ටිකට් නැතිව දුම්රියේ ගිය කාන්තාවට සිර දඬුවම්


ලංකා ඉතිහාසයේ පළමු වතාව

 

ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට වරදකාරියක වූ කාන්තාවකට මාසයක ලිහිල් වැඩ ඇතිව සිරදඬුවමක් හා රුපියල් 1,500ක දඩ මුදලක් නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.  

විත්තිකාර කාන්තාව නොමැතිව නඩුව විභාග කර ඇයට මෙම දඬුවම පසුගිය සිකුරාදා ලබාදුන් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබිය.  


කාන්තාව අත්අඩංගුවට ගත් දිනයේ සිට මෙම සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතය.   


ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට මෙවැනි දඬුවමක් ලැබූ කෙනෙක් ගැන දුම්රිය ඉතිහාසයේ දන්නා කියන කාලයක අසන්නට නොලැබුණු බව පැවැසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිහිපදෙනෙකි.  


මෙසේ දඬුවම් නියම වූයේ ගම්පහ ගණේමුල්ල පොලිස් වසමට අයත් ගලහිටියාව අංක 249/4 දරන නිවසේ පදිංචිව සිටි වගආරච්චිගේ අර්ලින් නමැති කාන්තාවකටය.  
මෙම නිවස කුලී පදනම මත ලබාගෙන පවුලේ අය සමග පදිංචිව සිටි ඇය (අර්ලින්) කුලී ගෙවීම ද පැහැර හැර නිවස අතහැර දමා ගොස් ඇති අතර මේ වනතුරු ඇය පදිංචිව සිටින ස්ථානයක් සොයා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවේ හෝ පොලිසියේ නිලධාරීන්ට නොහැකිව ඇත.   


වගආරච්චිගේ අර්ලින් යන කාන්තාවට එල්ල වී තිබූ චෝදනාව ගොනු කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මාසයේ 30 වැනි දින පස්වරු 4.40ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොල්ගහවෙල දක්වා ගමන් ගත් අංක 172 දරණ දුම්රියේ දෙවැනි පංතියේ වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව කොළඹ කොටුවේ සිට ගණේමුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමෙන් 1956 සිට සංශෝධිත ලංකා ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 200 වැනි පරිච්ඡේදය වූ දුම්රිය ආඥා පනතේ 07 (අ) වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ අංක 136 (1) (අා) වගන්තිය ප්‍රකාරවය.  


දුම්රිය ආරක්ෂක සේවයේ සහකාර අධිකාරි ඕ.කේ. ලලිත් කුමාර මහතා විසින් මෙම කාන්තාවට එරෙහිව චෝදනා අධිකරණය වෙත වාර්තා කර තිබිණි.  


කොළඹ කොටුවේ සිට 2016 වසරේ නොවැම්බර් මාසයේ 30 වැනිදා පොල්ගහවෙල බලා ධාවනය වෙමින් තිබූ අංක 172 දරන දුම්රියේ දෙවැනි මැදිරි දුම්රිය ආරක්ෂක හමුද‌ාවේ මෙහෙයුම් කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත.  


තුන් වන පන්තියේ ප්‍රවේශපත්‍ර රැගෙන දෙවන පන්තියේ ගමන් කරමින් සිටියදී අසු වූ මගීන් 11 දෙනකුට දඩ ගසා ඇති අතර ඔවුන්ගෙන් අයකරගත් දඩ මුදල 33,550ක් පමණ විය.  
ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කළ වරදට එදිනම අර්ලින් නමැති කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය දුම්රිය ආරක්ෂක හමුද‌ාවේ වැටලීමට සහභාගි වූ නිලධාරීන්ට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරෙමින් කෑ කෝ ගසා කෙසේ හෝ ඔවුන්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබිණි.  


මෙහෙයුම් ඒකකයේ කාර්ය බාර නිලධාරී ඩී.ඒ.පී.එස්. විජේසේකර මහතා විසින් මේ සිද්ධිය ගණේමුල්ල පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.  


කාන්තාව පලා ගියත් ඇයගේ ජාතික හැඳුනුම්පත තිබුණේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ බාරයේය.  


දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගිය සැකකාර කාන්තාව කොළඹ කොටුවේ පිහිටි දුම්රිය ආරක්ෂක හමුදා කාර්යාලය වෙත පැමිණ ඇත්තේ ඇයගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා ගැනීමටය.  


ඒ අවස්ථාවේ ඇය අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබේ.  


අධිකරණය මගින් ඇප මත මුද‌ාහරින ලද සැකකාර කාන්තාව නඩු වාර කිහිපයකට පමණක් ඉදිරිපත්ව පසුව අධිකරණය මගහැර සිටියාය.  


නඩු වාරවලට පෙනී නොසිට අධිකරණය මඟහැර සිටීම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අධිකරණය මගින් නිකුත් කර තිබේ.  


ගණේමුල්ල පොලිසියේ වරෙන්තු ක්‍රියාත්මක කරන පොලිස් සැරයන් අජිත් කුමාර (64257) මහතා ගණේමුල්ල ගලහිටියාව අංක 249/4 දරන අර්ලින් නමැති කාන්තාව පදිංචිව සිටි කුලී නිවාසයට ගොස් සොයා බැලීමක් සිදුකර ඇත.  


නිවසේ ද කුලිය නොගෙවා කාන්තාව හා ඇයගේ පවුලේ උදවිය යන්නට ගොස් ඇති බවත් එම නිවසේ අයිතිකරුගෙන් පොලිසියට දැන ගැනීමට ලැබී තිබේ.   


චූදිත කාන්තාව නොමැතිව මෙම නඩුව විභාග කර තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.  


සිරදඬුවම් හා දඩ මුදල් නියම වූ වගආරච්චිගේ අර්ලින් නමැති කාන්තාව ඉන්නා තැනක් ගැන සොයාගෙන ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා දුම්රිය ආරක්ෂක හමුදාව පරීක්ෂණ පවත්වාගෙන යයි.  


දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත එහි සහකාර අධිකාරි ඕ.කේ ලලිත් කුමාර, කාර්ය බාර නිලධාරී ඩී.ඒ.පී.එස්. විජේසේකර සහ දුම්රිය ආරක්ෂක හමුද‌ාවේ සැරයන් බී.කේ. සමන් කීර්ති යන මහත්වරුන් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත.  

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය