ඔරුමිත්තනාඩු’ වට බිය විය යුතුද ?


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට අදාළව මතුව ඇති සංවාදය දිනෙන් දින අලුත් වෙමින් තිබේ. ඒකීය රාජ්‍යය හැඳින්වීමට ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාවෙහි දමිළ පිටපතෙහි භාවිත කර තිබෙන ‘ඔරුමිත්තනාඩු’ යන වචනය අළලා පැන නැගී ඇති සංවාදය ඒ අතර සුවිශේෂි වෙයි. ඒ ගැන දකුණේ සිංහල සමාජයේ යම් ආකාරයක භීතියක් ගොඩ නැගී ඇති අාකාරය හඳුනා ගත හැකිය.

‘ඔරුමිත්තනාඩු’ යන වචනයෙහි සැබෑ අර්ථය කුමක්ද? පෙර ව්‍යවස්ථාවල (1972 හා 1978) ඒකීය රාජ්‍යය යන්න හැඳින්වීමට දමිළ භාෂාවෙන් ව්‍යවහාර වූ ‘ඔට්රියාච්චි’ යන වදන අතහැර විවාදයට තුඩු දී ඇති මෙම ‘ඔරුමිත්තනාඩු’ යන වචනයට මාරුවීමේදී විශාල අර්ථ පෙරළියක් සිදුවන්නේද යනාදී මේ කාරණා පිළිබඳව යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසිණි. 


‘ඔරුමිත්තනාඩු’ යන වචනය පිළිබඳ සිංහල සමාජයේ මතු වී තිබෙන සාකච්ඡාව පැනනැගී ඇත්තේ ‘ඒකීය’ යන සංකල්පය හැඳින්වීමට දමිළ භාෂාවේ ව්‍යවහාර වෙන වචනය කුමක්ද? යන අදහස කේන්ද්‍රීය වූ අර්ථයකින් නොවන බව මාගේ නිරීක්ෂණයයි. ඒකීය රාජ්‍ය හැඳින්වීමට මේ වෙන තෙක් භාවිත වූයේ ‘ඔට්රියාච්චි’ නමැති වචනයයි. මේත් සමග සම්බන්ධ තවත් වදනක් වන ‘යුනයිටඩ්’ (United) නොහොත් ‘එක්සත්’ යන්න සඳහා දමිළ භාෂාවේ ව්‍යවහාර වෙන වචනය වන්නේ ‘ඓක්‍යය’ යන්නයි. 


විවාදයක් පැන නැගියේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැඳින්විය යුත්තේ ‘ඒකීය’ ද නැතිනම් ‘එක්සත් ද’ යන පදනමින්ය. මේ සම්බන්ධයෙන් දෙමළ භාෂාවේ විවාදය මතු වුණේ ඔට්රියාච්චි ද ඓක්‍යය ද යන පදනමින්ය. මා සිතන හැටියට එම වචන දෙකට අදාළ විවාදයට නොයෑමේ අරමුණින් මේ ඔරුමිත්තනාඩු යන වචනය භාවිත කර ඇත. 


 ලංකාවේ දේශපාලන සංවාදය ඇතුළත ඔරුමිත්තනාඩු යන වචනය අලුත් දෙයකි. මන්ද, දෙමළ සමාජයේ පවා එය එතරම් සාකච්ඡාවට බඳුන් වී නැති නිසාය. දෙමළ සමාජයේ වුව වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ ෆෙඩරල් නොහොත් සන්ධීය රාජ්‍ය හැඳින්වීමට ව්‍යවහාර වන ‘සමස්ති’ යන වචනයයි. ඒකීය රාජ්‍ය යන අදහසින් එවැනිම කතාබහක් ’ඔට්රියාච්චි’ යන වචනය සම්බන්ධයෙන්ද ගොඩ නැගී තිබිණි. ‘එක්සත් රාජ්‍ය’ පිළිබඳ සාකච්ඡාවේ දී ඓක්‍යය නමැති වචනය ගැනත් උනන්දුවක් තිබිණි. කෙසේ වෙතත් ඔරුමිත්තනාඩු යන වචනය පිළිබඳ වන සාකච්ඡාව දෙමළ සමාජයේ පවා මතුවූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියත් සමගය. 


