සිරියාව මිනී කනත්තක් කළ තාත්තා සහ පුතා


වළපල්ලට ගිය රටවල්

සිරියාවේ දරිද්‍රතාවය

 

 

රාජ්‍ය පාලනයත් අධිකරණයත් රජයේ පරිපාලන සේවකයත් කුණු වී ඕජස් ගලන තත්ත්වයට පත් වූ රටවල් අගාදයට ඇදවැටුණ අයුරු මෙම ලිපි පෙළ මගින් වසරකට වැඩි කාලයක් තිස්සේ මම පෙන්වා දුනිමි. වංචනික බොහෝ පාලකයන් අහසින් පො​ෙළාවට ඇද වැටී ඔවුන්​ෙග් පවුරු පදනම් දෙදරුම් කෑ හැටි සාධක සහිතව දැක්වූයෙමි. ගවේශනාත්මක මාධ්‍යකරණ න්‍යාය පෝෂණය කොට ඊට අලුත් මානයක් ලබා දීම මගේ අභිප්‍රාය විය. මින් පොදු දේපළ සොරකම් කළ නින්දිත පාලකයින් රාශියකගේ පැටිකිරිය හුවා දක්වන ලදී. බල තණ්හාව නමැති මකරා ආවේශ වූ දේශපාලකයින්ගෙන් රටකට වැඩක් නැති බව පෙන්වා දුනිමි.


එවැනි මකරුන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තම දේශපාලන අභිමතය හා ස්වාර්ථය වෙනුවෙන් අවභාවිත කරනු ලබයි. එවිට එම රටවල දේශපාලන සදාචාරය බල්ලට යාම වැළැක්විය නොහැක. මා වැඩිපුරම දුටුවේ ජනතා පරමාධිපත්‍යය යටපත් කරන අඥාන පාලකයින්ය. නීතිය කෑලි කෑලිවලට කඩන ජනාධිපතිවරුන්ය. අගමැතිවරුන්ය. එවැනි රටවල දේශපාලකයින් හොරා කද්දී රටවැසියෝ කුළල් කා ගනිති. අදත් හඳුන්වාදෙනු ලබන්නේ විනාශ මුඛයට ඇදවැටී තවමත් යුද ගිනිදැල්වලින් දැවෙන තවත් රාජ්‍යයකි. ඒ සිරියාවයි. (Syria)


වළපල්ලට ගිය සිරියාව


සිරියාව හඳුන්වනු ලබන්නේ සිරියන් අරාබි ජනරජය යනුවෙනි. (Syrian Arab Republic) බටහිර ආසියාවට අයත් රාජ්‍යයකි. එහෙත් සිරියාව මැදපෙරදිගට අයත් රටක් වශයෙන් පිළිගෙන ඇත. ඊට මූලික හේතුව මධ්‍යධරණී මුහුදු තීරයේ ලෙබනනය, තුර්කිය, ඉරාකය, ජෝර්දානය, ඊශ්‍රාලය යන රටවලට මැදිව මෙම රට පිහිටා තිබෙන නිසාය. මේ කියන සිරියාව වළපල්ලට ගියේ මේ රටේ ප්‍රශ්නවලට ඇමෙරිකාව, රුසියාව වැනි විදේශ බලවේග මැදිහත් වීම නිසාම නොවේ. මෙහි පාලකයින්ගේ අන්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ද ඊට බලපෑවේය. දීර්ඝ කාලයක් තිස්සේ සිරියාව යුධ භූමියකි. පුරවැසියන් බෙදී වෙන්වී එකිනෙකා කුළල් කා ගැනීම සිරියාවද විනාශ වීමට මූලික හේතුවයි.
1945 ඔක්. 24 දා ප්‍රංශයෙන් නිදහස ලබා​ෙගන 1946 අප්‍රේල් 17 දා ජනරජයක් (Republic) බවට පත්වූ මේ රටේ අද ජනගහණය එක් කෝටි අනූ ලක්ෂයකට මඳක් වැඩිය. මෙම ජනගහනයෙන් 50 ලක්ෂයකට වැඩි පිරිසක් දැනටම තම ආරක්ෂාව තකා රට අත්හැර ගොස් සිටිති. මේ රට විශාලත්වයෙන් ව.කී.මි 1,85,180ක් හෙවත් ව.සැ. 71,500කි. ඉස්ලාම් ජාතිකයින්ගේ සංඛ්‍යාව රටේ ජනගහනයෙන් සියයට 85 කි. ක්‍රිස්තියානි ආගමිකයින්ගේ සංඛ්‍යාව සියයට 11කි. ඉස්ලාම් ආගමිකයන් සුන්නි (Sunni) සහ ෂිට් (Shites) වශයෙන් කොටස් දෙකකට බෙදී මිනීමරා ගන්නා භූමියකි. සිරියාවද දේශපාලන සදාචාරය බල්ලට ගිය රටකි.

