වත්මන් සමාජය ව්‍යාධි මාරයාට ගොදුරු ​ෙවන හැටි


... පසුගිය සතියෙන්


වකුගඩු රෝග නැතැයි කියූ ප්‍රදේශ වලිනුත් වකුගඩු රෝග අවදානමක් 


1994 වසරේ වාර්තා වී විවිධ පළාත් වල පැතිරෙමින් පවතින, මහලු, තරුණ, හා බාල පරපුර අකාලයේ මිය යන, හේතුව අවිනිශ්චිත යයි නම් කළ නිදන්ගත (කාලික) වකුගඩු රෝග උවදුර (Chronic Kidney Disease of Uncertain Aetiology) ගැන ඔබ දැනුවත් ඇතැයි අපි සිතමු. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වකුගඩු රෝග බහුල උතුරු මැද, වයඹ, ඌව, වැනි පළාත් විශේෂයෙන් වකුගඩු රෝග පළාත් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. එම පළාත් වල ශීඝ්‍රයෙන් වකුගඩු රෝග පැතිරීමේ අවදානමක් පවතින අතර රජය විසින් වකුගඩු රෝග හඳුනා ගැනීමේ සායන පැවැත්වීම, ජල පිරිපහදු යන්ත්‍ර බෙදා දීම, වකුගඩු රෝහල් පිහිටුවීම වැනි ක්‍රියාකාරකම් රාශියක් සිදු කරනු පෙනේ. ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඊට විශාල ඉඩකඩක් තිබුණු අතර වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකායක් ද පත් කෙරින.


මෙහිදී අප අරමුණ වන්නේ එම රෝගය ගැන වැඩිදුර කතා කිරීම නොව. වෙනත් විශේෂ කරුණක් දෙස ඔබේ ඇස යොමු කිරීමයි. සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව මාතර දිස්ත්‍රික්කය යනු වකුගඩු රෝග අවදානම් සහිත කලාපයක් නොවේ. එම නිසා එම ප්‍රදේශයේ වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ සායන සාමාන්‍යයෙන් පවත්වන්නේ නැත. එම තත්ත්වය යටතේ “හෙළ සුවය” වැඩසටහන තුළ මාතර දිස්ත්‍රික්කයේ ඉහත සඳහන් කළ එක ගමක වකුගඩු රෝග හඳුනා ගැනීමේ සායනයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශයෙන් ඉල්ලා සිටි විට අපට දැන්වූයේ මාතර වකුගඩු රෝගී අවදානම් ප්‍රදේශයක් නොවන නිසා එවන් සායනයක අවශ්‍යතාවක් නොමැති බවත්, එසේ සිදු කිරීම අනවශ්‍ය වියදමක් වන බවත්ය. නමුත් අප ඉල්ලීමට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ අංශයේ මැදිහත් වීමෙන් පැවැත් වූ වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ සායනයේ දී අප දුටුවේ 34.6% ක් ප්‍රජාවගේ මුත්‍රා සමඟ රුධිරය අන්වීක්ෂීය මට්ටමින් පිටවීමයි. වකුගඩු රෝග නිවාරණ අංශයේ වෛද්‍යවරයාට අනුව එම තත්ත්වය ලංකාවේ වකුගඩු රෝග සායන වලදී වාර්තා වූ ඉහළම අගය වන්නේය. ඒ වන විට වකුගඩු රෝග වකුගඩු රෝග නිවාරණ අංශයට වාර්තා වූ වැඩිම අගය වී තිබුණේ 06% කි. කෙසේ නමුත් මේ වන විටත් එම තත්ත්වය ගැන විශේෂ අවධානයක් සෞඛ්‍ය අංශය දක්වා නැත.


මෙහි දී විශේෂත්වය වන්නේ වකුගඩු රෝග බහුල පළාත් යයි හඳුන්වා නොදුන් ප්‍රදේශ වල පවා අනාගතයේ දී වකුගඩු රෝග, විශේෂයෙන්ම වෙනත් ස්වරූපයක් ගනිමින්, පැතිරීමේ අවදානමක් තිබීමයි. බටහිර වෙදකමට අනුව කාලික වකුගඩු රෝග නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි බව ඔබ වෙත අවධාරණය කරනු කැමැත්තෙමු. මෙහි දී, අනෙක් විශේෂත්වය වන්නේ කෘෂිකාර්මික හා වැවිලි කර්මාන්ත ආශ්‍රිත ප්‍රදේශවල එනම්. ලංකාවේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැන සිදු කරන ප්‍රදේශවල ගොවි ප්‍රජාව අතර මෙම රෝග පැතිරී යාමයි. මෙවන් මරණීය රෝගයක් ඉතිහාසයේ තිබුණි නම් මේ ​ෙවන විට කෘෂි හා වාරි ශිෂ්ටාචාරයක් නොතිබෙන්නට ඉඩ තිබිණ. ප්‍රශ්නය නම් ඉදිරියේ දී කුමක් සිදු වේද යන්නය.

