​කොරෝනා සුවකරන්න ‘යක්ෂයාගේ අසූචි’ මේ කතා කරන්නේ පෙරුම්කායම් ගැනයි


 

ලෝකයේ ගඳම කුළුබඩුව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ (Asafoetida) ඇස්ෆිටීඩා යනුවෙනි. ඇසෆිටීඩා හොඳම කුළුබඩුව ලෙස ලෝකයේම පිළිගෙන තිබේ. මේ වචනය සෑදී ඇත්තේ පර්සි භාෂාවෙන් (Asafoe tide) (මැලියම්) යන්නත්, ලතින් භාෂාවෙන් ASA පිටීඩා (ගඳ) යන්නත් එකතු වීමෙනි.  


 මේ ගඳ මැලියම් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ හින්ගු (Hingu) යනුවෙනි. තුර්කි භාෂාවෙන් මේවාට (Devil) යක්ෂයා කියා කියැවේ.  


ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, රෝමය, පර්සියාව, තුර්කිය ආදී රටවල් පෙරුම්කායම් හඳුන්වන්නේ ඩෙවිල්ස් ඩන්ග් (Devil's Dung) යන අරුත ඇතිවය. ඒ අනුව (Seytan Ters) මෙහි තේරුම වන්නේ ‘යක්ෂයාගේ අසූචි’ යන්නයි. මෙම යක්ෂයාගේ අසූචි අප හඳුන්වන්නේ පෙරුම්කායම් යනුවෙනි. 

 
පෙරුම්කායම්වල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 600 දක්වා ඈතට දිව යයි. ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සයිනේරියල් (Cyrenial) ප්‍රදේශයේ සිල්පියම් (Silphium) නමැති ගස් වර්ගයකින් ආ මැලියම් අපි භාවිතා කරන පෙරුම්කායම් නම් වූ ඖෂධයේ උත්පත්තියයි. මෙය ඖෂධයක් මෙන්ම විශේෂ කුළුබඩු වර්ගයක් බවට පත් වී තිබේ.  


 ඉතා සැර ආඝ්‍රාණයක් වුවත් තව කෙනෙකුට එසේ නොවීය. ලිබියාවේ තිබූ මෙම සිල්පියම් ගස් වර්ගය වඳ වී ගිය පසු කාලයක් යනතුරු පෙරුම්කායම් සොයාගත නොහැකි විය.  


 පසුකලෙක පර්සියන් වෙළෙඳුන් පිරිසක් මේවා සොයාගෙන රෝමය, බැග්ඩෑඩ්, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ඉරානය ආදී රටවලටත් යුරෝපයටත්, බෙද‌ාහරින්නට වූහ. විශේෂ කුළුබඩු වර්ගයක් ලෙස මෙය භාවිතයට ගත්තේ එයින් දැනුන අපූරු රසය නිසාමය. පෙරුම්කායම් විෂබීජ නාශකයක් ලෙසට හඳුනා ගත්තේ කාලයක් ගත වූ පසුය.  


 එකොළොස්වැනි ශතවර්ෂයේ (Ibn-sina) ඉබන්සිනා මැදපෙරදිග ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු විය. ඔහු උදරාබාධයන්ට නියම කළේ පෙරුම්කායම්ය.  


ග්‍රීසියේ සුප්‍රකට (Dios Corides) ඩියෝස් කොලිඩෙස් වායුගෙඩි, පෙනහළු රෝග, ගලනාළය ඉදිමීම. කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ප්‍රමාද වීම, කෙස් ගැලවීම, දත් දිරායාම හා සියලුම උදරාබාධයන්ට පෙරුම්කායම් බෙහෙතක් වශයෙන් නියම කර තිබුණි. (සව්දි ඇරැම්කේ වර්ල්ඩ් 2009)  
ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය යන රටවල ‘පුරාණ සූපශාස්ත්‍ර ග්‍රන්ථවල පෙරුම්කායම් යොද‌ා ඇති බව සව්දි ඇරැම්කෝ වර්ල්ඩ් 2009 සඟරාවේ සඳහන් කර තිබේ. ඉන්දියාවේ අල හා පරිප්පුවලට පෙරුම්කායම් අදත් යොදති. චට්නි ආදියේ ද පෙරුම්කායම් වරද්දන්නේ නැත.  


 එංගලන්තයේ ලෝක ප්‍රසිද්ධ සෝස් වර්ගයක් වන (Worcestershire) වුස්ටර්සයර් සෝස් නිෂ්පාදනය කරනු ලබන්නේ පෙරුම්කායම් හා සියඹලා උපයෝගී කර ගනිමින්ය. ක්‍රි.පූ. 800 දී බැබිලෝනියාවේ රජ වූ ‘මාර්ලුක් ඩොක්අජ්ලා ඉඩ්ඩා II’ රජුගේ මල්වත්තේ සිල්පියම් නම් වූ මෙම පෙරුම්කායම් ගස් විශාල වශයෙන් සිටුවා තිබූ බව ද සඳහන් වේ.  


