රට බඩු නැතිව වාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්


 

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ, පරිගණක, ජංගම දුරකථන අමතර කොටස් ආදී ද්‍රව්‍ය ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගනු ලැබීය.   


මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල උග්‍ර හිඟයක් පවතින බව ද වාර්තා වේ. පවතින භාණ්ඩ සහ උපකරණ ගිනි ගණන්වලට අලෙවි වන බවට ජනතාව චෝදනා කරති. 

 
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළෙඳපොළේ වාහන හිඟයක් සහ පවතින වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවූ බවත් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.   
වාහනවලට අමතරව වාහන අමතර කොටස්වල වෙළෙඳපොළේ හිඟයක් පවතින බවද පාරිභෝගිකයෝ චෝදනා කරති. වාහන අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් වාහන අලුත්වැඩියා කිරීමට නොහැකිව තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද ඔව්හු පෙන්වා දෙති.   


එමෙන්ම රජය ගත් මෙම තීරණය හේතුවෙන් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සහ උපකරණ වෙළෙඳ පොළට නිකුත්වීමේ අවදානමක් පවතින බවත් ඔව්හු සඳහන් කරති.   


ආනයනය සීමාකිරීම නිසා දේශීය නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් දැඩි අර්බුදයකට සහ කඩා වැටීමකට ලක්ව ඇතැයි ඇතැම් පිරිස් පෙන්වා දෙති. යම් නිෂ්පාදනයක් සියයට අනූවක් දේශීයව නිෂ්පාදනය කර සියයට දහයක් ආනයනය කරන්නේ නම් එම නිෂ්පාදන පවා ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඇනහිටින බව ද ඔව්හු පෙන්වා දෙති.   


භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී සැපයුමේ යම් අවහිරයක් ඇත්නම් එම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වේ. ඒ අනුව ආනයන සීමා කිරීමෙන් සැපයුම්වල යම් අවහිරතාවයක් සිදුවීමෙන් එය සෘජුවම නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑම් එල්ල කරනු ලබයි.   
ආනයන සීමාකිරීම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ද දැඩි බලපෑම් එල්ල කරනු ලබයි. එමෙන්ම මින් රටට ලැබීමට තිබෙන විශාල විදේශ විනිමයක් සහ රැකියා අහිමිවීමේ අවදානමක් පවා මතුවේ. එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කරනු ලබයි.   


ආනයන සීමා කිරීමෙන් පමණක් රුපියල සහ ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි බවත් ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති.   
දේශීය ආර්ථිකය රුපියල ශක්තිමත් කිරීම සඳහා වෙළෙඳපොළ ප්‍රසාරණය කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් වේ. ආනයන සීමා කර අපනයන පමණක් කිරීමෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි බවත් ඔව්හු පෙන්වා දෙති.   


මෝටර් රථ ආනයනය කිරීම අත්හිටුවීමට රජය පියවර ගැනීමත් සමග වාහන අලෙවි අංගණවල මේ වනවිට ලියාපදිංචි නොකළ වාහන 3000ක් වත් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   


ඇතැම් වාහන අංගණ තුළ වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කියා සිටියේය.   
දැනට වෙළෙඳපොළේ සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් රථ වෙළෙඳපොළ තුළ උග්‍ර හිඟයක් පවතින බව ද රන්ජන් පීරිස් මහතා පැවසීය.   


ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගණ තුළ පවතින බවත් එම වාහන මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.   


මේ ආකාරයට ආනයන සීමා කිරීමෙන් වාහන, වාහන අමතර කොටස් ඇතුළු දේ විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇත. සාමාන්‍ය ජන ජීවිතයට එහි බලපෑම් එල්ල වෙයි.   


වත්මන් ආණ්ඩුව යටතේ විවෘත ආර්ථිකයක් තිබූ රට සංවෘත ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරගෙන යන බවටත් ඇතැම් පිරිස් චෝදනා කරති.   


ආනයන අපනයන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා විවෘත ආර්ථිකයක් අවශ්‍ය බවත් මෙම සංවෘත ආර්ථිකයෙන් ආනයන සීමා කිරීම නිසා ලක්ෂ ගණනකට රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් ඇති බවත් ඔව්හු පෙන්වා දෙති.   


කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් සමග වත්මන් රජය විශාල අභියෝගයකට මුහුණ දී තිබේ. ආනයන සීමාකර දේශීය නිෂ්පාදනය කෙරෙහි රජය වැඩි අවධානයක් යොමුකර ඇත. නිවැරදි ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කර මෙම තත්ත්වයෙන් රට ගොඩගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් ආනයන සීමා කිරීමෙන් පමණක් රජය අපේකෂා කරන ප්‍රතිඵල කරා ළඟා නොවිය හැකි බවට ආර්ථික විශ්ලේශකයෝ පෙන්වා දෙති.

 

 

 සටහන
නිමල කොඩිතුවක්කු