විජේවීර සැඟවුණු ‘ගල්වලව්වේ’ අබිරහස් සිදුවීමක්


කාමරපෙළ

වලව්ව

සාලය

 

 

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ - මැතිවරණ කොට්ඨාසයට අයත් මොරේතොට, ඇටම්පිටිය, කටුගහ, එන්සල්බැද්දල හා මාලිගාතැන්න යන ගම්මාන එකිනෙකට යාකරමින් විහිදුන මාර්ග පද්ධතිය යටත්විජිත සමයේ ඉදිකෙරිණ.   


සුදු මහත්තුරු විසින් ආරම්භ කළ නෙළුව, සෙන්ජේම්ස්, ඌවහයිලන්ස් හා එල්ලාවල යන තේවතුවලට යාම සඳහා මේ ඒකාබද්ධ මාර්ගය සකස් කෙරිණ.   
නෙළුව තේ වත්තට යාබද ඇති ලෙව්වේගොඩ නම් වූ පුද්ගලික තේවත්තේ සුවිසල් වලව්වකි.   


එය හඳුන්වන්නේ ලෙව්වේගොඩ වලව්ව නමිනි. කාමර 17 කින් සමන්විත මෙහි වලව්වේ වලව් සම්ප්‍රද‌ායට අයත් මැද මිදුල පිහිටා ඇත්තේ පිටුපසිනි. මුළුමනින්ම කළු ගලින් කළ බිත්ති වලව්වේ තේජස වැඩි කළේය. එනිසා ඇතැමුන් මෙය හැඳින්වූයේ ගල් වලව්ව නමිනි. ඉදිරියෙන් පිහිටි තේවත්ත වරෙක මීදුමින් වැසී යන්නේ ය. මල් වගාව වලව්ව තවත් ලස්සන කළේය.   


මෙම වලව්ව රත්වත්තේ පරම්පරාවෙන් පැවැත එන්නකි. එය සාමාන්‍ය ජනතාවට සමීප වූයේ කටුගහ පරම්පරාවට අයත් වූ පසුවය.


වර්ණන් ගොඩබණ්ඩාර මහතා මෙහි හිමිකරු වීමෙන් පසු ඒ අවට සමාන්‍ය ජනයා සමග සමීප වූවත් ඔහුගේ පියා වූ කෝරලේ මහත්තයාගේ කාලයේ එවැනි සම්බන්ධයක් නොවීය.
වර්ණන් මහතාගේ කාලයේ මෙහි තේවත්තේ වගාව සඳහා එවකට සෙන්ජේම්ස් වත්තේ වැඩ පරීක්ෂකවරයෙක් වූ ඊ.එම්. රණසිංහ මහතාගේ උදව් ලබා ගත්තේය.
තේ වගාවට අමතරව වත්තේ‍ කොටසක එළවළු වගාකිරීමටද රණසිංහ මහතා උදව් කළේය.


රණසිංහ මහතාගේ නැගණියන් විවාහ වූයේ වලව්වේ රියැදුරා සමගිනි. ඔවුන්ට දරුවෝ තිදෙනෙක් වූහ. ඔවුහු අවුරුදු 9, 4, සහ 2 යන වයස් කාණ්ඩවලට අයත් වූහ.   
මේ දරුවන්ගේ පියා පසුව මේ වලව්වටම අයත් නාවලපිටියේ වත්තක සේවයට ගියේය. බිරිඳ හා දරු තිදෙනා වලව්වට නුදුරින් ඊට පහළින් පිහිටි රියැදුරු නිවාසයේම ජීවත්වූහ. හැමද‌ාම වලව්වේ එළවළු වගාව බැලීමට යන රණසිංහ මහතා එද‌ා 1976 අප්‍රේල් 18 වැනිද‌ා පොහොර ද රැගෙන කරවිල වගාවට සාත්තු කිරීමට ගියේය. ඒ යන විට දක්නට ලැබුණේ රියැදුරු නිවසේ දොර ජනෙල් වසා දමා ඇති බවයි.


ඊට පස්සේ සිදුවූ දේ රණසිංහ මහතා අකමැත්තෙන් වුවද සිහිපත් කරන්නේ දෑසට කඳුළු නංවමිනි. රියැදුරු නිවසේ දොර ජනෙල් ඇරල තිබුණා. වෙනද‌ා මෙච්චර දවල්වෙනකල් දොර ජනෙල් වහල තියෙන්නේ නැහැ.   


මට සැකයක් ඇති වුණා. මං ගිහින් බලනකොට ගෙදර පිටුපස්සේ දොර ඇරල තිබුණා. මං වටපිට පරික්ෂා කරලා අන්තිමට නිවසට පහළින් ඇති ළිඳ පරික්ෂා කළා. අනේ දෙයියනේ මගේ නංගීයි දරු තුන්දෙනයි ළිඳ තුළම මැරිලා. ඔවුන්ගේ මිනී වතුරේ පාවෙනවා.


