ත්‍රි’මලේදී ජවිපෙ සිදුකළ ගරිල්ලා ප්‍රහාර


ජවිපෙ දෙවැනි  කැරැල්ලෙන්

12 වැනි කොටස

ඉන්දීය ආක්‍රමණිකයාගෙන් මව්බිම බේරා ගනුමැයින් නුගේගොඩදී 1989 ජූනි 06 ජවිපෙ සංවිධානය කළ රැස්වීමක්. 1989 මැයි 
14 ද‌ා සියලූම ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටි ජවිපෙ 1989 ජූනි 14 සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලු ඉන්දීය භාණ්ඩ ආනයනය කිරීම් නතර කිරීමටද නියෝග කරන ලදි.

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරැලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි.   


නැගෙනහිර පළාතේ පිහිටා ඇති ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය වර්ග කි.මී. 2,727ක් පුරා විහිදී ඇත. එහි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 යටතේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 230කින් පරිපාලන ව්‍යුහය සමන්විතය. දිගු ඓතිහාසික පසුබිමක් ඇති ස්වභාවික වරායන් සතු ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට උතුරින් මුලතිව් දිස්ත‍්‍රික්කය ද බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කය ද දකුණින් මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන් ද මායිම්ව පිහිටා තිබේ.   


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට 1968 අගභාගයේදී ජවිපෙ හඳුන්වා දුන්නේ ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයකු වූ හේම නලීන් ප‍්‍රනාන්දු හෙවත් එච්.එන්. ප‍්‍රනාන්දු ය. පසු කලෙක ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් සහ රෝහණ විජේවීරගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරකු වූයේ ද ඔහුය. ජවිපෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වඩාත් ප‍්‍රචලිත කළේ සිංහල මහා විදුහලේ භෞතික විද්‍යා ගුරුවරයකු වශයෙන් 1970 ජනවාරි 1 දා සේවයට පැමිණි සෝමපාල ගරුසිංහ ය. අකුරැස්සේදී 1948 අප්‍රේල් 8 උපන් සෝමපාල ගරුසිංහ 1968 මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු පුහුණුව නිමකළ අයෙකි. දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ජවිපෙ පූර්ණකාලීනයා වූයේ හුංගමින් පැමිණි රංජිත් සුමනපාල ය.   


පසුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මැදි මහා විදුහලේ ගුරුවරයකු වූ තිලකරත්න, මරතඩියේ ප්‍රේමදාස, ඩී. කුමාරසිරි ජයසේකර හෙවත් ‘සුදු අයියා’, දුම්රිය දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලයේ ලිපිකරුවකු වූ පියසිරි ගුණරත්න හෙවත් කටු අතුල, මොරවැව පී.ආර්.බී. ආරියරත්න, ත්‍රිකුණාමලය කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු රාගම බටුවත්තේ ෂෙල්ටන්, ඥානරත්න, ගුරුවරයකු වූ පී.ආර්.බී. විමලරත්න, මෝටර් රථ ගරාජයක කාර්මිකයකු වූ ෂෙල්ටන් තිලකරත්න ඇතුළු 150කට ආසන්න පිරිසක් 71 අප්‍රේල් කැරැල්ල වනවිට ජවිපෙ සාමාජිකයෝ සහ හිතවත්තු බවට පත්ව සිටියහ. මුළු දිස්ත්‍රික්කය තුළම 1971 අප්‍රේල් 5 ප‍්‍රහාරයක් එල්ල වූයේ කන්තලේ පොලිසියට පමණි. කන්තලේ පොලිසියට එල්ල කළ ජවිපෙ ප‍්‍රහාරයේ නායකයා වූයේ කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයකුව සිටි 93 හන්දියේ පදිංචි ඩයස් ය. පොළොන්නරුවේ ඕනෑගම පදිංචි පී.ආර්.බී. කරුණාරත්න ඇතුළු පිරිසක් ප‍්‍රහාරයට එක්වී සිටියහ.   


