අද සිවිල් ආරක්ෂක බළකායට බැඳී අලුත් ජීවිතයක

 

මෙරට දශක තුනක පමණ බිහිසුණු යුද්ධයකට මුහුණදී හෙම්බත්වුණු රටකි. අද ඒ යුද බිය නොමැත. එදා දෙපිලකට බෙදී යුදවැදුණු පිරිස් එකම අරමුණකින් රටේ දියුණුවට උරදී මේ රට ගොඩනැගිය යුතුය යන අරමුණින් කටයුතු කරන්නේ සියලු ප්‍රශ්නයන්ට විසඳුම් කාලයේ ඇවෑමෙන් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් එදා කොටි ත්‍රස්තවාදීන් ලෙස මෙරට ආරක්ෂක අංශවලට එරෙහිව යුද වැදුණු ඔවුන් අද සිවිල් ආරක්ෂක භටයින් ලෙස ආරක්ෂක අංශ සමගම රාජකාරී කරනු ලබන්නේ සැබෑ සංහිඳියාව යන්න කුමක්දැයි යන්න පිළිබඳව ලොවටම අවධාරණය කරමිනි. යුද්ධයේදී සැබෑවටම මානව හිමිකම් උල්ලංඝනය කළේ කවුරුන්ද, යුද්ධය පැවැති උතුරේ දරුවන්ගේ ඉරණම කෙබඳුද කොටි සංවිධානයේ සිටි සාමාජිකයින් ගෙවූ ජීවිතය කුමක්ද යන කරුණු වලින් බිඳකට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇත.   


හිටපු ​කොටි සාමාජිකයින් පිළිබඳව වත්මන් සිවිල් ආරක්ෂක නිලධාරීහු මෙසේ අදහස් දැක්වූහ.   


