සතුන් හා ශාක විශේෂ දස ලක්ෂයක් වඳවෙනවා


විද්‍යා ගවේෂණ  

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක්

 

 

ලෝකයේ දස ලක්ෂයකට වැඩි ශාක විශේෂ ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී ඇත. මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතින ස්වභාවික සම්පත් විනාශයට පත්වන ආකාරය ද මේ දැක්වේ. 


පිරිසුදු වාතය, පානීය ජලය, කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා වනාන්තර, පරාගන ක්‍රියාවලිය සිදුකරන කෘමීන්, ප්‍රෝටීන් සම්පත බහුල මත්ස්‍යයන්, කඩොලාන පරිසර පද්ධතීන් ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අඩුවෙමින් වඳ වී යමින් පවතින බවත් මේ වාර්තාවේ සඳහන් කර ඇත. 


රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නන් සඳහා වූ පිටු 44කින් සමන්විත සාරාංශය අනුව ශාක හා සත්ත්ව විශේෂ වඳ වී ජෛව විවිධත්වය පහළ වැටීම හා ගෝලීය උණුසුම ඉහළ යාම අතර කිට්ටු සම්බන්ධයක් තිබේ. විද්‍යාඥයන් විසින් කරන ලද අධ්‍යයනයන්හි සාරය සහිත එක්සත් ජාතීන්ගේ තක්සේරුව පිටු 1800කින් සමන්විතය.


මෙම වාර්තාව සමාලෝචනය කිරීම සඳහා රටවල් 130ක නියෝජිතයන් අප්‍රේල් මස 29 දා සිට පැරිසියේදී රැස් වී මෙහි විධායක සාරාංශය පෙළගැස්වීමට නියමිතව තිබිණි. එහිදී ඇතැම් වචන වෙනස් වනු ඇත. නමුත් වාර්තාවේ අඩංගු දත්ත හා තොරතුරු වෙනස් නොවනු ඇත. 


‘‘අප හඳුනාගත යුතුයි, දේශගුණික විපර්යාස සේම පරිසර පද්ධති අහිමිවීමත් එකසේ වැදගත් බව. පරිසරය සඳහා පමණක් නොව, සංවර්ධනය හා ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලු ද වැදගත් වනවා.’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව සැකසීමේ කමිටුවේ සභාපති රොබට් වොට්සන් මහතා තම සොයාගැනීම් අනාවරණය නොකර පවසා ඇත. 
"අපේ ආහාර හා බලශක්ති නිපදවන ආකාරය පරිසර පද්ධතීන් රැකගැනීමේ නියාමන ක්‍රමවේදයට හානි පමුණුවනවා." යැයි ද ඔහු පවසයි. 'පරිවර්තනීය වෙනසක්' කළ යුතුයි. ඒ මගින් හානිය වළක්වා ගැනීමට හැකිවනවා. නැවත වනවගාව සහ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, හරිතාගාර වායු විමෝචනය ස්වභාවික පරිසර පද්ධතීන් විනාශ වීමට හේතුවක් වී තිබෙනවා." 


ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා ප්‍රතිපත්ති ආයතනය අනතුරු අඟවමින් පවසා ඇත්තේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ ලෝකයෙන් තුරන්වීම ඉතා වේගවත්ව සිදුවෙමින් පවතින බවයි. 


පසුගිය වසර ලක්ෂ 100ක කාලයට වඩා වඳ වී යාමේ වේගය දහ ගුණයක සිට සිය ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විද්‍යාඥයන් අනාවරණය කර ඇත. 
ඔවුන් පවසන්නේ ලෝකයේ සිටින සත්ත්ව හා ශාක විශේෂ අතරින් විශේෂ ලක්ෂ පහත් ලක්ෂ දහයත් අතර සංඛ්‍යාවක් වඳ වී යාම ඉදිරි දශක කිහිපයේ දී වඳ වී යනු ඇති බවයි. මෙය අතිවිශාල සංඛ්‍යාවක් බවත් මිහිතලයේ සියලු කාර්යයන්හි සමතුලිතතාව මේ හේතුවෙන් බිඳී යනු ඇති බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති. 


බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ අතීතයේ මහා වඳ වී යාමක් සිදුව ඇති බවයි. පසුගිය වසර බිලියන භාගයක කාලයේ දී එවැනි වඳ වී යාම් හයක් සිදුව තිබෙන බව දැන් විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත. එමෙන්ම මේ ආකාරයේ මහා වඳවීයාමක් තවදුරටත් සිදුවන බවත් දැන් පැමිණ ඇත්තේ එම යුගයට බවත් ඔවුන්ගේ පිළිගැනීම වී ඇත. 
මෙහි ප්‍රධානතම සිදුවීම ක්‍රිටේසීය යුගයේ දී අදින් වසර ලක්ෂ 660කට පෙර කාලයේ දී කිලෝමීටර 10ක පමණ විෂ්කම්භයක් සහිත ග්‍රාහකයක් පැමිණ පෘථිවියේ ගැටීමෙන් සිදුවන්නට ඇති බව ලෝකයේ පිළිගැනීම වී ඇත. එම ග්‍රාහකය ගැටීමත් සමග සිදුවූ විනාශයෙන් ලෝකය මත සිටි සියලු ජීවීන් අතුගෑවී ගිය බවත් ඩයිනෝසරයන් වඳ වූයේ ඒ ආකාරයෙන් බවත් විශ්වාස කෙරේ. 


