ජනතා හදවත් ගිනිගෙන දැවෙන ගිනි බිසව් රාජ්‍යය


වළපල්ලට ගිය රටවල්

බො​හෝ රටවල් පූර්ණ අරාජිකත්වයට තල්ලු වී ගියේ බල හුවමාරුව තුළිනි. ප්‍රජාතන්ත්‍රවාදයට පස්ස හැරවූ රටවල් බොහොමයක් කාබාසිනියා විය. යුක්තියට හඬ නගන ජනබල යටපත් වුණේ මේ දේශයන්හිය. එවැනි රාජ්‍යයන්හි පාදඩ දේශපාලන මැර ක්‍රියා ඉස්මතු විය. හරියටම ලංකාව වගේය. දේශපාලකයින් බලලෝහය තකා කස්තිරම් ඇල්ලීම රටකට හිතකර නැත. ලංකාව වගේම හොර තක්කඩි දේශපාළුවන් සිටින රටවල් මිලි මීටරයකින්වත් ඉදිරියට ගියේ නැත.  


මහ පුටුවලට මහ මෝඩයින් පත්වුණේ මේ රටවලය. ඔවුහු අත්තනෝමතිකත්වයට සුජාත භාවය ලබාදුන්හ. ඉකුත් සතියේ ලංකාවේ සිදු වූ බල පෙරළිය මම සියැසින් දුටුවෙමි. තමා සහ තම වර්ගයාගේ වාසිය තකා ලංකාවේ දේශපාලකයින් චක්ගුඩු සෙල්ලමෙහි නිරත වූයේ ලංකාව මුළු ලොවටම විහිළු සපයන රටක් බවට පත් කරමිනි.  


හතරගාතේ වැටුන රටක්  


වසර 40කට වැඩි කාලයක් මම ලොව දියුණු හා නොදියුණු රටවල් සිය ගණනකට ගොස් ඇත්තෙමි. ඔක්තෝබර් 26 දා සිට පුරා දින 5ක් මම ශ්‍රී ලංකාවේ පාලනය මෙහෙයවන ප්‍රධානතම මර්මස්ථාන 5ක් පුරා සැරිසැරුවෙමි. වළ පල්ලට ගිය 28 වැනි රට හරහා ලංකාවට ළඟාවූ මට මොන විවේකයක් ද? මා ලංකාවේ දී දුටුවේ වාසියට පමණක් ජනතාව අතරේ සිටින දේශපාලකයින් රොත්තකි. ජනතාවට මෝඩ චූන් දෙන අමුතු සත්තු ටිකකි. ලොව කිසිදු රටක මේ වගේ සෙල්ලම් මම දැක නැත්තෙමි.  


හතර ගාතේ වැටී ඇති තවත් රටක් පිළිබඳ විස්තර ඔබ වෙත ඉදිරිපත් කිරීමට පෙර ලංකාවේ සිදුවී ඇති ව්‍යවස්ථා අර්බුදය ගැන මෙවන් විස්තරයක් ඉදිරිපත් කරනුයේ පසුගිය දින කීපය තුළ රටේ සිදුවූ අශීලාචාර සිද්ධීන් නිසාය. සුන්නත් දූවිලි වුණේ හොරු එලවා කම්බා හොරු බලය ලබා ගත් රටවල්ය. විවිධ දේශපාලකයින්ගේ ම්ලේජච්ඡ මානසිකත්වය තුළින් ජනතාවට දවල් තරු පෙනී ඇති බව මම ලංකා​වේදී දුටුවෙමි. ලංකාවේ දැන් සිද්ධවෙන්නේ ඊජිප්තුවේ හොස්නිමුබාරක් අහසින් බිමට දැම්මා වැනි ​ෆේස්බුක් (FACE BOOK) විප්ලවයකි.  


මගේ සංචාරයේ දී බොහෝ විට දුටුවේ ලංකාවේ මෙන් ගෙම්බන්, රිලවුන්, හෝතඹුවන් මෙන් එහාට මෙහාට පනින දේශපාළුවන් ඉන්න රටවල්ය. හොද්දේ පරිප්පු ඇට හොයන අසරණයින්ය. කැඳ කෝප්පයේ හාල් අැට හොයන අහිංසකයින්ය.  


ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කනඩාව ඇතුළු ලොව ශීලාචාර සහ දියුණු රටවල නම් ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවට අත තබන්නට ව්‍යවස්ථාවෙන් ඉඩ නැත. ලංකාවේ නම් ඒකේ අනිත් පැත්තය.  

 


එහෙ එහෙමයි. ලංකාවේ මෙහෙමයි  


ලංකාව වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අර්බුද ඇති වළ පල්ලට ගිය තවත් අප්‍රිකානු රටක් අද හඳුන්වා දෙනු ලැබේ. ඒ බටහිර අප්‍රිකාවේ ගිනි බිසව් (GUINEA BISSAV) රාජ්‍යයි. එ්කත් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. එහෙත් මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පසුගිය මාස 18 තුළදී ආණ්ඩු පෙරළි 4ක් සිදු වූ ලෝකයේ තවත් අපායකි. දේශපාලන උප්පරවැට්ටි තුළින් අටවාගත් වර්තමාන ආණ්ඩුව ද එහි ජනතාව ගොනාට අන්දවමින් ඉදිරියට ඇදී යයි. ගිනි බිසව් රටේ ද ලංකාවේ මෙන් දේශපාලන විහිළු සිදුවේ. ගිනි බිසව් රටේ ද දැන් පාලනය ගෙන යන ආර්ථික ඔස්තාර්ලා ඉලක්කම් ඉදිරිපත් කරමින් අංක ගණිතයෙන් රට කා දමයි.  


1974 වසරට පෙර ලන්දේසීන් පෘතුගීසින් විසින් කා දැමූ ගිනි බිසව් රට පසුගිය වසර 44 තුළදී දේශයේ සම්පත් විකුණා කෑ වෙන්දේසීන් විසින් අගාදයට තල්ලු කරන ලදී. ලංකාවද ලන්දේසින්, පෘතුගීසින් සහ ඉංග්‍රීසින් විසින් හප කරන ලදී. 1948න් පසු දේශපාලන වෙන්දේසීන් රටේ සම්පත් වෙන්දේසි කළේ හිරිකිතයකින් තොරවය. වසර 70ක් තිස්සේ ලංකාව ද ආපස්සට පල්ලම් බැස්සේ මේ නිසාය.  


ගිනි ගෙන දැවෙන ගිනි බිසව් රට  


අත්ලාන්තික් සාගරය හරහා හමා එන සුළං රැලිවලින් මේ ගිනි බිසව් රාජ්‍යයේ ජනතාවට සිසිලක් දැනෙන්නේ නැත. ඊට හේතුව මෙහිද දේශපාලකයින් විසින් ජනතාවගේ කරමත පටවා ඇතී පීඩනය නමැති ගිනි අව්වෙන් ඔවුහු පිච්චෙන නිසාය. කොටින්ම කියනවා නම් සහරා කාන්තාරය හරහා හමා එන ගිනියම් දූවිලි සහිත කටුක සුළඟ මාර්ගයෙන් නොව ගිනි ගෙඩි දෙන පාලකයින්ගේ අන්තනෝමතික ක්‍රියා නිසා ගිනි බිසව් රාජ්‍යයේ පුරවැසියන් ගිනි ජාලා මැද දුක් විඳිති. හරියට ඉන්දියන් සාගරයෙන් ලෝකෙන් උතුම් රට වෙත ගලා එන සුළං රැලිවලින් එහි ජනතාවට සැනසුමක් නොලැබෙනවා වාගේමයි.  

 


ඔල මොට්ටල පාලකයෝ  


එක් පැත්තකින් අන්ලාන්තික් සාගරයයි. තවත් පැත්තකින් සහරා කාන්තාරයයි. සෙනෙගාල් හා ගිනියා යන රටවලට මැදිව පිහිටා ඇත. දැන් ජනගහණය ලක්ෂ 19 කට වැඩිය (18,15,698) ගිනි බිසව් වර්ගකිලෝමීටර් 36,125ක් හෙවත් වර්ග සැතපුම් 13,948 ක් විශාලය. ලොව අස්ථාවරම රාජ්‍යයන් ගෙන් එකකි. කලක් පෘතුගීසි කොළනියකි. ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවලට වැඩිපුරම වහලුන් ගෙන ගියේ මේ රටෙනි.  


