හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ලියූ ‘ අධිෂ්ඨානය ’


වත්මන් යුගයේ ජීවත්වන හැම ශ්‍රී ලංකා පුරවැසියෙකුටම පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධය ගැන මතක ඇති. අපේ රටට එල්ල වූ ආක්‍රමණ හෙවත් යුද්ධ ගණනාවක මතක සෙවණැලි ඉතිහාසය කියැවූ වැඩි දෙනෙකුට වෙතත් ඒ, ප්‍රවෘත්ති වාර්තා පමණි.   


එහෙත් ඇඟට දැනෙන බිහිසුණුම යුද්ධය, ප්‍රභාකරන්ගේ අමානුෂික බිහිසුණු ආක්‍රමණය පමණි. එම යුද්ධය හැබැහින් දකින්නට ඇත්තේ යුද්ධයට මුහුණ දුන් හමුදා ක්‍ෂේත්‍රයේ පිරිස පමණි. සාමාන්‍ය රටවැසියාට එය බියකරු, ත්‍රාසජනක අත්දැකීමක් පමණි. 


එහෙත් ප්‍රභාගේ කුරිරු යුද්ධය හරියට දකින්නට නම් යුද්ධය සමඟ පෙරමුණේ සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් ලියන ලද ‘අධිෂ්ඨානය’ නම් වූ එල්.ටී.ටී.ඊ අරගලය හෙවත් නාවික හමුදා භූමිකාව නමැති පොත කියවිය යුතුය. 


මේ වූ කලී එම යුද්ධයට මුහුණ දී පූර්ණ අත්දැකීම් ලද කෙනෙකු විසින් සාක්‍ෂි වශයෙන් ලියන ලද ඉතිහාස පොතකි. පිටු 449කින් විස්තර කර ඇති අධිෂ්ඨානය පොතින් කතුවරයා අප යුද්ධ භූමියට කැඳවාගෙන යයි. ඒ පොතින් විස්තර වන්නේ සාගරයේ සිදු වූ යුද්ධය පමණි. අධිෂ්ඨානය නමැති මේ පොතින් ඔබ අප නොදත් කරුණු රාශියක් විස්තර වෙයි. නාවික හමුදාවට යුද්ධ කරන්නට වූයේ සාගරය තුළ පමණක් ප්‍රභාගේ හමුදාව සමඟ පමණක්යැයි අපට හැඟුණත් ගොඩබිම සිට යුද්ධ ආක්‍රමණය දුර්වල කළ මුග්ධ දේශපාලන බලවතුන් සමගත් යුද්ධයක් වූ බව අධිෂ්ඨානය කියවන විට පෙනී යයි. යුද්ධයට මුහුණ දුන් නාවික හමුදාවේ නායකයන්ගේ ඉවසීමත් දුරදක්නා නුවණත් නිසා ඇතැම් යුද්ධයේ බිහිසුණු අවස්ථා ජය ගැනීමට පුළුවන් වූ බවක් ඒ පොත කියවන විට හැඟේ. 


ආයුධ පුරවාගත් මුහුදු යාත්‍රාවක් ඇදගෙන ඒ ඉදිරියෙන් පැමිණි සතුරු නැවක් විනාශ කර සිදුවන්නට ගිය මහා ව්‍යසනයක් නාවික හමුදාව වළක්වා ගත්තේ මෝඩ දේශපාලනඥයන්ගේ අණට කීකරු නොවීමෙන් බව ඒ පොතේ එක තැනක සඳහන් වේ. 


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී (හෙවත් යුද්ධයේ අවසාන භාගයේ දී) ඉන්දියාවේ ආරක්‍ෂක උපදේශක නාරායන් මහතා අරලියගහ මැදුරට පැමිණ යුද්ධය නතර කරන්නයැයි ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, සිනාසෙමින් “යුද්ධය නැවැත්වූයේ නැත්නම්, නැවත ගුවනින් පරිප්පු ගෙනත් දමනවාදැයි” ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් අධිෂ්ඨානය පොතේ එක තැනක සඳහන් වේ. නාරායන් කිසිවක් නොකියා බිම බලාගෙන සිටි බවක් එහි සඳහන් ය. 


