සාහිත්‍යයට ඇලුම් කළ ලෝක පූජිත සිනමාකරු


බම්බලපිටියේ සාන්ත පීටර විද්‍යාලයේ 1930 වසරේ උගැනීමෙන් සිටි එකොළොස් හැවිරිදි ශිෂ්‍යයෙක් ඉංග්‍රීසි සාහිත්‍යයට ඇලුම් කළේය. ඔහුගේ ප්‍රියතම ලේඛකයා වූයේ විලියම් ශේක්ස්පියර්ය. ඔහු පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඉංග්‍රීසි සාහිත්‍යයටත්, ඉංග්‍රීසි වාක්‍ය රචනයටත්, විද්‍යාලයේ ලස්සනම අත් අකුරු සඳහා ප්‍රමුඛයා වී ත්‍යාග ගත්තා පමණක් නොව පුංචි පුංචි ටිකිරි කතා ‘ඩේලි නිවුස්’ පත්‍රයේ ‘බ්ලූ පේජ්’ පිටුවට ලිව්වේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් යන නම මුලින්ම පළ වූයේ මේ පුංචි කතා තුළිනි. 


ඒ කාලයේ මම කෙටි කතා කරුවෙකු හා කවියෙකු වීමට වෑයම් කළා. සම්සෙට් මෝම්, මාෂල් පෘට්, මුලික් රාජ් ආනන්ගේ කතා ආසාවෙන් කියවූ මම ලන්ඩනයේ සිට ඉංග්‍රීසි බසින් නවකතා ලියූ ජිනදාස විජේතුංග නම් ශ්‍රී ලාංකික ලේඛකයා මෙන් නවකතාකාරයකු වීමට සිහින මැව්වා. ඒ කාලයේ මා සමඟ බ්ලූ පේජ් එකට ලිව්ව සමකාලීන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වූයේ ආනන්දයේ ටාසි විට්ටච්චි (ඔබ්සවර් පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘ), මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ හැරිසන් පීරිස් (ද මෙසෙන්ජර් පත්‍රයේ හිටපු කර්තෘ), බොරැල්ලේ සියලු සාන්තුවරයන්​ෙග් පාසලේ රෙජිනා සමරවීර සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකට මල්කාන්ති, නිරංජලා, නිර්මලා, මනෝජ්, සකුන්තලා ඇතුළු දරු පිරිසගේ මව හා පියා වූයේ හැරිසන් හා රෙජිනාය.) මේ ලේඛක පිරිසට එක් වූ තවත් සමකාලීන ලේඛිකාවක් ඇල්ෆ්‍රීඩා ද සිල්වා. මගේ පියා මා ලේඛකයකු වීමට අකැමැති වුණා. ඒ නිස​ා ඔහු මා කතෝලික ස්වාමි කෙනෙකු කිරීමට සිතා ඔහු මේ ගැන සාන්ත පීටර විදුහල්පති පීටර් පිල්ලේ පියතුමාට පැමිණිලි කළා.


‘මගේ හිත තියෙන්නේ ෆාදර්, ලේඛකයකු වී පුවත්පත් කලාවේදියකු වීමට.’ මම තරයේම කිව්වා. මා අකැමැති දේකට බලපෑම් කිරීමට විදුහල්පතිතුමා අකැමැති වුණා. තරුණ වියට එළඹි ලෙස්ටර් 'Time Of Ceylon Annual' (ටයිම්ස් වාර්ෂිකයට) කෙටිකතා ලිවීය. මේ අතර ඔහු School For Wives වේදිකා නාට්‍යය ද රචනා කොට අධ්‍යක්ෂණය කළේය. මේ නාට්‍යය නිෂ්පාදනය කළේ පසු කලෙක ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ ‘ගම් පෙරළිය’ හා ‘දෙලොවක් අතර’ යන චිත්‍රපට නිෂ්පාදනය කළ ඇන්ටන් වික්‍රමසිංහය. ප්‍රධාන චරිතය රඟපෑවේ පසු ක​ලෙක කතානායකවරයකු හා අමාත්‍යවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස්ය. කවියකු වීමට සිතූ ලෙස්ටර් Cathedral and star නමින් කවි පොතක් ලියූවද එය අසාර්ථක යැයි සිතා එය පුළුස්සා දැමීය.


