හිස කෙස් කළු කරන ඩයි වර්ග කිහිපයක සිරුරට අහිතකර බැරලෝහ


හැඩරුවට ඉන්න කවුද අකමැති?   


තරුණ වියේදී අකලට හිසකෙස් පැසුණොත් හිතට කොයි තරම් දුකක්ද? මහලු වුණත් කොණ්ඩෙ කළු කරගෙන තරුණ පෙනුමට ඉන්න අකමැති කවුද? අතීතයට වඩා වර්තමාන සමාජයේ බොහෝ දෙනා තරුණ පෙනුම රැක ගන්න ලස්සනට ඉන්න අවශ්‍ය ඕනෑම දෙයකට පෙලඹීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.   


යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය ඉහළ නැංවීම යන කාරණයේදී හිසකෙස් වලින් ඉටු වන්නේ ඉතාම වැදගත් කාර්යය භාරයකි. වයස් භේදයකින් තොරව අද බොහෝ දෙනා හිස කෙස් දුර්වල වීම්, අකලට හිස කෙස් සුදුවීම් සහ හැළීම් සහ වයසත් සමග හිස කෙස් සුදු වීම් වැනි කරුණ පිළිබඳව දක්වන්නේ දැඩි අකමැත්තකි. මේ නිසාම හිස කෙස් වර්ණ ගැන්වීමට ඔවුහු පෙලඹී සිටිති. 


තමන්ගේ රුව අන් අයගේ ආකර්ෂණයට ලක්වෙන ලෙස පවත්වාගෙන යාමට ඇති ආශාව ඊට ප්‍රධානම කරුණයි. 


පැරණි සමාජයේ හිස කෙස් සුදු වීම වැළැක්වීම සඳහා දේශීය ඖෂධීය තෙල් සත්කාරයන් කළ ද වර්තමාන සමාජය ඊට මැළිකමක් දක්වන්නේ භාවිතයට සුව පහසු ඉක්මණින් තම කාර්යය කරගත හැකි රසායන ද්‍රව්‍ය අඩංගු ඩයි වර්ග ජනප්‍රිය නාම​ෙයන් පහසු මිලට වෙළෙඳපොළේ ඇති නිසාය. 
එමගින් ක්ෂණිකව හිස කෙස් දීප්තිමත් ලස්සනක් කළු පැහැයක් තරුණ පෙනුමක් දෙතත් එහි ඇති අහිතකර රසායනික ද්‍රව්‍යයක් ශරීරයට විෂ සහගතව ඇතුළු වන බව ඔබ නොදන්නවා වන්නට පුළුවන්. 


​මේවා ගැන කළ පරීක්ෂණයන්ගෙන් මිනිස් ශරීරයට අන්තරායකර තත්ත්වයක් ඇති කරත් අපරීක්ෂාකාරී භාවිතයෙන් විෂ වීම හේතුවෙන් අකාලයේ අහිමි වුණු ජීවිත පිළිබඳවද තොරතුරු මාධ්‍යයන්හී පළ විය. 


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් කිහිප දෙනෙකු හිස කෙස් කළු කරන ඩයි සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක් ඩයි වර්ග සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට සලස්වා තිබේ. 


හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා ස්වාභාවික ශාකසාර අඩංගු ඩයි වර්ග 7 ක් අලළා සිදු කළ පර්​ෙ‌ය්ෂණයකදී සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ ඒවායේ අඩංගු බව අනාවරණය විය. 


මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් හමු වීමු. 
ඔබ වෙළෙඳපොළේ තිබෙන ජනප්‍රිය නාමයන්ගෙන් යුත් ඩයි වර්ග පාවිච්චියේදී වඩාත්ම සැලකිලිමත් විය යුතු වෙනවා. 
එම ඩයි වර්ගත් කළු පැහැයට හැරවීම සඳහා PPD (Paraphenylenediamine) හා ඇමෝනියා වැනි රසායනික සංඝටක මිශ්‍ර කරන බව මේ වන විට බොහෝ තත්ත්ව පරීක්ෂණයන්හිදී හෙළි වී තිබෙන කරුණකි. 


