වතුර බෝතලයෙන් ජීවිතය ජයගත් ආසියාවේ ලොකුම පොහොසතා


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • ඔහුගේම වතුර බෝතල සමාගම පටන් ගැනීමට පෙර බීම විකුණූ ඒජන්ට් කෙනෙක්
  • චීනයේ වතුර බෝතල රජු ලෙස ද හැඳින්වේ
  • පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස ද කටයුතු කළා

 

ආසියාවේ අංක එකේ මහා පොහොසතා ලෙස මෙතෙක් අප දැන සිටියේ අසල්වැසි මහා භාරතයේ මුකේෂ් අම්බානි ගැනය. 

 
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් මීට පෙර අප ඔහු ගැන මෙන්ම ඔහු සතු රිලයන්ස් සමාගම ඇතුළු සමාගම් සමූහය ගැන කරුණු විස්තර කළෙමු.   


අද අප විස්තර කිරීමට සූදානම් වන්නේ, මුකේෂ් අම්බානි ගැන නොවේ. පවතින කොරෝනා වසංගතය හමුවේ මෙතෙක් ආසියාවේ අංක එකේ ධනවතා ලෙස වැජඹුණු අම්බානි හට පියවරක් පසු පසට යාමට සිදුව තිබේ. 2020 අවසාන වන විට ආසියාවේ අංක එකේ පොහොසතා ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික පුවත් උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ චීනයේ ව්‍යවසායක චරිතයකි. Zhong Shanshan යනු ඔහුගේ නාමයයි. චීන බසට අනුව ඔහුගේ නාමය ශබ්ද වන්නේ චොං ෂෙන්ෂෙන් යනුවෙනි. අපට හුරු උච්චාරණයට අනුව අපි ඔහු ෂොං ෂන්ෂාන් ලෙස හඳුන්වමු.   

 

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි දිග හරින්නේ වතුර බෝතලයෙන් ලෝකය ඇල්ලූ මේ මිනිසා සහ ඔහුගේ “නොංගුෆු ස්ප්‍රීං” කාබනික වතුර නිෂ්පාදන සමාගම ගැනය.   


කවුද මේ ෂොං ෂන්ෂාන් ?   


වැඩට මුල් තැන දීම ෂොංගේ ප්‍රධාන කාර්යය වූ බැවින් ඔහු ගැන පුද්ගලික පුවත් පළ වී ඇත්තේ ඉතා කලාතුරකිනි. ඒ හැරත් පුද්ගලික ජීවිතය ගැන ඒ තරමටම කතා කිරීමට අකමැති චරිතයක් බව පෙනී යයි. කෙසේ වුවද ෂොං යනු කෘෂිකර්මාන්තය, බිම් මල් හෙවත් හතු වගාව, සෞඛ්‍ය අංශ සඳහා වූ නිෂ්පාදන මෙන්ම පානීය ජලය මෙන්ම බීම වර්ග බෝතල් කර අලෙවි කරන ව්‍යෘපාරයන්හි හිමිකරුවකු ලෙස චීනයේ අංක එකේ ධනවතා බවට මේ වන විට පත්ව සිටින ව්‍යවසායක චරිතය වේ. ජාත්‍යන්තර ව්‍යාපාරික පුවත් පෙන්වා දී ඇති පරිදි පසුගිය වසර අවසාන වන විට ඔහුගේ ශුද්ධ ආදායම්වල වටිනාකම ඩොලර් බිලියන 78 කට ආසන්නය. අප පෘථිවියේ වෙසෙන ධනවත් පුද්ගලයන් අතර ඔහු සඳහන් වන්නේ 11 වැනි ධනවතා ලෙසය. 2020 එකතකට ලෝකයට කියා දුන්නේ ස්වභාධර්මයට අවනතව කටයුතු කරන්න යැයි, යන පණිවුඩය නම්? ෂොංගේ ව්‍යාපාර ස්වභාව ධර්මයට පිටින් ගිය ඒවා නොවන වග පෙනී යයි. මේ නිසාම දෝ ඔහු හට ආසියාවේ අංක එක කේන්ද්‍රගත වීමට හැකිව ඇති බව සඳහන් කළ හැකිය. ධනයෙන් බලවත් වන විට බොහෝ ව්‍යවසායකයන් දේශපාලනය තම ජීවිතයට සමීප කරගෙන කටයුතු කරන නමුත්, මෙම ෂොෂන්ෂාන් යනු කිසිඳු දේශපාලනයකට සම්බන්ධ නැති ව්‍යාපාරික චරිතයක් ලෙස ප්‍රකටය. මේනිසාම මේ වසර එලඹෙන තෙක් ඔහු ගැන ලෝකයේ වැඩි කතා බහක් ඇති නොවූයේ ද එම හේතුව නිසාමය. ලෝක ව්‍යාපාරික චරිත බවට පත් වන විට එම චරිත අධිපතිවාදී න්‍යායන් උදෙසා අනෙකුත් ධනපතින් හා ඒ පවුල් සමග එක් වී කටයුතු කරන්නේ සබඳතා තවත් තර කර ගැනීමට උදෙසාය. එහෙත් මේ වතුර මිනිසා ධනවත් සහ ප්‍රභූ පවුල් සමග සබඳතා පවත්වන්නේ නැතැයි ද සඳහන් වේ. චීනයේ දී එලෙසින් දේශීයව හුදෙකලා වී ගමනක් යන බැවින්, ඔහුට හුදෙකලා වූ වෘකයා හෙවත් Lone Wolf යන නාමය පට බැඳී ඇත. 

