සත්ත්ව ජීවිත හෙළි කළ දරුවෝ පස් දෙනෙක්


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පෙර භවයේදී සත්ත්ව ජීවිත ගත කළ බැව් අනාවරණය කළ දරුවෝ පස් දෙනෙක් පුනර්භව පර්යේෂණ අතරට එක් වී සිටිති. ඔවුන් ප්‍රකාශ කළ සත්ත්ව ජීවිත අතර හාවෙකු මුවෙකු වඳුරෙකු පිඹුරෙකු සහ නාගයෙකු ඇතුළත්ය. නාගයෙක් ලෙස සිටියදී මරණයට පත් වූ බැව් ප්‍රකාශ කළ ප්‍රථම දරුවා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේය. ප්‍රජනීය ස්ථානයක් අසල ගස් බෙනයක ජීවත් වූ බවත් මුගටියෙකුගේ පහර දීමක් නිසා මරණයට පත් වූ බවත් එම දරුවා ප්‍රකාශ කළේය. 

 
ශ්‍රී ලංකාවේ උපත ලද තවත් දරුවෙක් පෙර භවය හෙළි කරමින් කියා සිටියේ හාවෙකු ලෙස ජීවත්ව සිටි බවත් හාවෙකු වී සිටිය දී දඩයක්කාරයෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ බැව් එම දරුවා අනාවරණය කළේය. වෙඩි තබන ලද අවස්ථාවේ සිටි ස්ථානයද ඔහුට මතක තිබිණි.   


සත්ත්ව ජීවිත දෙකක් ගත කළ බැව් හෙළි කළ දරුවෙකුගේ උපත සිදුවූයේ තායිලන්තයේදීය. අතිශය පුදුම අයුරින් එම සත්ත්ව ජීවිත දෙකේ තොරතුරු වෙන වෙනම හෙළි කළ ඔහු වරක් මුවෙකු ලෙස සිටිය දී දඩයක්කාරයෙකු විසින් ඝාතනය කළ බැව් කීය. අනතුරුව පිඹුරෙකු ලෙස ජීවිත්ව සිටිය බවත් එහිදී මුගුරුවලින් පහරදී මරණය සිදු කළ අයුරුත් ඔහු විස්තර කළේය.   


තායිලන්තයේදී උපත ලද ඩෝලන් නම් එම දරුවා පිළිබඳව පර්යේෂණයක් සිදු කරනු ලැබුවේ හැටේ දශකයේදීය. එම පුනර්භව සාධකය බැන්කොක් හි ප්‍රකාශයට පත්කළ BANKOK TIMES පුවත්පත මගින්ද එදා එම දරුවාගේ පුනර්භව තොරතුරු අනාවරණය කෙරිණි. අනතුරුව පුනර්භව පර්යේෂකයන් දෙදෙනෙක්ද ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කළහ. ඇමරිකාවේ වර්ජිනියා සරසවියේ මහාචාර්ය ජීම් ටකර් විසින්ද එම දරුවා පිළිබඳව පර්යේෂණයක් සිදු කිරීමෙන් පසු ANIMAL BEHAVIOR යනුවෙන් පර්​යේෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ. එම දරුවාගේ උපතින්ම චර්මයේ විශේෂත්වයක්ද දක්නට ලැබී ඇත.   


ඔහු ගත කළ සත්ත්ව ජීවිතය එම දරුවාට සිහිපත් වූ අයුරුද අතිශය පුදුම උපදවන සුළුය. දෙමාපියන් සමග වෙනත් නිවසක සාදයකට ගොස් සිටිය දී එම දරුවාට පෙරභවය සිහිපත් වීමද විශේෂත්වයකි. සාදයට පැමිණ සිටි අයෙකු දුටු සැණින් කෝපයට පත් වූ දරුවා ඔහුට පහර දීමට මුගුරක් හෝ ​පොල්ලක් සොයන්නට විය. ඒ ඇයිදැයි විමසූ විට දරුවා ප්‍රකාශ කළේ එම පුද්ගලයා විසින් මුගුරකින් පහර දී ඔහු​ගේ මරණය සිදු කළ බවකි. බල්ලන් දෙදෙනෙක්ද යොදවා ගනිමින් ඔහු පිඹුරෙකු ලෙස සිටිය දී හුඹසක් අසල දී මරණය සිදු කළ බැව් එම දරුවා පැහැදිලිව අනාවරණය කළේ දෙමාපියන් පුදුමයට පත්කරවමිනි.   


