ලෙනාඩ් වුල්ෆ් නැවතුණු මීගහජඳුරේ වලව්ව සොයාගිය ගමන


ක්‍රිස්තු වර්ෂ 1760 මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ලන්දේසින් හම්බන්තොටින් පලවාහැරීම සඳහා සිංහල හමුද‌ාවක් කටුවන ලන්දේසි බලකොටුවට පහරදුනි. එම සටනින් සිංහලයින් ජයගත් අතර ඒ ප්‍ර‌ීතිය නිමිත්තෙන් මහරජතුමා සටනට නායකත්වය දුන් මීගහජඳුර මහ විද‌ාන ආරච්චිගේ මුත්තා වන මුරම්පි මුදියන්සේ මහනුවර රජවාසලට කැඳවා ‘‘නල්ල පෙරුම දිසානායක නම්බුනාමය’’ හා නින්ද ගම්ද ප්‍රදානය කළේය. 
 
එමෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හම්බන්තොට උප ඒජන්තවරයකු වශයෙන් සේවය කළ ලෙනාඩ් වුල්ප් මහතා ද තම සේවා කාලය තුළ (1908-1911) හමු වූ දුප්පත් ජනතාව තලාපෙලා ශ්‍රමය සූරා නොකා ඔවුන් වහල් මෙහෙයේ නොයොද‌ා කෑම බිම ලබාදෙමින් උදව් පදව් කළ වලව්වක් ලෙස මීගහජඳුර නල්ලපෙරුම දිසානායක වලව්ව හැඳින්විය හැකියැයි 1960 වර්ෂයේ නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ පවසා ඇත.   


ඒ අනුව මීගහජඳුර නල්ලපෙරුම දිසානායක විදානආරච්චි වලව්වේ ජීවත් වූ ඇත්තන් පිළිබඳ සොයා බැලීමට මම මීගහජඳුරට ගියෙමි.  


මීගහජඳුර තුන්මං හන්දියට ගිය විට ලෙනාඩ් වුල්ප් උප ඒජන්තවරයා ගමට ගොස් නඩු ඇසූ සියඹලාගස තවමත් ජීවමානය. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රැක බලාගනිමින් සංරක්ෂණය කරන බව දන්වා නාමපුවරුද ගස පාමුල සවිකර ඇත.  


එම තුංමං හන්දියේ තිබූ කඩ පිලකට ගොඩ වූ මා ‘‘නල්ලපෙරුම දිසානායක විද‌ානාරච්චි වලව්ව පිහිටා ඇත්තේ කොහේදැයි’’ එහි සිටි ගම්වැසියෙකුගෙන් විමසීමි.  


‘‘මහත්තයෝ ඉදිරියේ දකුණුට තිබෙන පස්පාරෙන් මීටර් 700 ක් පමණ ගියාම වලව්ව තිබූ තැන හමුවෙනවා’’ යැයි ගම් වැසියා පැවසීය.  


මා එම මං සලකුණු ඔස්සේ ගිය විට මීගහජඳුර විද‌ාන ආරච්චි නල්ලපෙරුම දිසානායක වලව්ව පිහිටි බිම හමු විය. එහි වලව්වක් නොවූ අතර වලව්වේ නටබුන් පමණක් ඉතිරිව තිබිණ.  


විද‌ානාරච්චිගේ දියණියක් පදිංචිව සිටින්නේ මීගහජඳුර තුංමංහන්දිය අසල නිවසකය   

 

 

මම ඉන්පසු ඇය සොයා ගියෙමි  


නිවසේ හුදකලාව ඇය ජීවත් වූවාය. දරුවන් විවිධ රැකියාවල නියුතු වූ බැවින් හා අාවාහ විවාහ වී සිටින බැවින් ගම හැරයන්නට සිදුවී ඇත. එහෙත් දරුවන් නිතර ඇවිත් ඇය ගැන සොයා බලන බව අප සමග පැවසුවාය. ඇය කුසුමාවතී නල්ලපෙරුම දිසානායකය. එහෙත් වලව්වේ විස්තර හොඳින් දන්නේ ඇගේ සොහොයුරා ආරියද‌ාස නල්ලපෙරුම දිසානායක දැනට උතුරු තල්පිටිය, වාද්දුව පදිංචිය. හැටහත් හැවිරිදිය. හම්බන්තොට හිටපු ග්‍රාම සංවර්ධන නිලධාරියාය. විශ්‍රාමිකය. ආරියද‌ාස මහතා හඬ අවදි කරමින් මෙසේ කීය.  