තවත් අවස්ථාවක මහා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමැති, ඩේවිඩ් මිලිබෑන් සහ ප්‍රංශයේ විදේශ අමාත්‍ය කෘෂ්නර් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමුවී “මේ යුද්ධය නවතන ලෙස දැනුම් දුන්නේ ය.” එවිට ජනාධිපතිතුමා “ශ්‍රී ලංකාව තවදුරටත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් නොවන බව” ඍජුවම දන්වා සිටියේ ය. 


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාවාරම්කරුවන්ට යුද්ධය විකුණාගෙන කෑමට ඉඩ නොදුන් බව සහේතුකව සඳහන් කරයි. 


තිස් අවුරුද්දක් තුළ පැවති මේ යුද්ධය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ පිරිසගේ වූ ස්ථිරසාර පිළිවෙත නිසා හමුදා ක්‍ෂේත්‍රය අධෛර්මත් නොවී ක්‍රියා නොකළේ නම් මේ රට යළිදු යටත් විජිතයක් වනු ඇත. යුද්ධය පිළිබඳ පුළුල් අත්දැකීමක් ඇති නැපෝලියන්ගේ ප්‍රකාශයක් මෙසේ ය. ‘මා සිංහයෙකුගේ නායකත්වයෙන් යුතු හාවුන්ගේ හමුදාවක් තියා ගන්නටත්, හාවකුගේ නායකත්වය යටතේ සිංහයන්ගේ හමුදාවක් තියාගන්නත් කැමති නැත’. යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාවටම අභීතව නොපැකිළ යුද්ධයෙහි නිරතවන්නට හැකි වූයේ නැපෝලියන් කී සේම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ගෝඨාභය රාජපක්‍ෂ වැනි බුද්ධිමත් නායකත්වයක් වූ නිසා බව වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති ඉඟියෙන් පවසයි. අධිෂ්ඨානය පොතින් හෙළිදරව් කෙරෙන තවත් වැදගත් තොරතුරක් වේ. ඒ කදිරගාමර් මහතා අපේ රට ප්‍රභාකරන්ගෙන් මුදාගැනීමට දුන් සහයෝගයයි. ප්‍රභාකරන්ගෙන් වෙන් වී කරුණාඅම්මාන් අපට පක්‍ෂපාතී වූ විට ඔහු යළි ඔවුන්ගේ කඳවුරට ගැනීමට තානාපතිවරුන්ගේ ප්‍රයන්තය බිඳ දැමීමට කදිරගාමර් මහතා ඇපකැප වී කටයුතු කළ උදාර මෙහෙවර ගැන මේ පොතේ හොඳ පැහැදිලි කිරීමක් කරයි. 


යුද්ධයක් සඳහා නායකත්වය ගෙන ජයග්‍රහණය තෙක් ක්‍රියා කිරීම පහසු දෙයක් නොවේ. ඒ සඳහා සුදුසුකම් ගණනාවක්ම විය යුතුය. රණකාමී පිරිසගේ සිත් දේශප්‍රේමයෙන් මුවහත් කිරීම, සතුරන්ගේ උපාය මාර්ග හඳුනාගැනීම, සතුරාට පහරදීම මෙන්ම ඔවුන්ගේ මර්මස්ථාන හඳුනාගැනීම, ශ්‍රී ලංකා සිතියමේ අස්සක් මුල්ලක් නෑර හැම ස්ථානයක් පිළිබඳවම අවබෝධයක් වීම හා රණකාමී පිරිස උද්යෝගිමත්ව ජීවිතය පරදුවට තබා ක්‍රියා කරවීමේ දක්‍ෂතාව වැනි හැම කරුණකින්ම සපිරි බුද්ධියක් වීම ආදී වශයෙනි. යුද්ධයට සතුරු පෙරමුණෙන් එන අධෛර්යමත් කිරීම්වලට බුද්ධිමත් වීම හා ඇතැම් විට උසස් නිලධාරීන් දෙන නියෝගවල අන්ත ප්‍රතිඵලය නුවණින් හා අත්දැකීම් මගින් ප්‍රතික්ෂේප කරන්නට සිදුවන අවස්ථා උපායශීලීව ජය ගැනීමේ දක්‍ෂතාව නායකයෙකුට අවශ්‍යමය. 