මම හනිකට මම වැඩ කරන නෙළුව වත්තට පුංචි මහත්තයට සිද්ධිය කියලා පොලිසියට කෝල් එකක් දුන්නා. එද‌ා බංගලාවේ අය සමග නංගී බැඳපු ඩ්‍රයිවර් පිළිමතලාවට ගිහින් තිබුණා.   


පොලිසියෙන් ඇවිත් මළ සිරුරු ගොඩගත්තා. ඒවා ගැන දැන් කතා කරලා වැඩක නැහැ. කියමින් රණසිංහ මහතා හඬා වැලපුණ හැටි මට මැවී මැවී පෙනෙයි.   
කෙසේ නමුත් මෙම මරණවලට රියැදුරා වගකිව යුතු බවට ප්‍රදේශය පුරා රාවයක් පැතිර ගියේය. පසුකලක ඔහු ද මියගොස් මිනිය කුණු වී නාවලපිටියේ වත්තක තිබී හමු වී තිබේ. මේ සිද්ධියත් සමග ලෙව්වෙගොඩ වලව්ව කතා බහට ලක්වූ ස්ථානයක් විය.   


මේ සිද්ධියෙන් පසු වලව්වේ ඇත්තන් මේ වලව්ව සහ තේවත්ත සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට විකුණා මේ ප්‍රදේශයෙන් සමුගෙන ගොස් තිබේ.   


මැණික් ව්‍යාපාරිකයා ඉන්පසු මේ වලව්ව සහ තේ වත්ත විකුණා තිබු​ණේ අත්තනායක නමැති අයකුටය.   

 

නාමපුවරුව

මිනි පාවුන ලිද

 


අත්තනායක නමැත්තා සමහරු හිතා හිටියේ වැවිලිකරුවකු ලෙසිනි. තවත් සමහරු හිතා හිටියේ මැණික් ව්‍යාපාරිකයකු ලෙසිනි. ඇතමුන් සිතා සිටියේ ඉංජිනේරුවකු ලෙසනි.   
ප්‍රදේශවාසීන් සමග ලොකු සබඳතාවයක් නොතිබූ මේ පුද්ගලයා තමාගේ වෙළඳසැළටත් පැමිණ ඇතැයි රණසිංහ කීවේය.   


අත්තනායක මහතා තමන්ගේ වත්තේ වැඩ කළ අයට හොඳට සැලකුවේය.   


ඔහුට මෝටර් රථයක් තිබුණ ද ඇතැම්විට මහනුවර - බදුල්ල බස් රථයෙන් පැමිණ ඇටම්පි‍ටියෙන් බැස ඩෙලිකා වෑන් රථයක් කුලියට ගෙන වලව්වට ගිය බව කියති.   
එවකට වත්තේ කම්කරුවෙක් වූ කේ. ක්‍රිෂ්ණසාමි තවත් තොරතුරු කීවේය.   


 “අත්තනායක මහත්තයා අපිත් දැකල තිබුණෙ දවස් කීපයයි. හැබැයි අපි වැඩ කරන තැනට සේවකයන් අතේ පාන්, තේවතුර එවනවා.   


පඩි දුන්නේ ගේට්ටුව ළඟට ගෙනැත්. එ් සඳහා සේවකයෙක් හිටියා. අනෙක් වතුවලට වඩා වැඩියෙන් පඩි දුන්න නිසා අපිත් වත්තට ආදරයෙන් සතුටින් වැඩ කළා.   
දවසක් අපි වැඩට එද්දී තුවක්කු තියා ගෙන පිරිසක් හිටියා. ඒ අය අපට තර්ජනය කරල කිව්වා කෑ නොගහ වැඩකරන්න කියලා.   


අපි හිතුවේ හොරු කියල. මොකද මේ දවස් වෙනකොට තුවක්කු පෙන්නලා බය කරලා වෙඩි තියලා මිනිස්සු මරලා කොල්ලකෑම් කළ කල්ලියකුත් හිටියා.   


ක්‍රිෂ්ණසාමිට එම දිනය හරි හැටි මතකයේ නොතිබිණ. මෙසේ වත්ත වටලා තිබුණේ හොර කල්ලියක් නොව රජයේ ආරක්ෂක අංශ විසිනි.   


ඔවුන් සෙවූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා ය.   


එහෙත් ඒ වන විට විජේවීර මෙම බංගලාවෙන් නික්ම ගොස් තිබිණ. 