නල්ලපෙරුම දිසානායක පරම්පරාවේ මුතුන්මිත්තන් මහනුවර මුල් පදිංචිය. අපේ පරම්පරා අටකට දහයකට පෙර මුත්තල තමයි කටුවන ලන්දේසි බලකොටුවට පහර දෙන්න ඇවිත් තියෙන්නේ. ඒ සටන ජයගෙන ලන්දේසීන් පරාජය කළ නිසා තමයි නල්ලපෙරුම දිසානායක නම්බුනාමය’’ අපේ පරම්පරාවේ මුතුන්මිත්තන්ට ලැබිල තියෙන්නේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී.  


පසුව අප පරම්පරාවේ අය රත්නපුර කොළොන්නේ නතර වුණා. නම්බුනාම පමණක් නොවෙයි. යුද ජයග්‍රහණයත් සමග නින්දගං පවා රජතුමාගෙන් ලැබුණා. කොලොන්න, තුංකම, සහ මාමඩල ප්‍රදේශවල රජතුමා නින්දගම් ප්‍රද‌ානය කළා.  


මේ නින්දගම් ආරවුලක් නිසා තමයි අපේ පරම්පරාවේ අයට අඟුණකොළපැලැස්සට එන්න සිද්ධ වුණේ. අපේ තාත්තා අපට කී ආකාරයට කොලොන්නේ තිබූ අපේ නින්දගමකට මඩුවන්වෙල දිසාව ආරවුලක් ඇති කර ගත්තා.  


පසුව මෙයට නඩුකියන්නත් වුණා. නඩුව තිබුණේ රත්නපුරේ. නඩු ඇසුවේ රත්නපුර මහ දිසාපති, බ්‍රිතාන්‍ය යටත් විජිත කාලෙ​ෙන. මඩුවන්වෙල දිසාවෙ එක්ක බ්‍රිතාන්‍යයින් කොහොමත් තරහයිනේ. රත්නපුරේ දිසාපතිල ගස් බැඳපු කෙනානේ. මඩුවන්වෙල දිසාව කිසිවකුට බය නැහැ. කොහොම හරි නඩු තීන්දුවෙන් ජයගත්තේ අපේ මී මුත්තෝ යැයි ආරියදාස නල්ලපෙරුම දිසානායක මහතා පැවසීය.  


නඩු පැරදුන තරහට මඩුවන්වෙල දිසාවේ අපේ පරම්පරාවේ අයගෙන් පලිගත්තා. කෙනෙහිලිකම් කළා. අපෙ අයට මඩුවන්වෙල දිසාවේ එක්ක හැප්පෙන්න බැහැ. දිසාවේ හරිම නපුරුයි. අපේ අය කොලොන්නේ ඉන්න බැරුව අාව අඟුණකොළපැලැස්ස පදිංචියට.  


කොලොන්න පදිංචිවෙලා හිටිය අපේ පරම්පරාවේ බොහෝ අය. ඒ අතරින් ලේඛන ගතව ඉන්න කිපදෙනෙක් ගැන මට මතකයි.  


‘‘ඔවුන් නම් වශයෙන් කිව්වොත්.’’  


පිළිවෙලින් කිව්වොත් නල්ලපෙරුම දිසානායක මුහන්දිරම් - නල්ලපෙරුම දිසානායක ලොකු මහතා - නල්ලපෙරුම දිසානායක අප්පුහාමි - නල්ලපෙරුම දිසානායක බාල මහතා - දොන් පේදිස් නල්ලපෙරුම දිසානායක ලොකු බණ්ඩාර වශයෙන් මුතුන් මිත්තන් අප පරම්පරාවේ හිටියා යැයි ආරියද‌ාස මහතා කීය.  


පේදිස් නල්ලපෙරුම දිසානායක මුත්තට දරුවන් තුන් දෙනෙක් හිටිය. එක් අයෙක් නල්ලපෙරුම දිසානායක ලොකු බණ්ඩාර, අනෙක් පුතා නල්ලපෙරුම දිසානායක පුංචි බණ්ඩාර. තුන්වැන්නා දොන් බස්තියන් නල්ලපෙරුම දිසානායක.  