 ඔරුමිත්තනාඩු යන වචනයෙහි සැබෑ අර්ථය වෙන්නේ ‘එකට එක්වූ එක්සත්’ යන්නයි. විවිධ කොටස් එකට එක්වූ ඒකමතික යන අදහස් එහි අන්තර්ගතය. ඔට්රියාච්චි යන වචනය වෙනුවට මේ ඔරුමිත්තනාඩු යන වචනය භාවිතයට එන විට විශාල අර්ථ වෙනස්වීමක් සිදු නොවේ. මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ ඔරුමිත්තනාඩු යන වචනය ගැන මෙතෙක් ප්‍රබල සාකච්ඡාවක් මතු නොවුයෙන් එහි සැබෑ අර්ථය කුමක්ද යන්න ගැන බොහෝ දෙනකුට නිවැරැදි වැටහීමක් නොතිබීමය. ඔට්රියාච්චි යන වචනයෙන් ‘ඔට්රි’ යන ශබ්දයෙන් මතුවෙන අර්ථය වෙන්නේ ‘ඒක’, ‘එකට එක’ වැනි අදහස්ය. ඔරුමිත්තනාඩු යන වදනෙහි විවිධ අදහස් දරන්නන්ගේ එකතුව යන අදහස තිබේ. 


 ඇත්ත වශයෙන්ම මේ ඔරුමිත්තනාඩු යන වචනය දෙමළ සමාජයේ දේශපාලන සාකච්ඡා මණ්ඩපයේ දී පවා වැඩි වශයෙන් සංවාදයට බඳුන් වූයේ නැත. එබැවින් මේ වදන සම්බන්ධ සාකච්ඡාව අලුත් එකකි. මේ විවාදය සමග ඉදිරියට ඇදෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන පිරිස් ද උතුරු සමාජයේ සිටිති. ඔවුන් කියන්නේ මේ නව ව්‍යවස්ථාවෙන් පවා දෙමළ ජාතික අභිලාෂ මුදුන් පමුණුවාලීම සිදු නොවන බවය. එබැවින් එවැනි කොටස් මේ වචනය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. 


 මේ වචනය වැඩි වශයෙන් භාවිත කරනු දැකිය හැක්කේ සිංහල සමාජයේ හා දකුණේ මාධ්‍යවලය. ඔරුමිත්තනාඩු යන වචනයෙහි අර්ථය පිළිබඳව නිවැරැදි අවබෝධයක් සිංහල සමාජයේ නොමැති තත්ත්වයක ඒ ගැන භීතියක් ඇති කිරීම පහසුය. මේ තත්ත්වය ‘ඊළම’ යන වචනය සම්බන්ධයෙන් සිංහල සමාජයේ තිබෙන අවබෝධයට හා භීතියට සමානය. එම වචනයෙහි ඉතිහාසය ගතහොත් එය ලංකාව හැඳින්වීමට භාවිත කළ යෙදුමකි. එකී ඉතිහාස භාවිතය ගැන දකුණේ සිංහල සමාජයට නිසි තේරුම් ගැනීමක් නොතිබුණෙන් ඒ පිළිබඳ භීතිය මුසු විවාදයක් නිතරම ගොඩනැගිණි. එලෙසින්ම මේ ඔරුමිත්තනාඩු යන වචනය, සම්බන්ධයෙන් වෙන විවාදය තීව්‍ර වී ඇත්තේද දකුණේ සිංහල සමාජයේය. 


