ලෝ ප්‍රකට කුබෝටා සමාගමේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • යෙන් 100කින් වාත්තු කටයුතු තුළින් පටන්ගෙන කෘෂිකර්මාන්තය උදෙසා ලෝකයට යන්ත්‍රෝපකරණ තිලිණ කළ කුබෝටා
  • ගෙදරින් පලා යනවිට ගෝන්ෂිරෝ කුබෝටාගේ වයස අවුරුදු 14ක්
  • ගෝන්ෂිරෝ, හට කුබෝතා වාසගම ලැබුණේ හදා ගත්ත පියාගෙන්

 

කුබෝටා හෙවත් කුබෝතා යනු ජපානයේ පෙළපත් නාමයකි. නැතහොත් වාසගමකි. ජපන් භාෂාවේ අරුතට අනුව මෙහි තේරුම වන්නේ ‘සඟවා තැබූ අස්වැන්නය.’ සැඟවුණු ගොයම ලෙස එය අරුත් ගැන්වීම කළ හැකිය. මේ නාමය අරුත් ගැන්වූයේ අස්වැන්න සඟවා තැබූ නිසා නම් නොවේ. අස්වැන්න නෙළා ගැනීමට ලෝකයට අලුත් උපකරණයක් හඳුන්වාදුන් නිසාවෙනි. 

 
ශ්‍රී ලාංකීය ජනතාවට මෙම ‘කුබෝතා’ නොහොත් කුබෝටා නාමය අමුතු එකක් නොවේ. ඊට හේතුව වන්නේ අප රටේ ගොවිතැනට කෘෂිකර්මාන්තයට නැතුවම බැරි උපකරණයක් ලෙස භාවිතයට ගැනෙන ‘කුබෝටා’ ට්‍රැක්ටරය සහ එම නාමයේ අනෙකුත් උපකරණ නිසාය.   


කෘෂිකර්මාන්තයේදී මූලිකව මුහුණ දෙන ප්‍රශ්න කීපයක් තිබේ. කම්කරු ප්‍රශ්න, අපේක්ෂිත අස්වැන්න නොලැබීම, අපේක්ෂා කළ පරිදි ලාභ නොලැබීම මෙන්ම කාලගුණික ප්‍රශ්න යනු ඒවාය. 

 
‘ගෝන්ෂිරෝ කුබෝතා’ මේ ප්‍රශ්න හඳුනා ගත්තේ අද ඊයේක නම් නොවීය. මීට වසර 130කට පමණ පෙරදීය.   
‘කුබෝතා හෙවත් කුබෝටා’ ට්‍රැක්ටරය ඇතුළු අනෙකුත් උපකරණ ලෝකයට හඳුන්වා දුන්නේ මේ පුංචි මිනිසාය. ශ්‍රී ලාංකීය අපට වඩාත් හුරුපුරුදු නාමයක් වන මෙම ‘කුබෝටා’ සමාගම සහ ‘ගෝන්ෂිරෝ කුබෝතා’ ගැන විස්තර ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි කියවමු.   


පූර්වාරම්භය   


වත්මනෙහි ‘කුබෝටා’ සමාගමේ මූලස්ථානය ස්ථාපිත කර ඇත්තේ ජපානයේ ඔසාකා නගරයේ නැතිවාකු පළාතේදීය. 1890 දී සමාගම බිහිවූයේ බර කිරීමේ උපකරණ එදිනෙදා භාවිතයට ගැනුණු වාත්තු නිෂ්පාදන නිපදවීමේ සමාගමක් ලෙසය.   


මෙම සමාගම එදා ඇරැඹියේ ජලනළ පද්ධති සඳහා අවැසි වූ යකඩ පයිප්ප හෙවත් බට නිෂ්පාදනය කිරීමේ සමාගමක් ලෙස බව සඳහන්වේ. පසුව එය ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ මෙන්ම කෘෂිකර්මාන්තයේ විවිධ අංශ සඳහා භාවිතයට ගැනෙන එංජින්, ඉදිකිරීම් උපකරණ විකුණුම් කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍ර, පයිප්ප, කපාට, වාත්තු ලෝහ, පොම්ප සහ ජලය පිරිසුදු කිරීමේ මෙන්ම අපද්‍රව්‍ය පිරිසුදු කිරීමේ යන්ත්‍ර ආදිය නිෂ්පාදනය කිරීමේ මහා පරිමාණ අංශයේ සමාගමක් දක්වා විකාශය විණි.   


