නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?


(අජන්ත කුමාර අගලකඩ) 


නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථය හා ආයතන ගැසට් කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  

පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට දැනටමත් තීරණය කර ඇති අතර ලේක්හවුස් ආයතනය සහ රජයේ රූපවාහිනි ආයතන දෙකෙන් එකක්ද ජනාධිපතිවරයා යටතට ගැනෙනු ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ. අමාත්‍යාංශ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ගිය සඳුදා නිකුත් කිරීමට නියමිතව තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා රටින් පිටව ගිය බැවින් එම නිකුත් කිරීම ප්‍රමාද වූ බව වාර්තා විය. ජනාධිපතිවරයා අද (30) දිනයේ යළි දිවයිනට පැමිණීමට නියමිත අතර විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය හෙට (31) දිනයේ නිකුත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. මේ අතර රාජ්‍ය බැංකු, රාජ්‍ය ව්‍යාපෘති, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පත් කිරීමටද රාජ්‍ය ව්‍යාපාර කිහිපයක් විදුලිබල හා බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා යටතට පැවරීමටද ඉඩ ඇතැයි වාර්තාවේ.