 
වයස අවුරුදු 12 දී පාසල හැර ගිහින්. 

 
අද ලෝකයේ සිටින මහා ධනවතුන් 500 දෙනා අතරින් 11 වැනි ස්ථානයට පැමිණ සිටින ෂොං සතු සෞඛ්‍ය අංශයේ නිෂ්පාදන නිපදවන අංශය මගින් පවතින කෝවිඩ් වසංගතය නිසා ඊට ​ගොදුරු වන මිනිසුන්ගේ භාවිතයට පිණිස නාසයට ඉසීමේ එන්නතක් (Nasal Spay Vaccine) පවා හඳුන්වා දී තිබේ. මෙහෙව් වූ ඔහු වයස 12 දී පමණ පාසල හැර ගිය කෙනෙක් යැයි කිව්වොත්, ඔබ පුදුම වේවි. නමුත් එය සත්‍යයකි. හිතා ගන්නට පුළුවන් ද එවැනි කෙනෙකු අද මේ තත්ත්වයේ සිටීම ගැන?   


එදා පාසල හැර ගියද ෂොං යනු අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව තමා ගැන විශ්වාසය තබා කටයුතු කළ අයෙකි. අද ඔහු පැමිණ ඇති නායකත්වයේ ලක්ෂණය හේතු වූ ප්‍රධාන සාධකය වන්නේ ඔහු සතු වූ දැක්මය.   
මට තිබුණේ දැක්මක් මිසක අනෙකුත් සියලු දේ වෙතින් ලැබූ ශක්තියක් නොවෙයි. 

 
මහා වතුර මිනිසා විටෙක එලෙසින් කියයි. ලෝක ධනපතියන් වූ ව්‍යවසායික චරිත ආ ගමන දෙස බැලීමේ දී ෂොං ගේ විශේෂත්වය වන්නේ අනෙක් අයට වඩා කෙටි කාලයක දී ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තට යාමය. 2021 නව වසර උදා වන තෙක් ලෝකයේ ඔහු ගැන එතරම් දැන නොසිටියේ පෙර කී ලෙස මාධ්‍ය හමුවේ ඔහු පෙනී නොසිටීම නිසාය. කෙසේ වෙතත් සඳහන් කළ පරිදි චීන මාධ්‍යයට ඔහු නම් කළේ හුදෙකලා වූ වෘකයා, ලෙස පමණක්ම නොවේ. වතුර බෝතල රජු යන අන්වර්ථ නාමයෙන් ද ඔහු හඳුන්වයි.   