චිත්‍රපට කලාව පැත්තට ලෙස්ටර්ගේ සිත යොමු කළේ ලංකාවේ දක්ෂතම නිශ්චල ඡායාරූප ශිල්පියකුව සිටි ලයනල් වෙන්ඩ්ට්ය. ලයනල්, ලෙස්ටර්ගේ බාල සොහොයුරු අයිවන් පීරිස්ගේ ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍ර ශිල්පියෙකි) සමීප මිතුරෙකි. පුවත්පත් කලාවේදියකු ලෙස ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ හා ‘ලන්ඩන් ඩයිම්ස්’ පත්‍රවල වාර්තාකරුවකු ලෙස කටයුතු කොට ලන්ඩනයේ දී සිනමාව ගැන පුළුල් අධ්‍යයනයක් ලැබීය.
අප මේ ලිපියෙන් කීමට උත්සහ කරන්නේ ලෙස්ටර් නම් ලේඛකයාගේ සාහිත්‍ය සහෘදයාගේ ඒ සාහිත්‍ය දැනුම සිංහල සිනමාවට භාවිතා වූ අයුරුය. ආචාර්ය ලෙස්ටර් ගැන සිංහල පාඨකයා කොතෙක් නම් දැන හැඳින ගෙන ඇත්ද? ඔහු ගැන තොරතුරු විශ්ව සිනමා විශ්ව කෝෂවල සඳහන්ව ඇත. විශ්ව සිංහල සිනමාව ගැන හැඳින ගත්තේ ඔහු 1956 තැනූ ‘රේඛාවෙනි’. ප්‍රංශ ජාතික ජොජස් සැඩුල් විසින් ලියූ ලෝක සිනමාවේ ඉතිහාසය පිළිබඳ බයිබලයේ සිංහල චිත්‍රපටයක් ගැන ලියා ඇත්තේ ලෙස්ටර්ගේ රේඛාව ගැන පමණි. ලොව සිටින විශිෂ්ට සිනමාකරුවන් දස දෙනාගෙන් කෙනෙකු ලෙස ජගත් පූජිතව සිංහල සිනමාවට ද අප රටට ද ලැබිය යුතු උසස්ම කීර්තිය ලබා දුන් ලෙස්ටර් නම් සිංහල සිනමාවේ අසහාය මිනිසා 99 වැනි විය ගෙවා සිය වසරකට පා තබද්දී අපෙන් සමු ගත්තේය. 


ලෙස්ටර් සාහිත්‍යය සමඟ කොතරම් අවිච්චින්නව බැඳී ඇද්ද යනු ඔහු සිනමාවට නැගූ චිත්‍රපට අතර නවකතා හා එකම එක කෙටිකතාවකින් මොනවට පැහැදිලි වෙයි. ඔහු මුලින් අධ්‍යක්ෂණය කළ ‘රේඛාව’ චිත්‍රපටයට පාදක වූයේ ද ඔහු විසින්ම ලියූ කෙටිකතාවකි. මේ හැර ‘ගම්පෙරළිය’ (1963), ගොළු හදවත (1968), අක්කර පනහ (1970), මඩොල් දූව (1976), අහසින් පොළොවට (1978), බැද්දේගම (1981), කලියුගය (1983), යුගාන්තය (1983), අවරගිර (1995) යන නවකතා ද නිධානය 1972 කෙටිකතාවද දෑස නිසා (1975) වේදිකා නාට්‍යයද, වෑකන්ද වලව්ව (2001) චෙරිවත්ත නාට්‍යයද ඇසුරෙන් ලෙස්ට​ර් සිනමාවට නඟා ඇත.
1967 වසරේ සිටම මට ආචාර්ය ලෙස්ටර් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට (පාසල් ශිෂ්‍යයෙකු ලෙස) අවස්ථාව ලැබුණත් ඔහු ගැන පුවත්පතකට මැදි පිටු දෙකක් ලිවීමට අවස්ථාව මට ලබා දුන්නේ ‘විසිතුර’ සිනමා පුවත්පතේ කර්තෘ ආතර් යූ. අමරසේනයන්ය. ‘ලෙස්ටර් හා සිංහල සිනමාව’ නම් එම ලිපිය මැද පිටු දෙකක පළ කර දීමට ‘විසිතුර’ කතුවරයා නිර්ලෝභී විය. මේ ලිපිය පළ වූයේ 1969 මැයි 22 වැනිදා පැවති ලෙස්ටර් චිත්‍රපට උළෙල නිමිත්තෙනි. ‘සරසවිය’ පුවත්පතට සම්බන්ධවීමෙන් පසු ලෙස්ටර් මහතා මගේ වැඩිමහල් මිත්‍රයකු විය. එදා මෙදා මා ඔහු ගැන ලිපි සිය ගණනක් ලියා ඇත.


