ආණ්ඩුවේ වියදම් මේ වසරේ ඉහළ ගිහින්


(දයාසීලි ලියනගේ සහ උපුල් වික්‍රමසිංහ)  

මේ වසරේ (2019) ගත වූ මුල් මාස හතරක කාලය ඇතුළත ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් බිලියන 962ක් බවත් එය පසුගිය 2018 වසරේ මුල් මාස හතරක කාලයේ දී වාර්තා වූ ආණ්ඩුවේ වියදම හා සසඳා බැලීමේදී සියයට 10.1ක ඉහළ යෑමක් බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  

මේ වසරේ මුල් මාස හතරක කාලය ඇතුළත ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 756ක් ද ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 211ක්ද, වැය වී ඇති අතර 2018 වර්ෂයේ අදාළ සමාන්තර කාලය හා සැසඳීමේ දී පිළිවෙළින් පුනරාවර්තන වියදම් සියයට 9.4කින් ද ප්‍රාග්ධන වියදම් සියයට 12.8කින් ද මෙම වසරේ දී ඉහළ ගොස් ඇතැයි 2019 වර්ෂයට අදාළ මධ්‍ය වාර්ෂික රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යාංශ වාර්තාවෙහි සඳහන් වෙයි.  


පුනරාවර්තන වියදම් යටතේ මේ වසරේ මුල් කාර්තුවේ දී වැඩිම මුදලක් වැය වී ඇත්තේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වන අතර එම අගය රුපියල් බිලියන 218කි. 2018 වසරේ අදාළ සමාන්තර කාලයේ දී රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය වී ඇති මුළු මුදල හා සසඳා බැලීමේදී මේ වසරේ එම අගය සියයට 3.9කින් ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.  


රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් වෙනුවෙන් මේ වසරේ මුල් මාස හතරක කාලයේ දී වැය කර තිබෙන මුළු මුදල රුපියල් බිලියන 74ක් වන අතර 2018 වසරේ අදාළ සමාන්තර කාලයේ දී ඒ සඳහා වැය කර ඇත්තේ රුපියල් බිලියන 62කි.   


ඒ අනුව මේ වසරේ විශ්‍රාම වැටුප් සඳහා වැය කර ඇති මුදල 2018 වර්ෂයට සාපේක්ෂව සියයට 17.8ක ඉහළ යෑමක් පෙන්නුම් කරයි.