යුද ආයුධ පුරවාගත් නැවක් තවත් LTTE නැවක් විසින් ඇදගෙන එන බවක් පිළිබඳව කරන්නාගොඩ මහතා දැනගත් සැණින් ඒ බව ඉහළ තැන්වලට දැනුම් දුන්නත් එය විනාශ කරන්නට එපායි එතුමාට අණ ලැබුණි. එහෙත් අද්මිරාල් කරන්නාගොඩ මහතා ඉහළ අණ නොතකා එය මුහුදේදීම විනාශ කරන්නට අණ දුන්නේය. ඒ හිතුවක්කාරකම ගැන එතුමාට විරුද්ධව චෝදනා නැඟුණත් පසුව එතුමා ගත් පියවර මහත් බුද්ධියකින් ගත් පියවරක් බව නායකත්වයට වැටහුණි. ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරිපත් වී යුද්ධ මෙහෙයුම් වෙනස් කර LTTE හමුදාවට තහනම් කර තිබූ ප්‍රදේශ නිදහස් කරදීමට කටයුතු කළ බව ඒ පොතේ විස්තර වෙයි. 


ගවයන්ට තණ කෑම සඳහා සම්බන්ධන් මන්ත්‍රීතුමා විසින් එක්තරා ප්‍රදේශයක් හමුදා පාලනයෙන් නිදහස් කරදීමට ගත් ප්‍රයත්නය ඉදිරියේ නොසැලී සිටි අයුරු ඒ පොතේ එක් තැනක සඳහන් වේ. මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා දී සිංහල අපට අභය භූමියක් කර දීමට යුධ හමුදාව හා එහි ඇතැම් නායකයන් ඇපකැපව ක්‍රියා කිරීම නිසා සමස්ත ජනතාවම ඒ නායකත්වයට ණය ගැතිය. එහෙත් අද හමුදා නායකයන් කුමන හෝ චෝදනාවකට පටලවා සිරගත කිරීම් පිළිබඳ අවනඩුව ගැන කියන්නට දෙවියකු හෝ නැති බව පෙනී යනවිට අපට මහත් වේදනාවක් දැනේ. 


2003 සැප්තැම්බර් 05 වැනිදා ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 09.00යේ ප්‍රවෘත්තිවලින් පසුව ‘ආරක්‍ෂක කෝලම’ යන නමින් විනාඩි 10ක පමණ අලුත් වැඩසටහනකින් පැවසුණේ වසන්ත කරන්නාගොඩ මහතා බොරු කියන බියගුල්ලෙකු හා උම්මත්තකයෙකු බවය. එහෙත් කදිරගාමර් මහතා නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතාගේ ආධාරය නොමිලයේ ලබා දෙමින් කටයුතු කළ බවක් සඳහන් වෙයි. 


මෙසේ බලනවිට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට යුද්ධ දෙකකට මුහුණ පෑමට සිදුව ඇත. එකක් LTTE සමඟ කළ මුහුදු යුද්ධයයි. දෙවැන්න අපේම අවස්ථාවාදීන් සමඟ කළ යුද්ධයයි. එතුමා ඒ යුද්ධ දෙකෙන්ම ජය ගත්තේය. 


ඉතිහාසය අනුව අතීතයේදීත් මෙරටට ආක්‍රමණ ගණනාවක් එල්ල විය. ඒත් ඒවා මුහුදු සටන් නොව ගොඩබිම සටන් විය. ඒ සඳහා අද මෙන් ආයුධ වශයෙන් තුවක්කු හෝ බෝම්බ නොවීය. එකම ආයුධය කඩුවය. එහෙත් යුධ බිමට බැස සටන මෙහෙය වූයේත්, සටන් කළේත් රටේ නායකයා හෙවත් රජතුමාය. ඒ සඳහා ගැමුණු, පළමු වන විජයබා හෙවත් කිත්ති කුමරු, වළගම්බා නිදසුන්ය. 