 

ෂොං ෂන්ෂාන් මුලින්ම සේවය කළේ ඉදිකිරීම් අංශයේ සේවකයකු ලෙසයි

 


1954 දී වතුර රාජ උපන්නේ චීනයේ ෂෙජියැන්හි හැංෂෝ (හැංචෝ) නගරයේදීය. එදා වයස අවුරුදු 12 දී ඔහු පාසල් හැර යාමට සිදු වී ඇත්තේ එවකට චීනයේ පැවැති සංස්කෘතික විප්ලවයේ අර්බුද හමුවේය. විප්ලවයේ අර්බුද හමුවේ ජීවිතයට පන්නරය ලබා ගත් ෂොං ස්වකීය ජීවන විප්ලවය ජය ගැනීමට අරමුණු කර ගන්නට ඇත. එදා පැවැති සංස්කෘතික විප්ලවයේ අර්බුද හමුවේ ඔහුගේ මව පියා මෙන්ම, එම පළාතේ අනෙකුත් සාමාන්‍ය ජනතාව බොහෝ හිංසනයන්ට මුහුණ දුන් බව සඳහන් වේ. කුඩා දරුවකු වූ ෂො පාසල් ජීවිතයෙන් සමුගත්තේ ද එවැනි හේතු නිසාවෙනි. එසේ නොමැතිව ඉගෙනීමට බැරිව පාසල් කට්ටි පැන, ඉබාගාතේ ගිය කෙනෙකු නම් නොවීය. කෙසේ වෙතත් පාසල හැර ගිය නිසා, කුඩා කළ සිටම විවිධ රස්සා කිරීමට ඔහු හට සිදු විණි. පුංචිම පුංචි එදිනෙදා කුලියක් ගන්නා වැඩක පවා යෙදීමට ඔහුට සිදුවූ අතර වාර්තාවල සඳහන් වන පරිදි ඉදිකිරීම් සිදු කළ ආයතනයක අත්උදව්කරුවකු ලෙස ටික කලක් කටයුතු කර තිබේ. එයින් සිමෙන්ති සමග පදම් වී කොන්ක්‍රීට් මෙන් ශක්තිමත් වූ ඔහු ඊළඟට අමුතු රස්සාවකට අත ගැසීය. පුවත්පත් වාර්තාකරුවකු ලෙස කටයුතු කිරීම ඒ රස්සාවය. එය සාම්ප්‍රදායික රැකියාවක් නොවුන එම පුවත්පත් කලාවේ දී වෘත්තියට සමුදී ඊළඟට විවිධ පාන වර්ග බෙදා හරින සමාගමක භාණ්ඩ විකුණන කොල්ලෙකු ලෙස කටයුතු කළේය. ඒ ගමන නතර වුණේ බීම සමාගමේ ඒජන්ට් (බෙදාහැරීමේ ශාඛාවක්) ලෙස ඔහුගේ අණසක ඇතිව කළ රාජකාරියට අවතීර්ණ වීමෙන්ය. අනුන් යටතේ කළ අවසන් රාජකාරිය එය වූ අතර ඉනික්බිතිව ‘ෂොං’ හෙවත් වතුර මිනිසා 1996 දී නොංගුංෆු ස්ප්‍රිං (Nongfu Spring) නමින් ස්වකීය ව්‍යවසායකත්වයේ ගමනට අවතීර්ණ වූව   