 

විනාශ වන සිරියාව අතහැර යන ජනතාව

 


පවුල් පාලනයට වසර 48යි.


රට පළාත් 14 කින් සමන්විතය. අගනුවර ඩැමස්කස්ය. මේ රටේ ජනාධිපති බෂාර් අල් අසාඩ්ය. (Bashar Al Assad) අගමැති ඉමඩ් කමිෂ්ය. ජනපති අසාඩ් එම තනතුර දරන්නේ 2000 වර්ෂයේ සිටය. එනම් වසර 19ක් තිස්සේ ඔහු මේ රටේ ජනපතිය. ඔහු සිරියාවේ යුද හමුදාවේද ප්‍රධානියාය. සිරියාවේ හිටපු ජනපති හෆාස් අල් අසාඩ්ගේ පුත්‍රයා වූ ඔහු සිරියාවේ හිටපු දොස්තර කෙනෙකි. ඔහුගේ පියා 1971 සිට 2000 දක්වා එනම් වසර 29 ක් සිරියාවේ ජනපති ධුරය දැරුවේය. 2000 වර්ෂයේදී හෆාස් අල් අසාඩ් මියගිය විට දොස්තර පුතා ජනපති පදවියට පත් විය.


මිනී කනත්ත


හෆාස් බලයේ සිටින විට ඔහු ඊළඟ ජනපති බවට පත් කිරීමට සිටියේ ඔහුගේ මල්ලී වූ රිෆාට්ය. රිෆාට් (Rifaat) 1983 වසරේදී කුමන්ත්‍රණයකින් රටේ බලය ලබා ගැනීමට උත්සහ කළේය. මෙම කුමන්ත්‍රණය හෙළිවීමෙන් පසු ජනපති මල්ලී රට අතහැර ගියේය. ඊළඟ හිටපු ජනාධිපති හෆාස් (Hafez) ගේ තේරීම වූයේ ඔහුගේ වැඩිමහල් පුතා වූ බසෙල්ය. (Basssel) බසෙල් රිය අනතුරකින් මිය ගිය නිසා ඊළඟ පුතා වූ බෂාර් අල් අසාඩ්ට වාසනාව කැරකී ආවේය. තාත්තාගෙන් පුතාට රටේ පාලනය මාරු වුණේ මෙහෙමය. පුරා වසර 48 ක් තිස්සේ තාත්තා සහ පුතා විසින් පාලනය කරනු ලබන සිරියාව අද මිනී කනත්තක් බවට පත් වී තිබේ.


ව්‍යවස්ථාව බල්ලට දැමූ හැටි


තාත්තා සහ පුතා ඇතුළු පවුලේ උදවියගේ නින්දගමක් වශයෙන් ශීඝ්‍රයෙන් පසුබසින සිරියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී ගොස් දැන් හුඟක් කල්ය. මා මේ සඳහන් කළේ සිරියාවේ දේශපාලනයෙන් බිඳක් පමණකි. 2000 වසරේ ජුනි 10 දා සිරියාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට බෂීර් අල් අසාඩ් කටයුතු ක​ෙළ්ය. එම සංශෝධනයෙන් රටේ ජනාධිපති ධුරයට ඉදිරිපත් විය හැකි අයෙකුගේ වයස සීමාව අවුරුදු 40 සිට 34 දක්වා අඩු කර ගත්තේය. මෙම සංශෝධනය ගෙන එන ලද්දේ තරුණ බෂීර් අල් අසාඩ්ට ජනපති තරගයට ඉදිරිපත් වීමට මාර්ගය පාදා ගැනීමටය.


