20 වැනිදාට පසු රෝග පාලනයක් ගැන දැඩි බලාපොරොත්තුවක් තියාගන්න එපා


නිවැරදි තීන්දුවකට එනතුරු ඇඳිරිය ඉවත් කිරීමත් අවදානම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

(දයාසීලි ලියනගේ) 

මේ මස 20 වැනි දින වෙනවිට රටේ බොහොමයක් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වෙතැයි ජනතාවට දැඩි බලාපොරොත්තුවක් ඇතත් දැනට හඳුනාගත් රෝගීන්ගේ ස්පර්ශකයින් නිශ්චිතව පරීක්ෂා කර තීන්දුවක් ගන්නා තෙක් ඇඳිරි නීතිය ඉවත් කිරීම අවදානම් සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත. 

මෙම තත්ත්වය නොසලකා කටයුතු කළහොත් දැනට ලබා ඇති ප්‍රගතිය විනාශ වී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. 


රෝගය පැතිරීයාම වැළැක්වීම සඳහා පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කිරීමට සිදු වෙන අතර, හඳුනා ගත් රෝගීන්ගේ ස්පර්ශකයන් අවස්ථා කීපයකදී පරීක්ෂාවට ලක් කිරීමට සිදු වී ඇතැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම ඇතැම් ජනතාව හැසිරෙන ආකාරය අනුව ලබන 20 වැනිදායින් පසුවත් ජනතාවගේ දුරස්ථභාවය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බව ද වෛද්‍යවරයා කීය. ස්පර්ෂකයන් සියලු දෙනා හරියාකාරව හඳුනා ගන්නා තෙක් 20 වැනිදායින් පසුවත් නීති ලිහිල් කිරීම අවදානම් බව ඔහු වැඩිදුරටත් කීය.