ගමටම පිළිලයක් වූ කිරා නාග විසෙන් පරලොව ගියේය


ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය.

මේ විශේෂාංගය ඒ වෙනුවෙන්.

 

බිංගිරිය කොස්වත්තේ ඩී.එම්. දිසානායක මහතා ලියා එවූ කතාවක්. 

කුකුළු සොරුනට අත්වූ ඉරණම” 


සුගත් හා ජගත් ප්‍රදේශයේ නම ගිය කුකුළු සොරු දෙදෙනෙක් වූහ. දිවා කාලයේ ප්‍රදේශයේ කොහු මෝලක රැකියාවන් කළ ඔවුන් රාත්‍රි කාලයේ මැදියම් රැයේ ප්‍රදේශවාසීන්ගේ කුකුළු කොටුවලට හොර රහසේම රිංගා කුකුළන් ඩැහැගෙන පලා යාම නිතරම සිදුවිය. හෙමින් සීරුවේ කුකුළු කොටුවට රිංගන ඔවුන් කුකුළන්ට කෑ ගසන්නට ඉඩ නොදී කුකුළන් අල්ලා බෙල්ල කරකවා මිරිකා දෙතුන් දෙනා බැගින් හොර රහසේ රැගෙන යාම සිරිත් පරිදි සිදුවන්නක් විය. මේ නිසා මොවුන්ගේ තුන්වේලටම මස්වලින් නම් කිසිම අඩුවක් නොවීය. නිතර බීමතින් කල් ගෙවන මොවුනගේ කට ගැස්මට ද මෙම කුකුළු මස් ව්‍යාංජනය කදිමට ගැළපිණ. 


මේ කිසිත් නොදන්නා සේ උදේ රැයින්ම නිදි පැදුරෙන්ම අවදිවන සුගත් හා ජගත් යන ගජ මිතුරන් දෙදෙනා ගමේ ඇති කොහු මෝලට වැඩට යන්නේ දෛනිකව කීයක් හරි උපයා ගැනීමේ අදහසිනි. යන්ත්‍රවලට මට්ටා ලෙලි ඇල්ලීම මොවුන් සතු කාර්යය විය. මෙසේ මෝලේ යන්ත්‍රයට මට්ටා අල්ලමින් සිටිය දී දිනක් සුගත්ගේ එක් අතක් පොල් ලෙලි මට්ටයක් සමඟම ඇණ ලෑල්ල කරා ඇදී ගියේ නොසිතූ පරිදිය. ඇණ ලෑල්ල කරා ඇදී ගිය ඔහුගේ අත බරපතළ ලෙස කැඩී බිඳී තුවාල වූ අතර කොහුමෝල් හිමියා ඇතුළු අනෙකුත් අය වහාම ඔහුව රෝහල වෙත රැගෙන ගියේ ඔහුගේ විලාප හඬ මධ්‍යයේය. මාස කීපයක් ප්‍රතිකාර කළ ද අවසානයේ වෛද්‍යවරුනට ඔහුගේ දකුණත උරහිසෙන් පහළ කොටස කපා දැමීමට සිදුවිය. කැපුම් තුවාල සුව වූ පසු සුගත් ගෙදර ගෙන ආවේ දකුණත අහිමි ආබාධිතයකු ලෙසය. 


හරියටම ගතවූයේ සතියක පමණ කාලයකි. සුගත්ගේ ගජ මිතුරා වූ ජගත් ද එලෙසින්ම එම මෝලේම ඇණ ලෑල්ල කරා ඔහුගේ දකුණත ඇදී ගියේ ඒ ලෙසින්ම කැඩී බිඳී යන ලෙසිනි. වහාම ඔහු ද රෝහල් ගත කෙරුණ ද ඔහුගේ දකුණත ද පෙර පරිදිම උරහිසෙන් කපා දැමීමට වෛද්‍යවරුනට සිදුවිය. ඒ අත ද සුවපත් කිරීමට නොහැකි වූ බැවිනි. සති කිහිපයක් රෝහල් ගතව සිට ජගත් ද ගෙදර ආවේ සුදත් මෙන්ම දකුණත අහිමි තවත් එක් ආබාධිතයකු වශයෙනි. 