ඔට්රියාච්චි වචනය ගත්තද එයද සිංහල සමාජයට අලුත් එකකි. ඒකීය රාජ්‍යය යන්න හැඳින්වීමට මේ ඔට්රියාච්චි යන වචනය ව්‍යවහාර වූ බවක් සිංහල සමාජයේ බහුතරය දැන සිටියේ යැයි සිතිය නොහැකිය. සමස්ති (ෆෙඩරල්) යන වචනය සම්බන්ධ සිංහල සමාජයේ අවධානය ද ඒ ආකාරයේ සීමිත වූවකි. 


ඒකීය රාජ්‍යය යන සංකල්පයෙහි ගැබ්වෙන ව්‍යවහාරික අර්ථයට සමාන ඇඟවුමක් ලබා දෙන වචනයක් හැටියට දමිළ භාෂාවෙන් මේ වෙන තෙක් භාවිත වූයේ ඔට්රියාච්චි යන්නයි. ඔට්රියාච්චි යන වදනෙන් ගම්‍ය කරන අර්ථයම ඔරුමිත්තනාඩු යන වචනයෙන් ද විශද කරයි. මාගේ කල්පනාව අනුව අප අවධානය යොමු කළ යුත්තේ මේ වචනවල අන්තර්ගත ප්‍රායෝගික අර්ථ හා ඒ සම්බන්ධ විධිවිධාන කෙරෙහිය. 


 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී සමස්තයක් ලෙස අප බැලිය යුත්තේ අලුත් ව්‍යවස්ථාව පවතින ව්‍යවස්ථාවෙන් වෙනස් වෙන්නේ කුමන වගන්ති වලින්ද, එම වෙනස්වීම් මගින් පවතින ව්‍යවස්ථාවට එහා ගිය ප්‍රජාතන්ත්‍රීයකරණයක් නව ව්‍යවස්ථාවෙන් සිදුවෙන්නේ ද යන්න පිළිබඳවය. එවැනි සන්සන්දනයකින් තොරව හුදු වචන ගැන පමණක් කෙරෙන හරඹයකින් අත්වෙන ප්‍රතිඵලයක් නැත. 


 මෙහි ඇති බරපතළම කාරණය නම් මෙකී වචනවල අන්තර්ගතය සම්බන්ධ විවාදයක් ඇති කර එමගින් මිනිසුන් ඇවිස්සීමය. මන්ද එම වචනවල අන්තර්ගතය පිළිබඳව මිනිසුන්ට හරිහැටි අවබෝධයක් නැති නිසාය. මේ පසුබිමේ පටු දේශපාලන බලවේග උත්සාහ කරන්නේ මිනිසුන් අතර මේ වචන ගැන අනවශ්‍ය භීතියක් ඇති කිරීමටය. 


 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මහජන අදහස් විමසීමට ලක්කිරීම ඉතාම වැදගත් දෙයකි. විශේෂයෙන්ම උතුරේ දේශපාලන පක්ෂ පමණක් නොව සාමාන්‍ය මිනිසුන් පවා උනන්දුවකින් සිය අදහස් දැක්වීම සිදුවිය.

ව්‍යවස්ථාවේ විය යුතු වෙනස්කම් සම්බන්ධ කාරණයේදී එය ඉතා වැදගත්ය. එම මහජන අදහස් විමසීම් සැසිවලට මාද සහභාගි වූ අතර එහිදී දැකගත හැකි වූයේ උතුර නැගෙනහිර පළාත් හෝ දෙමළ ජනයා මත පදනම් නොවී ඔවුන් සිය අදහස් ඉදිරිපත් කිරීමය. රටේ සමස්තය ආවරණය වෙන පරිදි තරුණ නියෝජනය සහතික විය යුත්​ෙත් කෙසේද ? කුල පදනම ගැබ්ව පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුත්තේ කුමන ආකාරයටද?, අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර මූලික අයිතිවාසිකම්වලට ඇතුළත් කළ යුත්තේ කවරාකාරයට ද යනාදී කාරණා ගැන එම ප්‍රදේශවල මිනිස්සු වැඩි වශයෙන් අදහස් දැක් වූහ. 