ලිබියාවේ තිබූ සිල් සියම් ගස් වර්ගය වඳ වී ගිය පසු පෙරුම්කායම් තැනුයේ Ferula Asfaoe ගසෙන්ය. මේ ගස කිසිදු රටක සශ්‍රීකව පැළ වී නැත. නැගෙනහිර ඉරානයේ සිට බටහිර ඇප්ගනිස්ථානය දක්වාත් කාශ්මීරයේ ඇතැම් ප්‍රදේශවලත් මෙම ශාක දක්නට ලැබේ. වසර හතරක් ගිය පසු ගස මෝරනු ලබන්නේ වසන්ත සමයේය. එවිට ගසෙන් මැලියම් (Gum) සහ ලාටු (Resin) ලබාගත හැකිය. ඇස් පිඩ්ඩා නිර්මාණය වෙන්නේ ලාටු හා මැලියම් මිශ්‍රණයෙහි.  


මෙම ගසේ මුල ලොකු වළක් හෑරූවිට කැරට් අලයක් වැනි මුල් මතුවෙයි. එහි සිදුරක් තැනූ පසු එයින් කිරි වැනි යුෂ පිටවන්නට පටන් ගනියි. මාස තුනක් පමණ යන විට කිලෝ එකක් පමණ ප්‍රමාණයක් එකතු වෙයි. මේවා වාතයට මිශ්‍ර වූ කළ දුඹුරු පාට වී ඝනත්වයට පත් වේ.  


 තුර්කියේ පෙරුම්කායම් හඳුන්වන්නේ (Seytan) සාතන් වශයෙනි. ජර්මනියේ (Teufelsdrecf) යන්න පෙරුම්කායම්වලට දී ඇති නාමය වෙන අතර සුවිඩනයේ (Dyvels Track) ඩයිවල්ස් ස්ටැක් ලෙසට හැඳින්වෙයි.  
 ප්‍රංශයේ (Merde Do Diable) මාර්ඩේ ඩියාබ්ලේ යන්න පෙරුම්කායම්වලට දී ඇති නාමය වේ. පෘතුගාලයේ එස්ටර් කොඩො ඩියාබෝ (Ester Co Do Diabo) යනුවෙන් භාවිතා කෙරේ.  


 ලෝකයෙන්ම වැඩිපුරම පෙරුම්කායම් භාවිතය ඇත්තේ ඉන්දියාවේය. සංස්කෘත භාෂාවෙන් (Hun) හන් යනුවෙන් හැඳින්වෙන මෙයට ඉන්දියාවේ කියන්නේ හින්ජ් (Hing) කියාය. පෙරුංකායම්, පෙරුන්කායම්, පෙරුම්කායම් ආදී නම්වලින් ලංකාවේ මෙය හඳුන්වනු ලබන අතර උම්බෙලිෆෙරේ කුලයේ ශාකයේ (Ferula Foetida) කිරිවලින් පිළියෙළ කරගනු ලබන බවත් සැර ගඳක් ඇති ඖෂධයක් බවත් ලංකාවේ සිංහල ශබ්දකෝෂවල සඳහන්ව තිබේ. පෙරුම්කායම් යන්න දෙමළ වචනයක් වන අතර කායම් යන්න සිංහල ඌරුවයි.  


 ලෝකයේම පෙරුම්කායම් (ඇසිපිඩිඩා) වෙළෙඳපොළ ජයගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි. ඊසාන දේශසීමාව අසල Herat නගරය මුළුමනින්ම මේ සඳහා වෙන් වී ඇත. වසරකට පෙරුන්කායම් කිලෝ දෙ‌ද‌ාහක් ඉන්දියානු තානාපති කාර්යාලයට බාරදෙන බව කියැවේ. එරට මෙය ඖෂධයක් ලෙසට ද භාවිතා කෙරේ. ඉරානයේ හා ඇෆ්ගනිස්ථානයේ පෙරුම්කායම් ටොන් 500 ක් 600ක් අතර නිපද වේ.  
ඉන්දියාවේ දිල්ලියේ මේවා නිපදවන්නේ ගම්ඇරබික් කුඩු සමඟ පිටි කලවම් කිරීමෙනි. මේවායේ පෙරුම්කායම්වල එන සැර සුවඳ ඉතා අඩුය. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ රටවල ඒවා (Bandhari Hani) බන්ධරිහනි නමින් වෙළෙඳපොළේ දක්නට හැකිය.  