මින් අපේ තාත්තගේ තාත්තා අපේ මී මුත්තා නල්ලපෙරුම දිසානායක පුංචි බණ්ඩාර.  


නල්ලපෙරුම දිසානායක පුංචි බණ්ඩාරගේ පුතා දොන් සාමෙල් නල්ලපෙරුම දිසානායක ඒ අපේ මුත්තා. මුත්තට හිටිය දරුවන් 4 දෙනෙක්. එක් අයෙක් තමයි අපේ තාත්තා. නම චාල්ස් දියෙස් නල්ලපෙරුම දිසානායක. අනෙක් බාප්පල දෙන්න නල්ලපෙරුම දිසානායක දයාරත්න සහ නල්ලපෙරුම දිසානායක සේනාරත්න. අනෙක් සහෝදරයා දොන් අමාරිස් නල්ලපෙරුම දිසානායක. ඔහු පැවිදිවුනා. පැවිදි නම වූයේ මීගහජඳුරේ පවර කිත්ති හිමි. කොලොන්න පුරාණ විහාරයේ විහාරාධිපති. දැන් අපවත් වෙලා.  


මින් ජීවත්ව සිටි එකම කෙනා දයාරත්න බාප්පා. මේ ළඟදී මියගියා. ජීවත් වුණේ අඟුණකොළපැලැස්ස වෙද වලව්වේ. එයාටත් රාජකාරි කරන දරුවෝ ඉන්නව. ආරියදාස මහතා පැවසීය.  


අපේ තාත්තා විවාහ වී තිබෙන්නේ වැල්ලවාය දිඹුලමුරෙන්. ඒ කියන්නේ අපේ අම්මා වැල්ලවායේ.  


අම්මාගේ නම ජයසුන්දර මුදියන්සේලාගේ සීලවතී කුමාරිහාමි, අපිට සහෝදර සහෝදරියෝ 16 යි. අක්කල දෙන්නෙක් කුඩාකල මැරුණා. මෑතක තවත් පුංචි අම්මා කෙනෙක් මියගියා. දැනට ජීවතුන් අතර 13 දෙනෙක් ඉන්නවා.  


අපේ අම්මාගේ නංගි, පුංචි අම්මා ජයසුන්දර මුදියන්සේලාගේ සෙනෙහෙලතා. ඇයට පුතාල තුනයි, දූල තුනයි.  


අම්මගේ මල්ලි ජයසුන්දර මුදියන්සේලාගේ කුමාරදාස, වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු. 1986 මාර්තු මියගියා.  


දැන් වැල්ලවායේ මන්ත්‍රීවරයා, කුමාරදාස මාමා ගේ පුතා ජයසුන්දර මුදියන්සේලාගේ කුමාරසිරි. මල්ලි මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ආරියදාස මහතා පැවසීය.  


අපේ පරම්පරාවෙන් නල්ලපෙරුම දිසානායක අඟුණකොළපැලැස්සේ සිට මීගහජඳුරට ගිය පළමු වැන්නා අපේ මුත්තා. තාත්තගේ තාත්තා, දොන් සාමෙල් නල්ලපෙරුම දිසානායක. තාත්තට කලින් විද‌ාන ආරච්චි වුණේ සාමෙල් මුත්තා.  


සාමෙල් මුන්නා විද‌ාන ආරච්චි කාලයේ ලේනාඩ් වුල්ෆ් හම්බන්තොට උප දිසාපති. මීගහජඳුරට ආවොත් අපේ වලව්වට එනව. වලව්වේ වෙනම කාමරයක් තියෙනව දිසාපතිට. වෙනම වැසිකිළින් තියෙනව. ඒ වගේම සුදු මහත්වරු දඩයමේ යන්න අාවත් නවතින්නේ අපේ වලව්වේ. දඩයමේ යන්නේ සාමෙල් මුත්ත එක්ක. අපේ තාත්තා තමයි මේවා කිව්වේ.  

