ශ්‍රී ලංකාවේ පෙරපාසල් විප්ලවයක් කළ මොන්ටිසෝරි


1948 වර්ෂයේදී මාරියා මොන්ටිසෝරි ලංකාවට පැමිණි අවස්ථාවේදී යහපත් එ​ෙඬ්රා කන්‍යා සොහොයුරියන් සමග

 

 

මොන්ටිසෝරි යාම අප බොහෝ දෙනෙක් කළ දෙයකි. එයට සමීපතම නම පෙරපාසල් යෑම වේ. නමුත් මොන්ටිසෝරි යන වදනේ සැබෑ තේරුම ඇසුවොත් බොහෝ දෙනෙක් නොදනිති.  


මොන්ටිසෝරි යනු, ලොව කීර්තිමත් අධ්‍යාපනඥයකු සහ වෛද්‍යවරයකු වූ ඉතාලි ජාතික මරියා මොන්ටිසෝරි විසින් ලොවට හඳුන්වා දුන් මොන්ටිසොරි ළමා අධ්‍යාපන ක්‍රමවේදය ලොව පුරා ශීඝ්‍රයෙන් පතළ විය.   
ලොවම ඉතා ඉක්මනින් වැළඳගත් මෙම අධ්‍යාපන ක්‍රමවේදය මරියා මොන්ස්ටිසොරි මැතිනිය විසින්ම ශ්‍රී ලංකාවට පැමිණ එය ප්‍රචලිත කිරීමට ගුරු පරපුරක් ද බිහි කිරීමට මූලිකත්වය ගෙන අදට වසර 74ක් සපිරේ.   


මොන්ටිසෝරි අධ්‍යාපනය සහ යහපත් එඬේරා කන්‍යා සොහොයුරියෝ  


වර්ෂ 1906දී වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය ලොවට හඳුන්වා දුන් AMI නොහොත් Association Montessori International ළමා අධ්‍යාපන ක්‍රමවේදය 1944 වසරේ දී යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ කතෝලික නිකායට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට මුළුමනින්ම භාරදෙන ලදී. පසුගිය වසර 73 පුරා යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන් විසින් නිහඬව ශ්‍රී ලංකාවේ පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපනය හැඩ ගැස්වීමට මූලිකත්වය ගෙන කටයුතු කරා පමණක් නොව එම ක්‍රමවේදය අනුගමනය කරමින් උගන්වන දහස් ගණනක් ගුරුවරුන් බිහිකර ඇත. 


1935 වර්ෂ​ෙය් දී වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය විසින් Association Montessori International මූලස්ථානය නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර AMI මූලස්ථානය ආරම්භ කළ අතර ශ්‍රී ලංකාවේ AMI මූලස්ථානයට අනුබද්ධ එකම ශ්‍රී ලාංකික පෙරපාසල් අධ්‍යාපන පාඨමාලාව සහ ආයතනය යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන එකම ගුඩ් ෂෙෆර්ඩ් මාරියා මොන්ටෙසොරි (Good Shepherd Maria Montessori) පුහුණු මධ්‍යස්ථානය වේ.   


ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපනයේ සන්ධිස්ථානය 

 
1944 වසර ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපනයේ කඩඉමක් සටහන් කරන වසරක් විය. ලංකා ගුරු සංගමයේ (Ceylon Teachers Association) ආරාධනය පරිදි වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය ඇයගේ පුතා මාරියෝ සමග ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරට පළමු පෙරපාසල් ගුරු පුහුණුව පැවැත්වීමටය. මොන්ටිසෝරි මැතිනිය ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ ගුරු පුහුණු වැඩසටහනක් අවසන් කිරීමෙන් පසුවය. ඉන්දියාවේ පැවැති පුහුණුවට ශ්‍රී ලාංකිකයින් වන ජෝයිස් ගුණසේකර සහ ලීනා වික්‍රමරත්න ද සහභාගි වූ අතර මොවුන් පසුව ලංකාවේ පෙරපාසල් මොන්ටිසෝරි අධ්‍යාපනයේ ප්‍රමුඛයෝ වූහ.  


මොන්ටිසෝරි මැතිනිය විසින් කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පවත්වන ලද පාඨමාලාවේ ජෝයිස් සහ ලීනා සහය වූ අතර පසුකාලීනව මොවුන් දෙදෙනා තම ජීවිතයම ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි අධ්‍යාපනය නගා සිටුවීමට කැප කළහ.  


තුන්සියයකට අධික පිරිසක් මෙම පාඨමාලාවට සහභාගි වූ අතර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සරසවි සහ ගුරු විද්‍යාල කථිකාචාර්යවරුන්, පාසල් දරු දැරියන් තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන මවුවරුන් සහ යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියෝ විශාල සංඛ්‍යාවක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.   


පාඨමාලාව අවසන් කර මොන්ටිසෝරි මැතිනිය ශ්‍රී ලංකාවෙන් පිටත්වන විට මෙම නවමු පෙරපාසල් අධ්‍යාපන ක්‍රමවේදය එවකට යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිනිය වෙත භාරදුන් අතර එදා සිට ගරු කන්‍යා සොහොයුරි සොහොයුරියන්ගේ නිකාය අන්තර්ජාතිකව ව්‍යාප්තව පවතින AMI පවුලේ සාමාජිකයකු බවට පත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙරපාසල නොහොත් මොන්ටිසෝරිය 1944 දීම කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආරම්භ කළ අතර එහි ප්‍රථම පාලික තනතුරට පත්වූයේ ගරු ඊට ක්ලීරි (Sr. Ita Cleery) කන්‍යා සොහොයුරියයි. එම වසරේම ලීනා වික්‍රමරත්න විසින් කොල්ලුපිටියේ ළමා නිවාස (House of Children) ආරම්භ කළ අතර පසුව එය ඇයගේ උපන්ගම වන මහනුවරට ගෙනයන ලදී.   