මැදියම් රැයේ කුකුළු කොටුවලට පැන කුකුළන් ඩැහැගන්නා මොවුනගේ දකුණත් අහිමි වූයේ දකුණතින් කුකුළන්ගේ බෙල්ල කරකවා මරුමුවට පත් කිරීම නිසා බැව් ප්‍රදේශවාසීහු අදටත් මත පළ කරති. 


 



අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි.  

ගමටම පිළිලයක් වූ කිරා නාග විසෙන් පරලොව ගියේය


ගම්මුන් විසින් කිරා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ චරිතය ගමට යහපත නොව, විපත ගෙන ආ පුද්ගලයෙකි. මව්පියන්ගෙන් උරුම වූ නිවසේ හුදකලාව වෙසෙයි. අසල් ගමකින් කැඳවාගත් බිරිඳ වැඩි කලක් මොහු සමග පවුල් කෑවේ නැත. කිරාගේ දුෂ්චරිත නොඉවසූ ඇය විවාහ දිවිය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත ලා යන්නට ගියාය. 


එතැන් සිට දස ජරා දිවිය තවත් පුළුල් කළ කිරා සුරාව හා සූදුවට දවසේ වැඩි කොටසක් ගත කළේය. මව්පියන් අපහසුවෙන් වගා කර තිබූ ගහ කොළේ පලදාව පමණක් නොව, ගහ කොළ ද තුට්ටු දෙකට විකුණා දැමුවේය. ගේ තුළ වූ වටිනා කියන දේවලට ද ඒ කලදසාවම අත් විය. මෙසේ උපයා ගත් මුදල් සුරාව, සූදුව, කාන්තා ඇසුර වෙනුවෙන් වැය විය. අවසානයේ ඉඩම පවා නිවස පැවති බිම් කොටසට පමණක් සීමා විය. ඒ වෙන විට පෙර සිටි මිතුරන් ඔහු හැර ගොසිනි. විසල් බොජුන් හල් වෙතින් කුසට වැටුණු අහර නැත. විදෙස් මත්පැන් තබා ගමේ හොරට පෙරන කසිප්පු උගුර පවා නැත. සූදු පිටියේ සැරි සැරූ මොනර කොළ නැත. කොටින්ම කිවහොත් කිරා නැට්ටටම නැති වුණේය. ජීවත් වීමට අන් කර්මාන්තයක් නොදත් කිරා හොරකමට වැටුණේය. 


කිරාගෙන් ගමට ශාපය එල්ල වීම ඇරඹුණේ එතැන් සිටය. ඉතා සූක්‍ෂම ලෙස යමක් සොරකම් කිරීමේ කලාව නියම ලෙස කිරාට පිහිටියේය. එහි නිපුණ බව කොතෙක්දැයි කිවහොත් බුලත් තට්ටුව දුන් විට අවට සිටින අයට නොදැනෙන සේ ගිරය සඟවා ගැනීමට පවා දක්ෂ වේ. 


ගමේ කෙසෙල් කැනේ පටන් කුකුළා, ගවයා වැනි සතුන් පවා හිටි හැටියේ අතුරුදන් වෙන්නට විය. නිවසක එළි මහනේ වනා තිබූ වටිනා ඇඳුම් පැලඳුම් පවා ක්‍ෂණිකව අතුරුදන් වේ. මේ පිළිබඳව ගම්මුන්ගේ ඇඟිල්ල දිගු වූයේ කිරා වෙතය. 


සවසට කසිප්පු වඩියකින් සප්පායම් වෙන කිරා ගෙදරට පැමිණෙන්නේ මග දිගට පරුෂ බස් මුවෙන් එළියට විසි කරමිනි. නිවසට පැමිණි පසු අසල්වාසීන්ට දෙකන්හි ඇඟිලි ගසා ගැනීමට සිදුවේ. අමු තිත්ත කතාවෙන් එල්ලයක් රහිතව බැණ වදී. මදුරුවෙකු ඇඟේ වැසීම වුව පරුෂ වචන මුදා හැරීමට හේතුවකි. 