ආචාර්ය ලෙස්ටර්ගේ චිත්‍රපට ත්‍රිත්වය (ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය) සම්පූර්ණ කිරීමට මටත් දායක වීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. 1963 ගම්පෙරළිය තිරගත කිරීමෙන් පසු ඔහුට එහි දෙවැනි කොටස වූ ‘කලියුගය’ සිනමාවට නැගීමට වසර 20ක් ගත විය. 1982 එක්තරා දවසක චිත්‍රපට නිෂ්පාදක මා මිත්‍ර විජය රාමනායක කැඳවාගෙන ඩික්මන් පාරේ නිවසට ගොස් ලෙස්ටර් මහතාට හඳුන්වා දුන්නේය. ඉන් පසු 1982 වසරේ ‘කලියුගය’ ද 1985 මේ තුන් ඈඳුතු නවකතාවේ තෙවැනි කොටස වූ ‘යුගාන්තය’ ද නිපදවීමට මා පසුබිමේ සිටි බව පවසන්නේ මා අතින් සිංහල සිනමාවට වූ පුංචි අනුග්‍රහය නිහතමානීව සිහිපත් කරමිනි. ඉන්පසු මා මිත්‍ර ඩිල්මන් ජයරත්න සමඟ ගොස් ජී.බී. සේනානායකගේ ‘අවරගිර’ චිත්‍රපටයද ලෙස්ටර් චිත්‍රපට නාමාවලියට එකතු කිරීම මම පිඹුරුපත් සකස් කළෙමි.


සිනමාව, සාහිත්‍යය, කලාව, ඉතිහාසය, පුරාවිද්‍යාව, කැමරා ශිල්පය ගැන ලියැවුණු ග්‍රන්ථ හාරදාහකින් පමණ සැදුම් ලත් අංගසම්පූර්ණ පුස්තකාලයක් තිබූ එකම සිනමාකරුවා ඔහුය. සිරිල් බී. පෙරේරා, සුගතපාල ද සිල්වා, තිස්ස අබේසේකර, බෙනඩික්ට් දොඩම්පෙගම, පිලිප් කුරේ ආදීන් මේ පුස්තකාලයෙන් උපරීම ප්‍රයෝජන ගත්හ. කලාත්මක මෙන්ම සිනමාත්මක අගයකින් යුතු සිනමා කෘතියක් නිපදවීමට සුදුසු සිංහල නවකතා ගැන ලෙස්ටර් මහතා නිරතුරු සැදී පැහැදී සිටියේය. ජී.බී. සේනානායකගේ ‘නිධානය’ කෙටිකතාවෙන් චිත්‍රපටයක් කළ හැකි බව පෙන්වා දුන්නේ පුවත්පත් කලාවේදී බෙනඩික්ට් දොඩම්පේගමය.


‘ඔන්න ලෙස්ටර් හොඳ කෙටිකතාවක් තියෙනවා කරනව නං’ බෙන්ඩික්ට් කී යෝජනාව මල්ඵල ගැන්විණ.


ලෙස්ටර්ගේ නිධානය ඔහුගේ පමණක් නොව සිංහල සිනමාවේ ද විශිෂ්ටතම කෘතිය ලෙස විචාරක සම්භාවනාවට ලක් විය.


නවකතාවකින්, කෙටිකතාවකින්, වේදිකා නාට්‍යයකින්, එසේත් නැතිනම් ගුවන් විදුලි නාට්‍යයකින් පවා හොඳ චිත්‍රපටයක් නිපදවිය හැකි බව වරක් කී ලෙස්ටර් මහතා කොටින්ම දුරකථන නාමාවලිය ඇසුරෙන් වුවත් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට පුළුවන් බව මට කියා ඇත.