ජවිපෙ 2 වැනි කැරැලි සමය හෙවත් 1986 සිට 1990 දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන් අතරින් එක් අයකු වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ 1987 ජුනි සිට 1988 පෙබරවාරි දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කළ මච්චාගම සේනාරත්න හෙවත් කපිල හෙවත් අර්ජුන ය. අනුරාධපුර සිප්පිකුලම ග‍්‍රාමයේ උපන් සේනාරත්න 1989 දෙසැම්බර් මස හබරණදී අත්අඩංගුවට ගෙන මින්නේරිය යුද හමුදා කඳවුරේ රඳවාගෙන පසුව කොළඹට ගෙන එන ලදී. සේනාරත්න මියයන විට කැලණි සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ අවසන් වසර සිසුවෙකි. ඝාතනයට ලක්වූ ඔහුගේ සිරුර මොරටු ගඟේ දක්නට ලැබූ බව කියති. දිස්ත්‍රික්කයේ තවත් සන්නද්ධ ලේකම්වරයකු වූයේ පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රඳවා සිටියදී 1988 දෙසැම්බර් 13 ජවිපෙ කැරැලිකරුවන් විසින් තවත් 221 දෙනකු සමඟ මුදවාගත් ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් ගැමුණු හෙවත් විපුල දේවමුල්ල ය. ඔහු පේරාදෙණිය සරසවි ඉංජිනේරු පීඨ සිසුවෙකි. ප්‍රේමකුමාර් ගුණරත්නම් 1989 සැප්තැම්බර් 24 ශ‍්‍රී ලාංකික හමුදා අත්අඩංගුවට පත්වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. සන්නද්ධ ලේකම්වරයකු වූ ආනමඩුවේ ධර්මරත්න හෙවත් ධර්මේ ද පේරාදෙණිය සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ 2 වන වසර සිසුවෙකි. අම්පාර දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම් ලෙස කලක් කටයුතු කළ ධර්මේ කැරැල්ල අවසාන කාලයේදී කන්තලේ දෙහිවත්තේදී අත්අඩංගුවට ගෙන කන්තලේ කඳවුරට ගෙනයෑමෙන් පසු ඝාතනයට ලක්විය.   

 

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට 1969 දී ජවිපෙ හඳුන්වාදුන් ත්‍රීකුණාමලය මහා විද්‍යාලයේ ගණිත ගුරු එච්.එන්. ප්‍රනාන්දු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 1970 ජනවාරි සිට ජවිපෙ ප්‍රචලිත කළ ත්‍රිකුණාමලය මහා විද්‍යාලයේ භෞතික විද්‍යා ගුරු සහ 71 අප්‍රේල් කැරැල්ලේ ඉදිරි පෙළ නායකයෙකු වූ සෝමපාල ගරුසිංහ, ජවිපෙ 2 වැනි කැරැල්ලේදී 1989 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරයෙක් වශයෙන් සිටි ප්‍රේමකුමාර ගුණරත්නම් හෙවත් ගැමුණු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හමුද‌ා සම්බන්ධීකරණ නිලධාරි ලූතිනන් කර්නල් සරත් චන්ද්‍රලාල් ​ෙෆාන්සේකා සහ කලාප සන්නද්ධ ලේකම්වරයෙක් වශයෙන් සිට පසුව මාවතගම කලාප සන්නද්ධ ලේකම් වූ 1992 මාර්තු 
19 පොළොන්නරුව උණගලාවෙහෙර කුඹුරක වාඩියක සිටියදී සර්පයකු දෂ්ට කිරීමෙන් මියගිය ජාතික සහායක බළකායේ සෙබළ නාරම්මල සුනිල් රණවීර හෙවත් ලියෝ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ලේකම්වරයෙකු වශයෙන් සිටි අන්තරේ හිටපු කැඳවුම්කරු බණ්ඩාගේ මච්චාගම සේනාරත්න හෙවත් කපිල, සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරයෙකු වශයෙන් සිටි ආනමඩුවේ ධර්මේ. කලාප සන්නද්ධ ලේකම්වරයෙකු වශයෙන් සිටි වලපනේ සිරා, ඉදිරිපෙළ ක්‍රියාකාරින් වශයෙන් සිටි පේරාදෙණිය කෘෂි විද්‍යා සිසු කුරුණෑගල වද‌ාකඩ පදිංචි ලක්ෂ්මන් කිත්සිරි ද සිල්වා හෙවත් සුගත් කංකානම්ගේ සහ කුරුණෑගල මැදලන්දවත්තේ උපන් කොළඹ සරසවියේ සිසු මද්දුම ආරච්චිගේ දොන් ප්‍රිතිසිරි මෙහි වමේ සිටයි.