දිනක් දහවල් කුසගින්නේම ඇඳ කබලට වැටුණු කිරා නින්දට විය. නින්ද ඔහු වෙත සමීප වෙමින් තිබුණි. බල්ලා මිදුලේ සිට උඩුබුරලන්නට විය. සිටි වනම සිට පරුෂ වචනයෙන් බල්ලා ඇමතූ කිරා යළි නිදමියි නිදන ඉරියව්වෙන්ම සිටියේය. එහෙත් සිත ගම වටා සැරිසැරුවේය. ලොකු ඉස්කෝලෙ මහතාගේ කුඹුරු ගොඩැල්ලේ පඳුරක තිබූ පුවාලු කැන අසල සිත නැවතුණි. නව උද්දාමයකින් නැගී සිටි කිරාට ඇඳිරි වැටෙන තෙක් ඉවසුමක් නැත. 


කෙනෙක් එකවර හඳුනා ගැනීමට නොහැකි තරමට අඳුර පැතිරුණි. කිරා පිහිය ද ගෙන කඩුල්ල පැන නික්ම ගියේය. ඉලක්කය වෙත පැමිණෙන විට අඳුර එම පෙදෙසම ගිල ගෙන තිබුණි. වැඩි සද්ද බද්ද නොනගින ලෙස කැන කපා ගත් කිරා එය කර තබාගෙන මගට පිළිපන්නේය. මහ මගින් යනවාට වඩා අතුරු පාරක යාම මැනවැයි සිතූ කිරා දුර වුවද අඩි පාර තෝරා ගත්තේය. මිනිස් වාසයෙන් තොර වීම හා කැළෑ පඳුරු ගහන වීම කිරා එම මාර්ගය තෝරා ගැනීමට හේතු වෙන්නට ඇත. 


මෙම මාර්ගයේ මඳ දුරක් ගිය විට විසල් නුග රුකක් හමුවේ. තම අතු පතර විදහා තම බල පරාක්‍රමය සිව් දෙසට විහිදුවා සිටි මෙම වනස්පති ගණ අඳුරක් දවල් කල පවා අවට නිර්මාණය කර ඇත්තේය. ඒ අසල යක්ෂයින් වෙසෙතැයි ද හොල්මන් පවතී යැයි ද විශ්වාසයක් ගම් වැසියන් තුළ වෙයි. සවස් කල ඒ අසලින් යන විට මඤ්ඤොක්කා, අර්තාපල් ආදිය තම්බන විට නැගෙන ගන්ධය නහයට දැගෙන බව කියන ගැමියා, එය එම නුගරුක අසල සිටින ප්‍රේතයින් ආදීන්ගේ ගන්ධය බව කියති. මේ කරුණු කාරණා නිසා ගැමියෝ එම නුග රුක අසලට යාමට පවා බියක් දක්වති. 


කෙසෙල් කැන කරා තබා ගෙන නුග රුක පසු කිරීමට යන කිරාට මේ දේවල් සිහිපත් නොවුණා නොවේ. සිතේ උපදවා ගත් සවියෙන් ඉදිරියට ගියේය. නුග රුකෙහි සීමාව පසු කිරීමට යා යුතුව තිබුණේ තවත් පියවර හත අටකි. එකවරම හිස මතට යමක් වැටුණි. කරෙහි වූ කෙසෙල් කැන බිම පතිත විය. හිසට වැටුණු බර දෙය ක්ෂණයකින් කිරාගේ කර වටා ගෙතුණි. ගෙල සපා කන්නට විය. මර හඬ දී විලාප නගමින් කිරා ඉදිරියට දිව ගියේය. ඔහුගේ හඬ කිසිවෙකුටවත් නෑසුණි. ගම්මානයට තවත් බොහෝ දුර හෙයිනි. හැන්දෑ යාමෙහි දී මේ මගින් කිසිවෙකුත් ගමන් නොගනී. එය ද කිරාට අවාසියක් වූයේ මේ අකරතැබ්බය සිදුවූ නිසාය. වැඩි දුරක් දිව යන්නට ඉඩක් නොවීය. සිහි විසඥ වූ කිරා බිම ඇද වැටුණි. 


පසුදා උදේ ලොකු අප්පුහාමි සිය මීගවයින් දක්කා ගෙන මේ මගින් එමින් සිටියේය. යමෙක් වැටී සිටිනු ඔහු දුරදීම දුටුවේය. ගවයින් ඔහු පාගා දමාවි යැයි සැක කළ ලොකු අප්පුහාමි එය වළකා ලීමට ඉදිරියට ගියේය. මියගොස් බිම වැටී සිටි කිරා ලොකු අප්පුහාමි විසින් හඳුනා ගන්නා ලදී. 