ගෝන්ෂිරෝ කුබෝටා උපත ලැබුවේ 1870 ඔක්තෝබර් 27 වැනිදා ලෙස සඳහන් වේ. 1870 දී උපන් ‘කුබෝතා’ හෙවත් කුබෝටාගේ පවුලේ තොරතුරු නිසි ලෙස සඳහන් නොවූවද, එකල එතරම්ම වත් පොහොසත්කම් තිබූ පවුලක අයෙකු නොවූ බව කිව හැකිය. එසේ නොවන්නට වයස අවුරුදු 14 දී ඔහු නිවසින් පලා නොයන්නට ඉඩ තිබිණි. එහෙත් ඔහු වයස අවුරුදු 14 දී නිවසින් පළා ගියේ, ඔහුගේම ආයතනයක් ඇරැඹීමේ අරමුණ ඇතිවය.   
ඔසාකා නුවරට ගොස් සිටි මේ පුංචි කොලු ගැටයා වාත්තු වැඩ සම්බන්ධයෙන් ආධුනිකත්ව පුහුණුව ලැබීය. ඊට අමතරව එම අංශයට සම්බන්ධවී අත්උදව් දෙමින් කටයුතු කළේ මුදලක් ඉතිරි කර ගැනීම වෙනුවෙනි. එදා වයස අවුරුදු දහ හතරක පුංචි කොල්ලෙකු වුවද ඔහුට තිබුණේ යකඩ හිතකි. වානේ තරමට පදම් වූ අත් යුගළකි. හැඩි දැඩි පෙනුමෙන් යුතු වූ මිනිසකුට වඩා ඔහු සිතිවිලිවලින් මෙන්ම චිත්ත ධෛර්ය වෙතින් ශක්තිමත් වූ පුද්ගලයකු වීය. ඒ සියල්ලට වඩා ඒකායන අරමුණක් තිබීම සැබැවින්ම විස්මය දනවන්නකි.   
ළමා වියෙහිදී බොහෝ ළමුනට එසේ අරමුණු තිබුණද මේ කුබෝටා තමාගේ ගමන යමින් සිටියේ නිශ්චිත අරමුණක් ඇතිව ‘ගමනාන්තය’ දැනගෙනය.   


කාලය කෙමෙන් ගත වෙමින් තිබිණි. ආධුනිකත්ව පුහුණුව ලබමින් සහ අත්උදව් දෙමින් සිටි කුබෝටා යෙන් ප්‍රමාණයක් ඉතිරි කර ගත්තේ ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කරමිනි. වයස අවුරුදු 19 කඩඉම පසුකළ හේ වැඩිහිටි තීරණයක් ගත්තේය.   


‘මම මගේම දෙයක් කරන්නට ඕනෑ.   


එසේ අරමුණු කරගත් ‘කුබෝටා’ තරුණයා, ජීවිතය නමැති පුරන් වූ කෙත අස්වද්දා, සරුසාර කොට, ඵල නෙළා ගැනීමේ අභිලාෂය ඇතිව වයස 19 දී ‘ඕදෙ වාත්තු’ වැඩපොළ පටන් ගත්තේය. ඒ වෙනුවෙන් ඉතා පැරැණි නිවසක්, කුලී පදනම මත මිලදීගෙන තිබුණු අතර කිරුම් මිණුම් සඳහා වූ මිණුම් දඬු සහ එදිනෙදා භාවිතයට ගැනුණ උපකරණ නිපදවීම සිදු කළේය. ඔහුගේ මෙම වාත්තු වැඩපොළෙහි සිදුකළ සියලු දේ ඔසාකාවේ ප්‍රචලිත වීමට වැඩිකල් ගත නොවුණි.   


කුබෝතා, කරේවා ඔතුකුදෙස්’ යනුවෙන් එය පළාතේ කා අතරත් ප්‍රචලිත විණි. එනම් ‘කබෝතා තමයි මිනිහා’ යනුවෙන් පළාතේ සියල්ලෝ ඔහු ගැන කතා කළෝය. 

 
අනේ කුබෝතා, කොරේඕ තදාස්කුස්ටි නදාකේ ඔසෙන්කා (කරුණාකරල මේක හදලා දෙනවද?) යනුවෙන් විමසමින් ගෙදර භාවිතයට ගත් කේතල ආදිය රැගෙන කුබෝතා හමුවට පළාතේ ජනතාව එන්නට පටන් ගත්තේය. ඒ අතරවාරයේදී අලුතින්ම කේතල මෙන්ම දෛනිකව භාවිත කළ ගෘහස්ථ උපකරණ නිපදවා ගැනීම වෙනුවෙන් ඇණවුම් ද ඔහුට ලැබිණි.   

 


ඒ සමගම ඔහු ඕදෙ කාස්ටින් නමින් තිබුණු වැඩපළ ‘ඕදෙ කාස්ටින් යකඩ වැඩ’ ලෙස 1894 දී පරිවර්තනය කළේය. කොහොමටත් ජල කර්මාන්තය සඳහා අවශ්‍ය යකඩ පයිප්ප සහ බට නිෂ්පාදනය කිරීම මේ වනවිට ඔහු අරඹා සිටියේය.   


එවකට කොලරා වසංගතය ලොව වෙලාගෙන තිබුණු බැවින් ජපානය ජලනළ පද්ධති ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබිණි. එහෙත් ජල නළ පද්ධති ස්ථාපිත කිරීමේදී ඒ සඳහා තාක්ෂණය නම් ඒ වනවිට ඔවුන් සතු නොවීය. බටහිරකරණය කෙරෙහි වඩා විශ්වාසය තැබුවේ එනිසාය. ජලනළ කර්මාන්තය උදෙසා බොහෝ දේ නිෂ්පාදනය කිරීමට ජපානය ඒ වනවිට උත්සාහ ගෙන තිබුණද අමුද්‍රව්‍ය හීනතාව නිසා එය නිෂ්ඵල ක්‍රියාවක් වුණි.   


ගෝන්ෂිරෝ ‘ඕදෙ’ වෙතින් යකඩ පයිප්ප වැනි දේ නිපදවීමට අතගසා සිටියේ මගේ රටට මම වඩා ඵලදායි නිෂ්පාදනයන් කළ යුතුය යන අරමුණු දරාගෙනය. එහෙත් 1897 තෙක් එය අතිශය දුෂ්කර කටයුත්තක් වුණි. වාත්තු නිෂ්පාදනයෙහි ඒකාබද්ධ ක්‍රියාවලියක් ඇතිවීමත් සමඟ ඔහුගේ අභිප්‍රාය සඵල වූ බව සඳහන් කළ හැකිය.   


1900 දී අලුත් ඇරැඹුමක් සනිටුහන් කළ 1904 පමණ වනවිට වානේ හා යකඩ භාවිතයෙන් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට එළැඹීමට කුබෝතා හට හැකිවිණි. රටේ ජල නළ පද්ධතිය වෙනුවෙන් යෝධ යකඩ බට මෙන්ම පයිප්ප ආදී නිෂ්පාදන ක්‍රියාවලියකට එළැඹ සිටි ඕදේ සමාගම 1917 පමණ වනවිට ‘අමාගාසකි’ හි කර්මාන්තශාලාව පිහිටුවීමට අවකාශය ලබා ගත්තේය.   


ගෝන්ෂිරෝ හට කුබෝටා නාමය ලැබුණු හැටි

   
1897 දී පමණ මේ ගෝන්ෂිරෝ ඕදෙ වාත්තු වැඩපොළ වෙතින් බොහෝ නිෂ්පාදන කරමින් සිටියදී ඔහු නිෂ්පාදනය කළ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් මිලදී ගත්තේ ‘කුබෝතා මැෂින් නිෂ්පාදන’ සමාගමය. එහි ප්‍රධානියා වූයේ එවකට කර්මාන්තශාලා ක්ෂේත්‍රයේ ජපානයේ ප්‍රවීණයකුව සිටි ටොෂිරෝ කුබෝතාය. ගෝන්ෂිරෝ රට වෙනුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියක නිරතවී සිටිමින් රටේ අභිමානය මෙන්ම ස්වදේශිකත්වය උදෙසා කැපවී සිටින අයුරු ටොෂිරෝ කුබෝතා මහතාගේ පැසසුමට ලක්වුණි.   


ටොෂිරෝ කුබෝතා හට ගෝන්ෂිරෝව කොච්චර නම් හිතට අල්ලා ගියේද යත්,   
‘පුතා ඔයා මගේ හදාගත්ත පුතා වෙන්න’, ඒ කියන්නෙ මගේ පුතා වෙන්න. නීත්‍යානුකූලව මගේ දරුවා වෙන්න පුතේ’ යැයි ඉල්ලීමක් කළේය.   


ගෝන්ෂිරෝ හට කුබෝතා වාසගම ලැබුණේ එලෙසිනි. ගෝන්ෂිරෝ සිය සහෝදර සහෝදරියන්ගෙන් ඒ ගැන විමසා සිටි අතර ‘සර්, ඔයා මට මගේ යකඩ වැඩ දිගටම කරගෙන යාමට ඉඩ ලබාදෙන්නේ නම්, මම මේ අදහසට කැමැතියි.’ යනුවෙන් ගෝන්ෂිරෝ එම ඉල්ලීමට පිළිතුරු දුන්නේය.   


‘මට සර් කියන්න එපා පුතේ, ඔයා මගේම පුතා, මගේ දක්ෂයා, මගේ හපනා’, යනුවෙන් ටොෂිරෝ කුබෝතා මිමිණීය.   


‘ජපානය, අපේ අපි මොකටද ලෝකයෙන් භාණ්ඩ ආනයනය කරන්නෙ? අපි අපේ රට ශක්තිමත් කරමු’ යන ඒකායන අරමුණු එදා මේ මිනිසුන් හට තිබූ බැවින්ද, නව ආකල්ප නව අදහස් තිබූ’ බැවින්ද, ජපානයේ කර්මාන්ත ක්ෂේත්‍රයට යෝධ අත්වැලක් සැපයීමට ගෝන්ෂිරෝ හට හැකිවූයේ එතෙක් පවත්වාගෙන ගිය ‘ගෝන්ෂියෝ ඕදෙ’ වෙනුවට ‘කුබෝටා යකඩ වැඩ’ ලෙස ඔහුගේ කර්මාන්තශාලාව කුබෝටා නාමයට පරිවර්තනය වීමත් සමඟය. සැබෑ ලෙසම කුබෝතා නාමය මේ ගෝන්ෂිරෝ හට ගෙන දුන් මහා වාසනාවකි. හැබැයි ඒ වාසනාව ඔහු ළඟාකර ගත්තේ නිකම්ම නොවේ උදේ-දිවා රැයේ යකඩ සමග හැප්පෙමින්, යකඩ සමඟ තැළෙමින් යකඩ සමග පොඩිවෙමින් පන්නරය ලැබූ ජීවිතය නිසාය. එය හරියට එකතකට වානේ පන්නරය ලැබුවා මෙන් විය.   


පළමු ලෝක යුද සමයේදීද අඩපණ නොවූ ‘කුබෝතා’ යකඩ වැඩ කර්මාන්තය, දිගින් දිගටම නව නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත වෙමින් පැවැතියේය. කෘෂිකර්මාන්තයේ ප්‍රයෝජනය උදෙසා භූමිතෙල් මගින් ක්‍රියාත්මක කරවිය හැකි එංජිම නිෂ්පාදනය කළ අතර එය අශ්වබල තුනක පමණ ධාරිතාවකින් සමන්විත විය. එතැන් සිට තව දුරටත් නිෂ්පාදන පුළුල් කිරීමට ඔහුට හැකිවුණි.   


වසරින් වසර, පියවරෙන් පියවර සීඝ්‍ර දියුණුවකට ගිය ‘කුබෝතා’ බර කිරාගත හැකි මහ පරිමාණයේ මිනුම් යන්ත්‍ර නිපදවීමටද පටන් ගත්තේය. ජපානයේ තවත් උප සමාගම් සමග අත්වැල් බැඳ ගමනක් යන අතරේදී, ඉච්ඕකාහි කර්මාන්තශාලාවද ස්ථාපිත කෙරුණි. 1927 පමණ වනවිට කුබෝටා නතර වූයේ ‘සුම්දාගාවා’ යකඩ කර්මාන්තශාලාවද මිලදී ගනිමිනි. එය කුබෝටලාගේ තෙවැනි කර්මාන්තශාලාව බවට පත්විණි.   
ඉනික්බිතිව 1930 දී හටගත් ජපානයේ සිදුවූ මූල්‍ය අර්බුදයෙන් පසුවත්, නොවැටී නැගී සිටි ‘කුබෝටා’ සමාගම නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළෙහි බිඳවැටීමෙන් අනතුරුව පවා බිඳ නොවැටී ශක්තිමත් ගමනක නිරතවීමට කුබෝටා හට හැකිවිණි.   


1932 යනු යකඩින් රන් අස්වැන්න නෙළා ගැනීමට ‘කුබෝටා’ හට හැකිවූ අවදියක් විය. ඕලන්දයෙන් ගෑස් නළ එළීම වෙනුවෙන් නළ ටොන් තුන් දහසක පමණ ඇනවුමක් ‘කුබෝටා’ ලබා ගත්තේ, ජපානයට විදේශ විනිමය ගෙන දීමේ ගමනෙහි ආරම්භය සනිටුහන් කරවමිනි. 1940 පමණ වනවිට සමාගම ආරම්භ වී වසර 50ක කාලයකදී යෙන් 100 කින් වාත්තු වැඩ වෙතින් ඉපයූ මුදලින් පටන් ගෙන තිබුණු කුබෝටා සමාගම යෙන් මිලියන 24ක පමණ ප්‍රාග්ධනයක් හිමිකර ගෙන සිටියේය.   


ඔවුන් ස්වකීය 50 වැනි සංවත්සරය සැමරුවේ මුකොගාවාහි මහ පරිමාණ බලාගාරය ස්ථාපිත කරමින්ය. 1940 ඔක්තෝබරයේ එය ස්ථාපිත වන විට ජපානය දෙවැනි ලෝක යුද්ධය නිසා විදේශීය මිලිටරිකරණයට ග්‍රහණයව පැවැතියේය.   


නමුත් කුබෝටලාගෙ ගමන නතර නොවූයේ ලෝකයට වඩාත් අත්‍යවශ්‍ය වූ නිෂ්පාදන ක්‍රියාවලියක නිරතව සිටි නිසාවෙනි. එසේ වීද, 1945 දී පමණ සතුරු ගුවන් ප්‍රහාර හමුවේ ජපානයට ප්‍රහාර එල්ල වූ බැවින් එක් ස්ථානයක තිබූ බලාගාරය එතැනින් ඉවත් කිරීමට පවා සිදුවිණි.   


1945 දී යකඩයකු ලෙස ශක්තිමත්ව නැගී ආ සමාගම සේවය කළ සේවකයින් දෙදහසකට පමණ රැකියා පවා අහිමි කරමින් අඩපණ වූයේ බිහිසුණු යුද්ධයේ අතුරු ඵලයක් ලෙසිනි.   


යුද්ධයේ අළු මතින් කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කරා   


1945 අග වනවිට කාලකණ්නි වූත්, අමානුෂික වූත්, දෙවැනි ලෝක යුද්ධයේ නිමාව සමඟ ඊළඟට ආයේ කුසගිනි රැල්ලය. එනම් ආහාර-පානවල හිඟයයි. අහුවන පැළෑටියක්, ගහක පොත්තක් පවා කෑමට මෙනිසා ජනතාවට සිදුවිණි. ගොවිතැනට මහා ඉල්ලුමක් ආයේ මෙකී වකවානුවේදීය.   


‘කුබෝටා’ ඒ වෙනුවෙන් ස්වකීය නිර්මාණ ක්‍රියාවලිය වෙතින් සුවිශාල මෙහෙවරක් ඉටුකළ බව කිව යුතුමය.   


ශ්‍රේෂ්ඨ විප්ලවයකට මුල් වූ ඔක්තෝබර් මාසයක ඉපදී කෘෂිකර්මාන්තය උදෙසා, මෙන්ම ඒ සබැඳි බොහෝ කර්මාන්ත අංශ ව්‍යාප්ත කොට, කර්මාන්ත ශාලා ක්ෂේත්‍රයේ මහා විප්ලවයක් කළ, ඒ මහා මිනිසා වූ ‘ගෝන්ෂිරෝ කුබෝටා’ මළවුන්ගේ මාසය යැයි හැඳින්වෙන නොවැම්බරයේදී එනම්, 1959 නොවැම්බර් 11 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේය.   


අප රටේ බොහෝ දෙනා කුබෝටා යන නාමය ගැන දන්නේ කෘෂිකර්මාන්තයේදී භාවිතයට ගැනෙන කුබෝටා ට්‍රැක්ටර් සහ වතුර පොම්ප ආදී දේ නිසා වුවද ලෝක ව්‍යාප්තවී ලෝකය පුරා ශාඛා කර්මාන්තශාලා ස්ථාපිත වී ඇති ‘කුබෝටා’ සමූහය යනු ‘ට්‍රැක්ටර’ පමණක් නිෂ්පාදනය කරන සමාගමක් නම් නොවේය.

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