IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මගේ පුතා දිවි පුදා ජීවිතය රැකදුන් ගෝඨාභය මහත්තයා ජනපති වීම ගැන මට සතුටුයි

දිවි පිදූ රණවිරුවාගේ මව කියන කතාව

දිවිපුදා වසර 13යි

 

මව තම රණවිරු පුතාගේ ඡායාරූපය සමග

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී අදින් වසර දහතුනකට ඉහතදී (2006.12.01) ඔහු ඉලක්ක කරගෙන කොල්ලුපිටිය පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ දිවි ගැලවුණේ ජාතියේ වාසනාවටය.   


එදින ඔහු ගමන් ගත් නිල රථයට ආරක්ෂාව සපයමින් ගමන් ගත් රණවිරුවන් දෙදෙනකු දැයට අහිමි විය. දිවි පිදූ එක් රණවිරුවකු නෙළුව වාරුකන්දෙණිය ගම්මානයේ උපන් මාදුගැටකුමාරගේ පියසිරි (පෙ/456199) රණවිරුවාය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 3 වැනි ගජබා රෙජිමේන්තුවේ ක්‍රෝප්‍රල්වරයෙකු ලෙස සේවයේ යෙදෙමින් සිටියදී රට දැය වෙනුවෙන් දිවි පුද කළේය.   


දිවි පිදූ රණවිරු පියසිරි මහතා සහ ඔහුගේ මව ඇතුළු පවුලේ අය නෙළුව වාරුකන්දෙණිය දුෂ්කර ගම්මානයේ ජීවත් වූහ. ඒ කාලය තුළ පවුලේ අයට ජීවත් වීමට හරි හැටි නිවසක් නොමැති වූ බැවින්, දිවි පිදූ රණවිරුවා වෙනුවෙන් එදා ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ පවුලේ උදවියට නෙළුව බටුවංගල පාසල් මාවත ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩම් කොටසක නව නිවසක් ඉදි කර දුන්නේය.   
අද එම නිවසේ සිටිනුයේ රණවිරුවාගේ මව වන මාදුගැටකුමාරගේ ලීලාවතී මහත්මියයි. හැට හය වියේ පසු වන දැය තම රණවිරු පුතා අහිමිව හරියටම අද දිනට වසර (2019.12.01) දහතුනක් ගත වන අද දිනයේ තම පුතුගේ අහිමි වීම ගැන දුක්වන අතරම පුතුගේ දිවි පිදුමෙන් ජීවිතය රැක ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවීම ගැන සතුටු වන බවද ඇය පවසන්නීය.   

 

රණවිරු කෝප්‍රල් පියසිරි,හමුදාවෙන් ලබා දුන් මරණ සහතිකය

 


මේ පිළිබඳව තොරතුරු සොයා අපි එම්.කේ. ලීලාවති (66) මහත්මිය ජීවත් වෙන නිවස සොයා ගියෙමු. නෙළුව නගරයේ සිට කි.මී. 2 ක් පමණ ගිය තැන හමුවන බටුවංගල පුරාණ විහාරස්ථානය අසලින් වමට හැරෙන බටුවංගල පාසල් මාවතේ මීටර් 500 පමණ වූ දුර ගිය විට හමුවන බටුවංගල ග්‍රාම නිලධාරී නිල සෙවණ කාර්යාලය අසල එම නිවස පිහිටියේය.   
රණවිරු කෝප්‍රල් එම්.කේ. පියසිරි මහතාගේ උපන් ගම නෙළුව වාරුකන්දෙණිය ගම්මානයයි. සිංහරාජ වනපෙතට මැදිව පිහිටි ගම්මානයට පහලින් ගිං ගඟ ගලා බසී. සිංහරාජ වනපෙත ද ගිං ගඟේ පහස ලබමින් ජීවත් වන ගම්වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල් පැණි හකුරු කර්මාන්තයයි. තේ වගාවට හිමි වනුයේ දෙවැනි තැනය.   
ගමේ පරිසරයෙන්ම ලැබෙන ආශිර්වාදයත් සමගම ඔවුනට ආවේණික ජීවන රටාවක ජීවත් වූ මේ ගම් වැසියෝ ජව සම්පන්න බවින් පිරුණු වූවෝද වූහ. එම ජව සම්පන්න බවද රණවිරු කෝප්‍රල් පියසිරිට උරුම වී තිබුණි. වර්ෂ 1975 ජනවාරි මස 29 වැනි දින වාරුකන්දෙණිය ගම්මානයේ උපත ලද ඔහු නෙළුව බටුවංගල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා 1993.07.24 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය සේවයට බැඳුණි ඔහු යුද හමුදාව තුළ පෑ දස්කම් විස්කම් හේතුවෙන් උසස් නිල තල දක්වා කෙටි කාලයක් තුළදී යෑමට හැකි විය.   
තම සේවා කාලය තුළ උතුරු නැගෙනහිර යුද බිමේදී සටන්කාමී රණශූරයකු වූ කෝප්‍රල් පියසිරි 50 වැනි යුද හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම සහ දේශයේ 50 වැනි සමරු පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, පූර්ණභූමි පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලැබීමට සමත් වූ රණවිරුවකු විය. මීට අමතරව යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිදු කළ ඉදිරි පිම්ම “රිවිරැස” ‘‘සත්ජය’’ යන මෙහෙයුම් වලදී දස්කම් පෑ රණවිරුවකු විය. ඔහු දැක් වූ දස්කම් විස්කම් මැනවින් වටහා ගත් එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කර සිටියදී 2006.12.01 දින කොල්ලුපිටිය පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන ත්‍රස්ත බෝම්බකරුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දැයෙන් සමු ගන්නට සිදු විය.   