එමෙන්ම පසුගියදා කළ පර්​ෙ‌ය්ෂණයේදී ශරීරයට විෂ වන සහ විවිධ ආසාත්මිකතා ඇති කරන පැරාෆීනයිල්ඩයියමින් (Paraphenylenediamine) රසායනික ද්‍රව්‍යය යොදා ගත හැක්කේ 6% ක් දක්වා පමණක් බව අනුමත කර ඇතත් PPD යන රසායනික ද්‍රව්‍ය 41.5% දක්වා වැඩියෙන් මෙම ඩයි සඳහා යොදා ගන්නා බව හෙළි විය. 


සමහර ඩයි වර්ග වල කැඩ්මියම් වැනි බැර ලෝහ ප්‍රමාණය ඉක්මවා අඩංගු කර ඇති බවත් රසායනික විද්‍යා විද්‍යාඥයෝ පවසති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාවේදී විශේෂ උපාධිය හදාරණ තිළිණි විදුෂිකා ෆොන්සේකා විසින් අවසන් වසර ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම පර්​ෙ‌ය්ෂණය සිදු කළ අතර, රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආසිරි පෙරේරා මහත්මියගේ අධීක්ෂණයෙන් ආචාර්ය පහන් ගොඩකුඹුර මහත්මියගේ මඟ පෙන්වීම මෙම පරීක්ෂණයන් සිදු කෙරිණි. මෙම පරීක්ෂණය පිළිබඳව ආචාර්ය පහන් ගොඩකුඹුර මෙනවිය අපට අදහස් දැක්වූවාය. 


පුද්ගලයකු හිස කෙස් ඩයි කිරීම නැතිනම් වර්ණ ගැන්වීමට හේතු කිහිපයක් තියෙනවා. පළමු වැනි කරුණ තමයි සුදු හිසකෙස් නිසා ඇති වන පෙනුම ඉවත් කර නැවත තරුණ පෙනුම ලබා ගැනිම. දෙවැන්න තමයි විලාසිතාවක් ලෙස හිස කෙස් වර්ණ ගැන්වීම. විශේෂයෙන්ම සුදු හිස කෙස් කළු කිරීමට අද බොහෝ දෙනා පුරුදු වෙලා තිබෙනවා. මෙලෙස සුදු කෙස් කළු කිරීම සඳහා දීර්ඝ කාලයක් රසායනික ඩයි භාවිතය සෞඛ්‍යයට එතරම් හිත කර වන්නේ නැහැ. 
PPD කියන්නේ ඉතාම අනතුරුදායක බරපතල තත්ත්වයන් පවා සිදු විය හැකි රසායනික සංඝටකයක්. මෙම සංඝටකය ඩයි වලට පාවිච්චි කරන්න කියලා අනුමත කරලා තියෙන්නේ 6% ප්‍රමාණයක් ඒත් අද වෙළෙඳපළේ ස්වභාවික ශාකසාර අඩංගුයි කියලා තියෙන බොහෝ ඩයි වල PPD කියන රසායනික සංඝටකය 41.5% දක්වා වැඩි කරලා තියෙනවා. පැරාෆීනයිල්ඩයමීන් (PPD) කියන රසායනික ද්‍රව්‍යය ඉහළ අගයකින් යොදා ඇති ඩයි වර්ග සෘජුවම ඇස් වල තැවරුණොත් අන්ධභාවයට පවා පත්වීමේ හැකියාව තියෙනවා. 


මීට පෙර විද්‍යාඥයන් විසින් පර්​ෙ‌ය්ෂණ අනුව මෙම ඩයි භාවිතයෙන් බොහෝ දුරට ආසාත්මිකතා ඇති වෙනවා කියලා සොයා ගත්තා. එවැනි තත්ත්වයන් පසුගිය කාල වලදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. 