වර්මන් ගෝපිකා මහත්මිය: මම හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක්. මට ගොපි කියලා තමයි සංවිධානයෙන් කිවුවේ. මම කොටි සංවිධානයට බැඳෙන්නේ අවුරුදු 16 දී පමණ. ඒ අය හැම පවුලකින්ම එක් අයෙකුට සංවිධානයට බැඳෙන්න කියලා 2007 දී අණකළා. අපේ ගෙදරින් යන්න වුණේ මට. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. නමුත් මගේ වාසනාවටයි අද මම ජීවත් වෙන්නේ. අපි ඒ දවස්වල නොතේරනෙ ළමයි, අපට දවස් 14ක පුහුණුවක් දීලා අපිව හමුදාව එක්ක යුද්ධ කරන්න යැව්වා. අපිට ඒ කාලේ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මට පුදුමාතලන්වලදී තුවාල වුණා. ඒ තුවාල වුණේ බිම් බෝම්බ වලින්. ඒ නිසා මට හමුදාව එක්ක යුද්ධ කරන්න යන්න වුණේ නෑ. ඒ නිසා මම බේරුණා. නැත්නම් අද මට මොනවා වෙලාද කියලා මම වත් දන්නෑ. අනික් කාරණේ තුවාල වුණාම සංවිධානයෙන් අපිට නිසි ප්‍රතිකාර දුන්නේ නෑ. කොහොම හරි මට ලේ දෙන්න වෙලා දීලා තියෙන්නේ වැරැදි ලේ වර්ගයක්. ඒ නිසා මම අදත් දුක් විඳිනවා. යුද්දේ ඉවර වෙලා හමුදාවට භාර වෙනකොට අපට ජීවිතේ ගැන බලාපො​රොත්තුවක් තිබුණේ නෑ. එ්ත් වෙන විකල්පයක් අපිට තිබුණෙත් නෑ. අපි හිතුවේ හමුදාව අපිව මරයි කියලා. නමුත් ඒ අය මුලින්ම කළේ දින ගණනක් නිරහාරව හිටපු අපට කන්නදීමයි. ඊට පස්සේ අපි දැනගත්තා අපි වාසනාවන්තයි කියලා. ඒ අය අපව පුනුරුත්ථාපනය කළා. පස්සේ අපිව එයාලගේම කට්ටියක් කරගෙන අපට මේ අලුත් ජීවිත ලබාදුන්නා. දැන් අපි බැංකු ලෝන් එකක් අරගෙන බයිසිකලයක් අරන් ලස්සනට ජීවත්වෙනවා. මාසෙට හොඳ වැටුපක් ගන්නවා. ම​ගේ මහත්තයයි මමයි දෙන්නම සිවිල් ආරක්ෂක බළකායේ ඉන්නේ. අපි කොටි සංවිධානයේ ඉද්දී අපිට මේ දේවල් හීන වල වත් තිබුණේ නෑ. අපි හමුදාවට භාරවෙනකොට මට තිබුණේ මගේ ජීවිතේ විතරයි. මට හැමදේම අද ලැබිලා ගෙයක්. දොරක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්නේ සිවිල් ආරක්ෂක බළකායත් හමුදාවත් නිසා. අපිට අලුත් ජීවිත ලබාදුන්නු නිසා ඒ දෙවිවරුන්ට අපි පිං දෙන්නේ අවංකවමයි” යනුවෙන් කීවාය.   
මගේ නම ගනේෂ් නිරෝෂා. මට සංවිධානයෙන් කිවුවේ කවිප්‍රීයා කියලා. ඒ අය අපිට අන්වර්ථ නම් දාලා තිබුණා. මගේ ජීවිතේ දුක්ඛිතම කාලයක් තමයි ඒ ගෙවුණේ. මම කොටි සංවිධානයේ ආර්.පී.ජී. නායිකාවක් විදියට තමයි කටයුතු කළේ. මම විශ්වමඩුවල තමයි පදිංචිවෙලා හිටියේ. අවුරුදු 17 දී මම ඒ අය බඳවාගත්තේ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා හිටියේ. මල්ලී අරන් යයි කියලා තමයි මම එයාලට එකතුවුණේ. මම යුද්ධ කීපයකට මුහුණ දුන්නා. මම මුතියන්කට්ටුවල පුහුණු වුණා. පස්සේ මම පුදුකුඩිරිප්පු වල හමුදාවත් එක්ක ලොකු සටනකට මැදිවුණා. අපිට හිතාගන්න බැරි විදියට හමුදාව අපිට ගහන්න ගත්තා. මගේ බඩට එතනදී වෙඩි වැදුණා. මම රෙදි කෑල්ලක් බඩ බැඳගෙන එතන ඉදලා පස්සට බඩගෑවා. පස්සේ මාව මාන්චෝලෙයි තියාගෙන මට ප්‍රතිකාර දුන්නා. මට එහිදී වැරැදි ලේ වර්ගයක් දීලා දැන් මට අතුරු ආබාධ ඇති වෙලා තියෙන්නේ. මම සංවිධානයේ ඉන්න අතරේදීම මඩකළපුවේ අයෙක් විවාහකර ගත්තා. අපි ඒ කාලේ ගෙව්වේ ග්‍රෝතික ජීවිත. ඒ ගැන මම කථා කරන්න කැමති නෑ. කොහොම හරි මට වෙඩි වැදුනාට පස්සේ සංවිධානයේ අය මාව දාලා පැන්නා. මම මාංචෝලෙයි ආවට පස්සේ දැනගත්තේ අම්මලා මම මැරුණා කියලා. සියලු චාරිත්‍ර කරලා වවුනියාවේ ගිහින් හමුදා පාලන ප්‍රදේශවල කියලා ඒ වෙනකොට මාංචෝලේයි වලටත් හමුදාව දිගට හරහට ගහන්න පටන් ගත්තා. එතනදී මම විතරයි බේරුණේ. අනික් අපේ සංවිධානයේ කට්ටියෙ සෑහෙන්න මැරුණා. මම හමුදාවට භාරවුණා. ඒ අය ඉක්මනින් මාව ප්‍රතිකාරවලට යැව්වා. මම හිතුවේ එතනම මාව වෙඩි තියලා මරලා දායි කියලා. මට ඒ වෙලාව හීනයක් වාගේ. ඒ අය අප් කට්ටිය මං ගැන දක්වපු උනන්දුවට වැඩිය උනන්දුවක් දැක්වුවා. පස්සේ මම ප්‍රතිකාර අරන් පුනුරුත්ථාපනය වුණා. මම අවුරුදු ගාණක් එක්තැන් වුණා. රෝද පුටුවෙ තමයි හිටියේ. ඒ කාලයේ මගේ ස්වාමියා මාව දාලා යන්න ගියා. පස්සේ මට ටික ටික සනීප වුණා. මම සිවිල් ආරක්ෂක බළකායට බැඳුණා. දැන් මම එහි වසර ගණනාවක් සේවය කරනවා. මගේ දරුවාට හොඳට උගන්වනවා. ඒ වගේම මගේ මව්පියන් බලා ගන්නවා. මම මේ වගේ සුන්දර ජීවිතයක් බලාපොරොත්තු වුණේ නෑ.   

 


