IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බඩගින්නේ මියයන මීගමුව කාක දූපතේ සත්තු

 

සංචාරක ක්‍ෂේත්‍රයෙන් ඩොලර් උපයන කෝටිපති සංචාරක ව්‍යාපාරිකයකු විසින් මීගමුව කළපුවේ දූපත්වල ශ්‍රී ලංකාවට ආවේණික වූ වන සතුන් සිටින බවට විදේශ සංචාරකයන්ට පෙන්වා ඔවුන්ගේ සිත් සතන් කුල්මත් කර තම ඩොලර් මඩිය තර කරගැනීම සඳහා සිදු කළ අමානුෂික ප්‍රයත්නයක් හේතුවෙන් එම දූපතක කොටු වී සිටින රිළවුන් රංචු පිටින් කුසට අහර නොමැතිව එම දූපත තුළම නිරාහාරව දුක්ඛිතව දිනෙන් දින අවාසනාවන්ත ලෙස මිය යාමේ ශෝචනීය සිද්ධියක් මීගමු කළපුවේ කාක දූපතේදී දැකගත හැකි විය.   


මීගමුව කළපුවේ කාක දූපතට මඳක් නොදුරින් පදිංචිව සිටින මීගමුව මුන්නක්කරය පාරම්පරික ධීවර කාර්මිකයන් විසින් මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව පවසන්නේ දූපතේ වන සතුන්ට මෙම අභාග්‍ය සම්පන්න කාලය උදා වී ඇත්තේ අදාළ කෝටිපති ව්‍යාපාරිකයා 1997 වසරේ සංචාරක ව්‍යාපාරය සඳහා මීගමු කළපුවට පැමිණීමත් සමගය. එහිදී එම ව්‍යාපාරිකයා මීගමු කළපුවේ පිහිටි සංචාරක හෝටලයක් සමග දැඩි ලෙස සම්බන්ධ වී මීගමු කළපුවේ සංචාරක ව්‍යාපාරයට පිවිස ඇත. 


ඔහු විසින් විදේශ සංචාරකයන් සඳහා මීගමු කළපුවේ සිරි නැරැඹීමට බෝට්ටු සංචාරයක් ද අරඹා ඇත. එම බෝට්ටු සංචාරයේදී සංචාරකයන්ගේ ආකර්ෂණය ඇද ගැනීම සඳහා මීගමු කළපුවේ එම සංචාරක හෝටලයට මඳක් ඈතින් වූ කාක දූපතට සහ තවත් දූපත් කිහිපයකට අනුරාධපුර ප්‍රදේශයේ සිට කූඩුවල සිර කළ රිළවුන් සහ මොනරුන් ගෙනැවිත් දැමූ බව එම දූපතට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පදිංචි මීගමුව මුන්නක්කරය ධීවර ගම්මානයේ ධීවර කාර්මිකයෝ පවසති. එම දූපත්වලට දැමූ මොනරුන් පියඹා යා නොහැකි තත්ත්වයට පත්ව තිබූ බවත් ධීවර කාර්මිකයෝ වැඩිදුරටත් පවසති. මෙම දූපතට රිළවුන් ගෙන එද්දී ගැහැනු රිළවුන් වැඩි වශයෙන් ගෙනැවිත් දැමූ බව තවදුරටත් දැනගන්නට ඇත.   


එම කාක දූපතේ රිළවුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි විය. එම දූපත තුළ ඇත්තේ කඩොල් ශාක පමණකි. රිළවුන්ගේ කුසගිනි නිවීමට කිසිවක් නොමැත. රිළවුන් කළපුවේ කිවුල් වතුර පානය නොකිරීම නිසා පිපාසයට දිය බිඳක් නැතිව දිගු කලක් පිපාසිතව සිටීමට සිදු විය. 