 
ඊට හේතුව වූයේ මීට දින කීපයකට පෙර වලව්වට පැමිණ අවසර ලබා ගෙන මල් ඉල්ලාගත් පුද්ගලයන් කීපදෙනෙක් පිළිබඳව ඇති වූ සැකයයි.   
1989 නොවැම්බර් මස 12 වැනිද‌ා උලපනේ නිවසක් වටලා විජේවීර අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ බව ප්‍රවෘත්තිවලින් විකාශනය විය.   
අත්තනායක නමින් මෙතෙක් කල් මේ වලව්වේ ජීවත් වූයේ අත්තනායක නොව රෝහණ විජේවීර නම් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බව ක්‍රිෂ්ණසාමි පමණක් නොව වත්තේ සියලු කම්කරුවන් ද ප්‍රදේශවාසීන් ද දැනගත්තේ රජයේ ප්‍රවෘත්තිවලිනි.   

 

 


විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද හමුද‌ාව මේ වලව්වේ කඳවුරු බැඳගත්තේය.   


අවට තේ වතු යාය ගම්මාන ආරක්ෂක අංශවල සෝදිසියට ලක්විය.   


හිරු නැගෙන්නටත් කලින් යුද හමුද‌ාව අවට ගම්මාන වටලා සිය ගණනින් මිනිසුන් ලොරිවල හා ට්‍රැක්ටර් රථවල පටවා ලෙව්වේගොඩ වලව්වේ කඳවුරට රැගෙන ආහ.   
ක්‍රිෂ්ණසාමි ද ඉන් කෙනෙකි.   


තේවතුවල අපියි ගමේ මිනිස්සුයි විශාල පිරිසක් එද‌ා කඳවුරට ගෙනාවා. පසුද‌ා එළිවෙනකල් අපට කෑමක් බීමක් නැහැ. අපි පණ බයේ ගැහී ගැහී හිටියා. අපෙන් ප්‍රශ්න කළා. ඊට පසුද‌ා ලොරිවල පටවාගෙන බණ්ඩාරවෙල නගර ශාලාවේ තිබූ යුද හමුද‌ා කඳවුරට අරගෙන ගියා. එතැනදී දිග පෝළිම් ගහලා බිල්ලෝ ද‌ාලා පරික්ෂා කළා.   
බිල්ලාගේ සෝදියෙන් පසු අපි නිදහස් කළා. යැයි ද ක්‍රිෂ්ණසාමි කීවේය.   


මෙසේ ලෙව්වේගොඩ කඳවුරට ගෙන ආ අය අතර කටුගහ, පහළ කටුගහ වලව්වේ පුංචි බණ්ඩාර කටුගහ මහතා ද කෙනෙකි.   
ඔහු සඳහන් කළේ ලෙව්වේගොඩ වලව්වේ කඳවුර තුළදී වද හිසාවට ලක් කරමින් ප්‍රශ්න කළ බවය.   


පසුව බණ්ඩාරවෙල නගර ශාලාවේ යුද හමුද‌ා කඳවුර වෙත රැගෙන ගොස් බිල්ලන් ලවා පරික්ෂා කිරීමෙන් පසු තමාද නිදහස් කළ බව ඔහු කීවේය.   
මේ තත්ත්වය මතුවන්න පෙර ද ප්‍රදේශය පුරා භීෂණය පැතිර ගොස් තිබිණ.   


ගිනි අවි පෙන්වා හැඳුනුම්පත් කොල්ලකෑම, දේපළ කොල්ලකෑම යනාදිය සිදුවූ බව ප්‍ර​ෙද්ශවාසීහූ පැවසූහ.   


ජනතා විමුක්ති පෙරමුණේ රහස්‍යභාවය කෙතෙක්ද කිවතොත් හැඳුනුම්පත් කොල්ලකෑමට පැමිණි අය විජේවීර බව නොදැන ඔවුන්ගේ ද හැඳුනුම්පත් කොල්ලකා ඇති බව පසුව දැනගන්න ලැබිණ.   


මේ වලව්ව ජනතා විමුක්ති පෙරමුණ මිලදී ගෙන තිබුණේ පුවත්පත් දැන්වීමක පළවූ දැන්වීමකට අනුවය. 

 
විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම බංගලාව තුළ වළද‌ා තිබූ විශාල රන් තොගයක් සොයාගත් බව එවකට සිටි රජය නිවේදනය කළේය.   


භීෂණය නිමවීමෙන් පසු මේ වලව්ව හා තේවත්ත රජයට පවරා ගනු ලැබීය.   


යුද හමුද‌ා කඳවුර ඉවත් කර ‍යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ ජාතික තරුණ සේවා සභාවට මෙය බාරදී තිබේ.   


කාමරයෙන් කාමරයට යා හැකි සේ මෙහි ඇති කළ නවීකරණය විජේවීර සිටි කාලයේ සිදු වූ ඒවා බව කියති. 

 
 තරුණ සේවා සභාව යටතේ මෙය සංචාරක නවාතැන් පොළ හා උත්සව පහසුකම් සපයන ස්ථානයක් බවට පත් කර තිබේ. 