 

 

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ජවිපෙ කැරැලිකරුවන් විසින් ක්‍රියාත්මක කරනලද ප‍්‍රහාරයන්වලදී කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ඒවා බහුතරයක් සිවිල් වැසියන්ට නොව ගරිල්ලා ආකාරයෙන් ඉන්දීය හා ශ්‍රී ලංකාවේ හමුදාව ඉලක්කර කර එල්ල කළ ප‍්‍රහාරයන් වීමය. වෙනත් දිස්ත්‍රික්කයන්හි කැරැලිකරුවන්ගේ ප‍්‍රහාරයන් අතිබහුතරයම වාගේ සිදුවූයේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් ලෙසිනි.   


වසර 1989 මැද භාගය ආරම්භයේදී ජවිපෙ විසින් ත්‍රිකුණාමලයේ පැවැත්වූ පුහුණු කඳවුරු පැවැත්වුණේ කන්තලේ වැව්පිටිය පසුපසින් 87 ප‍්‍රදේශයෙන් දකුණු පැත්තට ගොස් කිලෝමීටර් 15ක් පමණ ගිය තැන ගල්තලාවකය. එම දෙසතියක පුහුණු කඳවුරු දෙකම පැවැත්වූයේ 50 කණ්ඩායම් 2ක් වශයෙනි. එහෙත් දෙවන කඳවුර සති 2ක් නිමකිරීමට නොහැකිව දින 9කදී හමුදාව වටලන බවට තොරතුරක් ලැබීමෙන් විසුරුවන ලදී.   
කඳවුරු දෙකේම අධ්‍යාපන පන්ති මෙහෙයවන ලද්දේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දේශපාලන ලේකම් මච්චාගම සේනාරත්න හෙවත් කපිල හෙවත් අර්ජුන ය. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් කුමාර් ගුණරත්නම් ද දින කිහිපයක් එයට සහභාගී විය. එම කඳවුරු දෙකෙන් අධ්‍යාපනය ලැබූ අයගෙන් තෝරාගත් 24 දෙනකුට තෙදිනක අවි පුහුණුවක් පසුව ලබාදෙන ලදී.   


මෙම පුහුණු කඳවුරු 2කට සහභාගී වූ 100ක් අතරින් බහුතරය පාසල් සිසුහු වූහ. ඔවුහු ත්‍රි’මලේ නාලන්ද විද්‍යාලය, සිංහල මහා විද්‍යාලය, අභයපුර මහා විද්‍යාලය සහ විද්‍යාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකටම අයත් වූහ. එයට 91 පන්සලේ ගලප්පත්ති හිමි සහ 85 ප‍්‍රදේශයේ විහාරස්ථානයක විජිත හිමි තාවකාලිකව සිය සිවුරු ගලවා සිවිල් ඇඳුමින් සැරැසී පුහුණුවට එක්ව සිටි අය අතර වූහ. දෙසතියකට සීමා වූ එම පුහුණුවේදී ලාබාලතම කැරැලිකරුවාගේ වයස අවුරුදු 13ක් විය. කන්තලේ නගරාසන්නයේ පදිංචි බෝනික්කා යන අනවර්ථ නාමයෙන් ප‍්‍රකට වූ ඔහුගේ මව මියගොස් තිබූ අතර පියා අතහැර ගොස් තිබිණි. බෝනික්කා හැදී වැඩුණේ සිය මිත්තණිය සමඟය. කන්තලේ පදිංචි වයස අවුරුදු 70ක් පමණ වූ එජාප ක්‍රියාකාරිනියක ඝාතනය කරන ලද්දේ ද ඔහු විසිනි. ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්වීම බොහෝ විට සිදුකරන ලද්දේ ආන්දම්කුලම වැවේ ගඩොල් පෝරණුවක් පිහිටි භූමියක සහ කන්තලේ වැව පිටිපස්සේ ඝන කැලෑවකය.   


