ව්‍යවස්ථාව පිළිබඳ අවසන් තීරණය ජනමත විමසුමකින් විය යුතුය


මන්ත්‍රී නලින්ද ජයතිස්ස

 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත යුත්තේ මහජනතාව නිසා වහාම එය මහජනතාව අතරට ගෙන ගොස් ඔවුන්ගේ ජනමත විමසුම කෙසේ ද යන්න විමසා බැලිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.  

1978 සිට ගෙන ආ ව්‍යවස්ථාවත් ඊට පසු ගෙන ආ සංශෝධන 19 ම ජනතාව විසින් ජනමත විචාරණයකින් අනුමත කර නොමැති අතර 20 වැනි සංශෝධනය ජනතාව අතරට ගෙන ගොස් ජනමත විචාරණයකදී එය අනුමත කරගැනීමට අදහස් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.  


 පාර්ලිමේන්තුව තුළ 2/3 අනුමැතිය ලැබුණොත් පමණක් ජනමත විචාරණයකට යාමට හැකි බවත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වැනි වැදගත් කාරණාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ අනුමැතිය එතරම් සුදුසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එය සුදුසු වන්නේ ලක්ෂ 150 ක් පමණ වන ඡන්දද‌ායකයන් විසින් තීන්දු කිරීම බව ඔහු සඳහන් කළේය.  


ජනමත විචාරණයකට යා යුතු කරුණකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් විසින් යම් යම් බාධා කිරීම් සිදුකිරීම සාධාරණ නොවන බවත් පාර්ලිමේන්තුවේ 2/3 කින් මෙය අනුමත කර ගැනීම සඳහා සහාය අපේක්ෂා කරන බව ද ඔහු පැවැසීය.  


ඉන් අනතුරුව ජනතාවට බාර දී විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් සුදුසු ද නැද්ද යන්න ඔවුන​්ගේ ජනමතය සඳහා ඉදිරිපත් කළ යුතු බව ද නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සඳහන් කළේය.