පසුව සිදුකළ සෝදිසි, සොයාබැලීම්, පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, පශ්චාත් පරීක්‍ෂණ ආදියෙන් හෙළි වූයේ විස්මත පුවතකි. එය කළ පව් කම් නපුරු ලෙස පලදීමක් යැයි හඳුන්වනවා මිස විග්‍රහ කිරීමට වෙනත් වචන නැත. 


ගොදුරු සොයමින් සිටි මොනරා නාගයෙකු දුටුවේ හොටෙන් ඩැහැ ගත්තේය. නයා රැගෙන ඉගිළ ගිය මොනරා නුග ගසේ අත්තක වැසුවේය. ගොදුර ගිල දමන්නට සැරසුණි. නාගයාගේ විශාලත්වය වැඩි නිසා හෝ මොනරාගේ වෙනත් ප්‍රමාදයක් නිසා හෝ ගොදුර හොටෙන් ගිලිහුණි. එය ඇද වැටුණේ බිමට නොව, ඒ අසලින් යමින් සිටි කිරාගේ හිස මතටය. මරු විකල්ලෙන් සිටි නයා කිරාගේ ගෙල වටා එතී සපා කන්නට විය. 


මොනරාගෙන් ගොදුර ගිලිහෙන අවස්ථාවේ දී, කිරා එම ස්ථානයට පැමිණීම, ඔහුගේ හිස මතටම වැටීම යන සිද්ධීන් එකවර සිදු වීමට ඇති සම්භාවිතාව කුමක් ද?


 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක්. 

සිහින විමන් කඩා වැටී

කර්මය ගැන කියන හැටී 


කර්මයක් කර්ම ඵලයක් විශ්වාස නොකොට, පව් පල දීමක් ගැන නොතකමින් නිලයෙන් මා බලයෙන් ඉදිමී වැරදි වැඩ කරන අය හට මේ ආත්මයේදීම කළ කම් පලදෙන හැටි මෙම විශේෂාංගය තුළින් මනාව දැක්වේ. මේ කියන්නට යන්නේ ද එවැනිම කතාවකි. 


හැත්තෑව දශකයේ අග භාගයේ දී ඇතිවූ බල පෙරළිය නිසා දේශපාලකයින්ට අසීමිත බලතල ලැබුණි. එපමණක් නොව එම බලයෙන් ඔවුන්ගේ හෙන්චයියලා ද ඉදිමෙන්නට වූහ. රජරට පළාතේ මැර බලයට නමගිය එක්තරා දේශපාලකයෙකුගේ හෙන්චයියකු වූ සිරිවර්ධන කළේ ද දැව ජාවාරමකි. වන රක්‍ෂිතයන්ට අයත් කැළෑවල පලු, බුරුත, කොහොඹ පමණක් නොව වගා කර ඇති තේක්ක ගස් ද හොරෙන් කපා විකිණීමට ඔහු පුරුදුව සිටියේය. එපමණක් නොව වැව් තාවුලුවල අනවසරයෙන් වගා කරමින් සරු සාර අස්වැන්නත් ලබමින් ඔහු ගත කළේ සැපවත් ජීවිතයකි. විවෘත ආර්ථිකයේ මහිමයෙන් හොඳ නිවසක් ද රන්මැලි සෑ රදුන්ගේ කොත් කැරැල්ල පෙනෙන මානයෙන් ඔහු විසින් ඉදි කරවනලදී. නවීන පන්නයේ ගෘහ භාණ්ඩ හා මෝටර් රථයක් ද ඔහු සතු විය. 


ගම්මුන් ඔහුට සැලකිල්ලක් නොදැක්වුව ද ඔහුට තිබූ බිය නිසා කිසිවකට විරුද්ධ නොවීය. සල්ලාල කමේ ද අඩුවක් නොවූ ඔහුගෙන් බේරීමට යුවතියකට පමණක් නොව විවාහක කාන්තාවන්ට පවා අපහසු විය. ඔහුගේ ධනයට බලයට නතු වූ අහිංසක කාන්තාවෝ දෙස් දෙවොල් තබමින් ඔහුගෙන් වෙන ලිංගික හිරිහැර විඳ දරා ගත්හ. නීතියේ පිහිට පැතීමට ඔවුන් නොසිතුවේ ඔහුට ඇති බිය නිසාය. 


