඊටත් වඩා දුරට ව්‍යාප්ත කර තිබීම පැසසිය යුතු දෙයකි. මෑතකදී පදවි ශ්‍රීපුර දුගී පවුල් හතරකට ගෙවල් හතරක් සාදා දුන් අතර සෑම වසරකදීම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් 20 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද කරන්නේය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලයිට් බිල ගෙවන්නේ ද තම ආයතනය විසින් යැයි අතුල කියයි.  


සෝමාවතියට පැමිණෙන බැතිමතුන් සඳහා පානීය ජල ප්‍රශ්නයක් තිබූ අතර ඊට විසඳුම් ද ලබාදී තිබේ. මෙලෙසින් තවත් බොහෝ සමාජ සත්කාරවල යෙදී සිටින බව අතුල කියයි.  
අතුල එළියපුරගේ ජීවන දැක්ම එය වන අතර, මුදල් බලාගෙන රාජකාරිය නොකොට තමා කරන දේට උපරිමයෙන් කැපවීම කළහොත් ඕනෑම කෙනෙකුට ජීවිතයේ නැගී සිටිය හැකි බව ඔහු සිහි ගන්වයි.  


නෙත්මිණි සහ රන්මිණි දියණියන් දෙදෙනා ව්‍යාපාර ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලබා සිටින අතර දෙව්මිණි අනෙක් දියණියයි. ඇය වෛද්‍යවරියකි. අතුලගේ බිරිය මේ දියණියන් තිදෙනා රැකබලාගෙන කටයුතු කිරීම නිසා ව්‍යාපාර ලෝකයේ නිර්මාණාත්මක දේ කිරීමට තමාට හැකිවී තිබෙන බව ඔහුගේ අදහසය.  


‘එදා අපේ අම්මා, අපිව බලාගෙන ගෙදර කටයුතු කරමින් ලොකු කැප කිරීමක් කළා. ඒ නිසා අපේ තාත්තාට ව්‍යාපාර ලෝකයේ නිර්මාණාත්මක යමක් කරන්න පුළුවන් වුණා. අපේ ආදරණීය අම්මා ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරන්නත් කැමතියි’.  


රනින් බැබලි ව්‍යාපාර ලෝකයේ ගමනක් යන අතුල එළියපුර කතාබහට සමුදුන්නේ එලෙසිනි.

 

 

 

සටහන - සඳුන් ගමගේ



අදහස් (0)

රන් ලොව රජ ගමනක් ආ හැටි කියන රාජා ජුවලර්ස් සභාපති අතුල එළියපුර

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3058 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1431 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site