ස්ථාවර ආණ්ඩු පිහිටුවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයෙන් සුපෝෂිත රටක් පිළිබඳව බොහෝ කලක සිට අප බොහෝ අපේක්ෂා සපුරන්නෙමු. නව අගමැතිවරයෙක් හිටි අඩියේ පත්වීම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා එළඹි තීරණය යනාදිය ඔස්සේ මේ වෙන විට රට තුළ ඇතිව තිබෙන දේශපාලන වටපිටාව පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා දැක්වූ අදහස් මෙසේය.   


‘දවසින් දවස ඉතාම ශීඝ්‍රයෙන් වෙනස්වන දේශපාලන වාතාවරණයක් තුළ දේශපාලන විග්‍රහයක් සිදුකිරීමට තරම්වත් අසීරු තත්ත්වයක් මේ වන විට පෙන්නුම් කෙරෙනවා. ඒ කෙසේ වෙතත් ඉකුත් දින කිහිපය පිළිබඳව සලකා බැලීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් එතෙක් පැවැති දේශපාලන ව්‍යාකූලතාව යම් මට්ටමකට පහව යමින් තිබෙනවා. නමුත් අද වන විට රටේ විධායකය හා ව්‍යවස්ථාද‌ායකය අතර පවතින ගැටලුව ඉතා තදින්ම උත්සන්න වෙමින් පවතිනවා. විධායකය, ව්‍යවස්ථාද‌ායකය අතර මෙකී ගැටුමෙන් තියුණු බල අරගලයක් පෙන්නුම් කෙරෙනවා. මෙහිදී බල කඳවුරු දෙකක් වශයෙන් එය ගොනු වී තිබෙනවා. එහි එක් පසෙක වත්මන් ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් සිටින අතර අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සිටින බව පෙනී යනවා. දෙපාර්ශ්වය අතරේ ගැටුම උත්සන්න කරවන සාධක ද මතු වී පෙනෙනවා. එමෙන්ම මෙම ගැටළුවට ඉක්මන් විසඳුමක් සෙවිය හැකි බවක් පෙන්නුම් කරන්නේ නැහැ. රාජ්‍ය බලය ලබා ගැනීම මෙම බල අරගලයේ ප්‍රධාන සාධකය වී තිබෙනවා.   
මෙයට දින කිහිපයකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අද‌ාළ අවසන් තීන්දුව දෙසැම්බර් හත්වැනිද‌ා ලැබේ යැයි අප විශ්වාස කරනවා. බල අරගලය කුමන දිශාවට හැරේවිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත තීරණය වේවි. රටේ දේශපාලන ස්ථාවරභාවයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට මෙන්ම උද්ගතව ඇති අතිශය දරුණු ආර්ථික අර්බුදයටත් මෙම බල අරගලය හේතු වී තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය මේ වන විට අවධානයෙන් ගිලිහී යමින් පවතිනවා. බල අරගලයට මැදිහත්ව සිටින පාර්ශ්ව දෙකෙන් එකක්වත් රටට ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ඇතිවන ඵල විපාක පිළිබඳවත් රටේ ජනතාවට අත්විය හැකි නරක ප්‍රතිඵල පිළිබඳවත් විමසන බවක් පෙනී යන්නේ නැහැ. ආර්ථික අර්බුදය පාලනය කිරීමට දේශපාලන ස්ථාවර භාවයක් අවශ්‍යයි. මහ බැංකු අධිපතිතුමන් ද අවස්ථා කිහිපයකදී මේ පිළිබඳ අනතුරු අඟවා තිබුණා. දේශපාලන ස්ථාවර භාවය නොමැති රටක ආර්ථික අර්බුද උත්සන්න වීමත් ආර්ථික අර්බුද උත්සන්න වීමෙන් දේශපාලනය අස්ථාවර වීමත් නිතැතින්ම සිදුවෙනවා.   


මෙකී දේශපාලන අර්බුද හේතුවෙන් ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව තිබෙනවා. රටේ දේශපාලන නායකයන් රට ගැන මෙයට වඩා සිතා බැලිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව නොතකා එහි විධිවිධාන උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අනුගමනයට රටේ නායකයන් පෙළඹී තිබෙනවා. ර​ෙට් ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටීමට ද මෙම තත්ත්වය හේතු වී තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වය විසඳීමට දේශපාලන නායකයන් සියලු දෙනා අඩියක් දෙකක් ආපස්සට ගෙන තමන් කරන ක්‍රියාවලියන්ගේ ප්‍රතිඵල ප්‍රතිවිපාක ගැන විමසා බැලිය යුතුයි. මෙම දේශපාලන අර්බුදයට මැදිවී තිබෙන සිව්දෙනා පිළිබඳව සැලකුව හොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා කථානායක කරු ජයසූරිය යන සිව්දෙනාම ලංකාවේ ජ්‍යෙෂ්ඨතම හා අත්දැකීම් බහුල අය බව හඳුනාගත හැකියි. එවැනි දේශපාලන නායකයන්​ෙග් නම් ලැයිස්තුවක් සකස් කළහොත් එහි කියැවෙන මුල්ම නම් හතරට ඉහත කී සිව්දෙනා අයත් වෙනවා. ලංකාවේ රාජ්‍ය ව්‍යහුය තුළ ද වඩාත් බලසම්පන්න සිව් දෙනාද ඔවුන් බව පැහැදිලියි. මෙම නායකයන් සිව්දෙනා දිගින් දිගටම ගැටුම් පවත්වාගෙන යනවා නම් රට අස්ථාවර වීම නැවැත්විය හැකි වෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් වෙනවා.   


