ශ්‍රී මහා බෝධියේ හැඩරුව ඇති බෝධීන් වහන්සේ නමක්


සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් වැඩම වනු ලදුව මහමෙවුනා උයනේ බෝධීන් වහන්සේ රෝපිත කරනු ලැබුවේ දෙවියන් සහිත ලෝක වාසීන්ගේ අනේකවිධ සත්කාර, පූජාවන් ලබමිනි. උන් වහන්සේගෙන් හටගත් අෂ්ඨඵල බෝධි ශාඛාවන් ඇතුළු හටගත් දෙතිස් පලවලින් රෝපිත මහා බෝධීන් වහන්සේලා පිළිබඳව ලියවුණු බෝධි වංශ කතාව බෞද්ධ ජනතාවගේ සිත් බැඳගත් ආකර්ෂණීය, ස්වර්ණමය කතා වස්තුවකි. ඒ බෝධි වංශ කතාව ඔබත් කියවා ඇතැයි සිතන නිසා ඒ ගැන හැඳින්වීමට උත්සුක නොවෙමි.   


සංසාර ගත පුරුද්දකට දැයි නොදනිමි, පැවිදි වීමේ අදිටනින් මා ඊට සුදුසු නිසංසල ග්‍රාමීය ආරාමයක් සොයමින් සිටින අතර මට හිතවත් හිමි නමක් හමුවිය. උන් වහන්සේට මගේ අදහස ප්‍රකාශ කොට සුදුසු විහාරස්ථානයක් සොයා දෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ අවස්ථාවේ උන් වහන්සේගේ යෝජනාව ගැන දෙවරක් නොසිතා උන් වහන්සේ යටතේ පැවිදි වීමටත් වැඩ සිටීමට සුදුසු යැයි තීරණය කළ ආරාමය දැක බලා ගැනීමටත් උන් වහන්සේ සමග එහි ගියෙමි. එම විහාරස්ථානය සැබවින්ම, ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන රමණීය පරිසරයක පිහිටි විහාරස්ථානයක් විය. ඒ නිසංසල පරිසරයට මගේ සිත බැඳුණි. එහිදී විශේෂයෙන් මගේ සිත ඇදී ගිය ආමාර්ෂණීය වස්තුවක් කෙරෙහි අවධානය යොමු විය. සාමාන්‍ය පුද්ගලයෙකු දකින යම් දෙයක් ඒ ස්වරූපයෙන් එහා ගිය දර්ශනයක් ලෙස දකින විශේෂ උරුමයක් කවියෙකු සතුව ඇත. ඒ අනුව එහි රෝපිත බෝධිය සාමාන්‍ය බෝධීන් වහන්සේ නමකට වඩා අනුහසක්, ස්වරූපයක් කියා පාන අදෘශ්‍යමාන බලවේගයක් නිහඬව පළ කරන බෝධීන් වහන්සේ නමක් සේ මසිතට දැනුණි.  


ප්‍රමාණයෙන් කුඩා වුවත් වසර 200ක් තරම් පැරණි යයි සිතිය හැකි එම බෝධීන් වහන්සේ වෙත නෙත ගැටෙත්ම මගේ සිත දිව ගියේ මහ මෙවුනා උයනේ වැඩ හිඳින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙතය. එසේ වූයේ ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්ගේ ස්වරූපයට සමීපතාවක් හැඩරුවක් එම බෝධිය තුළින් පසක් වුණු නිසා යයි සිතමි. මෙම බෝධීන් වහන්සේගේ පැහැයත් වැඩී ඇති ප්‍රමාණයත් ප්‍රධාන ශාඛා තුන හතරක් විහිදී ඇති ආකාරයත් නිරීක්ෂණය කිරීමේ දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුරුවක් සේ මම දිටියෙමි. කුමන හෝ අනුහසක් ඇති බෝධීන් වහන්සේ නමක් ලෙසින් ගෞරව පෙරදැරිව සැදැහැයෙන් බෝධීන් වහන්සේ වන්දනා කොට ආපසු නික්මුනේ මෙම බෝධීන් වහන්සේගේ පුරාවෘත්තය සොයා බැලීමේ අභිලාෂයක් සිතෙහි ඇතිවය. ගමේ වයෝවෘද්ධ උදවිය මේ බෝධීන් වහන්සේගේ කතාව කීහ.  