 

 

 


හෝමෝන පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වෙමින්


අද ශීඝ්‍රයෙන් පැතිරෙන තවත් රෝග කාණ්ඩයක් වන්නේ තයිරොයිඩ්, ඩිම්බ කෝෂ, වෘෂණ කෝෂ වැනි අවයව හා සම්බන්ධ හෝමෝන පද්ධතිය ආශ්‍රිත රෝගයි. දරු ඵල අඩු වීම වැනි ප්‍රජනක හෝර්මෝන ආශ්‍රිත රෝග, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය අඩපණ කරන තයිරොයිඩ් හෝමෝන ආශ්‍රිත රෝග සමාජයේ බහුල වෙමින් පවතී. සමහර රෝග පිළිකා රෝග තත්ත්වයන් දක්වාම පැතිරී යයි. මෙම රෝග කාණ්ඩයේ විශේෂත්වය වන්නේ එය Fatty Liver තත්ත්වය සමඟ සහ සම්බන්ධ වී පැවතීමයි.


උපත් අනුපාතිකය අඩු වෙමින් මරණ අනුපාතිකය වැඩි වීම


2014 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දත්ත අනුව 2004 සිට 2014 දක්වා වසර 10 ක කාල පරාසය තුළ දළ මරණ අනුපාතිකය 5.9 සිට 6.2 දක්වා වැඩි වී ඇත. මෙම කාලය තුළ මාතෘ මරණ අනුපාතිකය (සජීවී උපත් දහසකට) 12.1 සිට 22 දක්වාත්, ළදරු මරණ අනුපාතිකය 9.8 සිට 9.9 දක්වාත් වැඩි වී ඇත. තව ද, දළ උපත් අනුපාතිකය 18.8 සිට 16.9 දක්වාත්, ජනගහන වර්ධන වේගය 1.2 සිට 0.9 දක්වාත් අඩු වී ඇත. ඉතිහාසයේ සිට අද දක්වා බලන කල අප පවුලක සිටින දරුවන් ගණන එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටින මට්ටමට අඩු වී ඇති වීම අභාග්‍යයක් යැයි අපට දැන් වැටහේ. බටහිරින් අප මත බලෙන් පැටවූ සංකල්පයක් වන ‘පුංචි පවුල රත්තරන්’ යන සංකල්පය අනුව ජාතිය ගමන් කරවීමට පුරුදු කරවූයේ ද අප බටහිර වෛද්‍යවරු ම නොවේ ද? එහෙත් වීණා වයන සේ එම සංකල්පය මත හිඳගෙන කොතෙක් ගී ගැයුව ද ඒවා නෑසුණාක් මෙන් තම ආගම කෙරෙහි විශ්වාසය තැබූ ජාතියක් අද ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ ඔවුන්ගේ තම ආගම කෙරෙහි තිබූ දැඩි විශ්වාසය තුළිනි. එසේ නම් අප එයින් ද උගත යුතු පාඩමක් ඇත. එසේ දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකුට සීමා වූ පවුල් වල දරුවන් ක්‍රීඩා කරද්දී වැටි වැටී මිය යාමට පටන්ගතහොත් අප ජාතියට අත්වන ඉරණම කුමක් දැයි දැන් වත් වටහා ගත යුතු ව ඇත. එහි භයානක කම අවබෝධ කර ගත යුතුව ඇත.


ශරීරයේ මුළු පරිවෘත්තීය ක්‍රියාවලියම අඩපණ වෙමින් යයි ...


බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ඉහත සියලු රෝගී තත්ත්වයන් සඳහා අවදානම ඇති කරන සාධක කිහිපයක එකතුවක් ලෙස මෙම පරිවෘත්තීය ආබාධය සැලකිය හැකිය. එනම් ශරීරය තුළ සිදු ​ෙවන සියලු ජෛව රසායනික ක්‍රියාකාරිත්වයන් මෙම පරිවෘත්තීය ක්‍රියා ගණයට ගැනේ. එම රෝගී තත්ත්වය තරබාරු බව, අධි රුධිර පීඩනය, ලේ වල සීනි මට්ටම හා මේද මට්ටම වැඩි වීම වැනි ලක්ෂණවලින් සමන්විත වේ.


