අවුරුදු හතළිහක් රටට අධ්‍යාපනය බෙදූ සතර


අරගන්න - කියවන්න
දැනගන්න - ජයගන්න (සතර)


මෙම වෙළෙඳ දැන්වීම නොඇසූ කෙනෙකු නොමැති තරම්ය. වසර 40ක් තිස්සේ මෙම වෙළෙඳ දැන්වීම ගුවන්විදුලියෙන් ප්‍රචාරය කෙරුණේ  කුඩා අවධියේ සිට අධ්‍යාපනය ලබන දරු දැරියන්ට දිරි දීමේ ජාතික කර්තව්‍යයේ ප්‍රධාන ආයතනයක් ලෙස ‘සතර’ ආයතනය බිහිවීමත් සමඟය.


අධ්‍යාපනය ලබන ලොකු කුඩා සියලු දරු දැරියන්ට සතර ආයතනය තුළින් විශාල සේවාවක් සිදුවෙන බව නිතැතින්ම පිළිගත යුතු කරුණකි.


එදා මෙදා තුර සුවාසුදහක් දේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනයට දිරියක් වූ සතර ආයතනය 40 වසරක අභිමානය සමරමින් තවදුරටත් දරු දැරියන්ගේ සේවය සඳහා කැපව සිටී. එසේ පැමිණි 40 වසරක ගමන් මගේ නියමුවා වූ එහි නිර්මාතෘ චන්ද්‍රසෝම පෙරේරා මහතාගෙන් තමන් පැමිණි ගමන් මඟ සහ මුහුණදුන් අභියෝග පිළිබඳව අපි විමසීමක් කළෙමු.
“හය හතර නොතේරෙන අවධියේ මගේ ජීවිතය ගෙවුණේ කොළඹට නුදුරින් පිහිටි ගමක. ඒ නුගේගොඩ උඩහමුල්ල තලපත්පිටිය ප්‍රදේශයේ. 1940 දශකයේදී ගම කියලා හඳුනගන්න පුළුවන් විදිහට ඒ ප්‍රදේශය තිබුණා. ඒ ගමේ පාසලට තමයි අධ්‍යාපනය හදාරන්න මුලින්ම ඇතුළත් වුණේ. ඒ කාලේ ඉඳන්ම ඉගෙනීමේ වැඩ කටයුතු අතපසු කළේ නෑ. පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධි​ෙය් මහරගම ගුරු විද්‍යාලයට අනුබද්ධ ප්‍රායෝගික පුහුණු විද්‍යාලයට විභාගයක් සඳහා ගියා. 1955 වසරේ එම විභාගයෙන් පළමුවැනියා වෙලා එම විද්‍යාලයට ඇතුළත්වීමට හැකි වුණා. ඒ විභාගයෙන් මුල් තැන ගන්නා සිසුවාට පන්ති නායකකම ලැබුණා. ඉතින් මම ඒ පාසලට ඇතුළත් වුණේ මොනිටර් විදියට.
පාසලේ ඉගෙනුම ලබන අවධියේ ශිෂ්‍ය භටයෙකු ලෙසින් කටයුතු කළා. යුද හමුදා ස්වේච්ඡා බළකායේ අධිකාරිලත් නිලධාරියෙකු හැටියට පත්වෙන්නට ද හැකි වුණා. ඒ කාලේ ශිෂ්‍ය ගුරුවරුන් බඳවාගැනීමේ විභාගයක් තිබුණා. 1964 මේ විභාගයෙන් 10,000ක් ශිෂ්‍ය ගුරුවරුන් විදිහට බඳවා ගත්තා. වැටුප රුපියල් 100යි. කිසිම පක්ෂ භේදයකින් තොරව ලකුණු දීමේ ක්‍රමයක් අනුවයි ඒ බඳවා ගැනීම් කළේ. එක් ඡන්ද කොට්ඨාසයකින් 75 දෙනෙක් බඳවා ගත්තා. ඒ කෝට්ටේ ආසනයෙන් විද්‍යා අංශයට ගත් දෙන්නාගෙන් එක් කෙනෙක් මම. මම එවකට ඉගෙනුම ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ. එකල විදුහල්පති විදිහට කටයුතු කළේ පසුව විභාග කොමසාරිස් ලෙස පත්වුණු ගුණපාල වික්‍රමරත්න මහතා.
ශිෂ්‍යයෙකු හැටියටත් ශිෂ්‍ය ගුරුවරයෙකු හැටියටත් එකවර කටයුතු කරන්න මට හැකිවුණා. ඒ අතරවාරයේ මහරගම ගුරු විද්‍යාල ප්‍රවේශ ගුරු විභාගයෙන් සමත්වෙන්නත් හැකිවුණා.