මෝන්ටිසෝරි මැතිනිය පසුව 1948 ශ්‍රී ලංකාවට පැමිණිය අතර මෙවර පැමිණියේ ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ප්‍රථම නිදහස් සැමරුමට සහභාගි වීමටය. මෙවර මොන්ටිසෝරි මැතිනිය ජොයිස් ගුණසේකර විසින් අරඹන ලද ළමා නිවාස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූවාය.   


ශ්‍රී ලංකාවේ මෙම අගනා අධ්‍යාපන පුනරුදය​ට මුලපිරූ මොන්ටිසෝරි මැතිනිය AMI මූලස්ථානය පිහිටි නෙදර්ලන්තය සඳහා පිටත් වූ අතර 1952 මැයි මස 6 වන දින මිය ගියාය.   


මේ වනවිට ලොව පුරා ප්‍රචලිතව පවතින AMI සංවිධානයේ කොටස්කරුවකු ලෙස ගුඩ් ශේපර්ඩ් මාරියා මොන්ටිසෝරි පුහුණු මධ්‍යස්ථානය කටයුතු කළ අතර 1957දී ඇ.එ. ජුස්ටන් මහතා AMI හි නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවට පත් කළේය. ගරු ඊට ක්ලීරි කන්‍යා සො​ෙහායුරිය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අතර ඇයට පසුව 1961 දී ගරු ජෝන් බොස්කෝ මෙම තනතුරට පත්විය.   


AMI මොන්ටිසෝරි ගුරු පුහුණුව සිංහල බසින්   


1963 වසර වනවිට මොන්ටිසෝරි ගුරු පුහුණුව දේශීයකරණය කිරීම නොහොත් සිංහල බසින් ගුරු පුහුණුව කර සිංහල කොළඹින් පිට ඉංගිරිසි බසින් ඉගෙන ගැනීමට අපහසු නමුත් පෙරපාසල් ගුරු පුහුණුව ඉගෙන ගැනීමට කැමති තරුණියන් ඒ වෙත යොමුකර ගැනීමට යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියෝ උත්සුක වූහ. ගරු ජෝන් බොස්කෝ සහ ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරියන් 1963 වසරේදී මාරියා මොන්ටිසෝරි මැතිනියගේ පුත් වූ මාරියෝ මුණගැසී මේ සඳහා අවසර ඉල්ලූ අතර මොන්ටිසෝරි මැතිනිය විසින් රචිත (The Secret of Childhood) නමැති ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමට අවසර ඉල්ලූහ. මේ ගමනින් පසුව ගරු ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරිය ඉන්දියාවේ කල්කටා නුවර වැඩිදුර ගුරු පුහුණුව සඳහා නැවතුණ අතර නැවත 1964 යහපත් එඬේරා පුහුණු මධ්‍යස්ථානයට සම්බන්ධව මෙරට ප්‍රථම පෙරපාසල් ගුරු පුහුණුව සිංහල බසින් ශිෂ්‍යාවන් 14 කගෙන් ආරම්භ කළාය. මෙය ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ද කඩඉමක් විය.   


1976 දී ගරු ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරිය පුහුණු මධ්‍යසථානයේ අධ්‍යක්ෂිකා තනතුරට පත් වූ අතර පසුව 1985 වර්ෂයේදී ගරු බෙනිල්ඩස් කන්‍යා සොහොයුරිය අධ්‍යක්ෂිකා ධුරයට පත්වූ අතර නැවතත් 1994 ගරු ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරිය පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන තනතුරට පත්වූ අතර ඇය වර්තමානය දක්වා මධ්‍යස්ථානයට නායකත්වය සපයන්නීය.   


“අපගෙන් මේ පුහුණුව ලැබූ විශාල පෙරපාසල් ගුරුවරුන් අද ලංකාව පුරාම සේවය කරන අතර බොහෝ දෙනෙක් තමන්ගේම පෙරපාසල් අරම්භ කර ඇත. අධ්‍යක්ෂිකා ගරු ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරිය පැවසුවාය. අපි සතුටු වන තවත් කාරණයක් වන්නේ මෙම පාඨමාලාව හැදෑරු විශාල සංඛ්‍යාවක් ඉතා දියුණු රටවල් ඇතුළු විශාල රටවල් ගණනාවක ලොව පුරා සිටින දරුවන්ට පෙරපාසල් අධ්‍යාපනය ලබා දීමයි” ඇය පැවසුවාය.   


“අපි මෙම වටිනා පුහුණුව ඉතාම කුඩාවට ආරම්භ කර අද වනවිට විශාල පෙරපාසල් ගුරු පරපුරක් සහ ශිෂ්‍ය පරපුරක් බිහිකර අවුරුදු 70ක කාලයක් පුරා මොන්ටිසෝරි විසින් සොයාගනු ලැබූ මෙම අගනා අධ්‍යාපන ක්‍රමවේදය මෙරට පුරා ව්‍යාප්ත කිරීමට හැකිවුණා” ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.   


මොන්ටිසෝරි ක්‍රමවේදයට රාජ්‍ය ගෞරවය   


ශ්‍රී ලංකා අධ්‍යාපන සේවය සහ රජය විසින් මාරියා මොන්ටිසොරි විසින් හඳුන්වා දුන් මෙම විශේෂිත අධ්‍යාපන ක්‍රමවේදය කිහිප විටක් ගෞරවයට පාත්‍ර කළ අතර වසර 2000දී මරියා මොන්ටිසෝරිගේ 130 වැනි ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුද්දරයක් නිකුත් කළේය.

 

 


විශේෂ ලියුම්කරුවකු විසිනි