අද එසේ රාජ්‍ය නායකයා සටන් බිමට යන්නේ නැත. යුධ හමුදාපතිට අණදීම පමණක් කරයි. එතැන සිට සටන මෙහෙයවන්නා හමුදාපතිය. සටන් කරන්නේ යුද හමුදාවය. යුධ උපක්‍රම බොහොමයක්ම හමුදා නායකයන්ගේ ය. අද තත්ත්වය එදා තත්ත්වය අනුව විග්‍රහ කරතොත් රටේ නායකයෝත් ත්‍රිවිධ හමුදාපතිවරුත්, සෙසු නිලධාරීහු හා යුධ සෙබලෝ යන සියල්ලෝම යුද්ධයට දායක වන්නෝය. ඒ නිසා යුද්ධය ජය ගැනීම පිළිබඳ ගෞරවය හමුදා නායකයන්ටද උරුමය. මේ රටේ මෑතක ඇති වූ LTTE අරගලය කිසිම රාජ්‍ය නායකයෙකුට ජය ගත නොහැකි විය. ඒ ජයග්‍රහණය උපරිම මට්ටමෙන් ලබාගත් එකම රාජ්‍ය නායකයා හිටපු ජනාධිපතිතුමාය. ඒ සමඟම ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හැම හමුදාපතිවරයෙක්ම පැසසුමට ලක්වෙති. ඒ පුරෝගාමී නායකත්වය අනුව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ද ඉතිහාස ගතවෙයි. 


LTTE අරගලය හෙවත් යුද්ධය තිස් අවුරුද්දක් පුරා පැවති එකකි. එය ඉතිහාස පොතේ එක් පරිච්ඡේදයකට සීමා විය හැකිය. තිස් අවුරුදු යුද්ධය ගැන වැඩි විස්තර බලාගැනීමට මතු උපදින පරපුරට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් සිය සාක්‍ෂි වශයෙන් ලියා ඇති අධිෂ්ඨානය නමැති පොතෙන් එම අඩුව පිරිමැසෙයි. පොත කියවාගෙන යන විට මට දැනුණේ කතුවරයා මගේ අතින් අල්ලාගෙන මා යුද්ධ භූමියට රැගෙන යන්නාක් මෙනි.  අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ අධිෂ්ඨානය පොතේ ඇත්තේ උතුරේ යුද්ධය ගැන පමණක්යැයි මුලදී මම සිතා සිටියෙමි. එහෙත් ඒ පොතේ අගට ඇත්තේ එතුමාගේ ජීවන ගමනේ තොරතුරුය. එතුමාගේ මුළු ජීවිතයම විවිධ අත්දැකීම් එකතුවකින්, ළමා වියේ සිට මේ දක්වා එම ජීවන ගමන කියවාගෙන යන විට රසවත් කතාවකි. මෙතෙක් ශ්‍රී ලංකාවේ පහළ වූ සියලුම ජනනායකයන් සමඟ බැඳුණු සබඳතා ඇති, අත්දැකීම් ඇති චරිතයකි. සියලුම ජනනායකයන් සමඟ සමීපව ඇසුරුකිරීමේ භාග්‍යය, උපතින්ම ලද කෙනෙකි. 


මේ ලිපිය ලියන මම, මා ගැන ආඩම්බර වෙමි. ඒ දින තුන හතරක්ම එතුමා මගේ නිවසට පැමිණි යහපත් මිත්‍රත්වයක් ඇති කෙනෙකු නිසාය. ‘අද්මිරාල් වසන්ත කරන්නාගොඩ’ යන අභිමානවත් නමින් පළවන මහා ප්‍රතාපවත් චරිතය සමඟ ඇසුරු කිරීමේදී දැනෙන්නේ පෙනෙන්නේ ළෙංගතු සුහද නිහතමානී කෙනෙකු බවය. 


වසන්ත කරන්නාගොඩ මැතිඳුන්ගේ අධිෂ්ඨානය නමැති මේ පොත හැම දේශපාලනඥයකු විසින්ම දෙතුන් වරක් කියවිය යුතු පොතක් බව අවසාන වශයෙන් මතක් කරමි. 

 


ආචාර්ය පියසේන රතුවිතාන