මාව තෝරගත්තේ ගණිත අංශයට. 1966-67 අවුරුදු දෙකේදි පුහුණුව ලැබුවා. මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම අවසන් කළාට පස්සේ එහි පිහිටා තිබූ ප්‍රායෝගික මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළා. ඒ අතරතුර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සමත් වුණා. 1976 වසරේ එම විද්‍යාලයේම විදුහල්පති වෙන්නටත් අවස්ථාව ලැබුණා.


1977 මැතිවරණයට පෙර ආසන සීමා නිර්ණයේදී කෝට්ටේ ආසනය, මහරගම සහ කෝට්ටේ යනුවෙන් වෙන් ​ෙකරුණා. මහරගම ආසනයට ශ්‍රී.ල.නි. පක්ෂයේ ශාඛා සමිති 40ක් තිබුණා. ඉන් 32ක් මහරගම ආසනයේ සංවිධායකවරයා ලෙස මාව පත් කරන්නැයි ඉල්ලා තිබුණා.


ඒ මොහොතේ සිරිමාවෝ බණ්ඩාරනායක, ටී.බී. ඉලංගරත්න, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යන තිදෙනාගෙන් යුත් කමිටුවක් අපිව සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබුණා. ඒකට නව දෙනෙක් පැමිණ සිටියා. එහි සිටි එකම උපාධිධාරියා මම. ඔවුන් ඒ මොහොතේම මාව ආසන සංවිධායක ලෙස පත්කෙරුවා.


ස්ටැන්ලි තිලකරත්න හිටපු කතානායකවරයා මට ඇවිත් කිව්වා ඔහුට කෝට්ටේ ආසනය ටිකක් අවදානම් නිසා ඔහු මහරගමට එන්න කැමතියි කියලා. ඒ මොහොතේ මම කිව්වේ එහෙනම් මට දේශපාලනය උවමනා නැහැ. මට විදුහල්පති රස්සාව හොඳයි කියලා. පසුව මම දේශපාලනයෙන් ඉවත් වුණා. නමුත් 1977 මැතිවරණයෙන් දින තුනකට පසු දේශපාලන පළිගැනීමට ලක්වූ මුල්ම විදුහල්පතිවරයා ලෙස දුෂ්කර ප්‍රදේශයක  පාසලකට මාරු කරලා යැව්වා. ඒ පාසලේ ඉගෙනුම ලැබුවේ සිසුන් 64යි. විදුහලට සැතපුම් 2 1/2ක් පයින් යන්න වුණා.


මම ඒ දුෂ්කර පාසලේ ​ෙස්වය කරද්දි නැවත කොළඹ විශ්වවිද්‍යාලයට ගියා. ඒ අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන්න.


වසරක අධ්‍යයන නිවාඩු ලැබුණා. ඒ අනුව දුෂ්කර සේවයෙන් අවුරුද්දක් මම මිදුණා. එ්ත් දඬුවම් මාරුවීම් නතර වුණේ නෑ. එවැනි තත්ත්වයක් යටතේ මම උගත් දෙයින් රටට කළ හැකි ​ෙස්වය අහිමි වෙනවා කියන දේ මට හිතුණා. මේ දඬුවම් මාරුවීම් ලබාදීම සුදුසු නොවන බව ​ෙබාහෝ අය ඉහළ තැන්වලට දැන්නුවත් තත්ත්වයේ වෙනසක් වුණේ නෑ.
මට දෙන්න තිබුණු හොඳම දඬුවම මාව තියාගෙන වැඩ ගන්න එක. ඒ දේ ඒ අය තේරුම් ගත්තෙ නෑ. මේ තත්ත්වය යටතේ මගෙන් රටටත් මටවත් කිසිදු ප්‍රයෝජනයක් නොවන බව තේරුම් ගත්ත නිසාම මම නොයෙක් දේ සැලසුම් කළා. ඒ අනුව මම දවසක් කොළ කෑල්ලක ‘සතර’ කියන නම සටහනක් තැබුවා.