විද්‍යාඥයන්ගේ ගණන් බැලීම් අනුව පෘතුවියේ විවිධාකාර ශාක සහ සත්ත්ව විශේෂ ලක්ෂ 80ක් පමණ ඇති අතර ඉන් බහුතරය කෘමීන්ය. මේ වාර්තාවෙන් හතරෙන් එකක පමණ ප්‍රමාණයක පෙන්වාදෙන්නේ විවිධ හේතූන් නිසා ශාක හා සත්ත්ව විශේෂ වඳ වී යන ආකාරයයි. 


"ලෝකය පුරා සිටින සමස්ත ප්‍රජාව වෙනුවෙන් සේවා ලබාදෙන තිරසර ලෝකයක් බලාපොරොත්තු වනවානම්, අප විසින් දැනට ගමන් කරමින් සිටින මාර්ගය ඉදිරි වසර දහය තුළ විශාල වශයෙන් වෙනස් කළ යුතුයි. ඒ වෙනස සිදු නොකරන්නේ නම් මේ මහා විනාශය වැළැක්විය නොහැකියි."


දේශගුණය හා ජෛව විවිධත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු වන ලෝක වනජීවී භාරයේ ප්‍රධාන විද්‍යාඥ රෙබෙකා ෂෝ එසේ සඳහන් කරයි. 


ශාක හා සත්ත්ව විශේෂ විනාශ වී යාමට හේතු වී ඇත්තේ වාසස්ථාන අහිමිවීම, භූමි පරිභෝජනය, අාහාර සඳහා දඩයම් කිරීම, නීති විරෝධී ලෙස සත්ත්ව කොටස් වෙළෙඳාම, කාලගුණික වෙනස්වීම්, පරිසර දූෂණය, ආගන්තුක ආක්‍රමණික විශේෂ, මීයන්, මදුරුවන්, සර්පයන් වැනි සතුන්ගේ බලපෑම බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. 
ජෛව විවිධත්වය අඩුවීමට හා දේශගුණික විපර්යාසවලට වක්‍රාකරයෙන් හේතු වන ප්‍රධාන සාධක දෙකක් දක්නට ලැබෙයි. විද්‍යාඥයන් පවසන්නේ ඒ ලෝකයේ සිටින මිනිසුන් ප්‍රමාණය වේගයෙන් වැඩිවෙමින් පැවතීම සහ ඔවුගේ පරිභෝජනය වැඩිවීම එම හේතු‌ දෙක බවයි. සත්ත්ව හා ශාක පැවැත්මට හානිකර ප්‍රාථමික තර්ජනය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. 

 

 


19 වැනි සියවසේ මැද භාගය හා සැසඳීමේ දී ගෝලීය උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක එකකින් වැඩිවී ඇත. මෙය ශාක සංහතියේ පැවැත්මේ හා ව්‍යාප්තියේ වෙනස්කම් ඇති කිරීමට ප්‍රධාන හේතුවක් වෙයි. 


2015 දී පැරිසියේ දී අත්සන් කළ ගෝලීය උණුසුම පිළිබඳ සම්මුතියේ දී එකඟ වූයේ ලෝකයේ සියලු ජාතීන් ගෝලීය උෂ්ණත්වය පහත හෙළීමට දායක විය යුතු බවයි. එහි ඉලක්කය වූයේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් පහත දමා ගැනීමයි. 


මේ සඳහා ලෝකය පුරා සියලු රාජ්‍යයන්ට බලපෑම් කළ ද පසුගිය ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණික වාර්තාවක් සඳහන් කළේ මාරාන්තික උෂ්ණත්වයන්, නියඟ, ගංවතුර හා කුණාටු වැනි ස්වභාවික විපත් වැඩිපුර ඇතිවීමටත් ඒවායේ තීව්‍රතාව වැඩිවීමටත් මෙලෙස ගෝලීය උණුසුම ඉහළයාම තවදුරටත් බලපා ඇති බවයි. ස්වභාවික පරිසරයට අහිතකර ලෙස බලපෑ හැකි දේශගුණික විපර්යාසයන්ට විසඳුම් ගැන ද එක්සත් ජාතීන් විසින් නිකුත් කළ මෙම නව වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. 
නිදසුනක් ලෙස ජෛව ඉන්ධන භාවිතය හේතුවෙන් කාබන් මුදාහැරීම හා ඒකරාශී වීම බහුලව සිදුවෙනවා. ඒ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් නිදහස් වනවා. ගෝලීය උණුසුම ඉහළ යනවා. මේ සඳහා හරිත පරිසරයක් ගොඩනැගීම හා හරිත බලශක්තියට මාරුවීම අවශ්‍ය වෙනවා. නමුත් එය ප්‍රමාණවත්ව සිදුවනවා ද යන්න ගැටලුවක්. 
මහිතලය මත ජීවයේ වත්මන් තත්ත්වය කුමක් ද?


