හදිසි අනතුරකින් අපවත් වූ “පුංචි හාමුදුරුවෝ”


ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට පසුබිමක් වූ බිබිල ටැම්ගොඩ රාජ මහා විහාරස්ථානය කහකොඩිවලින් සැරසී තිබුණේය.   


මහ සඟරුවන මෙන්ම උවැසි උවැසියෝ ද වැල නොකඩී විහාරස්ථානයට පැමිණියහ. වෙනදා පන්සලේදී මෙන්ම පිරිවෙ​ෙන්දී කඩිසරකම් පෑ අරවාකුඹුරේ චන්ද්‍රරතන හිමියෝ අද නිසලව සයනය කරති.   


අනේ දෙයියනේ. උන් වහන්සේගේ සිනා රැල්ල වියැකී ගොසිනි. පොඩි හාමුදුරුවෝ අපවත් වෙලාය.   
විහාරාධිපති ඊතණවත්තේ අත්තදස්සි හිමියෝ බලා ගත් අතම බලාගෙන කල්පනාවේ යෙදී සිටියේ දෑස කඳුළින් ​තෙත් කරමිනි.   


කසාවතක් දැරුවද සංවේගය උහුලනු බැරුවා සේය. මේ මහා විපත නිසා උන්වහන්සේ ඉකිබින්දාහ.   
“අනේ. චන්දරතන අැයි මෙහෙම වුණේ?   


මම විභජ්ජවාද සජ්ජායනා වැඩ සටහනට කොළඹ ගියා.   
ඒ අතරේ තමයි මේ විපත සිදුවෙලා තියෙන්නේ” උන් වහන්සේ මැසිවිලි නැඟූහ.   
මෙම පන්සල් බිමේ ඇති, පිරිවෙන දිවයිනේ හොඳම ප්‍රතිඵල පෙන්වූ විද්‍යස්ථානයකි. සාමණේර හිමිවරු 40 නමක් මෙහි ඉගෙනුම ලබති. ඊතණවත්තේ අත්තදස්සි හිමියෝ පිරිවෙන් අධ්‍යක්ෂවරයා ද වන්නේය.   


“චන්දරතන පොඩිතැනගේ කේන්දරේ මම බැලුවා. කාල සර්පයෝගය තිබුණේ රාහුටත් කේතුටත් මැදිවෙලා. සර්පයාගේ කටේ සියලු ග්‍රහයෝ. ජීවිතය ගොඩ නැගෙන්න දෙන්නේ නැහැ. මහා ඛේදවාචක ඇති වෙනවා”යි උන්වහන්සේ පැවසූහ.   
චන්දරතන හිමියන්ගේ මව පියාගෙන් වෙන්වී ගොසිනි. ඒ වන විට චන්දරතන හිමියන්ගේ වයස අවුරුදු තුනහමාරකි.   
මේ නිසා තාත්තගේ නංගී වන කුසුමලතා මේ දරුවට කිරි මව වූවාය.   
එහෙත් පොඩි කාලේ සිටම ජීවිතය ගැන කලකිරීමකින් පසුවූ මේ දරුවා පන්සලට යාමට බොහෝ ප්‍රිය කළේය.   
ලොකු හාමුදුරුවෝ දකින විට සිතේ සාංකාවන් වියැකී යනවා සේ විය.   


අවසානයේ පන්සලේම නතරවූ මේ දරුවා හිස මුඩු කර කසාවතක් හැඳ සසුන්ගත වූයේය. ඉගෙනීමට වඩා බාහිර ක්‍රියාකාරකම්වලට හපන්කම් දැක්වූ චන්දරතන පොඩි හාමුදුරුවෝ පිරිවෙනේ ගුරු හාමුදුරුවන්ගේ ද දැඩි ආකර්ෂණය දිනා ගත්තේය.   
සලාක දානයට බඩු ලැබෙන දිනයන්හි ලොකු හාමුදුරුවෝ සමග එක්ව දානය සකස් කිරීමට දැඩි කැමැත්තක් දැක්වූවේය.   
කවදත් ලොකු හාමුදුරුවෝ වැළඳු​වේ විහාරවාසී පොඩි හාමුදුරුවන්ට කෑම බෙදා උන් වහන්සේලා වැළඳූ පසුවය.   
පැවිදිබිමේදී ලොකු හාමුදුරුවෝ උන් වහන්සේට පීතෘවරයෙකු විය.   
නිවාඩුව අවාසනයේ පිරිවෙන ද පටන් ගැනීමට නියමිතව තිබිණ.   


ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි පොඩි හාමුදුරුවරු ශ්‍රමදානයෙන් විහාරස්ථානය හා පිරිවෙන් පරිශ්‍රය පිරිසුදු කළහ.   
පසුදා ලොකු හාමුදුරුවන් විහාරස්ථානයෙන් නික්ම කොළඹ ගියේ මහා විභජ්ජවාද සංගායනාවට සහභාගී වීම සඳහාය. එදින පිරිවෙන් පරිශ්‍රයේ තිබූ පොල් කොටයක් ඉවත් කිරීම සඳහා පොඩි හාමුදරුවන් කීපනමක් කටයුතු කරමින් සිටියේ උන් වහන්සේලාගේ අදහසක් අනුවමය.   
කීපනමක් පොල් කොටය කරගහගෙන එද්දී එහි අසීරුව දුටු චන්දරතන පොඩි හාමුදුරුවෝ පොල් කොටය කරට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි බර සමග බිම ඇද වැටී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් උන්වහන්සේ අපවත් වූහ.   
පන්සලේ ඝණ්ටාරය නොකඩවා හඬ නැගුණේය. ගම්මු වහ වහා පන්සලට දිව ආහ.   
ඒ වන විටත් පොඩි හාමුදුරුවෝ අපවත් වෙලාය.   

 

 


​ලොකු හාමුදුරුවෝ කොළඹ සිට වහා පැමිණියහ.   


උන්වහන්සේ ඉවසා ගත නොහැකි වේදනාවෙන් කෑ ගැසුවේ අනෙක් පොඩි හාමුදුරුවන්ටය.   
“ඇයි දරුවනේ, වෙනදා මේ වෙලාවට ටීවී බලනවනේ. ඇයි මෙහෙම දේකට ගියේ?” උන් වහන්සේ වේදනාවෙන් පවසද්දී පොඩි හාමුදුරුවෝ වේදනාවෙන් බිම බලා ගත්හ. උන්වහන්සේලා ඒ වන විටත් හඬා වැළපෙමින් සිටියේ පිරිවෙනේ එකට අකුරු කළ සහෝදර පොඩි හාමුදුරුවන්ට වූ විපත දරා ගත නොහැකිවය.   
අපවත්වී දින දෙකකට පසු අවසන් කටයුතු ඉකුත් 6 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.   


මොණරාගල දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලින් මහ සඟ රුවන සිය ගණනක් වැඩම කර සිටියහ.   
උණගොල්ල පුරාණ රාජමහා විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හෙවෙලේවල ශ්‍රී සුනන්ද හිමි, ඓතිහාසික කොටසර පියංගල රාජමහා විහාරස්ථානාධිපති වෙල්ලස්ස, බින්තැන්න හා මඩකළපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක බදුල්ල ගම්මන ගුණරතන හිමි, යපම්ම ශ්‍රී රාම්‍ය විජයාරාමාධිපති වෙල්ලස්ස, බින්තැන්න නැගෙනහිර උප ප්‍රධාන සංඝ නායක කැන්වින්නේ ගුණානන්ද හිමි සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ නරවැල්පිට වජිර බුද්ධි හිමි විසින් සිදු කළ පැවිදි අනු ශාසනා සියල්ලේදීම පොඩි හාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කෙරිණි.   


ජීවිතයේ අනියත බව ගිහි පැවිදි වෙනසක් නැතිව සියල්ලන්ම පසක් කර ගත යුතු බව අවධාරණය කළහ. එහෙත් ළමා වියේදීම චන්දරතන හිමියන්ට අත්වූ දුක්බර ඉරණම කසාවත දැරුවත් කඳුළු වැටෙන තරම් සංවේදී එකක් බවද සඳහන් කළහ. 

 
මතක වත පිදීම සිදු කළේ පියා වන එච්.එම්. ජයසුන්දර විසිනි. පියාගෙන් වෙන්වූ මව මළ ගමට සහභාගී නොවුවාය.   
අම්මා හැරදා ගිය දා පටන් මේ දරුවා රැක බලා ගත් නැන්දා (පියා ගේ නංගී) පැන් වැඩීමට එක් වූයේ කඳුළු වගුරමිනි.   
ආගමික වතාවත්වලින් පසු ලොකු හාමුදුරුවන් පෙරටු කර ගත් අවමඟුල් පෙරහැර විහාරස්ථානයේ සිට භූමිදාන මළුව වෙත ගමන් ගත්තේය.   
ලොකු හාමුදුරුවෝ බිම බලාගෙන සංවේගයෙන් වැඩම කළහ. 

 
තරුණ හිමිවරු දේහය සහිත මංජුසාව ඔසවාගෙන ගියහ. සහෝදර සාමණේර හිමිවරු දෑස කඳුළින් තෙත් කරමින් පසු ගමන් ගියහ. උවැසි උවැසියෝ ද හැඬූහ.   
සියලු හදවත් කම්පාවෙන් කම්පාවට පත් කරමින් සසර අනියත බව දෑස් පනාපිට පසක් කළ 16 හැවිරිදි චන්දරතන පොඩි හාමුදුරුවෝ මිහිතලයේ සැඟව යද්දී කතරගම මහින්ද හිමියන් ගැයූ ශෝක ප්‍රකාශ පැදි ගායනය හදවත් තුළ වේදනාව තවත් මෝදු කළේය.   

 

 

සටහන හා ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