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු විධිවිධාන අනුව සියලු දෙනා කටයුතු කළ යුතු වෙනවා. අවස්ථාවාදීව කටයුතු කරන දේශපාලන අවශ්‍යතා මත කටයුතු කරන නීති උපදේශකයන්ගේ වැරදි උපදෙස්වලට නොරැවටී ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ඉතාමත් පැහැදිලි විධිවිධාන අනුව ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. වැරදි උපදෙස්වලට නොරැවටී ව්‍යවස්ථාවේ විධිවිධාන පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම ජනාධිපතිගෙන් සිදුවිය යුතුයි. ව්‍යවස්ථාව පිළිබඳව යම් සැකසහිත තත්ත්වයක් තිබේ නම් කළ යුත්තේ ගොඩ පෙරකදෝරුවන්ගේ නීති උපදෙස් නොගෙන ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදහස් විමසා බැලීමයි. ව්‍යවස්ථාවට අනුව ආ.ක්‍ර. ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුවක් තිබේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතීමේ අයිතියක් ජනාධිපතිවරයාට පැවරෙනවා. තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට පෙර (පාර්ලිමේන්තුව විසුරුවා හැරීම) එවැනි තීන්දුවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු විමසීම සිදුවිය යුතුයි. සෑම දේශපාලන නායකයෙක්ම තමාට පැවරෙන බලතල හිතුමතේ භාවිතා කිරීම වෙනුවට ව්‍යවස්ථානුකූලව, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන ලෙස නීතියේ ආධිපත්‍යයට හිමි සීමාව යටතේ කටයුතු කළ යුතුයි. එමෙන්ම මෙම දේශපාලන ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයම ඒකපාර්ශ්වීය ජයග්‍රහණයක් ලබා ගත නොහැකිය යන්න විශ්වාස කළ යුතු වෙනවා. ඒක පාර්ශ්වීය ජයග්‍රහණයක් මෙම ගැටලුවට අද‌ාළව කිසිවෙක්ට ලැබිය හැකිවන්නේ නැහැ.   


 අප ලබා ඇති අධ්‍යාපනය හා අවබෝධය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඒ පිළිබඳව මේ වෙන විට විමසුමක් සිදුවෙනවා. එයින් ලැබෙන තීන්දුව අනුව ඉදිරියේදී මහ මැතිවරණයක් පැවැත්වේවි ද නැද්ද යන්න තීරණය වේවි.   
 ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ ගැටලුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් අදහස් විමසීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වුණා. නමුත් පවතින දේශපාලන ගැටලුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතීමට ඔහු කටයුතු කළේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ අදහස් විමසා තීන්දු ගැනීම සිදුකළා නම් මෙබඳු ගැටලු මතු නොවන්නට ඉඩ තිබුණා.   
 රටක පුරවැසියන්ට සීමිත අයිතියක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීම සඳහා පැවරී තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව පෙත්සම් දොළහක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණේ ද ඉහත තත්ත්වය මත පදනම් කොටගෙන බව අපට හඳුනාගත හැකි වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමඟ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසා එම පෙත්සම් ඉදිරිපත් වී තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමට පුරවැසියාට අවස්ථාව ලැබෙන්නේ අද‌ාළ කාර්යය සිදුවූවාට පසුවයි. නමුත් ඒ වෙද්දී එහි අහිතකර බලපෑම ඔවුන් වෙත එල්ල වී හමාරයි. ජනාධිපතිවරයාට එම සිදුවීමට පෙර අදහස් විමසීමට බලය තිබෙනවා. එසේ වූවා නම් මෙම ගැටලුවට වෙනත් විසඳුමක් සොයා ගන්නට ඉඩ තිබුණා.  


 දේශපාලන ව්‍යාකූලතා අතරේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම් සිදුවෙනවා. මේ තත්ත්වය ආරම්භ වූයේ ශ්‍රීලනි පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඒ.ජා. පක්ෂයට ගොස් ඇතිවූ තත්ත්වයත් සමගයි. සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරුව සිටි සමයේ මෙයට නීතිමය අවකාශ විවෘත කරදෙනු ලැබුවා. මෙම තත්ත්වයට හිටපු අගවිනිසුරුවරයා වගකිව යුතුයි. හැත්තෑඅට ව්‍යවස්ථාවේ පක්ෂ මාරුකිරීම තහනම් බව සඳහන් කොට තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේ ශ්‍රීලනිප පක්ෂයට එක්වූවා. එවිට එජා පක්ෂය ඔවුන්​ෙග් මන්ත්‍රීධුරය අහෝසි කොට යම් ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවා. ඒ අනුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා මෙකී පිරිසේ මන්ත්‍රීධුර අහෝසි කිරීමට විරුද්ධව තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවා. මේ හේතුව නිසා අදටත් පිරිස් බලය පිණිස පක්ෂ මාරු කිරීම සිදුවෙනවා.  
 රටේ ජනතා පරමාධිපත්‍ය සුරැකීම මේ මොහොතේ තම වගකීම ලෙස සලකා නායකයන් කටයුතු කළ යුතුයි.

 

 

සටහන - සමන්තිකා මාධවී