මේ වනවිට කාක දූපත අදාළ ව්‍යාපාරිකයා විසින් ‘මන්කි අයිලන්ඩ්’ ලෙස නම් කර ඇත. මෙම තත්ත්වය පිළිබඳව මහජනයාගෙන් මෙන්ම ධීවර කාර්මිකයන්ගෙන් ද අදාළ ව්‍යාපාරිකයාට දැක්වූ දැඩි අප්‍රසාදය නිසා පසුව එම සංචාරක ව්‍යාපාරිකයා විසින් මීගමුවේ ඉරිදා සහ බදාදා සති පොළොන් ඉවතලන එළවළු පලතුරු ආදිය සතියකට දෙවරක් බෝට්ටු මගින් රැගෙනවිත් කාක දූපතට දැමීම සිදු කරන ලදී.
කොවිඩ් උවදුර පැතිර යාම ආරම්භයත් සමග මීගමු කළපුවේ සංචාරය සඳහා විදේශ සංචාරකයන් පැමිණීම නතර වී ඇත. ඒ සමග කළපුවේ සංචාරක හෝටලයට විදේශිකයන් පැමිණීම ද නතර වී තිබේ.   
ඒ අනුව සංචාරක හෝටලයේ සේවක පිරිස් හෝටලය වසා පිටත්ව ගිය අතර විදේශ සංචාරකයන් වෙනුවෙන් පැවැත්වූ බෝට්ටු සවාරිය ද නතර වී ඇත. මේ අතර සංචාරක ව්‍යාපාරිකයා ද මීගමුවෙන් බැහැරව ගොස් ඇත. ඒ සමග කාක දූපතේ සිටි රිළා රංචුව කුසගින්නෙන් පෙළීම ආරම්භ වී ඇත. ඒ වනවිට පියෑඹිය හැකි තත්ත්වයට පත්ව සිටි මොනරුන් ආහාර සොයා කාක දූපතට නොදුරින් පිහිටි ධීවර ගම්මාන කරා පියඹා ගොස් ඇත. එම මොනරුන් ධීවර ගම්මානවල නිවෙස්වල මිදුල්වල කෑම සොයා යන අයුරු සුලබ දසුනක් බවට පත්ව ඇත.


මේ අතර එම කාක දූපත අසලට ගිය සුළු පන්න ධීවර කාර්මිකයකු රිළවුන් කුසගින්නේ නිරාහාරව මැරී වැටෙනු දැක කම්පාවට පත්ව වහා ගොඩබිමට පැමිණ ඒ බව තම සහෝදර ධීවර කාර්මිකයන්ට දන්වා ඇත.   
කොවිඩ් සමයේදී කොතෙක් අගහිඟකම් තිබුණත් මුන්නක්කරයේ සුළු පන්න ධීවර කාර්මිකයන් විසින් තමන්ට හැකි අන්දමින් ඔරුවලින් කෑම රැගෙන ගොස් සාගින්නේ පසුවන රිළවුන්ට ලබාදීමත්, කිවුල් වතුර නොවන පිරිසුදු පානීය ජලය රිළවුන්ට ලබාදීමටත් පටන්ගෙන ඇත.


මේ පිළිබඳ වරින් වර වනජීවී දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්න ද ඔවුනට ‘වෙනත් වැඩ තියෙනවා’ යැයි පවසමින් ප්‍රශ්නය මඟහැර යන බවත් මුන්නක්කරය ධීවර ගම්මානයේ පදිංචි පාරම්පරික ධීවරයන් වන සිරිමල් පින්තු සහ කුමාර ජයවීර යන මහත්වරු ලංකාදීපයට පැවැසූහ.   


මෙම සිද්ධිය පිළිබඳ මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවැසුවේ එම කළපු දූපත් තම බලප්‍රදේශයට අයත් නොවන බවත් ඒ පිළිබඳ වගකීමක් ඇත්තේ මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බවත්ය.  


මේ පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ කාක දූපතේ මෙවැනි සිද්ධියක් ඇති වී තිබෙන බව ඇය නොදන්නා බවය. 


මෙම තත්ත්වය පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ මෙය සත්ව හිංසා සිදුකරමින් කරනු ලබන අමානුෂික ක්‍ර්‍රියාවක් බවත් මේ පිළිබඳව කිසිවකු තමාට පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් සිද්ධියට අදාළව විමර්ශන පවත්වා ඊට අදාළ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන බවත් පැවැසීය.

 

 

ඡායාරූප සහ සටහන : 
මීගමුව අධිකරණ - ඩබ්ලිව්. කීර්ති



අදහස් (3)

බඩගින්නේ මියයන මීගමුව කාක දූපතේ සත්තු

nilu Saturday, 21 November 2020 12:12 PM

පව් අහිංසක සත්තු.... කොච්චර අසරණද? කෑම බීම තියෙන තැනකට ගෙනත් දැම්ම නම් උන් කොහොම හරි ජීවත් වෙයි.

:       1       7

Nishshanka Sunday, 29 November 2020 07:14 AM

මිනිස් වෙස් ගත් තිරිසනුන් නිසා ඇත්තටම පව් අහිංසක තිරිසන් සත්තු කවුරුන් හෝ බලධාරීන් මේ දෙස නෙත් යොමු කෙරෙත්වා.!

:       0       1

Nishshanka Sunday, 29 November 2020 07:16 AM

තිරිසන්නු ගෙන් අහිංසක සතුන් රැක ගනිත්වා.!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site