රත්නපුරයට අභිමානයක් වූ ශ්‍රී පාදස්ථානය පැහැදිලිව ප්‍රදර්ශනය වෙන, තෙරුවන් කෙරෙහි සැබෑ විශ්වාසයක්, ගෞරවයක්, භක්තියක් තවමත් ඇති සැදැවතුන්ගෙන් හිඟ නොවුණු මේ පිං බිමේ උපාසක උපාසිකාවන් පිරිසක් අනුරාධපුර වට වන්දනාවේ ගොස් ඇත. ඒ දැනට වසර 150කටත් පෙරය. එම පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට දිවමන් බුදුන් දකින්නා සේ ශ්‍රද්ධාවෙන් බෝධි මැඩට පිවිස මල්, පහන්, සුවඳ දුම්, ගිලන් පස පූජා කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කළේ අසීමිත ශ්‍රද්ධාවෙනි. මෙවැනි පූජනීය වස්තූන් කොතෙක් වැන්දත් ශ්‍රද්ධාව පහ වී නොයන නිසා දොහොත් මුදුන් තබා සාධුකාර දෙමින් බෝධීන් වහන්සේ වටා ප්‍රදක්ෂිණාවෙහි යෙදී ඇත.  


එසේ උතුරා යන ශ්‍රද්ධාවෙන් ප්‍රදක්ෂිණාවෙහි සිටිය එක් උපාසිකා මාතාවකට බෝධීන් වහන්සේගේ මළුවට ආසන්නම කොටසේ කුඩා බෝධි අංකුරයක් පැන නැගී ඇති අයුරු දකින්නට ලැබී ඇත. සැණෙකින් ඒ උපාසක මාතාවගේ සිතෙහි ඇති වී ඇත්තේ එම බෝධි අංකුරය කෙසේ හෝ ගලවා ගෙන විත් ගමේ සුදුසු ස්ථානයක රෝපිත කර වැඳුම් පිදුම් කිරීමේ පරම අභිලාෂයයි. ඇය දෙවරක් නොසිතා වටපිට බලා තමන් ළඟ සිටි දෙදෙනාට මුවා වී ගමන් මල්ලේ තිබුණු කුඩා පිහියෙන් තදකර බෝධි අංකුරය ගලවාගෙන, රෙදි කඩක ඔතා සුරැකිව ගමට ගෙනවිත් භාජනයක තැන්පත් කර පෝෂණය කර ටික දිනකට පසුව මෙම පිං බිමෙහි රෝපණය කර ඇත. එසේ රෝපණය කර බෝධි වන්දනාවේ නිරත වී සිටිය බවට තොරතුරු හෙළි විය. එසේ ගම් වැසියන්ගේ පූජෝපහාරයට පාත්‍ර වෙමින් වැඩුණු මෙම බෝධීන් වහන්සේට පුද පූජා පවත්වා භාරහාර වී සෙත් ශාන්තිය ලද අය ද බොහෝ ඇත.  


මෙම බෝධීන් වහන්සේගේ වංශ කතාව බොහෝදුරට සත්‍යයක් යයි මම විශ්‍වාස කරමි. මේ ගැන තොරතුරු සොයා බැලීමට යම් කිසි මාධ්‍යයක් උත්සාහ වෙන්නේ නම් මගේ හෙළිදරව්ව කොතෙක් දුරට සත්‍ය දැයි අවබෝධ වෙනු ඇත. මෙම අසිරිමත් බෝ රජුන් වැඩ සිටින්නේ රත්නපුර කුරුවිට එරත්න ශ්‍රී පාද මාර්ගයේ සුදගල විද්‍යාලය පසුවෙත්ම හමුවන සුදගල හංදියෙන් දකුණට හැරී කි.මී. 05ක පමණ දුරක් එන විට හමුවන උතුරු කණෙගල්ල බෝධි මාලකාරාම පිං බිමේ බව ශ්‍රද්ධාභිලාෂයෙන් යුතුව මතක් කරමි. ආරාමය ඉදි කර ඇත්තේ බෝධීන් වහන්සේ රෝපිත කර වසර ගණනකට පසුවය.  


මෙම තොරතුරු සැපයූ කේ.ඒ. කරුණාරත්න මහතාටත්, ඇම්.බී. සෝමරත්න මහතාටත් සෙසු වයෝවෘද්ධ පිරිසටත් තොරතුරු ලබාදීමට සහාය වුණු ඕමල්පේ ධම්මරතන හිමියන්ටත් පින් දෙමි. මෙවැනි වටිනා සිදුවීමක් හෙළිකර ගැනුමට මට ලැබුණේ මෙම විහාරස්ථානයට පැමි​ණුනු නිසාවෙනි. ඒ අවස්ථාව උදාකර දුන් රත්නපුර ඇල්ලේගෙදර පූර්වාරාමාධිපති උල්ලිදුවාවේ පියරතන මගේ ගුරු දේවයාණන් වහන්සේටත් මගේ කෘතඥතාව පළ කරමි.

 

 

 

කළල්ඇල්ලේ කවීශ්වර ධම්ම හිමි  
මාලකාරාමය, උතුරු කණේගල්ල,  කුරුවිට.