නවකතාවක විස්තර වෙන සිද්ධීන් ඒ ලෙසට සිනමාවට නැඟීමට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අවශ්‍ය නැහැ. මම කිව්වොත් ‘කළු මහත මිනිහෙක් මට ගැහැව්වා’ කියලා. මේ කියමන අසා සිටි පස් දෙනෙක් තුළ මට ගැසූ පුද්ගලයාගේ හැඩරුව ගැන ඇත්තේ පස් ආකාරයක හැඟීම් සමුදායක්. මේ විදියට චාල්ස් ඩිකන්ස් හෝ වෙනත් නවකතාකරුවකුගේ නවකතාවක එක චරිතයක් සියුම් ලෙස විස්තර වෙන නිසා මේ චරිත ගැන පාඨකයා තුළ කලින් මැවුණු චිත්‍රයක් තියෙනවා. මේ ආකාරයට කලින් මවා ගත් රූපයක් ඇතුවයි කීප වතාවක්ම කිය වූ ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් බැලීමට ප්‍රේක්ෂකයා යන්නෙත් ඒ ආකාරයට. මේ විදිහට නවකතාවේත්, චිත්‍රපටයේත් එන චරිත තුළින් එක සමාන වින්දනයක් ප්‍රේක්ෂකයින්ට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙය විශ්ව සිනමා කෘතිවලට ද පොදු ලක්ෂණයක්. ලෙස්ටර් මහතා කීය.


අධ්‍යක්ෂණය කළ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ ජිනදාසත්, නවකතාවේ එන ජිනදාසත් ගති ලක්ෂණ අතින් පරස්පර විරෝධී බවයි ලෙස්ටර් පවසා ඇත්තේ. නවකතාවේ එන කෙට්ටු ඈලි මෑලි ගතියෙන් යුත් ජිනදාසට වඩා අැඟපතින් සම්පූර්ණ ගාමිණී ​ෙෆාන්සේකා තෝරා ගැනීම ගැන නවකතා රචක මාර්ටින් වික්‍රමසිංහ මවිත වී ඇත. පසුව වික්‍රමසිංහයන් තමාගේ නවකතාවේ එන ජිනදාසට වඩා චිත්‍රපටයේ ජිනදාස කැපී පෙනුණ බව ලෙස්ටර්ට කියා ඇත. ලෙස්ටර් එදා අපට කීවේ ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දා ලෙස රඟපෑ පුන්‍යා හීන්දෙණියටත්, ගොළු හදවත චිත්‍රපටයේ දමයන්ති ලෙස රඟ පෑ අනුලා කරුණාතිලකත් ප්‍රේක්ෂක ප්‍රශංසාව දිනූ බවය. සිංහල සිනමාවට නැඟී ඇති නවකතා අතර වාණිජමය අතින් සාර්ථක වූ චිත්‍රපට නිපදවා ඇත්තේ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතා ඇසුරෙන් බව කියන ලෙස්ටර් ඒ නවකතාවකින් කිසිදු කලාත්මක හා සිනමාත්මක චිත්‍රපටයක් බිහි කිරීමට නොහැකි බව පවසා ඇත්තේ ඒ නවකතාවල එන චරිත හා සිද්ධි කිසිසේත් විශ්වාස කළ නොහැකි අයුරින් නිර්මාණව ඇති බව පවසමිනි.


සිංහල සාහිත්‍යය ලෝකය හොඳින් හඳුනන ඇන්ටන් චෙකොෆ්ගේ ලේඩි විත් අ ලිට්ල් ඩෝග් (බල්ලා කැටුව යන කාන්තාව) කෙටිකතාව ඇසුරෙන් හර්මන් හයිප්ට්ස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය කෙටිකතාවේ අගය වැඩි කළ උසස් සිනමා කෘතියක් බව ලෙස්ටර්ගේ අදහසයි. නොයෙල් කවර්ඩ්ගේ ඒකාංගික​ කෙටි නාට්‍යයකින් ඩේවිඩ් ලීන් නිර්මාණය කළ ‘බ්‍රිෆ් එන්කවුන්ටර්’ චිත්‍රපටය ද ලෝකයේ උසස් සිනමා කෘති අතරට එක් වන බවද ඔහු කීවේය.