දරුවාගේ ප්‍රකාශය සනාථ කරමින් එම පුද්ගලයා පැවසුවේ තමා විසින් වරක් පිඹුරෙකු ඝාතනය කළ බවය. මහාචාර්ය ජිම් ටකර් විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ   


THE BOY CLAIMED HE HAD BEEN A DEER IN A PAST LIFE. HE SAID THAT AFTER HE WAS KILLED BY A HUNTER HE WAS REBORN AS A SNAKE යනුවෙනි. 

 
මුවෙකු ලෙස ජීවත්ව සිටිය දී දඩයම්කරුවෙකු විසින් ඔහු ඝාතනය කිරීමෙන් පසු සර්පයෙකු ලෙස සිටි බවත් අනතුරුව මිනිස් බව ලැබූ අයුරුත් එම දරුවාට මතක තිබිණි. එ් බැව්ද පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


HE SAID THAT AFTER HE WAS KILLED HIS SPIRIT SAW HIS FUTURE FATHER AND THOUGHT HE WAS KINDER THAN THE OTHER MEN WHO ATE THE SNAKE MEAT. HE FOLLOWED HIM HOME AND SOON ENTERED HIS MOTHER'S BODY)   


පියා හමුවී ඔහු සමග නිවසට පැමිණ මව් කුසට ඇතුළු වූ බැව් ඔහු​ගේ මතකයේ තිබිණි.   


පෙර භවය හෙළි කළ එම දරුවා වැඩිවියට පත්වීමෙන් පසුවත් ඔහු පෙර භවයේ ඝාතනය සිදුවූ ස්ථානය නැරඹීමට යෑම ද සුවිශේෂී කරුණක් ලෙස සැලකේ. එම ස්ථානයට ගොස් භාවනාවේ යෙදී සිටීමට ද ඔහු පුරුදුව සිටින බැව්ද පර්යේෂණ වාර්තාවල සඳහන් වේ.   


වඳුරු ජීවිතයක් පිළිබඳව හෙළි කළ අනෙක් දරුවාද ඉපදී ඇත්තේ තායිලන්තයේය. ඉන්නාහු නම් එම දැරිය උපත ලැබුවේ 1944 වසරේදීය. ඇය පෙර භවය හෙළි කිරීම ආරම්භ වූයේ වයස අවුරුදු දහයේදී පමණය. ඉතා කුඩා අවදියේ සිට භාවනාවට හුරුවී සිටි දැරිය පැවසුවේ ඇය කුඩා බිළිඳියක ලෙස උපත ලැබීමට පෙර වඳුරෙකු ලෙස සිටි බවය. ඇගේ මරණය සිදුවීමෙන් පසු සිරුර භූමදානය කළ අයුරුද ඇය අනාවරණය කළාය.   


ඇගේ තොරතුරු අනුව පෙර භවයේ මාපියන් හමුවීමටත් පෙරභව සිරුර භූමදානය සිදු කළ පුද්ගලයා සොයා ගැනීමටත් අවස්ථාව ලැබිණි. මෙම දැරියගේ පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ඉයන් ස්වීඩන්සන් විසින්ද පර්යේෂණ සිදු කළේය. අනතුරුව ඔහුගේ පර්යේෂණ වාර්තාවකටද ඒ පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය.   


SHE HAS MENTIONED A VAGUE IMPRESSION SHE HAD OF HAVING LIVED AS A MONKEY BEFORE THE LIVES OF INFANT GIRL'S THAT SHE REMEMBERD යනුවෙනි.  
ශ්‍රී ලංකාවේ දරුවෙකු මගින් පෙර භවයේ දී නාගයෙකු ලෙස ජීවත්ව සිටි බැව් අනාවරණය වූයේ 2012 වසරේදීය. මාතර ප්‍රදේශයේ දී උපත ලද එම දරුවාගේ කතා පුවත මහත් ආන්දෝලනයක්ද ඇති කළේය. දිනුෂ නම් එම දරුවා ඉතා කුඩා අවදියේ සිට උරගයක් දුටු විගස උන් පසුපස දිව යාම සිරිත වීය.   


එම දරුවාගේ හැසිරීම් රටාව මාපියන්ට ද ගැටලුවක් වී තිබිණි. දිනක් ඔහු සර්පයෙකු වෙත යනු දුටු මව එය වැළැක්වීමට උත්සාහ කළාය. ක්ෂණයෙන් මව ඇමතූ දරුවා ‘මම ඉස්සර නයෙක් වෙලා හිටියා” යැයි කීවේය. විමතියට පත්වූ මව දරුවාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළ විට ඔහු පැවසුවේ මම මැරුණාම පන්සල් වත්තෙ වැළලුවා” යනුවෙනි.   
සිය පුත්‍රයා පෙරභවයක් ගැන හෙළි කරන්නේද යන්න මවට සැක සිතිනි. නයාගේ ජීවිතය ගැන ඔහු හෙළිකරන අවස්ථවේ දී හිසේ වේදනාවක් දැනෙන බැව් ද මෙම දරුවා හෙළි කළේය. සිව් හැවිරිදි වියට පත්වීමෙන් පසු ඔහු මවගෙන් ඉල්ලා සිටියේ තමා සිටි පූජනීය ස්ථානය වෙත කැඳවාගෙන යන ලෙසය.   