නොංෆු (Nongfu) සමාගම ස්ථාපිත කර ඇත්තේ 1996 සැප්තැම්බර් මස 26 වැනිදා ෂෙජියෑන්හි හැංෂෝ නගරයේදීය. එලෙසින් පටන් ගත් පානීය ජල බෝතල් කිරීමේ ව්‍යාපාරයේ දී ප්‍රථම නිෂ්පාදනය බෙදා හැරීමට කටයුතු කළේ 1997 දී යැයි සඳහන් වේ. නොංෆු නාමය යටතේ බෝතල් කළ වතුර පිරවීමට ජලය ලබාගෙන ඇත්තේ කුඩා දූපත් දහසකින් පමණ සමන්විත විශාල වැවක් වන ෂෙජියෑන්හි Qiandao (චියන්ද්‍රව්) විලෙනි. ෂෙජියෑන් දිස්ත්‍රික්කයට මෙම විල යනු මහාර්ඝ සම්පතකි. සුපිරිසිදු විලෙහි ජලය රන් වතුරක් බවට පත්කරගෙන ෂොං 2001 දක්වා සාර්ථක ගමනක් ආයේය. එකී ගමනෙහි වසන්ත සමයට එලඹියේ 2001 වසරේ දී සමාගම කොටස් නිකුතුව සමග ඒකාබද්ධ සමාගමක් බවට පරිවර්තනය වීමත් සමගය. ඉන්පසු නොංෆු සමාගම නිෂ්පාදනය කළේ පානීය ජල බෝතල පමණක් නොවේ. විවිධ බීම වර්ග (පලතුරු බීම ආදී) නිෂ්පාදනය කිරීම ඇරඹිණි. a little bit sweet යන්න සමාගමේ නිෂ්පාදනයන් වෙනුවෙන් යොදාගත් තේමා පාඨය වීය.  


ටිකයි හොඳයි, රසයි ටිකයි යනුවෙන් එය පරිවර්තනය කරගත හැකිය. Nongfu (නොංෆු) සමාගම දිනෙන් දින කෙතරම් ප්‍රචලිත වීද යත්, 2000 දශකය වන විට චීනයේ පානීය ජලය බෝතල් කර බෙදාහරින දැවැන්තම නිෂ්පාදකයා බවට පත්විය. ඊළඟ වසර දෙක තුන ඇතුළත දී පානීය තේ සහ යුෂ වර්ග බෝතල් කර නිෂ්පාදනය කරන චීනයේ ප්‍රධාන සමාගම් ත්‍රිත්වය අතරින් එකක් බවට පත්විණි.  


2012 දී ලෝක විනාශයක් වේ යැයි වැදගැම්මක් නැති කෙනා නිසා ලෝකය කැළැඹී තිබුණු මොහොතක දී නොංෆු චීනයේ ජනප්‍රියතම පානීය ජල බෝතල නිෂ්පාදනය ලෙස නීල්සන් වාර්තා උපුටා දැක්වීය. කෙසේ වෙතත් ගමනක් යාමේ දී බාධා නැත්තේ කොතැන ද? ෂොං ගේ සමාගම හා බීජිං ටයිම්ස් පුවත්පත අතර ආරවුලක් ඇතිවිණි.  

 


 ‘‘ජාතික ජල ප්‍රමිතීන්ට අනුව කටයුතු නොකරන බවට පුවත්පත නොංෆු වෙත එල්ල කළ චෝදනා හමුවේ බෝතල් කළ ජලය නිෂ්පාදනය කරන චීනයේ ලොකුම සමාගම වූ ෂොංගේ මෙම සමාගම බීජිං ටයිම්ස් පුවත්පත මට්ටු කළේ ඇමරිකානු ඩොලර් මිලියන 10කට හෙවත් යුවාන් මිලියන 60 ක අපහාසය සඳහා වූ වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමෙන්ය. එක් අධිකරණයකට සීමා නොවී, දෙවැනි මහජන අධිකරණයේ ද නඩුවක් ගොනු කළේ, තම සමාගමේ නිෂ්පාදනවල සුපිරිසිදු බව සහ අනර්ඝ බව ඔප්පු කරවීම වෙනුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධව තවත් කරුණු සොයා බලා එහි සත්‍ය කුමක් ද කියා හරිහැටි දැනගත යුතුය. මක්නිසාද යත්, බීජිං ටයිම්ස් යනු ආවාට ගියාට පුවත් පළ කරන පුවත්පතක් නොවන බැවිනි.  
‘ෂොං’ ගේ ගමන මෙවැනි දේ නිසා නතර කිරීමට නොහැකි වූවා සේම මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ද ඔහු අකමැති විය. කාලය එසේ ගෙවී ගිය ද ‘ෂොං’ ජාත්‍යන්තරව තම ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව සමාගම සහ නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට මෙන්ම ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ගෝලීයකරණය කිරීමට නව උපාය මාර්ග සහ ව්‍යවසායක ක්‍රමවේදයක් හඳුන්වා දීම සිදුකළේ 2016 වසරේදීය. තවත් සමාගමක කොටසක් ලෙස ක්‍රියාකරමින් ඖෂධ නිෂ්පාදන අංශය වෙත සමාගම විවර වූයේ බීජිං වන්කායි (Beijing Wantai) ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නිෂ්පාදන නිපදවන සමාගම ස්ථාපිත කරවීමෙන්ය. ජෛව තාක්ෂණය සමග ඖෂධ නිපදවන මෙහෙයුම් සිදු කෙරෙන එම අංශය හෙවත් සෞඛ්‍ය අංශ වෙත විවර වූ ෂොංගේ සමාගම නම් කර ඇත්තේ බීජිංහි Wantai Biological Pharmacy නමිනි.  