 
ස්ථාන භාර නිලධාරියකු, මුරකරුවකු හා අරක්කැමියන් දෙදෙනෙක්ද පත් කෙරිණ.   
මෙසේ තිබියදී 2009 මාර්තු මස 17 වැනිද‌ා සුවිශේෂි සිදුවිමක් විය.   


විශ්වවිද්‍යාලයක කණ්ඩායමක් මෙහි නතර වීමට පැමිණෙන බවට ස්ථාන භාර නිලධාරියාට දුරකතන පණිවුඩයක් ලැබිණ.   
එම දුරකතන පණිවුඩය ලබා දී තිබුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු කතා කරන ලෙස කතා කරමිනි.   
ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ සේවකයෝ මෙම පිරිසගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියහ.   


රාත්‍රී 8.20ට පමණ සුදු වෑන් රියක් පැමිණියේය.   


එතැන් පටන් සිදුවූ දෙය මෙම අත්දැකීමට මුහුණදුන් සේවකයෙක් විස්තර කළේ මෙසේය.   


 වෑන් එකෙන් ආ පිරිසේ පුද්ගලයන් 5 දෙනෙක් හිටියා. අපි ඇහුවා ඇඳුම් බෑග් ගන්න ද කියලා.   
එක්කෙනෙක් කීවා සර් කුකුලා ගමු කියලා. මේගොල්ලන්ට කියලා රෝස් කරගමු කියලත් කිව්වා. 

 
එහෙම කියලා වෑන් එක ළඟට ගිහින් ටී 56 තුවක්කු අරන් අපේ ළඟට ආවා.   

 

රන් සේව් වළ

තේ වත්ත

රෝසපිපී

 

 


තොපි මරණවා කියලා කුණුහරුපෙන් බැන බැන කාර්යාලයේ යතුර ඉල්ලුවා.

   
ඊට පස්සේ අපි තුන්දෙනාගේ අත් පා බැඳලා කාමරයකට දැම්මා. එළිවෙනකල් අපි පණ බයේ ගැහී ගැහී කාමරය තුළ හිටියා.   
පසුද‌ා බලනකොට කාමරය ඇරල තිබුණා. සිමෙන්ති පොළව හාරලා තිබුණා.   


මේ කණ්ඩායමේ අය කොණ්ඩා කොටට කපලා සිටියා යැයි ද මුරකරු පවසා තිබිණ.   
මේ කණ්ඩායම කවුරුන් දැයි මෙතෙක් අනාවරණය වී නැති නමුත්, සිමෙන්ති පොළොව හාරා ඔවුන් රැගෙන ගොස් ඇත්තේ විජේවීර සිටි සමයේ සැඟ වූ බව කියන ස්වර්ණාභරණ තොගයක් බවට තවමත් රාවයක් පවතී.   


2012 පළාත් පාලන මැතිවරණ සමයේ හදිසියේම මෙම සංචාරක වලව්වට අමුත්තෙක් පැමිණ තිබේ.   


ඔහු වලව්ව පුරා ඇවිද ගොස් කාර්යාලයට පැමිණ ස්ථාන භාර නිලධාරියාගේ අසුන ඉදිරියේ තිබූ අසුනේ වාඩිවී ඇත.   


සිනා සෙමින් වට පිට බලන මේ පුද්ගලයා කවරෙක් දැයි හඳුනා ගැනීම සඳහා ස්ථාන භාර නිලධාරියාට සුළු වේලාවක් ගත වී තිබේ.   


හඳුනාගත් සැණින් මේ අපේ සෝමවංශ අමරසිංහ මහත්තයා නේ දැයි විමසා හුනස්නෙන් නැගී සිට ඇත.   


බය වෙන්න එපා. මේක මට පුරුදු තැනක්. අපි පැනගත්තා කියා සෝමවංශ අමරසිංහ මහතා හඬ නගා සිනා සී තිබේ.   


ජාතික තරුණ සේවා සභාව භාරදීමෙන් පසු මෙය අපූරුවට නඩත්තු කරයි. මේ වලව්ව දැන් සංචාරකයන්ට ලැගුම් ගත හැකි නිවහනකි. ඊට අමතරව මංගල උත්සව හා නේවාසික වැඩමුළු සඳහා සහනද‌ායී මිලකට වෙන්කර ගත හැකි බව ජාතික තරුණ සේවා සභාව පවසයි.   


විජේවීර ගිය පසු වලව්ව වටා පීදුන ලස්සන රෝසමල් අකාලයේ පරව ගිය නමුත් දැන් යළිත් මල් පිබිදී තිබේ.   


ඔබ පිළිගන්නට ඒ මල් බලා සිටී.   

 


සටහන හා ජායාරූප   
බදුල්ලේ පාලිත ආරියවංශ