ඝාතනයක සුලමුල හෙළි කළ අභිරහස් ලිපියක්


පොලිස් පොතෙන්   

 

 

මීට මාස හයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග නොසේ දී ගිය එක්තරා කඳුළු කතාවක උච්චතම අවස්ථාව වාර්තා වන්නේ මීට දින කිහිපයකට පෙරය.   


ඒ මාතලේ දිස්ත්‍රික්කයේ රජ්ගම්මන නම් ගම්මානයෙනි.   


සිය උදැල්ලට මිටක් කපන්නට නිවසට යාබද වනයට ගමන් ගන්නා ඒ.ජී. විජේරත්න (66) තමන් එ් දින සිය අවසන් ගමන යනවා යැයි කිසිදු අයුරකින් සිතන්නට නැතුවා විය හැකිය.   


කොහේ ගිය ද දහවල් දොළහ වන විට ආහාර ගැනීමට නිවසට පැමිණෙන ඔහු එදින යළි නිවසට පැමිණියේ නැත.   
වෘත්තියෙන් ගොවියෙකු වූ විජේරත්න පුතුන් තිදෙනකුගේ ආදරණීය පියෙක් මෙන්ම යහපත් ස්වාමී පුරුෂයෙකි.   
වටින් ගොඩින් බිං කළුවර වැටෙද්දීත් නිවසට නොපැමිණෙන සිය සැමියා සම්බන්ධයෙන් නිවසෙන් බැහැරව රැකියා කරන සිය දරුවන් දැනුවත් කරන විජේරත්නගේ බිරිය ගම්මුන්ගේ සහාය ඇතිව දන්නා හැම තැනම සිය සැමියා සොයද්දී දරුවන් ද ඒ කාර්යයට එක්වන්නේ සිදුව ඇත්තේ කුමක් ද? යන්න අවිනිශ්චිතවය.   
රාත්‍රියේ වනගත ප්‍රදේශයේ පවතින වන අලි උවදුර හේතුවෙන් ගම්මු විජේරත්න සෙවීමේ කටයුතු නවතා නිවෙස්වලට පැමිණි අතර, ඒ අතර තුර ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ මහවෙල පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට පවුලේ උදවිය අමතක නොකළහ.   


පසු දින එනම් 2020-07-21 දින තුන්සීයකට අධික ගම්මු හා සෙසු පිරිස් දවස පුරා වීජේරත්ත සොයා ආටිස්මලේ කැළේ පිරුවේය.   
පොලිසිය ද වෙනමම සිය මෙහෙයුම් ආරම්භ කළේය. පොලිස් සුනඛ අංශය ද ඒ සඳහා එක් විය.   
නමුත් විජේරත්න පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට මේ කිසිවෙකුටත් නොහැකි විය.   
අනතුරුව දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ මැදිහත් වීමෙන් සිද්ධිය වාර්තා වන ආසන්නයෙන් ගලා බසින අඹන් ගගේ කිමිඳුම් කටයුතු ද සිදුවන්නේ අතුරුදන් විජේරත්න පිළිබඳ තොරතුරු සොයා ගැනීමේ අටියෙනි.   