අපි ජලය නිපදවන්නේ නැත, සොබා දහමේ කොටස්කරුවෝ වෙමු.  


උසස් තත්ත්වයේ පානීය ජලය නිපදවීම අපගේ අරමුණයි.  


එලෙසින් පරමාදර්ශය කරගෙන ගමනක් යන නොංෆු සමාගම, ගොවීන් සමග එක්වී කෘෂිකර්මාන්ත කටයුතුවලට යොමුවී ඇත. විශේෂයෙන්ම ඇපල්, කැරට්, දොඩම් වැනි කෘෂි වගාවන් කරන්නේ සමාගමේ නිෂ්පාදන සඳහා එළවළු පලතුරු අවශ්‍ය බැවිනි. අද ඔවුනගේ විකුණුම් සන්නාම සංකල්පය බවට පත්ව ඇත්තේ ස්වභාවික හා සෞඛ්‍ය සම්පන්න යන තේමාවය. එක් අතකින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමට උර දෙමින් ගමනක් යෙදෙන නොංෆු සමාගම, සමාජ සුබසාධන කටයුතු සඳහා ද ක්‍රියාකාරීව කටයුතු කරන චීනයේ ප්‍රමුඛ ආයතනයකි. භූමිකම්පා නියඟ ගංවතුර ගැලීම් ආදී ආපදා අවස්ථාවන්හි දී දුෂ්කරතාවයන්ට මුහුණ දුන් ජනතාව වෙත සමාජ සුබසාධනයන් රැසක් සිදුකර තිබීම පැසසිය යුතු කරුණකි. තම සමාගම්හි සේවය කරන පිරිස නිසා මෙතරම් සාර්ථකත්වයක් ළඟා කරගත වූ හැකි බව ෂොං නිහතමානීව සඳහන් කරන දෙයකි.  


මුල් අභිප්‍රාය, නොපසුබට උත්සාහය සහ අනාගතය කෙරෙහි අවධානය යොමු කරමින්, අපේ නිෂ්පාදන චීන වෙළෙඳපොළේ සුපිරි නාමයක් බවට පත්කරවීමට අපට හැකිවී තිබේ. එසේ පවසන ෂොං ෂන්ෂාන් නමැති දිරිය මිනිසා ගැන එලඹෙන දශකයේ දී සමස්ත ලෝකය දැනගනු ඇත. අද ලෝකය ඔහු ගැන කතා වන්නේ කෝවිඩ් වසංගතයට ගොදුරු වූ රෝගීන් වෙනුවෙන්, නාසයට ඉසීම සඳහා වූ එන්නත නිෂ්පාදනය කර ඇති නිසාය. එය පැසසිය යුතු සහ අගය කළ යුතු දෙයකි. ෂොං ෂන්ෂාන් (Shong Shanshan) එදා ජීවිතය පටන් ගත් හැටි සහ ඉනික්බිතිව ජීවිතයට මුහුණ දුන් හැටි සහ අද ඔහු ජීවිතය ගෙවන හැටි බැලූවිට පෙනී යන්නේ එය හාස්කමක් හෝ වාසනාවක් මත පදනම් වූවකට වඩා ධෛර්ය සම්පන්නව මුහුණ දුන් ජීවිතයක සරු අස්වැන්න නෙළා ගැනීමක් ලෙසය.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