ජනපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහාය තවම තීන්දු නෑ


(නිශාන්ත කුමාර බණ්ඩාර) 


ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කුමන පක්ෂයකට සහය දෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි. 

තමන්ට පක්ෂය වැදගත් නොවන බවත් ඉදිරිපත් වෙන අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති හා ආකල්ප අනුව සහය දෙන්නේ කාටද යන්න මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී සාකච්ඡා කරන බවද ඔහු ප්‍රකාශ කළේය. 


තමන් කිසිම පක්ෂයකට බැඳී නොමැති අතර තම පක්ෂයේ සහය අපේක්ෂා කරන ඕනෑම අපේක්ෂකයෙකුට සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා තිබෙන බවයි ඔහු කියා සිටියේ. 
ඒ සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරන අතර ඒවා දැනට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. එහෙත් සමස්ත ජනතාවගේ දැවෙන ප්‍රශ්න සහ මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට අදාළ අපේක්ෂකයා දක්වන ආකල්ප පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු සහය දැක්වීමට තීරණය කරන බව කාරියප්පර් මහතා සඳහන් කළේය. 


බොහෝදුරට ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒ සඳහා තනි පක්ෂයක් ලෙස තරග කිරීමට මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය සහ උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇතැයි නිසාම් කාරියප්පර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.