ජවිපෙ කැරැලිකරුවන්ගේ ක්‍රියාකාරකම් පැවැති දිස්ත්‍රික්ක 19 අතරින් ඉන්දියානු හමුදාව රැඳී සිටි දිස්ත්‍රික්ක 2ක් වූ අතර ඉන් ප‍්‍රධානතම දිස්ත්‍රික්කය වූයේ ත්‍රිකුණාමලයයි. කල්ලාර් හමුදා කඳවුරෙන් 1987 ඔක්තෝබර් 4 ජවිපෙ විසින් පැහැරගත් අවිවලින් කිහිපයක් සහ නැගෙනහිර හමුදා කඳවුරුවලින් සිය අවි සමඟ පලාවිත් ජවිපෙට එක්වූ හමුදා සෙබළුන්ගේ අවි ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කැරැලිකරුවන් සතු විය.   


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ජවිපෙ කටයුතු වඩාත් යොමු වූයේ ඉන්දීය හමුදාවට එරෙහිවය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජුලි 29 අත්සන් කිරීම අනුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට ඉන්දීය හමුදා භට ප‍්‍රථම කණ්ඩායම ගුවනින් පැමිණියේ 1987 ජුලි 29 ය. ඒ වෙනුවෙන්ම දේශප්‍රේමී විමුක්ති හමුදාවේ නැගෙනහිර පෙරමුණ නමින් සන්නද්ධ අංශයේ විශේෂ ඒකකයක් ද නම්කර තිබිණි. එමගින් ඉන්දීය හමුදාවේ සෙබළුන් 63ක් ඝාතනය කර ඇති බව ජවිපෙ නායක රෝහණ විජේවීර සහ ප‍්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක විසින් 1989 සැප්තැම්බර් 5 නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය. එහි වැඩිදුරටත් සඳහන් වූයේ 1989 මැයි 12 සිට තෙමසක් ඇතුළත ඉන්දීය හමුදාවේ මේජර්වරයකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙක් ද සෙසු භටයන් 51 ද වනසා දැමීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවනු ලැබූ දේශප්‍රේමී විමුක්ති හමුදාවේ නැගෙනහිර පෙරමුණ සමත් වූ බවය. එමෙන්ම ඉන්දීය ඒජන්තවරුන් 14 දෙනෙක් ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වනසා දමා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.   


ඉන්දීය හමුදාවේ භටයන් වනසා දැමීම සහ ඔවුන්ගේ ආයුධ පැහැර ගැනීම ඉලක්ක කරගෙන ප‍්‍රහාර කිහිපයක් දියත් විය. මෙහි ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් වූයේ ප්‍රේම්කුමාර් ගුණරත්නම්, දෙහිවත්තේ සරත් හෙවත් කුළේ, කන්තලේ 94 නාලක වික‍්‍රමසිංහ, පින්දෙනිය, සමන්, සනත්, මනෝජ්, ටිරෝන්, ද සේරම්, කන්තලේ 85 හන්දියේ සහකාර වෛද්‍ය නිශ්ශංක හෙවත් 85 දොස්තර, අර්ජුන, අබේරත්න හෙවත් පන්ජල් ඇතුළු පිරිසකි. සේරුවිල දෙහිවත්ත ප‍්‍රදේශයේ ප‍්‍රකට චරිතයක් වන සරත් කුලේ හමුදා භටයකු නොවේ. එහෙත් හමුදා කඳවුරුවල නිරන්තරයෙන් ගැවැසෙන හමුදා භටයන්ගේ හිතවතෙකි. වසර 1983 ජුලි කලබල සමයේ නොසන්සුන්තාවට පත්වූ සේරුවිල සිංහල ජනයාට නායකත්වය දුන් අය අතර සරත් කුලේ ද විය. විරුද්ධ පාර්ශ්වයකින් එන තර්ජන නිසා සිය ඉනේ අත්බෝම්බයක් සඟවාගෙන යද්දී ආරක්ෂක අංශවලට හසුවූ කුළේ රිමාන්ඩ් කර තිබුණේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේය. එහිදී ‘ඒ’ සෙල් එකේ රඳවා සිටි ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් පැවැති ජවිපෙ අධ්‍යාපන පන්තිවලට සහභාගිවීමෙන් පසු දෙහිවත්තේ සරත් කුළේ ජවිපෙ සාමාජිකයකු බවට පත්විය. මැගසින් බන්ධනාගාරයේ සිටි ජවිපෙ සැකකරුවන් 221ක් 1988 දෙසැම්බර් 13 මුදාගැනීමට ජවිපෙ සමත්විය. එසේ පලාගිය රාගම සෝමේ, පානම අබේ, වැලිසර දිලිප් ප‍්‍රනාන්දු හෙවත් පතී, ප්‍රේම්කුමාර් ගුණරත්නම් ඇතුළු සැකකරුවන් 221 අතර සරත් කුලේ ද විය. පසුව ජවිපෙ පූර්ණකාලීනයකු වී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සන්නද්ධ වගකීම් දැරීය. කන්තලේ 85 හන්දියේ දොස්තර නිශ්ශංක ඝාතනය කිරීමට හේතු වූයේ තුවාල ලැබූ කැරැලිකරුවන්ට ප‍්‍රතිකාර ලබාදීම සහ ජවිපෙ කටයුතුවලට දායක වීම හේතුවෙනි.   