ලොව ආරාජික බොහෝ රාජ්‍යන්හි පාලකයින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සෙල්ලම් කරන්නේ මෙසෙ​්ය. ලංකාවේද සිදුවන්නේ මේ ටිකමය. සිදුවෙමින් තිබෙන්නේද එයමය.
මෙහි මුළු ජනගහනයෙන් සියයට 80 ක්ම දරිද්‍රතාවයෙන් පෙළෙති. රැකියා විරහිත වූවන්ගේ ප්‍රතිශතය සියයට 50කට වැඩිය. මෙහි ළමා ජනගහනයෙන් ලක්ෂ 26ක් පමණ වෙනත් රටවල අනාථ කඳවුරුවල දුක් විඳිති. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 කට වැඩිය. සිරියාවේ ඇරඹුණ යුද්ධයෙන් මේ දක්වා මියගිය සංඛ්‍යාව 4,70,000 කට අධිකය. මින් 55,000 ක්ම හයක් හතරක් නොදන්නා අසරණ ළමයින්ය. තුර්කියට පමණක් ගිය සරණාගතයින්ගේ සංඛ්‍යාව මිලියන 11කි. කුසගින්නෙන් මියයන සංඛ්‍යාව දහ දහස් ගණනකි. සිරියාවේ සරණාගතයින්ගේ ප්‍රශ්නය ලොව පුරා බොහෝ රටවලට දැන් මහා හිසරදයක් වී තිබේ. අවුරුදු 48ක් තිස්සේ තාත්තා සහ පුතා විසින් පාලනය කරනු ලැබූ සිරියාවේ වත්මන් ඛේදනීය තත්ත්වයෙන් බිඳක් පමණකි මේ.

 


ඉස්ලාම් අන්තවාදීන් වැනසූ රට

 


සිරියාව විනාශ මුඛයට පත් කිරීමේ ක්‍රියාදාමයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ අඩ සියවසක් මේ භූමිය පාලනය කළ අල් අසාඩ් පවුලයි. රටේ සියලු සම්පත් මේ පවුලේ සාමාජිකයන්​ අතරේ බෙදාහදා ගනිද්දී ජනතාවට කරුමය උදාවිය. මෙසේ තාත්තාගේ සහ තාත්තාගේ ඇවෑමෙන් පුතා රට පාලනය කරද්දි අයි.එස් (IS) නමැති උග්‍ර ආගම්වාදී ත්‍රස්ත කල්ලිය සුන්නි හා ෂියා යන මුස්ලිම් ආගමිකයින් අතරට කඩාවැදී තම මතය රට පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කළේය. ප්‍රචණ්ඩත්වයට මුල් තැන දුන්නේය. මේ දේශය ලෝකයේ භයංකාරම භූමිය බවට පත්විය. අයි.එස් සටන්කරුවන් සිරියාවේ ප්‍රදේශ කීපයක්ම අත්පත් කර ගත්හ. ඔව්හු ලොව පුරා තම ආගමික මතවාදය පතුරුවාලීමේ කේන්ද්‍රස්ථානය වශයෙන් සිරියාව තෝරාගත්හ. බෂාර් අල් අසාඩ්ගේ හමුදාව ඔහුට එරෙහි කණ්ඩායම් සමග යුද වැදුණේය. ජාත්‍යන්තර මැදිහත්වීම් හේතු කොටගෙන සිරියා​ෙව් භීෂණකාරී වාතාවරණය කැඳ හැළියක් බවට පත්විය.


ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය සිරියාවේ ප්‍රශ්නයට මැදිහත් වීමත් රුසියාව ඉරානය සමඟ එක්වී එම තත්ත්වය වඩාත් ව්‍යාකූල කිරීමත් තුළින් සිරියාව දැවි දැවී විනාශ වන ගිනිගොඩක් බවට පත්වූයේය. 2011 මැයි 18 සහ 2011 අගෝස්තු 18 අතර ඇමෙරිකාව සිරියාවට එරෙහිව සම්බාධක පැනවීම 2011 සැප්. 23 යුරෝපා සංගමය මේ රටට එරෙහිව සම්බාධක පැනවීම ඊට අරාබි ලීගයද එක්වීම එහි තිබූ ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැමීම ඇමෙරිකාව ප්‍රංශය හා බ්‍රිතාන්‍ය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ආදී විවිධ කටයුතු සිදුවෙද්දී සිරියාවේ ජනතාව වඩාත් අසරණ වූහ. ඔවුන්ට උන් හිටිතැන් අහිමි විය. කුසගින්නේ දුක් අඳෝනා නගන්නට පටන් ගත්හ.