‘මා නිධානය නිර්මාණ්‍ය කළේ ජී.බී. සේනානායක ගේ පිටු 04ක කෙටිකතාවකින්. එහි කිසිදු දෙබසක් තිබුණේ නැහැ. මේ කෙටිකතාවේ ප්‍රබලතාව මගේ මිත්‍ර පත්‍රකලාවේදී බෙනඩික්ට් දොඩම්පෙගමගේ තීක්ෂණ බුද්ධියට හසු වුණා. ‘නිධානය’ නිර්මාණය කිරීමේ දී මා විසින් මෙතෙක් නිර්මාණය කරන ලද වඩාත් අසීරු චිත්‍රපටය ලෙස මට හැඟී ගියා. නිධානය අති උත්කර්ෂවත් විෂයයක් සේ මට දැනෙනවා. ගුණසේන ගලප්පත්ති ගේ ‘දෑස නිසා’ වේදිකා නාට්‍යය ඇසුරෙන් මා චිත්‍රපටය නිර්මාණ්‍ය කළේ නාට්‍යයේ සාරංශය දැකීමෙන් ඇති වූ චමත්කාරය නිසා. කෙදිනක හෝ මනමේ නාට්‍යය ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මා බලාපොරොත්තු වෙනවා. 1959 වසරේදී පමණ ‘මනමේ’ නාට්‍යය සිනමාවට නැගීමේ අදහසින් මා සුගතපාල ද සිල්වා ද සමඟ සරච්චන්ද්‍රයන් මුණගැසීමට ගිය වෑයම අසාර්ථක වුණා. ලෙස්ටර් තමාට වැරදුණු තැන් විස්තර කරමින් අපට කීවේය. මේ සංවාදය ඇති වූයේ 1979 නොවැම්බර් මාසයේය.


ලෝකයේ නවකතා ඇසුරෙන් නිපද වූ චිත්‍රපටවල කාලය දිගු වී අැති බවයි ලෙස්ටර් එදා සඳහන් කළේ. ඩේවිඩ් ලීන්ගේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ චිත්‍රපටය පැය හතරක් ද ‘රයන්ස් ඩෝටර්’ පැය තුනහමාරක්ද ‘ලෝරන්ස් ඔෆ් ඇරේබියා’ පැය හතරහමාරක්ද ධාවනය වූ අතර ශ්‍රී ලංකාවේ නම් පැය 2 1/2කට වර්ණ චිත්‍රපටයක් ධාවන කාලයකට සීමා විය යුතු බවයි ලෙස්ටර්ගේ අදහස.


ප්‍රබන්ධ කතා සාහිත්‍යයට ලෙස්ටර් කොතරම් ඇලුම් කළාදැයි කිවහොත් සෑම උදෑසනකම ඔහු තම දවස ආරම්භ කරන්නේ අලුත් පොත් අත ඇතිවය. වරක් ඔහු මා සමඟ කතා කරමින් සිටින අතර සිනමාවට නැගිය යුතු සිංහල නවකතා ගැන විමසීය.


‘ඇයි මිස්ටර් පීරිස්, කේ. ජයතිලකගේ ‘චරිත තුනක්’ හොඳ නැද්දයි’ මම ඇසුවෙමි.
‘අයිසෙ මම ඒ නවකතාව ගැන අහල තිබුණා. ජයතිලකගෙන් අහල බලමු.’
ඒ වකවානුවේ ජයතිලක මහතාගේ පොත් කවර නිර්මාණය කළේ මාය. 
ඒ නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් නද්ද’ යි ලෙස්ටර් මහතා මගෙන් ඇසීය.


‘ඉන්න මිස්ටර් පීරිස්, තව සති දෙකක්. ‘චරිත තුනක්’ මිස්ටර් එඩ්වින් ආරියදාස ඉංග්‍රීසියට පරිවර්තනය කරලා මේ දවස්වල මුද්‍රණයේ තියෙනවා. එත කොට මම කොපියක් ගෙනත් දෙන්නම්. මම ඒකේ පිටකවර ඩිසයින් කළේ. මම කීවෙමි.