කි.මී. 4200ක් දිග කොන්ගෝ ගංගාව (CONGO RIVER) මේ රට හරහා ගලාගොස් අත්ලාන්තික් සාගරයට ඇද වැටෙන නමුන් ඒ මහා ජලස්කන්දයෙන් රටේ කෘෂිකර්මාන්තය නංවා සිටීමට නොදන්නා මොලයක් නැති ඔල මොට්ටල නරුම පාලකයින් ඉන්න රටකි. රට එක තැනම ලොප් වී ඇත්තේ මේ නිසාය.  


මේ ගිනි බිසව් රටේ ද පාලකයින් රට නංවනවා වෙනුවට බලය මාර්ගයෙන් තම පවුල් සංස්ථාව තර කර ගනී. ඔවුන්ගේ ද එකම උපාය මාර්ගය වී ඇත්තේ ජනතාවට කොකා පෙන්වීමයි. නිදහසින් (1974) පසු ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක් රාජ්‍ය බලය නතු කර ගත්හ. ඒ පක්ෂ දෙක PAIGC සහ PRS පක්ෂයි. තවත් දේශපාලන පක්ෂ 20ක් පසුගිය අවුරුදු 44 තුළ දී වාසිය තකා ආණ්ඩු පිහිටුවීමට මුක්කු ගැසූ අයුරු විස්තර කිරීමට මෙවැනි කෙටි ලිපියක් ප්‍රමාණවත් නැහැ. ලංකාවේද අවුරුදු 70 ක් තිස්සේ සිදු වුණේ මේකම නේද?  


චීන ආක්‍රමණය  


ගිනි බිසව් රටේ මුළු ජනගහණයෙන් තුනෙන් දෙකක්ම (2/3) දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ දේශපාලකයින්ට ශාප කරමිනි. මෙහි ජනතා පිබිදීම් සිදු වෙද්දී ආණ්ඩු ඒවා යටපත් කරන්නේ රට පුරා භීෂණය වපුරවමිනි. 1974න් පසු මෙහි කිසිම ජනාධිපතිවරයෙකුට සිය පස් අවුරුදු පාලන කාලය සම්පූර්ණ කරගත නොහැකි විය. ආණ්ඩු පෙරලූ කුමන්ත්‍රණ වැඩි සංඛ්‍යාවක් සිදු වූ රටකි. ගිනි බිසව් රාජ්‍යයය. ජනතා පීඩනයේ උච්ඡ අවස්ථාවක් වශයෙන් 2008 වර්ෂයේ දී එහි හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය හැඳින්විය හැක.  


මෙය ද චීන ආක්‍රමණයට හසුවූ තවත් රටකි. චීන ව්‍යාපෘති ඇරඹීමට මෙහි පැමිණි චීනුන් මේ රටේ පදිංචි වී සිටින්නේ චීනයේ ජනගහණය විශ්මයජනක ලෙස වැඩිවීම හා චීනය ඉඩමදී වීම නිසාය.  


කජු කනවා වගේ සූරා කෑම  


ගිනි බිසව් රටේ මුළු ජනගහණයෙන් සියයට 70 කට වැඩි පිරිසක් දුක්ඛිත දිවි ගෙවද්දී පාලකයින් හා දේශපාලකයින් සුර සැප විඳින අයුරු මම දුටුවෙමි. වැඩි දෙනා දිවි ගෙවන්නේ කජු වගා බිම්වලය. මෙහි වැඩි පුරම වැවෙන්නේ කජුය. වැඩිපුරම රැකියා තිබෙන්නේ කජු වතුවලය. කජු වතු බොහොමයක් අයිති පාලකයින්ටය. දේශපාලකයින්ටය. මෙහි විටින් විට බලය ලබා ගන්නේ කජු මුදලාලිලාය. බලය ලබාගන්නා පාලකයින් මහජන දේපොළ සූරා කන්නේ කජු කනවා වගේය. කජු නිෂ්පාදනය අතින් ලෝකයේ 6 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ ගිනි බිසව් රාජ්‍යයයි. මෙහි කජු වගා බිම්වල ගිනි අව්වේ දහඩිය වගුරුවන හයක් හතරක් නොදන්නා දරු දැරියන්ගේ ශෝකාලාපය පාලකයින්ගේ කන්වලට ඇසෙන්නේ නැත.  