නුවර-ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 92 සැතපුම් කණුව අසල තඹලගමුවෙන් බටහිර පිහිටි මුල්ලිපතානේදී 1989 මැයි 12 බිම්බෝම්බයක් පුපුරවා හැරීමෙන් ඉන්දීය හමුදා මේජර්වරයකු ඇතුළු 13ක් ඝාතනය කර ඔවුන්ගේ සියලු අවි පැහැරගන්නා ලදී. රහසිගත මෙහෙයුම්වල නියැළුණු ඉන්දියානු බලගතුම ඔත්තු සේවාව ලෙස හඳුන්වන පර්​ෙ‌ය්ෂණ හා විමර්ශන අංශය හෙවත් රෝ සංවිධානයේ නිලධාරීන් එම ප‍්‍රහාරය ජවිපෙ කළ බව දැනගත් වහාම එය නතර කරන ලෙසට ජවිපෙ ඉහළ නායකත්වයෙන් ඉල්ලා සිටි බව ද ජවි‍පෙ එම ආයාචනයට අනුගත වෙමින් ඉන්දීය හමුදාවට එරෙහි නැගෙනහිර සියලු ප‍්‍රහාරයන් නතර කළ බවට ප‍්‍රචලිත මතයකි. එහෙත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ මුල් පෙළේ සන්නද්ධ කැරැලි නායකයන් දෙදෙනකුම ලේඛකයා සමඟ පැවැසුවේ ප‍්‍රහාර නතර වූයේ ප්‍රේම්කුමාර් සහ දෙහිවත්තේ කුලේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවය. නිමල් බාලසූරිය බළකාය හෙවත් ශිෂ්‍ය සන්නද්ධ අංශයේ නායකයා වූයේ සේරමඩුවේ අතාවුදය. අත්අඩංගුවට ගත් අතාවුද පසුව නාවික හමුදාව මගින් නිදහස් කරන ලදී.   


එමෙන්ම ත්‍රිකුණාමලය චීන වරාය තෙල් සංකීර්ණයට අයත් ඩොල්ෆින් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේදී පැති බෝම්බ 2ක් පුපුරුවා හැරීමෙන් ඉන්දීය හමුදා මේජර්වරයකු ඇතුළු ඉන්දීය හමුදා භටයන් 6ක් 1989 මැයි 22 ඝාතනයට පත්කරන ලදී. ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් දේවාලය ඇතුළු ස්ථාන කිහිපයක මුරට යොදා සිටි ඉන්දීය භටයන්ට පහරදී ඔවුන්ගේ අවි පැහැර ගන්නා ලදී. චීන වරාය ධාන්‍යාගම නිවාස සංකීර්ණයේ පොදු ළිඳ අසලදී 1989 මැයි 6 කාල බෝම්බයක් පිපිරීමෙන් ඉන්දීය හමුදා භටයෝ 9ක් මරුමුවට පත්වූහ.   