සිරියාවේ ඇරඹුණ ජනවාර්ගික අර්බුදය ඉස්ලාම් ආගම්වාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා අයි.එස්. ත්‍රස්තයින් බිහිවීම අාදියෙහි ආදීනව සහ එහි ඉතිහාසය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා නොකරමි. එය දීර්ඝ ගවේෂණාත්කමක කතාන්දරයකි. 2011 ඇරඹුණ අරාබි වසන්තය (Arab Spring) තුළින් කියැවුණේ බෂීර් අල් අසාඩ්ට ඉල්ලා අස්වන ලෙසයි. ඇතැම් රටවල් ත්‍රස්තවාදී සටන්කරුවන්ට අාධාර කරද්දී තවත් රටවල් අල් අසාඩ්ගේ හමුදාවට ආධාර කිරීමට පටන් ගත්තේය. සලාෆි ජිහාඩ්, හිස්බුල්ලා, අයි.එස්.අයි.එස් (ISIS) ආදී විවිධ කල්ලි රට පුරා ගෙන ගිය ම්ලේච්ඡ ක්‍රියා වඩ වඩාත් උග්‍ර විය. රට අගාදයට ඇදවැටුණේ මෙසේය. බෂාර් අල් අසාඩ් යුද්ධයේදී රසායනික අවි භාවිත කරන බව ඇමෙරිකාවේ මතයයි. ඔහුට එරෙහිව ඇමෙරිකාව සම්බන්ධ වූයේ මේ නිසා බව ඇමෙරිකා රජයේ මතයයි. කෙසේ වෙතත් දැන් සිරියාව නැත්තටම නැති වන තත්ත්වයට පත් වී හමාරය.


ජනපති පවුලේ පැටිකිරිය


බෂාර් අල් අසාඩ්ගේ පවුලේ දූෂණ වංචා ක්‍රියාවන් හේතු කොටගෙන රට අගාදයට අැදවැටුණ බව විවිධ ජාත්‍යන්තර මාධයන්හි මතයයි. ඔහුගේ මස්සිනා වූ රමි මක්ලොෆ් පවුලේ ධනය දෙගුණ තෙගුණ කිරීමේ ප්‍රධාන පුද්ගලයාය. බෂාර් අල් අසාඩ්ගේ අයියා වූ මහර් අල් අසාඩ් හමුදා ප්‍රධානියාය. ඔහුගේ නැගණිය සමඟ විවාහ වූ අසෙෆ් එව්කට් බුද්ධි අංශ ප්‍රධානියාය. ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ රම් ඔකලොෆ් සිරියාවේ අංක එකේ පොහොසතාය. රජයේ සියළු ඉදිකිරීම් සිදු කරනුයේ ඔහුට අයත් ආයතන මඟිනි. අබ්දෙල් ෆටා ඔහුගේ ප්‍රධාන උපදේශකවරයෙකි. පවුලේ ඥාතියෙකි. මොහොමඩ් නසින්ද ඔහුගේ බිරිඳගේ ඥාතියෙකි. හමුදාවේ සියලු සැපයීම් භාරව සිටිනුයේ ඔහුය.


මොහොමඩ් නසීන් සහ අලි මම්ලුක් තවත් උපදේශකයින් දෙදෙනෙකි. පවු​ෙල් ඥාතීන්ය. මොවුන් සියළු දෙනා සමග ඔහු රටේ සම්පත් සූරාකන බව මාධ්‍යයන් අනාවරණය කළේය. පවුල් පාලනයට යටවූ සිරියාව වළ පල්ලට ගොස් ඇත්තේ මේ නිසාය. මෙම උපදේශකයින් පිරිස සිටින තාක් කල් බෂාර් අල් අසාඩ්ට රට ගොඩ ගත නොහැකි පවුල් පාලනයට යට වූ තවත් රටක් විනාශ මුඛයට පත් වී ඇත්තේ මෙසේය. සිරියාවට එරෙහි විදේශ මැදිහත්වීම් සාධාරණය යන්න අපගේ මතය නොවේ. බොහෝ විට රටවල් විනාශ වන්නේ විදේශ මැදිහත්වීම් උග්‍ර වූ විටය.


බොහෝ රාජ්‍යන්හි ජනාධිපතිවරුන්ට වැරදුණ තැන මෝඩ තකතීරු උපදේශකයින් පත්කරගෙන ඔවුන්ගෙන් රට පාලනය කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීමයි. එම උපදේශකයින්ට වඩා ජනපතිවරු අමන දේශපාලකයින්ය. ලොව අසමත් රාජ්‍යයන් රාශියක ජනාධිපතිවරුන් තම තනතුරට තව තවත් බලය ආරෝපණය කර ගැනීමට උත්සහ දැරීම තුළින් ඒ රටවල් කඩිනමින් අගාදයට තල්ලු වී ගිය අයුරු දුටුවෙමි. අනාගතයේදී ලංකාවටත් මේ තත්ත්වය උදාවේද?

 

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි