රාග-ද්වේෂ-මෝහ නමැති මාරයාට අයිති දේ ඉවත් කරන්න


 

‘මම’ මගේ කරගන්නා සියල්ල මාරයාට අයත් දේවල් බව ඔබට පසුගිය සතියේත් පැහැදිලි වෙන්නට ඇත. ඒ අනුව පෘථග්ජනයා විසින් මේ කරන්නේ ‘මාරයාට ණයක්’ ගෙවීමකි. ‘මරණයට’ පත්වෙමින් මාර චක්‍රයේ දුවන ඔබට මාරයාගෙන් මිදීමට මගක් අපි එළි පෙහෙළි කරදෙමු. අද එහි දෙවැනි භාගයයි.


‘සිද්ධාර්ථ’ බෝධි සත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම අතහැරලා 


‘කිං සච්ච ගවේෂී’ 
‘කිං කුසල ගවේෂී’


සත්‍යය කුමක්ද, කුසලය කුමක්දැයි සොයාගෙන යන්න පිටත් වුණා. උන්වහන්සේ ආලාරකාලාම, උද්දකරාමපුත්ත වගේ දඹදිව ප්‍රසිද්ධ ගුරුවරු ළඟට ගියා. ‘ඒ අය ළඟ සත්‍ය නෑ’ බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා.


ඉන් පස්සේ මොකද කළේ...


උන්වහන්සේ තමන්ගේ කායික-මානසික තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සත්‍ය සෙවීම ආරම්භ කළා.


‘තමා තුළින් සත්‍ය ගවේෂණය කිරීම’ පිළිබඳව දේදාවිතක්ක සන්තානි සූත්‍රයේත් සඳහන් කරනවා.


බෝධිසත්වයන් වහන්සේ මුලින්ම කළේ තමන්ගේ සිතිවිලි ගොඩවල් දෙකකට වෙන් කරගත්තා. මොනවද ඒ ගොඩවල් දෙක..
එක ගොඩක් රාගවිතර්ක, ද්වේෂ විතර්ක, මෝහ විතර්ක කියලා. ඒ ගොඩට කියනවා ‘සං’ කියලා. අනෙක් ගොඩ තමයි, “වීත රාගී, වීත ද්වේෂී, වීත මෝහී” මේ ගොඩ ‘විසං’ කියල හඳුන්වනවා.


දැන් නිවන් සොයා යන ඔබ මේ ගොඩවල් දෙක ඔබ ඇසුරින් වෙන් කරගෙන තියනවද? සිතට, නැගෙන අරමුණු ඒ වෙලාවේම මේ ගොඩවල් දෙකින් කොයි එකට අයත් එකක්ද කියල බලනවද? නිවන් සොයන කෙනා එහෙම බලන්න ඕනෑ. අපි එය පසුව පැහැදිලි කරනවා.


ඊළඟට බෝසතුන් ‘සං’ ගවේෂණය කිරීම ආරම්භ කරනවා. චුල්ල හත්ථි පදෝපම සූත්‍රයේත් මේ ගැන විස්තර කිරීමක් තියෙනවා. එහි ‘සං’ පද හතරක් කියනවා. මේ සං පද වලට ඥාන පද කියලත් කියනවා.


මොනවද මේ ‘සං’ පද හතර?
එනම්,


‘සං දස්සේසි’
සං මාදපේති
සමුත්තේජේති
සං පහන්සේති


දැන් ලිපියේ මුලට යමු. ‘සං’ කිවුව ගොඩ මොනවද? එනම් රාග, ද්වේෂ මෝහ... සං දස්සේසි කියන්නේ සං දැකීම... එහෙනම් මොනවද දකින්නේ.


රාගය දකිනවා, ද්වේෂය දකිනවා, මෝහය දකිනවා.


රාග, ද්වේෂ, මෝහ වලින් සිදුවෙන්නේ අල්ලා ගැනීමක්, රැස් කිරීමක්.


‘සං’ රැස් කළොත් තාපයක් ඇතිවෙනවා. මේක තමයි ‘සංතාපය’ කියන්නෙ. සං තාපය නිසා රත්වෙනවා, පිච්චෙනවා, මත්වෙනවා, දැවෙනවා, තැවෙනවා. එහෙනං ‘සං’ තියන හැමෝම රාග ද්වේෂ මෝහ ප්‍රවාහයට හමුවූ සියලු දෙනාම ඉහත ‘සංතාපයට’ පත්වෙනවා.


සං නිසා ‘වේගයක්’ ඇතිවෙනවා. ‘සංවේගය’ ඒකයි. ඊළඟට සං නිසා ‘වේදනාව’ හට ගන්නවා. ‘සං වේදනා’ කියන්නෙ මේකයි. සං  නිසා ‘දුකක්’ හටගන්නවා. ‘සං දුක්ඛා’ කියන්නේ මේකයි. එහෙනම් රාග ගින්න, ද්වේශ ගින්න, මෝහ ගින්න ඇතිකරන දේවල් බලන්න. හිත අවුලල, පුච්චල පිස්සු වට්ටනවා. ඇලීමම ඇතිකරනවා. පටලැවීමක්, බැඳීමක් ඇති කරනවා. ඒ නිසා ‘සං’ ලිහල අයින් කරන්න ඕනෑ. අපි එක්ක දිගටම ‘සං’ ගියොත් මොකද වෙන්නෙ? අපි ‘සංසාර’ ගමනට වැටෙනවා. ඔබ දැන් වැටිල ඉන්නෙ සංසාර ගමනටනෙ නේද?


මොකක්ද ‘සං සාරය’ කියන්නෙ එහෙනම් ‘සං’ හෙවත් රාග, ද්වේෂ, මෝහ තුන ‘සාරයි’ කියලා ගත්ත තැන. ඒවා සුබයි හොඳයි. සැපයක් කියල හිතන අය ‘සංසාරයට’ වැටෙනවා.


බුදුහාමුදුරුවො දේශනා කරනවා, 


මහණෙනි මමත් මේ ‘සං’ නිසා සංසාරයේ ගමන් කළා.. මමත් ‘සං’ ‘සාරයි’ කියල හිතුවා. ඒ නිසා ‘දුක්ඛා ජාති පුනඃ පුනඃ’ මම දුකටම පත්වුණා කියලා.


මේ සං නිසා කායේන අසංවරෝ - කය අසංවර වෙනවා, වාචාය අසංවරෝ - වචනය අසංවර වෙනවා, මනසා අසංවරෝ - මනස අසංවර වෙනවා.


කයින් - වචනයෙන් - මනසින් අසංවර කෙනා කියන කරන දේ දන්නෙ නෑ. තරහ යනවා. දුරදිග බලන්නෙ නෑ. මේකත් මත්වීමක්. අසංවරය කියන්නෙ මොහොතක් පාසා අපට දුක ගෙනෙන දෙයක්.


‘සංසා රෝගා මහබ්බයා’


‘සං’ මහා භයානක දෙයක්. මේ ‘සං’ යමෙක් තුළ ඇති වුණාම ඔහු නිතර නිතරම දුකට පත්වෙනවා. නිතර නිතරම දැවෙනවා. තැවෙනවා, පිච්චෙනවා. ඒ නිසා ඔහු වටා ඇති සෙසු සියල්ලොත්, ගස් වැලුත්, සතා සිවුපාවෝත් දුකට පත්වෙනවා. එහෙනම් ‘සං’ අපි අවට එක් අයකුට තිබුණොත් ඇති. එහි පාලනයක් නොතිබුණොත් ඔහුත්, අවට සෙසු සියලු දෙනාත් දුකට පත්වීමක් වෙනවා.
ඒ නිසා මහණෙනි මේ රාග, ද්වේෂ, මෝහ නැමැති ‘සං’ මාරයා විදිහට දකින්න. මාරයා විදිහට භාරගන්න. රාගයක් ඇති වෙද්දීම මාරයා ළඟට ආ බව හිතන්න. කේන්තිය, හට ගනිද්දීම මාරයාට අයිති දෙයක් ආ බව හිතන්න. කෙනෙක් කෙරේ ද්වේෂයක් හට ගනිද්දී එය මාරයාට අයිති දෙයක් හැටියට හිතන්න. අනුන්ට විපතක් කරන්න යද්දි ඒ සිතිවිල්ල මාරයාට අයිති දෙයක් බව හිතන්න. ඔබේ සිත යම් දෙයක ඇලෙද්දී එය මාරයාට අයිති දෙයක් හැටියට හිතන්න.


දැන් මොකද වෙන්නෙ...?


රාගය එද්දිම මට හිතෙනවා ‘මාර රාගයක්’ බව, ද්වේෂය එද්දිම මම දන්නවා ‘මාර ද්වේෂයක්’ බව. මෝහය නැගෙද්දිම මම දන්නවා ‘මාර මෝහයක්’ බව.


එතකොට මම දන්නවා ඒවා පිට වුණොත් මට මොකද වෙන්නෙ, අනුන්ට මොකද වෙන්නෙ කියලා.


දැවිලා, තැවිලා, පිච්චිලා, දුක්වෙලා, මාව නැති නාස්ති වෙන දෙයක් මයි. ‘සං’ කියන්නෙ මාරයා. එයා අපට ‘හොඳකට’ එන්නෙ නෑ. මාරකයක් ගේන්නෙ. ඒ බව දැනගෙන ‘සං’ එද්දීම යටපත් කරගන්න. ප්‍රහීණ කරගන්න.


රාග, ද්වේෂ, මෝහ කියන මාරයෝ තුන්දෙනා නිදි කරවලා ඈත් කරලම දාන්න. ‘සං’ නිසා මත් වෙන්න එපා. ඇලෙන්න එපා.
බුදුරජාණන් වහන්සේ ‘සං’ දැක්කා. ඊට පසු ‘සම්’ ‘මා’ කරන්න පටන් ගත්තා. ‘මා’ කියන්නෙ ඉවත් කිරීම. රාග, ද්වේෂ, මෝහ කියන මාරයාට අයිති ‘සං’ ඉවත් කිරීමට ‘මා’ කිරීමට කියනවා ‘සම්මා’ කියලා.


හැබැයි ‘සං’ ‘මා’ කිරීම සඳහා මුලින් කරන්න ඕනෑ ‘සං’ දැකීමයි. එනම් ‘සං දස්සේසි..’ එය ඉතාම වැදගත් තැනක්...


මතුසම්බන්ධයි.

සටහන - අසංක ආටිගල