මේ දෙස බලන විට අපට වැටහෙන විශේෂ කරුණක් ​ෙවන්නේ මේ බොහොමයක් අවදානම් තත්ත්ව හා රෝගී තත්ත්ව Fatty Liver රෝගයත් සමඟ සම්බන්ධ වී තිබීමය. එය විද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය තරම් දෙස් විදෙස් පර්​ෙ‌ය්ෂණ ප්‍රතිඵල අප සතුව ඇත. ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ දියවැඩියාව හා හෝමෝන පිළිබඳ ඒකකය හා කොළඹ වෛද්‍ය පීඨයේ දියවැඩියා පර්​ෙ‌ය්ෂණ ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන දියවැඩියා හා හෘද රෝග පිළිබඳ සමීක්ෂණයේ දී ලත් දත්ත කෙරෙහි පාඨක ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. එහිදී, වසර 2006 දී දිවයින පුරා පරිවෘත්තීය ආබාධය පිළිබඳ ලත් සමීක්ෂණ දත්ත අනුව ලංකාවේ 20% සිට 35% දක්වා පිරිසකට මෙම තත්ත්වය සෑදී ඇත. මුස්ලිම් ප්‍රජාව, කාන්තාවන්, ඉහළ අධ්‍යාපන මට්ටම හා ඉහළ ආදායම් මට්ටම සහිත පිරිස මේ රෝගී තත්ත්වය සඳහා විශේෂ අවදානමක් සහිත පිරිස්ය.

 

 

 


මන්දපෝෂණය


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ආසියාවේ සෞඛ්‍ය නිර්ණායක අතින් ඉහළම රටක් ලෙස සැලකෙන මේ රට තුළ මෑතක දී මුහුණ පෑමට සිදුවූ එවැනිම අවාසනාවන්ත සිද්ධියක් වූයේ මන්දපෝෂණය නිසා දරුවන් මිය යෑමට පටන් ගැනීමයි. මේ දිහා බලන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අප ගැන ඉහළ සෞඛ්‍ය තත්ත්වයක් පවතින බවට සඳහන් කරන්නේ අවංකව ම දැයි ප්‍රශ්නාර්ථයක් පැන නැගේ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව මන්දපෝෂණය ඇතිවීමට හේතු ලෙස දක්වා ඇත්තේ කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ යන මහා පෝෂක ඌනතාව නිසා ශරීරයේ කෘෂ බව, මිටි බව හෝ අඩු බර ඇතිවීම සහ ඛනිජ ලවණ, විටමින් යන ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයයි. ඌන විය හැකි ප්‍රධාන ක්ෂුද්‍ර පෝෂක ලෙස සලකනු ලබන්නේ යකඩ, විටමින් ඒ, සින්ක් සහ අයඩීන් ය. මෙම පෝෂණ ඌනතා ශරීරය තුළ ඇතිවීමට හේතු ලෙස සැලකෙන්නේ ආහාර අඩු බව, පෝෂණ පදාර්ථ නිවැරදිව අවශෝෂණය නොවීමේ ආහාර මාර්ගයේ රෝගී තත්ත්වයන් සහ පෝෂණ සංඝටක ශරීරයෙන් ඉවත් වීම (උදා. කොකු පණු ආසාදනය) ආදී හේතූන් ය.


මෙම මන්දපෝෂණ තත්ත්වය ගැන තවත් ගැඹුරට අප සාකච්ඡා කළ යුතු වේ. එයට හේතුව අද පෝෂණය හෝ මන්දපෝෂණය ගැන හෝ අප තුළ තිබෙන අවබෝධය ඉතා අල්ප බව නිසාය. පෝෂණය ගැන කථා කරන විද්වතුන් තුළ ඇති අවබෝධය ද ප්‍රශ්නාර්ථයකි. ඉහත සඳහන් සියලු රෝග හා පෝෂණ ඌනතාව අතර සුවිශේෂී සම්බන්ධයක් ඇති බව ඔබ දන්නේ ද? පෝෂණයත් ගොවිතැනත් අතර ඇති කිට්ටු සම්බන්ධතාව මොන වගේද? වස විස මත පදනම් වූ වර්තමාන ගොවිතැන, මන්දපෝෂණය හා ලෙඩ රෝග අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධතාව ගැන සමාජය තුළ ඇති අවබෝධය ඉතා අල්පය. එසේ නම් ඒ පිළිබඳවත්, එයට විසඳුම් පිළිබඳවත් අපි ඉදිරි ලිපි පෙළින් සාකච්ඡා කරමු.........

 

වෛද්‍ය කුමුදු දහනායක
 (MBBS, DLM, MD)