තොණ්ඩමන්ගේ අවමඟුල දෙසීයකට සීමා කරයි


කොටගල ක්‍රීඩාංගනයට පන්දාහක් ගෙනෙන්න කර තිබූ සැලසුම 
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නවත්වයි

(අජන්ත කුමාර අගලකඩ) 

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද (31) දිනයේ කොටගල නෝවුඩ් ක්‍රීඩාංගණයට 5000 ක පමණ පිරිසක් ගෙන්වීමට කර තිබූ සැලසුම වහාම නතර කරන ලෙසත් සහභාගිවන පිරිස උපරිම 200 කට සීමා කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරේදා (29) දැනුම්දී ඇත. 

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු, නිරෝධායනය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීතිවලට අනුකූලව සිදුකරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී තිබේ. 


සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණ තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයන්ට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාටද ලිඛිතව දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය. 


තොණ්ඩමන් මහතාගේ ආදාහනය සිදුකෙරෙන නෝවුඩ් ක්‍රීඩාංගණයට වතුකරයෙන් 5000ක පමණ පිරිසක් සහභාගි කරගැනෙන බැවින් ඔවුන්ට පහසුකම් සැලසෙන පරිදි මඩු ආදිය සවිකිරීමට කටයුතු යොදා තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය දැනුම්දීමත් සමග එම මඩු ඉදිකිරීම් ආදිය නතර කර ඇතැයි වාර්තා වේ. 


තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල නිවසේ තැන්පත් කර තිබියදී සහ මහජන ගෞරවය සඳහා තැන් කිහිපයකට රැගෙන යාමේදී නිරෝධායන නීති කඩවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරේදා (29) පැවැති කොවිඩ් - 19 මර්දන කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් කතාබහට ලක්වී ඇත. 


එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආදාහන කටයුතු රජය විසින් පනවන ලද නිරෝධායන නීතිරීතිවලට අනුකූලවම සිදුකරන ලෙස දැනුම්දීමට එම කමිටුව තීරණය කර තිබිණි.