​අපරාධකරුවන් මට්ටු කළ පුරාණ දඬුවම් ක්‍රම


ඉංග්‍රීසීන් අපේ රට අත්පත් කර ගැනීමට පෙර එනම් 1815 ට පෙර පැවැති රාජාණ්ඩුවේ දී වැරදිවලට දෙන ලද දඬුවම් ඉතාමත් බරපතළය. රාජ්‍ය සේවයේ නියුතු උසස් පවුල්වල අය වැරදි කළ විට ඔවුන්ගේ හිස ගසා මරා දැමීම එකල සිරිත විය. යම් යම් අය විවිධ වැරදි කළ පසු, ඔවුන් කළ වැරදි ඔප්පු වූ වහාම ඔවුන් හිස පැළඳ සිටින මුණ්ඩාසන - හිස් වැසුම් ආදිය රාජ නියමයෙන් ඉවත් කරනු ලැබේ. එයද එක් දඬුවමකි.   


සාහසික අපරාධ කළ අය එල්ලීමට නියම කළ විට පළමුවෙන් ඔවුන්ගේ පිට මැදින් උලක් ඇණ මරා දැමීමෙන් පසු මළකඳට ලණුවක් දමා සියල්ලන්ටම පෙනෙන සේ ගසක එල්ලා තබනු ලැබේ. එල්ලීමට වඩා තවදුරටත් වරදකරුවන් නින්දා අපහාසයට පත් කිරීමට වුවමනාවූ විට එවැනි අය උල තැබීමට නියම කරති.   


වැරදි කරන ලද බවට සනාථ වූ මුලාදෑනින්ගේ හා මධ්‍යම හා පන්තිවල අයගේ දෑත් බැඳ හිසෙහි මුණ්ඩාසන ගලවා මල් වඩමක් තබා නිරුවත් සිරුරේ සුදුහුණු ගල්වා ඉදිරියේ මළබෙර හඬවමින් මහනුවර වීදි දිගේ කස පහර දෙමින් රැගෙන යති. මෙසේ ගෙන යනවිට සමහර අය කස පහර වැදීමෙන් මැරී වැටෙති. එසේ මළගිය අයගේ සිරුරු වීදි දිගේ ඇදගෙන යති.   


වීදිවල ඇදගෙන යාමෙන් නොමළ අය වදබිමට කැඳවාගෙන ගොස් මුනින් අතට නිදිකරවා හෙල්ලකින් ඇන මරා දමති. ඉන්පසු සෙසු අයට පාඩමකට ගැනීමට යාබද ගස්වල මළ සිරුරු එල්ලා තබති. මෙසේ මරණ දඬුවමට යටත් කළ අයගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන්නේ නැත. එම මළ සිරුරු සතුන්ට කෑමට කැලයට විසි කරනු ලැබේ.   


රජයේ මුදල් සහ දේපොළ සොරකම් කිරීම, ගවයන් මැරීම, වැව්වල ඇණබෝල ඉවත් කිරීම. රාජ්‍ය ප්‍රධානියෙකුට පහරදීම, භික්ෂුවකට පහරදීම වැනි වැරදිවලදී වැලමිටෙන් පහල දෑතේ පහළ කොටස් කපා දමනු ලැබේ. මේ දඬුවම් පමුණුවන්නේ රජු විසිනි.   


සුළු වැරදිවලට දඬුවම් පැමිණවීමේ බලය අදිකාරම්වරුන්ට පවරා තිබුණි. ඉපල්වලින් පිටුපසට පහරදීම, වරදකරු මුනින් අතට බිම නිදිකරවා ඔහුගේ දෑත් සහ දෙපා කීප දෙනකු පාගා ගැනීමෙන් පසු අත්වලින් උරහිසට හා පිටට තලති. තවත් විටෙක වරදකරු කණුවක බැඳ ඉපල්වලින් නියමිත පහරවල් ගණනකින් පහර දෙනු ලැබේ. වරදකරු හිටගෙන දෙපසට දෑත් දිගුකර සිටියදී මුහුණට අතුල් පහරවල් නියමිත ගණනක් දීමද තවත් දඬුවමකි. මෙවැනි සුළු දඬුවම් පමුණුවන්නේ නොහික්මුණුකම් සහ සල්ලාලකම් කරන ලද අයටය.   
රාජකාරිය නොසලකා හැරීම, පැහැර හැරීම, නොපැමිණීම, සිරිත් විරිත් උල්ලංගනය කිරීම වැනි කරුණුවලදී රජතුමා විසින් රාජ්‍ය සේවකයන්ට රිදී විස්සේ සිට රිදී සීය දක්වා දඩ මුදල් නියම කරනු ලැබේ. දඩ මුදල ගෙවනතුරු ඔවුන්ට රාජවාසලින් බැහැර යාමට ඉඩ නොදේ. සමහර රාජ්‍ය සේවකයන් නියමිත කාලයක් දඬුකඳේ ගසා තැබීමද කරනු ලැබේ.   