ත‍්‍රිකුණාමලය මුහුදේ ගිලී තිබූ පැරැණි නැවකින් කැරැලිකරුවන් විසින් ගොඩගත් වෙඩි බෙහෙත් තොගයක් ඇසුරෙන් එහි තිබූ රසායනික ද්‍රව්‍ය මගින් රොකට් ද නිපදවීම සාර්ථක ලෙස අත්හදා බලා තිබිණි. මෙය සිදුකළේ ඉංජිනේරු සිසුවකු වූ ශාන්ත ඇතුළු පිරිසක් විසිනි. කැරැලිකරුවන්ට ටී. 56 ගිනි අවි කිහිපයක් නිෂ්පාදනය කිරීම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ ලියවන පට්ටල් කිහිපයක සිදුවිය. ත්‍රිකුණාමලයේ ටී. 56 ගිනි අවි නිෂ්පාදනය කරන ස්ථානයට 1989 ඔක්තෝබර් කඩාවැදුණු හමුදා කණ්ඩායමක් එහි සිටි 2ක් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව ඔවුන් තිරස්චින ලෙස ඝාතනයට ලක්ව තිබිණි.   


එකල ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දකුණු පළාත ඇතුළු පළාත් 7ක් භාර දේශපාලන ලේකම්වරයා ලෙස මහ කොමසාරිස් ඩික්සිත් විසින් පත්කර තිබූණේ සික් ජාතිකයෙක් වූ ගුරුජිත් සිංය. උතුරු නැගෙනහිර භාරව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන ලේකම් ලෙස කටයුුතු කළේ දෙමළ බ‍්‍රහ්මණ වංශිකයකු වන එස්.අයි. ශංකර් ය. කේරළ ජාතික කතෝලිකයකු වූ මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් වූයේ රෝ සංවිධානය සමඟ සම්බන්ධීකරණ කටයුතුවල නිරත වූ ජෝෂොප් තරිලාල්ය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වූයේ නිරුපන් සෙන්ය. එයට පෙර 1987 ඔක්තෝබර් 25 ජවිපෙ මගින් මහනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර තිබිණි. ජවිපෙ ඩී.එම්. ආනන්ද ඇතුළු ඉහළ පෙළේ නායකයන් දෙදෙනකු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රෝ නියෝජිත ජෝෂප් තරිලාල්ල දකුණු ඇතුලූ පළාත් ලේකම් ගුරුජිත් සිං සහ නියෝජ්‍ය මහා කොමසාරිස් නිරුපන් සෙන් සමඟ සබඳතා ගොඩනගා ගෙන තිබුණේය. ඩී.එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයන් අතර ප‍්‍රධාන සම්බන්ධකම ගොඩනගන ලද්දේ මාධ්‍යවේදී රිචඩ් සොයිසාගේ මැදිහත් වීමෙනි.   


කැරැලිකරුවන් සහ කොළඹ ඉන්දීය රෝ සංවිධානය අතර ගොඩනඟා ගත් රහස් සබඳතා ඔස්සේ කැරැලිකරුවන්ට ඉන්දීය හමුදාවට ගෙන ආ අවි ආයුධ ප‍්‍රමාණයක් ලබාදීමට ද 1989 සැප්තැම්බර් මස තීරණය වූ බව කියති. ඒ අනුව 1989 ඔක්තෝබර් 27 ත්‍රිකුණාමලයට ඉන්දීය ගුවන් යානයකින් ගෙනැවිත් තිබූ ට‍්‍රැක්ටර් 9ක පිරවූ පෙට්ටි කිහිපයක් නිලාවැලියේදී කැරැලිකරුවන්ට භාරදීමට සහ පසුව ඒවා රට පුරා බෙදාහැරීමට ජවිපෙ කතිකා කරගෙන තිබිණි. මේ පිළිබඳව රජයට 1989 නොවැම්බර් 7 තොරතුරු අනාවරණය වීමෙන් පසු ආරක්ෂක ලේකම් ජනරාල් සේපාල ආටිගල 1989 නොවැම්බර් 9 මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කිරීම නිසා ප‍්‍රයත්නය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව රහස් තොරතුරු පෙන්වා දී තිබිණි.   


ත්‍රිකුණාමලය කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝබර් 4 කඩාවැදුණු කැරැලිකරුවෝ එහි ආයුධ රැසක් පැහැර ගැනීමට සමත්වූහ. මෙහිදී කැරැලි නායක හිටපු ගුවන් හමුදා සෙබළ වනවාසල ලොකු මහින්ද, මීගස්වැව කුඹුකුණවල වර්ණපුර සහ මීගස්වැව පියදාස එහිදී මරුමුවට පත්වූහ. පසුව 1989 දී කන්තලේ 85 හමුදා කඳවුරට ද කැරැලිකරුවන් ප‍්‍රහාරයක් එල්ල කරමින් සියලු අවි පැහැර ගන්නා ලදී.   


දිස්ත්‍රික්කයේ එක් වධ කඳවුරක් බවට පත්වූයේ වසාදමා තිබූ කන්තලේ සීනි කම්හලය. වසර 1960 ඔක්තෝබර් 2 කන්තලේ සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර එය වසර 25කට පසු 1986 දී වසාදමා තිබිණි.ග යුද හමුදාවේ 1 වන සිංහ රෙජිමේන්තුවට අයත් භටයන් විසින් මෙහෙයවන ලද එම කඳවුර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා භාරයේ පැවැතිණි. කඳවුරේ වධදීම් සම්බන්ධයෙන් ලෙෆ්ටිනන්ට් පාලිතට සහ කෝප‍්‍රල් අතුලට චෝදනා එල්ල විය. ආරක්ෂක අංශ මගින් කන්තලේදී අත්අඩංගුවට ගත් කන්තලේ 94 නාලක වික‍්‍රමසිංහ සහ සමන් ඇතුළු 80ක් පමණ පසුව ඝාතනයට ලක්ව තිබිණි. එම කඳවුර 1990 පෙබරවාරි 1 වැනිදා 4 වන සිංහ රෙජිමේන්තුවේ මේජර් ජයන්ත කොතලාවල යටතට පත්විය.   


කන්තලේ හමුදා කඳවුරේ 1989 නොවැම්බර් මුල් සතිය වනවිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සංඛ්‍යාව 304කි. එම සැකකරුවන් අතර චීන වරාය බෝධිරාජාරාමයේ විහාරාධිපතිව සිටි දෙහිඕවිට පියතිස්ස හිමි සහ ත්‍රි’මලේ දිස්ත්‍රික්කයේ එජාප සංවිධායකවරයකුව සිටි කිනියාවේ පදිංචි සරත් ලොරොන්සුහේවා හෙවත් එකමුතු සරත් ඇතුළු කිහිපදෙනකු විය. එසේ අත්අඩංගුවේ සිටි පාසල් සිසුන් සංඛ්‍යාව 71 කි. එම පාසල් සිසුන් නිදහස් කර ඔවුන්ගේ දෙමාපියන්ට භාරදීම සඳහා 1989 නොවැම්බර් 4 වැනිදා කන්තලේ කඳවුරට අයත් භූමි භාගයේ පිහිටි ශාලාවේ රැස්වීමක් ද පැවැති අතර එහිදී සභාව ඇමතූ අය අතර හමුදා සම්බන්ධීකරණ නිලධාරී සරත් ෆොන්සේකා, එම හමුදා කඳවුරේ අත්අඩංගුවේ සිටි ජවිපෙ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සන්නද්ධ ලේකම් ප්‍රේම්කුමාර් ගුණරත්නම් ඇතුළු කිහිපදෙනෙක්ම වූහ.   


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කැරැලිකරුවන්ගේ සන්නද්ධ ක්‍රියාදාමයන් 1989 ඔක්තෝබර් අවසානය දක්වා ක්‍රියාත්මක විය. එය කඩා වැටීම ආරම්භ වූයේ විජේවීර ඝාතනයට පෙර 1989 නොවැම්බර් මුල් භාගයේදී ආරක්ෂක අංශ විසින් කැරැලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද දැඩි මර්දනයත් සමඟය. එමෙන්ම 1989 ජුලි 1 දා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවෙන් පිටත්විය යුතු බවට කළ විවෘත නියෝගය විශේෂයෙන් නැගෙනහිර ජනතාවගේ සතුටට හේතු විය. එය කැරැලිකරුවන්ට ලැබුණු ජනතා සහාය ක‍්‍රමයෙන් ගිලිහී යෑමට තවත් එක් ප‍්‍රධාන හේතුවක් විය. ජනාධිපති ප්‍රේමදාසගේ එම නියෝගයට අනුව ඉන්දීය හමුදාවේ අවසාන සේනාංකය ද 1990 මාර්තු 24 ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.


(ජවිපෙ 2 වැනි කැරැලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)