සිරිවර්ධන තිස් විය ද ඉක්මවා සිටියත් ඔහුට විවාහයක් කරගත නොහැකි වූයේ ඒ සල්ලාලකම් නිසාය. කෙසේ හෝ ඔහුට මනාලියක් හමුවිය. මංගල බක් මාසයේ මංගල්‍යයට සියල්ල සූදානම්ය. වැව් තාවුල්ලේ අනවසර වී හේන ද සරුවට පැසී තිබුණි. හත් දවසක් මඟුල් කා මනාලිය කැන්දන් ඒමට සිරිවර්ධන කටයුතු සූදානම් කළේය. ඔහුට උදව් කිරීමට ද සෑහෙන ගෝලබාල පිරිසක් ද වූහ. මඟුල් දවස එන්න එන්නම ළංවිය. සිරිවර්ධන සිතා සිටියේ වාසනාවන්ත ප්‍රීතිමත් යුග දිවියක් ගත කිරීමටය. 


එදා ඔහුගේ හේනේ ගොයම් කපා කොළ පාගන දවස විය. එකල කොළ මඩින යන්ත්‍ර භාවිතය නොතිබූ නිසා කොළ පෑගුවේ ට්‍රැක්ටරයක ආධාරයෙනි බැත සුළං කිරීමට ජෙනරේටරයකට සවි කළ විදුලි පංකාවක් භාවිත වුණි. සරම කැසපට කවාගෙන විදුලි පංකාව ළඟ සිටගෙන වැඩ කරන අයට උපදෙස් දෙන සිරිවර්ධනට තමා ටිකෙන් ටික විදුලි පංකාවට ළංවෙන බව නොදැනුණි. මේස විදුලි පංකාව බිම තබා තිබූ හෙයින් එහි සුළඟට සිරිවර්ධනගේ සරම් පට ඇදී යාමත් සමගම ඔහුද විදුලි පංකාව වෙත ඇදී ගොස් ඒ මත වැටුණි. ඔහුගේ කෑ ගැසීම නිසා කවුරුත් කලබල වූහ. විදුලි පංකාව ක්‍රියා විරහිත කර විදුලි පංකාවෙන් ඔහු බේරා ගැනීමට තැත්කිරීමේ දී පිරිසට දක්නට ලැබුණේ සිරිවර්ධනය ලිංගික අවයවයන් දැඩි සේ අනතුරට පත්ව ඇති බවයි. වහාම ඔහු රෝහල් ගත කෙරුණි. මුත්‍රා පිටකිරීමට රබර් බටයක් සවි කොට ලිංගික අවයවය කපා ඉවත් කිරීමට සිරිවර්ධන කැමැත්ත දුන්නේ ජීවිතය බේරා ගැනීම සඳහාය. මුත්‍රාශයට දමන ලද රබර් බටය පැය දෙකකට වරක් ක්ලිප් එක බුරුල් කොට මුත්‍රා ඉවත් කිරීමට කියා දී සිරිවර්ධන සති දෙකකට පසු රෝහලින් පිට කෙරිණි. ගම්මුන්ගේ සිනාවට ලක්වී සිටිනවාට වඩා මරණය හොඳ යයි තීරණය කළ නිසාදෝ රෝහලෙන් පැමිණි දාට පසුදින ඔහු තමාගේම ගිනි අවියෙන් වෙඩි තබාගෙන මිය ගියේය. 


ඔහු අසාධාරණයෙන් රැක් කළ දේපළ සියල්ල පියා විසින් විකුණා දමා එම මුදලින් ගමට පන්සලක් ඉදිකර දුන්නේ ඒ පිනෙන් හෝ ඔහුගේ ඊළඟ ආත්මභාවය සුවපත් වනු ඇතැයි සිතමිනි. 


ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ සිහින මවමින් සිටි සිරිවර්ධන දැඩි ලෙස කායිකව මානසිකව පීඩා විඳිමින් සිට මිය ගිය ද ඔහු ඉතිරි කර තබාගිය පාඩමක් විය. එනම් ඉඩ ලැබෙන විට පව් පලදීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි යන්නයි. කර්ම බලයට  සියලු බලයන් යටපත් වන බව කවුරුත් අවබෝධ කර ගත්හ. 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් එවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්