කනපතිපිල්ලෙයි තවරාසා: මම කොටි සංවිධානයට එකතුවුණේ අවුරුදු 14දී. මට නාමයක් දීලා තිබුණා. භාරතිරාජ් කියල. මම කොටි සංවිධානයට බැඳුණේ 1991 වසරේ. එතකොට මට අවුරුදු 14යි. ඒ කාලේ අපි වාගේ ළමයි සෑහෙන්න සංවිධානයේ හිටියා. දැන්නම් මගේ වයස අවුරුදු 42ක් වෙනවා. මට යුද්ධය ගැන හොඳටම අත්දැකීම් තියෙනවා. හමුදාව එක්ක ඇතිවුණ ගැටුම් රාශියකට මම සම්බන්ධ වුණා. මට හරියටම ගණන මේච්චරක් කියලා කියන්න බෑ. අට වතාවක් තුවාල වුණා. මම මුහුණ දුන්න භයානකම අත්දැකීම ජයසිකුරු මෙහෙයුමේ ඒ ආව හමුදා ඛණ්ඩය කවුද කියන්න මම දන්නේ නෑ. ඒ අයට අපිට විනාඩි 10ක් වත් මුහුණ දෙන්න බැරිවුණා. අපි බේරුණ අය පැන ගත්තා. අපේ සගයන්ගේ මිනීත් දාලා අපිට යන්න වුණා. ඊට පස්සේ මම මුහුණ දුන්න සටන් වලින් අති බිහිසුණුම එක වන්නි මෙහෙයුම. ඒ සටනෙදී නම් මට ජීවිතය ගැන විශ්වාසයක් තිබුණේ නෑ. ඇත්තම කියනවා නම් මෙහෙයුමේ ආව හමුදාවට මුහුණ දෙන්න තියා අපිට නැගිටින්න වත් අවස්ථාවක් හම්බවුණේ නෑ. අපේ පහළ මට්ටමේ හිටපු නායකයෝත් හිටියේ හරිම බයෙන්. අපි හැම කෙනාම නොහිතපු විදියට හමුදාව ගහන්න පටන්ගත්තා. මම අවසානේ දක්වාම සටන් කළා. බේරෙන්න බැරිවෙයි කියලා හිතුවේ. කොහොම හරි මුල්ලිවයික්කාල් වලදී මට තුවාල වුණා. මම හමුදාවට හම්බ වෙනකොට මට හොඳටම තුවාල. සිංහල වචන ඇහෙනකොට මම මගේ ජීවිතේ ගැන බලාපොරොත්තු අතහැර ගත්තා. මට සයිනයිඩ් කරලක් තිබුණනම් කන්න තරම් හිතුණා. මම හිතපු දේ හාත්පසින්ම වෙනස්. මම හිතුවේ ඔළුවට වෙඩි වරුසාවක් වදී කියලා. නමුත් ඒ ළමයා මට වතුර දුන්නා. ඊට පස්සේ මාව යුධ හමුදා කරපිටින් රෝහලට අරන් ගියා. මම කල්පනා කළේ මොකක්ද වෙන්නේ කියලා. එහිදී මට ප්‍රතිකාර කළා. පස්සේ පුනුරුත්ථාපනය කරලා අපිට ජීවත්වෙන්න මේ රස්සාව දුන්නා. මමයි, බිරිඳයි ඉන්නේ. මට ලොකු අධ්‍යාපනයක් නෑ. නමුත් අපි වගේ තවත් රැකියා නැතුව ජීවිතේ කාලකන්නි වුණ අය ඉන්නවා. කවුරුත් ඒ අය ගැන බලන්නේ නෑ. පූරුවේ වාසනාවකට හමුදාවට අහු වුණ නිසා අද මෙහෙම යහතින් ජීවත්වෙනවා.   


ඉහතින් දැක්වූ සියලුම දෙනා ළමා කාලයේ කොටි සංවිධානයට බලෙන් බඳවාගත් අයයි. එසේ නම් කොටින්ගේ මානව හිමිකම් පිළිබඳ විමසන සංවිධාන හෝ පුද්ගලයින් මොවුන්ගේ මානව අයිතීන් ගැන පවසන්නේ කුමක්ද යන්න විමසිය යුතුම පැනයකි. මොවුන්ගේ කුඩා කල ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය ත්‍රස්තවාදීන් උදුරාගෙන ඇත. මෙසේ දරුවන් කොතරම් නම් තම ම්ලේච්ඡ අරමුණ වෙනුවෙන් කොටින් විසින් බිලි දෙන්නට ඇත්ද. මෙසේ අදහස් දැක්වූවන් ගිනි අවිය අත දැරුවේ කුඩා දරුවන්ව සිටි අවදියේදී බව ඔවුහු පවසති. ඒ අනුව එම දරුවන්ට මව් පිය සෙනෙහස හෝ විඳීමට ඉඩ නොදුන් කොටින් විනාශ වීම පිළිබඳ කඳුළු සලන්නන් සේම කොටි දමිළ ජනතාවට ආරක්ෂාව සැපයූ බව පවසන උතුරේ දේශපාලනඥයින් මොවුන්ගේ ප්‍රකාශ හමුවේ පවසන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසිය යුතු නොවේද. හය හතර නොදත් දරුවන්ට තුවක්කු දී සටන් බිමට යැවූ පසු ඔවුන් වත් නොදැනීම කෙතරම් පිරිසක් මැරී මේ පොළවට වැටෙන්නට ඇද්ද ඔවුන්ගේ මව්පියන් අදටද ඇතැම් විට ඔවුන් එතැයි සිතා අතුරුදන් වූවන්ගේ සත්‍යග්‍රහවල,උද්ඝෝෂණවල කාලය කා දමමින් සිටිනවා විය හැක.   

 

 


සටහන හා ඡායාරූප   
යාපනය ප්‍රදීප් කුමාර