සති තුනකින් පමණ ත්‍රී කැරැක්ටර්ස්’ නම් ඒ පරිවර්තන කෘතියේ මට ලැබුණු පිටපත මම ලෙස්ටර් මහතාට දුනිමි. කතුවර ජයතිලකගේ හා පරිවර්තක එඩ්වින් ආරියදාසගේ අත්සන ද එහි විය. කෙසේ වෙතත් ‘චරිත තුනක්’ සිනමාවට නැඟීමට නිෂ්පාදකයකු සොයා ගැනීමට නොහැකි විය. මගේ පොත තවමත් ලෙස්ටර්​ෙගේ අගනා පුස්තකාලයේ වැජඹෙමින් තිබේ. මගේ පිටපත මට අහිමි විය.


ආචාර්ය ලෙස්ටර් සිනමාවට නැගීමට ඉතා කැමැත්තෙන් සිටි තවත් නවකතාවකි මාර්ටින් වික්‍රමසිංගේ ‘විරාගය’. ඒ ඔහු ‘බැද්දේගම’ රූ ගත කරන කාලයේය. එදා ඔහු මට කියූ මේ පුවත ‘සරසවිය’ පත්‍රයේ 1979 නොවැම්බර් මාසයෙත් මම නිවේදනය කළෙමි. එහිදී ඔහු සඳහන් කළේ අරවින්දගේ චරිතය සඳහා ටෝනි රණසිංහ තෝරා ගැනීමට අදහස් කරන බවය. විරාගයේ තිර නාටකය ලියන තිස්ස අ​බේසේකර ද අභියෝග රැසකට මැදිව ඇති බවය. හරියටම දින පොතක සිද්ධීන් මෙන් අරවින්දගේ චරිතය දිග හැරෙන බවද ඔහු කීය.


සිංහල නවකතාවට ඔහු සහ බිරිඳ සුමිත්‍රා පීරිස් කෙතරම් ඇලුම් කළාද යත් උදෑසන තේ පානයෙන් පසු සැප පුටු දෙකක වාඩි වී වරුවක් තමන් සිත් ගත් නවකතා හා එහි චරිත ගැන කතා කරති. මටද එවැනි සාකච්ඡාවලට ඇතැම් විට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි, ‘ගඟ අද්දර’, යහළු හෙහෙළි, මායා, සාගර ජලය, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. උදෑසන අවදිව සම්පූර්ණ ඇඳුමින් සැරසී හාන්සි පුටුවක හිඳ පොතක් කියවමින් සිටින ආචාර්ය ලෙස්ටර්ගේ සුපුරුදු දසුන අපට ඉදිරියට දකින්නට ලැබෙන්නේ නැත. 

 

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර

 


සම්මානය සොරකම් කරලා  

ආචාර්ය ලෙස්ටර් තරම් ජාත්‍යන්තර සම්මාන ලැබූ ශ්‍රී ලාංකේය සිනමාකරුවකු නැති තරම්ය. 1965 නවදිල්ලියේ පැවැති අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි The Golden Peacock (රණ මයුර) සම්මානය හිමි වූයේ ඔහු නිර්මාණය කළ ‘‘ගම්පෙරළිය’’ චිත්‍රපටය සඳහා. එය ලබා ගත්තේ එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතාය. ඒ මහතාගේ නිවසේ තිබූ ඒ සම්මානය ඔහුගේ අභාවයත් සමග නිවසින් අතුරුදන් විය. 1978 ලෙස්ටර්ගේ ‘‘අහසින් පොළොවට’’ චිත්‍රපටය කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තුන්වන ලෝකයේ හොඳම චිත්‍රපටයට හිමි Akhnaton (ඇක්නටොන්) සම්මානය එහි නිෂ්පාදක යූ.ඩබ්ලිව්. සුමතිපාල මහතාට හිමි වී එය තම නිවසේ තිබිය දී කිසිවකු විසින් සොරා ගන්නා ලදී. එය අද වන තුරු හමු වී නැත.  


පසුගියදා ලෙස්ටර් මහතාගේ දේහය ගෙදර තිබූ අවස්ථාවේ තවත් සම්මානයක් රවුම් හැඩ ඇති මොණරෙකුගේ සංකේතයක් සහිත සම්මානය කිසිවකු විසින් සොරා ගන්නා ලදී. එය මුග්ධ රසිකයකු විසින් ගෙන ගොස් ඇත. සිනමාවේ නාමයෙන් එය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.