නිවස ආසන්න​යේ ගස් බෙනයක සිටි බවත් ඔහු හෙළි කළේය. දිනක් මුගටියෙකු ගේ පහරදීමක් නිසා මරණයට පත්වූ බවත් සිරුර ඒ අවට වළලා දැමූ බවත් හෙළි කළේ අතිශය පුදුම හැසිරීම් රටාවක්ද ඉදිරිපත් කරමිනි. කුඩා කළ සිට ඔහු ෂූ ෂූ යනුවෙන් හඬ නැගීමට පුරුදුව සිටි බැව්ද මව අනාවරණය කළාය.   


එම දරුවාගේ තොරතුරු අනුව නාගයෙකු ජීවත්ව සිටි ප්‍රදේශය සහ පූජනීය ස්ථානය සොයා ගැනීමට ද හැකි විය. ගස් බෙනයක් තුළ මියගොස් සිටි නාගයාගේ හිසට දරුණු තුවාල සිදුවී මරණයට පත්වී තිබිණි. නාගයා සිටි ගස් බෙනය සහ පූජනීය ස්ථානය පෙන්වා දීමට ද එදා දරුවාට හැකියාව ලැබීම අතිශය පුදුම සිදුවීමක් බවට පත්විය. මෙම දරුවාගේ කතා පුවත සත්ත්ව ජීවිත ගත කළ බැව් හෙළි කළ දරුවන්ගේ පුනර්භව සාධක අතරට එක්වී තිබේ.   

 


සත්ත්ව ජීවිත ගත කළ බැව් හෙළි කළ තවත් ශ්‍රී ලංකාවේ දරුවෙකු වූයේ මීට වසර ගණනකට උඩදී පෙර භවය හෙළි කළ වර්ණසිරි නම් දරුවාය. ඔහු පැවසුවේ ද හාවෙකු ලෙස ජීවත්ව සිටිය දී නිවස අසල ගල්පොත්තක් මත සිටිය දී වෙඩි පහරකට ලක්වී මිය ගිය බවය.   


එය සිදු වූයේ තමා කොළ වර්ග අනුභව කරමින් සිටිය දී බව ද එම දරුවාට මතක තිබිණි. වර්ණසිරි පිළිබඳව පර්යේෂණ පැවැත්වීමේ දී අනාවරණය වූ තවත් වැදගත් සිදුවීමක් වූයේ ඔහු මව්කුසෙන් බිහිවීම පිළිබඳව ද අනාවරණය කළ කරුණකි.   


“හාවෙක් වෙලා හිටිය මට වෙඩි තිබ්බා, ඊට පස්සෙ මම මේ අම්මා ළඟ ඉපදුණා’’ යැයි එම දරුවා ප්‍රකාශ කළේය. එම දරුවා පිළිබඳව සිදු කළ පර්යේෂණයේ දී ඔහු ප්‍රකාශ කළ ගල්පොත්ත මත දී හාවෙකු වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳව අනාවරණය කර ගැනීමට අවස්ථාව ලැබිණි.   


මෙම පුනර්භව සාධකය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ස්ටීවන්සන් පූර්ණ පර්යේෂණ වාර්තාවක්ද සකස් කළේය. එයට ඇතුළත් එම දරුවා හෙළි කළ හාවෙකුගේ ජීවිතය පිළිබඳව සඳහන් කර ඇත්තේ WARNASIRI ALSO CLAIMED TO RECALL A PREVIOWS LIFE AS A HARE WHICH ATE LEAVES AND HAD BEEN SHOT) යනුවෙනි.   


සත්ත්ව ජීවිත ගත කළ බැව් හෙළි කළ පුනර්භව සාධක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ අධිමානසික මනෝ විද්‍යා ග්‍රන්ථවලට ද ඇතුළත් කර තිබේ. එවැනි ප්‍රකාශන (ADVANCES IN PARAPSYCHOLOGIGAL RESEARCH යනුවෙන් නම් කර ඇත. සත්ත්ව ජීවිත හෙළි කළ දරුවන් පිළිබඳව සිදුකරන පර්යේෂණ (EVIDENCE FOR REINCARNATON AMONG NONHUMAN ANIMLS) යනුවෙන් විමර්ශනය කරනු ලැබේ.   

 


තිස්ස ජයවර්ධන