මෙහි රසායනික සංයුතිය හඳුන්ව ඇත්තේ මෙසේය.  
 2-Buty i propenyl, pusulfide  
බියුටයිල් ප්‍රෙපෙමිල්, ඩයිසල්පියිඩ්  
වාජීකරණය  


 පුරුෂයින්ගේ ලිංගික උද්ගාමිකත්වය (Erectile) හා අසාර්ථකත්වය (Dysfunction) සඳහා පෙරුම්කායන් ප්‍රබල වාජීකරණයක් බව භාරතයේ පාරම්පරික විශ්වාසයයි. වෛද්‍ය නියමය අනුව සුදුසු මාත්‍රාව භාවිතා කිරීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් වීම, ස්නායු දුර්වලත්වයට පමණක් නොවන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ලිංගික ලුබ්ධිය (Libido) ට මෙය තිරසාර ඖෂධයකි. නේපාලයේ සහ ටිබැටයේ කඳු තරණය කරන්නෝ පෙරුම්කායන් නිතර නිතර භාවිත කරන බව කියැවේ. මෙය එංගලන්ත Global Stodyuk ආයතනය විසින් පෙරුම්කායන් ප්‍රධාන වශයෙන් උපයෝගී කොට නිපදවන ලද Sygenz නමැති ඖෂධය විශේෂයෙන් ලිංග වර්ධනය සඳහා හඳුන්වා දී තිබේ.  


 පෙර සඳහන් කළ පරිදි පිටි, කහ, ගම් ඇරබික් සමඟ පෙරුම්කායන් මිශ්‍ර කොට එංගලන්තයේ නිෂ්පාදනය කරනු ලබන පෙරුම්කායන් කුඩු වර්ගය (Sygenz) සයිපේන්ස්ඩ්වලින් පෙරුම්කායන් සුවඳ මුලුමනින්ම ඉවත්කොට තිබේ. මේවා පෙති, කරල්, කුඩු වශයෙන් ලෝක වෙළෙඳපොළේ දක්නට ඇත. අරාබි ජාතිකයන් කිරි හෝ උණු වතුරට මිශ්‍ර කොට මේවා පාවිච්චි කරන අතර ආහාරවලට ද කලවම් කරති.   
පෙරුම්කායන් භාවිතයේ දී විශේෂයෙන්ම පරෙස්සම් විය යුත්තේ එය නියමිත මාත්‍රාවට භාවිතයට ගැනීමයි. මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ මේ බෙහෙතක් වශයෙන් පාවිච්චි කරන්නන් වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීමය.  


 පෙරුම්කායන් භාවිතා කරන ප්‍රමාණය වැඩි වුවහොත් අතුරු ආබාධ රැසක් ද ඇති වීමට ඉඩ තිබේ. තොල් ඉදිමීම. නිතර නිතර ආම වාතය පිටවීම, බඩ බුරුල් කර යෑම, මීමැස්මොරය, හිසරදය ඒවාය.  
 දිනපතා මදිටිය ඇටයක පමණ ප්‍රමාණයක් උණුවතුර සමඟ පානය කිරීමෙන් උදරයේ ඇති වන ෆලෝරා නමැති රෝගය නැසෙන අතර අජීරණය හා උදරයේ විෂ නැසීම සිදුවේ. තවද කැලරි දහනය වී බර අඩු වීම ද සිදුවේ. අයුර්වේදයට අනුව නියමිත මාත්‍රාව වෛද්‍ය උපදෙස් මත ගැනීමෙන් උදරාබාධ මෙන්ම අම්ලපිත්ත රෝගය, වකුගඩුවේ ගල්, ගලනාල රෝග සුව වේ.  


 හෝමියෝපති වෛද්‍ය ක්‍රම අනුව පෙරුම්කායන් දියරක් නිෂ්පාදනය කර ඇති අතර එය අසපඩීඩා යන නමින් (Asafazdilition) හැඳින් වේ. මෙය දියරය මස්පිඩු පෙරලීම හා උදරාබාද රෝගවලට ප්‍රත්‍යක්ෂ වේ. යුනානි වෙදකම අනුව ද ග්‍රීසියේ හා අරාබි රටවල ලෙඩ රෝග වැළැක්වීමට මෙය ප්‍රධාන ඖෂධයකි. තුර්කියෙන් ආරම්භ වී අහම්බෙන් සොයාගත් මෙම පෙරුම්කායම් වගාව බැබිලෝමියාව, ඉරාකය, පර්සියාව, මිසරය, ඉරානය, ඉන්දියාව වැනි රටවල අද විශාල ව්‍යාපාරය බවට පත් වී ඇත. පෙරුම්කායම් ගසක් ගැන ලංකාවේ අසන්නට, දකින්නට නැතත් ඒවා මෙරටට ගෙනවුත් අපේ උද්‍යානවලත් සිටුවීමට උනන්දුවක් දැක්වුවොත් එය විශාල ජයග්‍රහණයක් වනු ඇත.  

 

 

 

පී.ඇම්. සේනාරත්න