මෙහි 1998 සිට 1999 දක්වා සිදු වූ සිවිල් යුද්ධය නිසා මියගිය සංඛ්‍යාව දස දහස් ගණනකි. රෝගීන් එක් ලක්ෂයකට (1,00,000) වෛද්‍යවරු පස් දෙනෙකු පමණක් සිටින රටකට දෙයියන්ගේම පිහිට නේද? මෙහි මිය යන අයගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. ඒ විවිධ ලෙඩ රෝග පැතිරී යාම නිසා. එච්.අයි.වී. (H.I.V.) වෛරසය රටපුරා සීඝ්‍රයෙන් පැතිරී යයි. මියයන අයගේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වෙමින් පවතී.  

 

 

 


ආණ්ඩු පෙරළන පෙරළි  


මැලේරියාව ද යළි හිස ඔසවා තිබේ. ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට පාලකයින්ට උවමනාවක් නැත. ළදරු මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වී ඇත. දරු ප්‍රසූතියේ දී සෑම ගැබිණි මව්වරුන් 18 කට එක් අයෙක් මියයයි. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කට වැඩිය. ගම්මාන දහස් ගණනකට තවම විදුලිය නැත. ගමනාගමන පහසුකම් නැත. එහෙම ආණ්ඩුවලින් රටකට වැඩක් තිබේද? මේ රටේ ද සිටින්නේ ජනතාව ඉදිරියේ මහා වීරයින්, යුග පුරුෂයින් මෙන් පම්පෝරි දෙසා බාන දේශපාළුවන්ය.  


මේ රටේ ද ලංකාවේ මෙන්ම කාලාන්තරයක් මුළුල්ලේ සිදුවෙමින් පවතින්නේ ආණ්ඩු පෙරළන පෙරළි මිසක් ජනතා දුක සැපත කරා පෙරළන පෙරළි නොවේ. රට එක තැනම පල් වෙමින් තිබෙන්නේ මේ නිසාය. මේ කියන ගිනි බිසව් රට වගේම ලංකාව ද වළ පල්ලට යමින් තිබෙන බව මෙවර ශ්‍රී ලංකා සංචාරයේ දී මම දුටුවෙමි. කවුරු අගමැති වුණත් කවුරු ජනපති වුණත් ජනතාවට වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය ලොව අනිකුත් දියුණු ශීලාචාර රටවල් මෙන් රට පෙරට ගෙන යන ක්‍රමවේදයකි. එසේ ගෙන යන පාලකයින්ය.  


2018 ජනවාරි 31 දා ගිනි බිසව් රාජ්‍යයේ ජනපති මරියෝ වාස් (J.MARIO VAZ) විසින් එරට අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දන්නවා ඔහු ඉල්ලා අස්වූ පසු නව අගමැතිවරයෙකු පත් කරන ලදී. එරට දේශපාලන අර්බුදය ගිනි බිසව් ජනපතිවරයා විසින් විසඳන ලද්දේ මෙසේය. ව්‍යවස්ථානුකූලවය. මෙවැන්නක් ලංකාවේ සිදු නොවීය.  


එහි වත්මන් ජනපතිවරයාට ​ඩොලර් මිලියන 9.1ක් වංචා කිරීම පිළිබඳ චෝදනාවක් එල්ල වී තිබේ. ලෝක ආහාර සංවිධානය (WFP) සපයන ආහාර සලාකය ලබා ගන්නා අයගේ සංඛ්‍යාව 9,60,000 කි. මන්ත්‍රීවරුන් 100ක් සිටින පාර්ලිමේන්තුව නඩත්තුවට අති විශාල මුදලක් වැය කරයි. රට පුරා අල්ලස, දූෂණය ඔඩු දුවා ඇත. දූෂණ චෝදනා එල්ල වූ දේශපාලකයින්ට එරෙහි නඩු වාෂ්ප වීම සීඝ්‍රයෙන් සිදුවෙයි. ලංකාව ව​ගේම ගිනි බිසව් රටේ ද තත්ත්වය මෙයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තම වාසිය තකා අර්ථ නිරූපණය කිරීම රටක් ආපස්සට යවන ක්‍රියාවකි.  

 

 

සිරි හීන්පැල්ල නිව්යෝර්ක් නුවර සිට ලියයි