·කොඳු ඇට පෙළක් සහිත හෙවත් පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ දෙකක් සෑම වර්ෂයකම මිහිතලයෙන් වඳ වී යයි. මෙය පසුගිය ශත වර්ෂයේ වඳ වී ගිය සත්ත්ව විශේෂ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය ලෙස ගණනය කර ඇත.


·උභය ජීවීන්ගෙන් සියයට 41ක් හා ක්ෂීරපායී සත්ත්ව විශේෂවලින් හතරෙන් එකක් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. 


·මිහිතලයේ ඇති ශාක හා සත්ත්ව විශේෂ සංඛ්‍යාව ලක්ෂ 87ක් පමණ වෙතැයි විශ්වාස කරයි. ඉන් ගොඩබිම විශේෂවලින් සියයට 86ක් හා මුහුදේ විශේෂවලින් සියයට 91ක් මෙතෙක් හඳුනාගෙන නැත. 


·අප හඳුනාගෙන ඇති විශේෂ අතරින් ක්ෂීරපායී විශේෂ 1,204ක්, පක්ෂි විශේෂ 1,469ක්, උරගයන් විශේෂ 1,215ක්, උභයජීවී විශේෂ 2,100ක් හා මත්ස්‍ය විශේෂ 2,386ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටිති. 


·කෘමි විශේෂ 1,414ක්, මොලුස්කාවන් 2,187ක්, කකුළුවන් 732ක්, කොරල් විශේෂ 237ක්, ශාක විශේෂ 12,505ක්, හතු වර්ග 33ක් සහ දුඹුරු ඇල්ගී විශේෂ හයක් මෙලෙස වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටිති.


·හඳුනාගත් පෘෂ්ඨවංශී සතුන් අතරින් මසුන්, පක්ෂීන්, ක්ෂීරපායීන්, උභයජීවීන් හා උරගයන් විශේෂ 3,706ක් හඳුනාගෙන ඇත්තේ 1970 සිට 2012 අතර කාලයේ දීය. 
·2017 රතු දත්ත පොත යාවත්කාලීන කිරීමේ දී 91,523ක් වූ විශේෂ අතරින් 25,000ක් විශේෂ තර්ජනයට ලක්වූ විශේෂ ලෙස වර්ග කර ඇත. 

 

 


·ඉන් විශේෂ 5,583ක් දැඩි අන්තරායකාරී මට්ටමට පත්ව ඇත. විශේෂ 8,455ක් තර්ජනයට ලක්ව ඇති අතර විශේෂ 11,783ක් අවදානමට ලක් වූ විශේෂ ලෙස හඳුනාගෙන තිබේ. 
මෙම වාර්තාව පවසන්නේ කුමක් ද ?


·භූමියෙන් හතරෙන් තුනක්, සමුද්‍රීය පරිසරයෙන් සියයට 40ක්, ලොව පුරා ජල මාර්ගවලින් සියයට 50ක්ම දැඩි ලෙස වෙනස්කම්වලට භාජනය වී ඇත. 


·ස්වභාවික සම්පත් දායකත්වයෙන් මිනිසාගේ යහ පැවැත්මට වඩාත් ඉවහල් වන ප්‍රදේශ බොහොමයක් ආදිවාසී ජනකොටස් හා ලෝකයේ දුප්පත්ම ජනතාව ජීවත්වන ප්‍රදේශ වන අතර ඒවා ද දේශගුණික විපර්යාසයන්ට ගොදුරුවෙමින් පවතී. 


·ලෝකය පුරා බිලියන දෙකක ජනතාවක් බලශක්ති සඳහා දැව ඉන්ධන භාවිත කරයි. බිලියන හතරක් ස්වභාවික ඖෂධ කෙරෙහි විශ්වාසය තබති. ලෝකයේ ආහාර නිෂ්පාදනයේ සියයට 75ක් සඳහා සත්ත්ව පරාගනය අවශ්‍ය වේ. මෙය සිදුවන්නේ වැඩිපුරම කෘමීන් මගිනි. කෘමීන් ඉතා වේගයෙන් මිහිතලයෙන් සමුගනිමින් සිටින සත්ත්ව කොට්ඨාසයකි. 
·පසුගිය වසර 50ක කාලයේ දී මිනිසුන් මැදිහත්වීමෙන් ඉඩම් හා සමුද්‍රීය පරිසර පද්ධතිවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අවුල් ජාලයක් බවට පත්ව ඇත. 


·ධීවර කර්මාන්තය, කාර්මික කෘෂිකර්මාන්තය, පශු සම්පත් නිෂ්පාදනය නැවත වන වගාව, පතල් කැණීම හෝ ජෛව ඉන්ධන හෝ පොසිල ඉන්ධන අපතේ යාම අකාර්යක්ෂම හා අධික පරිභෝජනය හේතුවෙන් අධික ලෙස සිදුවෙයි. 

 


සජීව විජේවීර