දැනට වෙළෙඳපළේ ස්වාභාවික ශාකසාර අඩංගු සුදු හිස කෙස් කළු කරන ඩයි වර්ග 7 ක් යොදාගෙන මේ පර්​ෙ‌ය්ෂණය සිදු කළා. 
ඩයි වර්ග 5 ක පමණක් එහි අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳව සඳහන් කර තිබුණත් ඩයි වර්ග දෙකක අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොවූ බව පෙනුණා. 
​ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රූපලාවන්‍ය සඳහා යොදා ගන්නා ශාකසාර ඖෂධ වලට බැර ලෝහ අඩංගු කිරීම පාලනය කිරීමට කටයුතු කළත් බැර ලෝහ අඩංගු කළ යුතු ප්‍රමාණයක් සඳහන් නැති බවත් එහෙත් කැනඩාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ පාරිභෝගික සහ ආහාර ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් කාර්යාලය විසින් ඩයි සඳහා බැර ලෝහ යොදා ගත හැකි උපරිම සංඛ්‍යාව මිලියනයට කැඩ්මියම් කොටස් 5 ක් සහ ලෙඩ් 10 ක් ද ජර්මනිය විසින් කැඩ්මියම් 0.1 ක් සහ ලෙඩ් 2 ක් ලෙස වගුගත කර තිබෙන බවත් විද්‍යාඥයෝ අපට පැවසූහ. 
ආචාර්ය පහන් ගොඩකුඹුර මෙනවිය මෙසේද සඳහන් කළාය. 
ශාක සාර ඩයි වර්ග වලට පැරාෆීනයිල්ඩයියමීන් රසායනික එකතු කළ විට වඩාත් ස්ථිර කළු පැහැයක් ලබා දෙනවා. ඊට හේතුව එම රසායනික ද්‍රව්‍ය වැඩියෙන් අඩංගු ඩයි වර්ග හිස කෙස් වලට ආලේප කළ පසු සිදුවන්නේ කෙසේ ගස ඉදිමීමකට ලක් වී එම රසායනික ද්‍රව්‍යය කෙස් ගස ඇතුළතට කා වැදීමයි. එමගින් ටික කාලයක් කළු පැහැය රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා. PPD (පැරාෆීනයිල්ඩයියමීන්) රසායනික ද්‍රව්‍ය ඩයි වර්ග වලට අඩංගු කිරීම ජර්මනිය, ස්වීඩනය, ප්‍රංශය වැනි රටවල තහනම් කරලා. 


මෙම ඩයි වර්ග ගැල්වීමෙන් සිදුවන හානි පිළිබඳව තවම පර්​ෙ‌ය්ෂකයන් සොයා ගත්තේ සිරුරට සිදු වන ආසාත්මිකතා පමණයි. PPD රසායනයෙන් ශරීරයට තවත් අහිතකරව බලපාන දේවල් පරීක්ෂණ මට්ටමෙන් සොයමින් පවතිනවා. ඔබ වෙළෙඳපොළෙන් ගෙනෙන ඩයි එක පාවිච්චි කිරීමට පළමුවෙන් කන පිටුපස මඳක් ආලේප කර ටික වේලාවක් ආසාත්මිකතා ඇති වෙනවද කියලා බලලා ගැල්වීම වඩාත් සුදුසුයි. අපි සිදු කළ පර්​ෙ‌ය්ෂණයට අනුව දැනට වෙළෙඳපළේ පවතින ඩයි වර්ග වල පැරාෆීනයිල්ඩයියමීන් රසායනිකය 5.46% ක් 41.5% ක් අතර ප්‍රමාණයක් අඩංගු වෙලා තිබෙනවා කියලා තහවුරු වුණා. එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. එවැනි ඩයි වර්ග සෘජුව සමට අලේප කිරීම සුදුසු වන්නේ නැහැ. ඇහි පිහාටු වල සහ ඇහි බැමි වගේ සංවේදී ස්ථාන වල එම ඩයි ගැල්වීම සුදුසු වන්නේ නැහැ. මෙම ඩයි නිතර නිතර ගැල්වීමෙන් ඇස් අන්ධභාවයට පවා පත් විය හැකියි. 


හිස කෙස් කළු කරන ශාකසාර ඩයි වර්ග තෝරා ගැනීමේදී (Paraphenylenediamine) රසායනික ද්‍රව්‍ය 6% දක්වා පමණක් අඩංගු ඩයි වර්ග මිලදී ගැනීමට පරීක්ෂාකාරී විය යුතුයි.

 

 

සටහන 
නදීශා අතුකෝරළ