මෙවැනි පසුබිමක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව උතුර, නැගෙනහිර පළාත්වල ජනයා අතර විශේෂ උද්‍යෝගයක් තිබූ බව නිරීක්ෂණය කළ හැකි විය. හුදු ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීම යන කාරණයට සීමා නොවී සමාජ, ආර්ථික ඉලක්ක හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපේක්ෂා සාක්ෂාත් කරගත හැක්කේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මගින්ය, යන අවබෝධය ඔවුන්ගේ එම අදහස්වල අන්තර්ගත වී තිබිණි. 


 මේ ව්‍යවස්ථා නිර්මාණය පිළිබඳ සාකච්ඡාවේ දී බලය බෙදීම ගැන ද ඉහළ අවධානයක් යොමුව ඇති ආකාරයක් දැකිය හැකිය. මා සිතන පරිදි බලය බෙදීම, ජනවාර්ගික ප්‍රශ්නය සමග පටලවා ගත යුතු නැත. බලය බෙදීම ලංකාවේ සෙසු පළාත් සම්බන්ධයෙන්ද පොදු වෙන කාරණයක් හැටියට සලකා මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා අතර දේශපාලන බලය කෙසේ බෙදී යා යුතු ද? යන කාරණය පිළිබඳව අවධානය යොමුවීම වැදගත්ය. එහිදී වඩාත් වැදගත් වෙන්නේ මහජනතාවට තමන්ගේ අවශ්‍යතා කඩිනමින් විසඳාගත හැකි පරිපාලන හා බල ව්‍යූහයක් ගොඩ නගන්නේ කෙසේද? යන කාරණය කෙරෙහි අවධානය යොමුකිරීම කෙරෙහිය. එසේ නොවී හුදු බලය බෙදීම නැමැති සාකච්ඡාව සිංහල-දෙමළ ප්‍රශ්නයට පමණක් සීමා නොවිය යුතුය. 


 ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය වෙන්නේ නම් එය ප්‍රතිඵල රහිතය. සිදු විය යුත්තේ එයද ඇතුළත්ව සමස්ත සමාජයටම අදාළ වෙන ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහතික කිරීම සඳහා ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම හෝ නව ව්‍යවස්ථාවක් පැනවීමය. අනෙක් අතට සමාජය ජාතිවාදිහරණය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙයි. එය සිංහල, දෙමළ සහ මුස්ලිම් යන හැම ජනකොටසකටම අදාළ වෙන වැඩපිළිවෙළක් විය යුතුය. එවැන්නක් වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වැදගත්. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පමණක් එය කළ නොහැකිය. 


මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂවල සහභාගිත්වය ඉහළ මට්ටමක තිබීම පැසසිය යුතු කාරණයකි. තව වැදගත් දෙයක් නම් අප ඉදිරියට යන විට ඇතැම් දේශපාලන බලවේගවල සාම්ප්‍රදායික ස්ථාවර වෙනස් වීමට ඇති හැකියාවයි. ඒ ගැන අප සිතිය යුත්තේ සුබවාදී විදියටය. යුද්ධ අවසන් වූ බොහෝමයක් සමාජවල ජාතිවාදී ආතතීන් අඩු වී තිබේ. එවැනි පසුබිමක අප ඉදිරියට යන විට ජාතිවා දී දේශපාලන බලවේගවල ජාතිවා දී ප්‍රවණතා අඩු වෙනු ඇත. 


 පැරැණි ඉතිහාසය ගැන කතා කරනවාට වඩා එක් පියවරක් හෝ ඉදිරියට තබන්නේ කෙසේද? යන්න ගැන අප අවධානයට යොමු කිරීම ඉතා වැදගත්ය. ඒ ආකාරයේ අනාගත දෘෂ්ටිවාදයක් ඔස්සේ කල්පනා කිරීම වඩා හොඳය. 

 

 

 

 

 

 

 

 

 

සාකච්ඡා සටහන 
උපුල් වික්‍රමසිංහ