අවසානයේ එය ද අසාර්ථක උත්සාහයක්ම වන්නේය.   
කෙසේ නමුත් කාලයේ වැලි තලාවෙන් සියල්ල වසා දැමුණි ද සොබාදහම ඊට ඉඩ නොදෙන බවට හේතු කාරණා මේ විමර්ශනයේ දි ටිකෙන් ටික මතු වන්නට විය.   
පොලිස් කණ්ඩායම් කිහිපයක් අතුරුදන් පුද්ගලයා පිළිබඳ සොයද්දී බුද්ධි අංශ ද සිය කටයුතු ආරම්භ කළේය.   
අවට ගම්මාන වල, ඇළේ දොළේ කඩ පිලේ ඔවුහු සිය ශූක්ෂම ඇස් යොමුකරමින් විජේරත්නට සිදුව ඇත්තේ කුමක් ද? යන්න සොයා බැලු‍හ.   
මේ අතර තුළ පසුගිය සතියේ දිනෙක මාතලේ - මඩවල උල්පත තැපැල් කාර්යාලයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලිපියක් තැපැල් වන්නේය.   
වෙනදා තැපැල් කාර්යාලයෙන් සියලු ලිපිවල ඇති මුද්දරවලට තැපැල් හලේ නාමය සහ දිනය මුද්‍රාව තැබෙද්දි මෙම ලිපියට ද එම මුද්‍රාව වැදිණි.   
මෙම ලිපිය තැපැල් කළ අය එය තමන්ට යම් දිනෙක පාරා වළල්ලක් වන බව හීනෙකින්වත් නොසිතන්නට ඇත.   
ලිපිය මාතලේ කොට්ඨාස අපරාධ අංශයට ලැබෙද්දී අතුරුදන්වීම පිළිබද පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට පරීක්ෂණ කණ්ඩායම් පියවර ගත්තේය.   
‘ගාල්ල වත්ත ප්‍රදේශයේ ගහක් යට මිනිස් ඇට සැකිලි වගයක් තියෙනවා‘ එම ලිපියේ තවත් බොහෝ දේ සටහන්ව තිබිණි.   
ඉනික්බිති පරීක්ෂණ කණ්ඩායම් මඩවල උල්පත තැපැල් කාර්යාලය අවට පිහිටි සියලු ආරක්ෂිත කැමරා පරීක්ෂාවට ලක් කරන අතර එහි දී යම් සැකකරුවෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල නෙත ගැටෙයි.   
දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ආටිස්මලේ ප්‍රදේශයේම පදිංචි එක්තරා පුද්ගයෙකු විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනුව මාස හතක් වැනි කාලයක් පුරා වැසීගිය අභිරහසක් හෙළි වන්නේය.   
බඳින තුවක්කුවක් පත්තු වී මරණයට පත්ව සිටි පුද්ගලයෙකු යාබදින් මීටර් සියයකට පමණ දුරින් පිහිටි මිනිරන් ලබා ගැනීමට හෑරූ වළට දමා වසා, පසුව සැකකරු විසින්ම සිරුරේ අස්ථි කිහිපයක් යාබදව පිහිටි ගසක් මුල (ගලක් ආසන්නයේ) දමා පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ වෙතට ලිපියක් ලියා ඇති බව පොලිසිය අනාවරණය කර ගත්තේය.   


පසුව සැකකරු විසින් සිදු කරනු ලබන පාපොච්ඡාරණයේ දී අනාවරණය වූ කරුණුවලට අනුව මහවෙල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේය.   
ඒ අනුව පසුගිය දා (25) සැකකරු අදාළ ස්ථානයට රැගෙන ගොස් සිදුකරන ලද ස්ථානීය පරීක්ෂාවේ දී සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයකට අනුව ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය කියයි.   
අතුරුදන්වූ පුද්ගලයා සොයා මාස හතක් වැනි කාලයක් පොලිසිය, වනජීවි දෙපාර්ත මේන්තුව, දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් රැසක් සෝදිසි කර තිබිණි.   