 

මිය ගිය රණවිරු පියසිරි මහතාගේ දේහය 

 


ප්‍රහාරය සිදු වී හරියටම අදට (2019.12.01 දිනට) වසර 13 ක් ගත වන දිනයදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත්ව ඇත. එදා තම පුතා දිවි පුදා ජීවිතය රැක දුන් ගෝඨාභය මහතා ජනපති වීම පිළිබඳව රණවිරු කෝප්‍රල් එම්.කේ. පියසිරි මහතාගේ මව වන එම්.කේ. ලීලාවතී මහත්මිය අප සමග මෙසේ පැවැසුවාය.   
මිය ගිය රණවිරු පුතා පවුලේ දෙවැනි පුතා. මට දරුවන් හය දෙනයි. දුවලා දෙන්නයි. පුතාලා හතරයි. හමුදාවට බැඳුණු පුතා හරිම එඩිතරයි. ගමේ සිටියදී ඔහු ගමේ අය සමග මිතුදමින් සිටියා. එයා හමුදාවට බැඳුණු පසු දක්වපු දස්කම් නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟට සේවයට බැඳුණා. ඒ දවස් වල රටේ ආරක්ෂක තත්ත්වය ගැන එතරම් හොඳ වාතාවරණයක් නොමැති නිසා එයා ගෝඨාභය මහත්තයා ළඟ වැඩ කරන බව ගමේ කාටවත් කියන්න එපා කියලා ගෙදරට පණිවුඩයක් එවලා තිබුණා. 2006.12.01 දින පුතා ගෝඨාභය මහත්තයා සමග ගමන් ගනිද්දී බෝම්බ ප්‍රහාරයකින් මිය ගියා. මගේ පුතා හමුදා ආචාරය මැද ගෞරව දක්වලා අවසන් කටයුතු සිදු කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා, බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය පුතාගේ දේහයට අවසන් ගෞරවය දක්වන්න අපේ ගෙදරට ආවා. මෙහිදී අපේ ගෙය දෙස බලලා කිව්වා පුතා වෙනුවෙන් අම්මලාට නිවසක් ඉදි කරලා දෙනවා කියලා. ඒ පොරොන්දු වූ පරිදි අවුරුද්දක් ඇතුළත නිවසක් ඉදි කර දුන්නා. මේ නිවස අපට භාර දෙන්න අයෝමා රාජපක්ෂ නෝනා ඇවිත් අපට නිවස ලබා දුන්නා. මම අද ඉන්නේ ඒ නිවසේ.   


ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අද අප රටේ ජනාධිපති. මට හරි සතුටුයි එතුමා ජනාධිපති වීම ගැන. ගෝඨාභය මහත්තයා ජනාධිපති වූ දින ගමේ උදවියට අපේ ගෙදර ඇවිත් කිව්වා ගෝඨාභය මහත්තයා ජනාධිපති වීම ගැන අම්මාටත් ආඩම්බරයක් කියලා. මගේ පුතාගේ දිවි අහිමි වීම ගැන මට දුකක් තිබෙනවා. මගේ පුතා දිවි පරිත්‍යාග කර බේරාගත් මහත්තයා අද ජනාධිපති වීම ගැන මට සතුටක් දැනෙනවා. අැය අප හා පැවසුවාය.   


තව මගේ දුවක් සිටිනවා. අ.පො.ස (උ.පෙළ) විභාගය සමත් වෙලා. ඇය 2009 වසරේ තමයි විභාගයට පෙනී සිටියේ. රැකියාවක් නොමැතිව ගෙදරට වී සිටිනවා. ඇය විවාහකයි. ඇයගේ සුදුසුකම් අනුව රැකියාවක් ලබා දෙනවා නම් හොඳයි කියා මම ඉල්ලා සිටිනවා.

 

රණවිරුවා වෙනුවෙන් ඉදි කර දුන් නිවස

 

 

නෙළුව පියරත්න ජයවික්‍රම



අදහස් (2)

මගේ පුතා දිවි පුදා ජීවිතය රැකදුන් ගෝඨාභය මහත්තයා ජනපති වීම ගැන මට සතුටුයි

එරන්ද Sunday, 08 December 2019 07:23 AM

මෙවන් වීර පුතුන් රැක දුන් වීර නායකයන් ලක් මවට වාසනාවන්. මෙවැන් පුතුන්,මෙවන් නායකයන් තව තවත් පහළ වේවා !

:       3       306

Wijedasa Wednesday, 11 December 2019 01:55 AM

ඔබ වීරයෙක්. අද පෝය දිනයේ ඔබට හිස නමනවා. නැවත ඔබ ඔබේ අම්මාගේම දරුවෙක් වේවා !

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site