සිර ගෙදරට නියම කිරීමේදී වරදකරුගේ හිස්වැස්ම, මුණ්ඩාසනය, ලේන්සුව ගලවා ඉවත් කරති. ඔහුට නිදහස ලැබෙනතුරු හිස්වැස්ම පැලඳීම තහනම් වේ. සිරකරුවාගේ වරදේ ස්වභාවය අනුව යකඩ දම්වැල්වලින් බැඳ තැබීම හෝ දඬුකඳේ ගසා තැබීම සිදු කරනු ලැබේ. සිරභාරයට ගත් අය සිරගෙට ඇතුළුවීමේදී රිදී එකයි තුට්ටු 14ක් ගෙවිය යුතුය. සිරකරුවන් රැක බලා ගන්නේ ‘රැකවල්ලෝ’ නමින් හඳුන්වන පහත් කුලවල අයයි. මේ සිරකරුවන්ට දිනපතා මහනුවර වීදිවල විවිධ සේවාවන් කිරීමට සිදුවේ. සිරකරුවන්ට ආහාරපාන සැපයීම රජයෙන් සිදු නොකෙරේ. සිරකරුවන්ගේ ඥාතීන් විසින් ඔවුන්ට ආහාරපාන සැපයිය යුතුය. නැදෑයන්ගෙන් ආහාරපාන නොලැබුණ විට සිරකරුවන්ට වීදි දිගේ සිඟමන් යදිමින් ගොස් ආහාරපාන ලබාගත යුතුය. සමහර සිරකරුවන් දුෂ්කර ගම්වලට යවා එම ගම්මුන්ගේ රැකවරණය පිට රඳවා තබති. එවිට එම සිරකරුවන්ට ගම්වාසීන් විසින් ආහාරපාන සැපයිය යුතුය.   


සල්ලාලකමඳා් රජයේ නීති කඩ කිරීම, තරාතිරමට වඩා උසස් ලෙස සමාජය තුළ හැසිරීම, උසස් ගරු නම්බු හා ඇඳුම් පැළඳුම් ආරෝපණය කර ගැනීම වැනි වැරදිවලදී දඬුවමක් වශයෙන් හිසකෙස් වහල්ල කපා දමනු ලැබේ. සමහර වැරදි කරන අය ‘රොඩී’ යයි සම්මත පහත් කුලයේ අයගේ රැකවරණයට හා ආහාර පානවලට පත් කරති.   


වැරදි කරන ලද කාන්තාවන්ට ද විවිධ දඬුවම් පමුණුවනු ලැබේ.   


වැරදි කරන ලද කාන්තාවන්ට වැලිමල්ලක් හිස මත තබාගෙන වීදි දිගේ යාමට සලස්වා ඔවුන්ට ඉපල්වලින් පහර දෙනු ලැබේ. සමහර අයගේ කෙස්වල්ල කපා දමති.   


නියම කළ දඩ මුදල නොගෙවන වැරදිකරුවන්ගේ හිස් වැසුම් ඉවත්කොට බර ගලක් උරහිස මත තබා ඔවුන් ගිනි අව්වේ සිටුවනු ලැබේ. වරදකරු දෑතින් ගල අල්ලාගෙන සිටිය යුතු අතර උරහිස මාරු කිරීමට ඉඩදෙන නමුත් ගල බිම තැබීමට ඉඩ නොදෙති. ගිනිඅව්ව, දැඩි වෙහෙස, බර ඉසිලීමේ අපහසුව වැනි පීඩාකාරි තත්ත්වයන් නිසා වරදකරු දඩ මුදල ගෙවීමට එකඟවෙයි. ඉන්පසු ඔහු දඬුවමින් නිදහස් කෙරේ. මෙසේ ගල් පටවන්නේ දඬුවමට අකීකරු වූ අධිකරණයට නිගරු වූ කලින් රැවටීම් කරන ලද අයහපත් මිනිසුන්ටය.   
මව්පියන්ට තාඩන පීඩන කරමින් ඔවුන් නොසලකා හරින අය අත්අඩංගුවට ගෙන යටිපතුල් පලා ලුණු දමා දවස් හතක් ගල්කැට සහිත බොරැල්ලේ ඇවිද්දවනු ලැබේ. විවාහ ජීවිත කඩාකප්පල් කරමින් පරදාර සේවනයේ යෙදෙන ගැහැණු සොඬුන් අත්අඩංගුවට ගෙන යාබදව ඇති පුවක්ගස් දෙකක් ළංව සිටිනසේ එකට බැඳ වරදකරුවාගේ කකුල් දෙක පුවක්ගස් දෙකේ බැඳ. පසුව පුවක්ගස් එකට බැඳ ලණුව කපා හරිනු ලැබේ. එවිට වරදකරුවා තැරි ගැසී දෙපළුවී එතැනම මියයයි. සිරුර නිරුවත්කොට ගසකට තියා දෑත් බැඳ ඇඟපුරා වැල් කහඹිලියා ගාලක් ඔතා අව්වේ තැබීම සොරුන්ට දෙන දඬුවමකි.   


රාජද්‍රෝහීන්, දාමරිකයන්, චණ්ඩින්, බේබද්දන් අත්අඩංගුවට ගෙන හිස මත්තට වළවල් කපා බෙල්ල පමණක් මතුපිට සිටින සේ සිටුවා පස් ගසා මීමුන් බැඳි නගුල්වලින් බෙලි කැඩී යන සේ සීසානු ලැබේ.   


මේ හැම දඬුවමක්ම කරන්නේ සෙසු අයට පෙනෙන්නටය. මේවා අසන දකින අය වැරදි නොකර ජීවත්වීමට පාඩම් ඉගෙන ගනී. වැරදි කළ අයට සමාජය ඉදිරියේ බරපතළ දඬුවම් දී එම දඬුවම් ප්‍රදර්ශනය කිරීමෙන් සමාජය යහමගට ගැනීම එකල සමාජය යහමගට ගැනීමේ පරමාර්ථය විය. සිරකරුවන් සිරභාරයට ගත්විට ඔවුන්ගේ පෞරුෂය නැතිවී යන පරිදි හිස් වැසුම් ගැලවීම, සිරගෙදරට ගැනීමේදී රිදී එකයි තුට්ටු 14ක් අය කිරීම, පිට කිරිමේදී රිදී දෙකයි තුට්ටු 12ක් අය කිරීම, යකඩ දම්වැල් වලින් බැඳ තැබීම, දඬු කඳේ ගසා තැබීම, සිරගෙය තුළ රඳවාගෙන නොසිට රැකවල්ලෝ භාරයේ පිටත යවා අසීමිත ලෙස වැඩ ගැනීම, රජයෙන් කෑමබීම නොදීම සහ ඥාතීන් විසින් කෑම බීම ගෙනැවිත් දීම, එසේ නොලැබුණ විට හිඟමන් යැදීමෙන් කෑම වේල සපයා ගැනීම මේ ආදී වශයෙන් සිරකරු ජීවිතය දඬුවම්වලින් පුරවා තිබිණ.   


මේ සියල්ල එකල රාජාණ්ඩුව විසින් සිදුකර ඇත්තේ මානව සමාජය නිවැරදි කිරීම සඳහාය. නිවැරදිව සහ යහපත්ව ජීවත්වෙන මිනිසුන්ගේ නිදහස සහ ආරක්ෂාව සඳහා වැරදි කරන්නවුන්ගෙන් සමාජය බේරාගැනීම එකල පැවති දඬුවම් විධිවල යථාර්ථය වී තිබිණ.   

 

 

එප්පාවල රත්න බී ඒකනායක