පසුව සැකකරු විසින් මරණකරුගේ අස්ථි කොටස් කිහිපයක් දමා තිබු ස්ථානය මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ධර්ම කීර්ති මහත්මියගේ පරීක්ෂාවට ලක් වූ අතර, ඇගේ නියෝග යටතේ මිනිස් අස්ථි කොටස් කිහිපය මාතලේ මහ රෝහලට යැවීමට පොලිසිය පියවර ගන්නා ලදි.   
අනතුරුව පසු ගිය දා මාතලේ දිසා විනිසුරු චාමර වික්‍රමනායක මහතා සහ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසන්න අප්පුහාමි මහත්වරුන් ඉදිරියේ සැකකරු අනාවරණය කළ මිනිරන් පතලේ කැනීම් සිදුවූ අතර, එහිදී මරණකරු ඇඳ සිටි සරම, ෂර්ට් එක සහ අතරැඳි පිහියක්, පාවහන් යුගල, ඔහුගේ දරුවන් ඇතුළු පවුලේ අය විසින් හඳුනාගන්නා ලදි.   
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පවුලේ දරුවන් කියා සිටියේ සිය පියා ඉද හිට උදලු‍ මිටක් කැපීමට හෝ ලී දණ්ඩක් කැපීමට අසල පිහිටි වන ලැහැබට යන බවයි.   
පොඩි දා සිට තමන් වනයට යන විට කෝටුවක් රැගෙන යන ලෙස පියා දැනුම් දී තිබූ බවත් ඉන් සිය පියා අදහස් කළේ බදින තුවක්කු වලින් ආරක්ෂාවීම සඳහා එය හොඳ පිළියමක් බව ද දරුවෝ කීහ.   


එදා සිට අද දක්වාම සිය පියා කැලයට යන අවස්ථාවන් හි දි කෝටුවකින් ඉදිරියට ගසා ගමන් ගන්නා බවත් දරුවන් ද එය අනුගමනය කරන බවත් ඔවුහු කියා සිටියහ.   
සිය පියාට බදින ලද තුවක්කුවක් පත්තු වූයේ නම් ඒ තුළින් පියා මරණයට පත් නොවන බව ද ඔවුහු කියා සිටියහ.   
බදින තුවක්කුවක් යනු වන සතෙකුට බදින්නක් බවත් එය මිනිසෙකුගේ ඉනට පහළින් ඉලක්ක වන උසකින් බදින බවත් සමාජයේ පවතින කාරණාවකි.   
එම තත්ත්වය යටතේ බදින තුවක්කුවකින් වෙඩි වැදුණ ද මරණයට පත්වීමට ගතවන කාලය දිර්ඝ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වාසීන් කිහිප දෙනෙක්ම කියා සිටියහ.   


කෙසේ වෙතත් මෙම සැක සහිත කාරණා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වනු ඇත.   
එහි දී මෙය වෙඩි තබා සිදුකළ ඝාතනයක් ද, වෙඩි වැදි සිදුවු මරණයක් ද යන්න හෙළිවනු ඇත.   
‘ අපි ඉල්ලන්නේ මේ වගේ අපරාධකරුවෝ පුනරුත්ථාපනය කරන්න කියලා. තාත්තා අපිට නැති වුණා. අපිට වුණු පාඩුව කාටවත් පියවන්න බෑ.   
නමුත් මේවගේ දේවල් රටේ කිසිම දරුවෙකුට වෙන්න එපා ආයේ කවදාවත්. අපි පිරිමි තුන්දෙනා ලොකු මහත් කළේ තාත්තා ගොඩක් දුක් විඳලා. අපි අද හොඳ තැනක ඉන්නේ තාත්තා හින්දා.   
අපේ තාත්තට බදින තුවක්කුවක් පත්තු වුණා නම් අඩුම තරමේ පොලිසියට කියන්න තිබ්බා. තුවාලකාරයෙක් ඉන්නවා කියලා. එහෙනම් අපි බේර ගන්නවා.‘   
ඒ දරුවන්ගේ අදහස්ය. කෙසේ වෙතත් දැන් සිදු වූ සියල්ල සිදුවී හමාරය.   
නමුත් අකාරුණික මනසකට කාරුණික අදහස් ගලා එන්නේ කෙසේ ද? යන්න විමසිය යුතුය.   
මෙම සිද්ධියට අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.   
සිද්ධිය සම්බන්ධයෙන් පැති කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ තව දුරටත් ක්‍රියාත්මකය.   

 

සටහන ජායාරුව
නාඋල ඉන්දික අරුණ කුමාර