අනතුරුව ‘සතර’ යන නම අම්මාගේ නමින් ව්‍යාප​ාරයක් ලෙස ලියාපදිංචි කළා. එවකට මම පාදුක්ක විද්‍යාලයේ සේවය කරමින් සිටියේ. ඒ ආරම්භය ඉතා සාර්ථක වුණා. මෙරට පළමු අධ්‍යාපනික පුවත්පත විදියට ‘සතර’ බිහිවුණේ ඒ විදියට.


එසේ අඛණ්ඩව වසර 40ක් පුරාවට එකම පුවත්පතක කර්තෘවරයෙකු ලෙස කටයුතු කරන්නෙත් මම වෙන්න පුළුවන්. ඉතාම සුළු මුදලක් යොදවලා තමයි ‘සතර’ පටන් ගත්තේ. ඒ 1979 මැයි මාසෙ 30 වැනිදා. මේ පුවත්පත රට පුරා විසිරී සිටින අධ්‍යාපනය ලබන සිසු දරුවන් අතර ඉතා ජනප්‍රිය වුණා. දිවයිනේ දක්ෂ ගුරුවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්ය භවතුන්, ගුරු උපදේශකවරුන් ‘සතර’ට සම්බන්ධ කර ගත්තා.


මම ලියන්න පටන්ගත්තේ ශිෂ්‍යයෙකු හැටියට කටයුතු කරන කාලයේ පටන්මයි. ඒ යුගයේ මම පත්තර, සඟරා ආදියට ලිපි සපයනවා. මම අදටත් ඒ අතරින් ගරු කරනවා මෙරට පුවත්පත් කලාවේ විශිෂ්ටයෙකු වූ ලංකාදීප පුවත්පත් ගොන්නේ ප්‍රධාන කර්තෘව සිටි මහානාම දිසානායකයන්ට. ඒ වගේම ඩී.බී. ධනපාල මහතාවත් සිහිපත් කරනවා. මම මුලින්ම ලිවුවේ කෙටි කතාවක්. එහි නම වුණේ ‘සියල්ලම හොඳටය’. එය කර්තෘ මණ්ඩලය යොදපු නමක්. අද වෙද්දි මගේ තේමා පාඨයත් එයම තමයි.


ම​ෙග් ලේඛන ජීවිතයේ සෙවණැල්ලක් මෙන් පසුපස සිටි පුද්ගලයෙක් සිටියා. ඒ ප්‍රවීණ ගත්කතුවරයෙකු හා පුවත්පත් කලාවේදියෙකු වූ මු. අරුක්ගොඩ මහතා.


මම සතර අධ්‍යාපනික පුවත්පත ආරම්භ කිරීමේ සිට සතර අධ්‍යාපන ආයතනය හා සතර ප්‍රකාශකයෝ දක්වා පැමිණි ගමන් මඟ පුරාම කටයුතු කරන්නේ රටේ හෙට දවස භාරගන්නා සිසු දරුවන් වෙනුවෙන්. රට පුරා සිසු දරුවන් වෙනුවෙන් නොමිලේ සම්මන්ත්‍රණ පවත්වන්නේ ඒ නිසා. මට ඒවා ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය නැහැ. නූපන් දරුවාගේ සිට ගැටවර වයස දක්වා සෑම දරුවෙකුටම අවශ්‍ය සියලුම දේ සහිත විශාල සාප්පු සංකීර්ණයක් ‘සිතුමිණ සතර’ නමින් පවත්වාගෙන යනවා. එ්ත් රටේ අනාගතය වෙනුවෙන්.”
චන්ද්‍රසෝමට දරුවන් තිදෙනෙකි. වැඩිමහලු දියණියන් දෙදෙනා උසස් අධ්‍යාපනය හදාරා වෛද්‍ය හා ගණකාධිකාරී රැකියාවල නිරතවන අතර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිය ලද පුත්‍රයා තමා සමඟ තම ආයතන කළමනාකාරීත්වයට සම්බන්ධව කටයුතු කරන බව ඔහු පවසයි. තමාගේ සියලු කටයුතුවලදී සෙවණැල්ල මෙන් කටයුතු කරන්නේ තම බිරිඳ බව ද ඔහු සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.

 

ආබාධිත දරුවනට ආධාර ලබාදුන් අවස්ථාවක්

 

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථාන දිනාගන්නා දරුවනට වාර්ෂිකව කෙරෙන මූල්‍යමය ත්‍යාග ප්‍රදානයේ අවස්ථාවක්

සතර සම්මන්ත්‍රණයක දී....

 

 

ධනු විජේරත්න