 

 

සාමෙල් මුත්තා විද‌ාන ආරච්චි වුණාට දුප්පත් මිනිස්සු තලාපෙලා වැඩ ගත්තේ නැහැ. දුප්පත් මිනිස්සු වහල් මෙහෙයේ යොද‌ාගත්තේ නැහැ. නියං කාලේට කුරහන් සහ වෙනත් ධාන්‍ය වර්ග දුප්පත් මිනිසුන්ට දුන්නා. ඔවුන්ගේ දුක සැප සෙව්වා බැලුවා. අපේ මුත්තා ගැන මෙහෙම කියල තියෙන්නේ ලෙනාඩ් වුල්ෆ් උපදිසාපති තුමා.   


1960 නැවත ලංකාවට අාපු වේලාවේ කියල තියෙන්නේ. ලෙනාඩ් වුල්ෆ් ගේ ඒ ගමනේදී අපේ ගම මීගහජඳුරට ඇවිත් සංචාරය කරල අපේ ගෙදර (වලව්වේ) රාත්‍රී නවාතැන් ගෙන තියෙන්නේ. රාත්‍රි 12.00ට පමණ වෙනතෙක් කතා කර කර ඉඳල තියෙනව. බැද්දේගම සිළිඳු ගැනත් කතා කරල තියෙනව.  


දොන් සාමෙල් නල්ලපෙරුම දිසානායක විද‌ාන ආරච්චි මුත්තාගෙන් පසු විදානආරච්චි වුණේ අපේ තාත්තා.  


චාල්ස් දියෙස් නල්ලපෙරුම දිසානායක තාත්තාගේ නම. උපන්නේ අඟුණකොළපැලැස්ස මුලනගොඩ ගමේ. 1909 ජූලි 29 වැනිද‌ා උපන්නේ.  


උපන්නේ අඟුණකොළපැලැස්සේ වලව්වේ වුණාට පදිංචිය මීගහජඳුරේ. තාත්තට විද‌ාන ආරච්චි කම ලැබුණේ. 1929 ජනවාරි මාසයේ.  


විද‌ාන ආරච්චිකම දී තිබෙන්නේ දකුණු පළාතට හිටි මහ දිසාපති (ආණ්ඩුවේ ඒජන්ත) මැක්ස්වල් මැක්ලංගන් වැන්ලන්බර්ග් මහතා. තාත්තා ඉගෙන ගෙන තිබෙන්නේ ගාල්ලේ කතෝලික පාසලක. 7 වැනි ශ්‍රේණිය සමත්.   
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය දීපු විද‌ාන ආරච්චි තනතුර අහෝසි කළේ 1946 දී. එතෙක් විද‌ාන ආරච්චි තනතුරේ අවුරුදු 17 ක් හිටිය.  


මීට අමතරව තාත්තා උප්පැන්න විවාහ රෙජිස්ටාර් තනතුරත්, කොරනෙල් (හදිසි මරණ පරීක්ෂක) තනතුරත් දරල තියෙනව.  


විද‌ාන ආරච්චි තනතුර අහෝසියත් සමග තාත්තා වීරවිල ගම්කාරක සභාවට තරග කරල එහි සභාපති වුණා. එක අවස්ථාවයි සභාපති ධුරයේ හිටියේ.  


නල්ලපෙරුම දිසානායක පරම්පරාව වෙද පරම්පරාවක්. අපේ ගෙදර වෙදකම් ගැන මහා පුස්කොළ පොත් මිටියක් තියෙනව. මගේ වාද්දුවේ ගෙදරත් ටිකක් තියෙනව.  


තාත්තල සර්වාංග වෛද්‍යවරුන්. ඊට අමතරව පශු වෛද්‍ය කමත් කර තිබෙනව. ඒ පුස්කොළ පොත් තාම තියෙනව මා ළඟ.  


මේ අතරේ තමයි සාමෙල් විද‌ාන ආරච්චි මුත්තගේ නෝනගේ තාත්තා එයාගේ මාමා අසනීප වෙලා තියෙන්නේ. ඒ අය තමයි අපේ පරම්පරාවට කලින් විද‌ාන ආරච්චි කම කර තිබෙන්නේ.


මීගහජඳුර මුල් පදිංචිකාර සාමෙල් මුත්තගෙ මාමට කියන්නේ සෙනරත් රත්නායක කියල. සෙනරත් රත්නායකල තමා කලින් විදාන ආරච්චිකම දරල තියෙන්නේ.


මං කලින් කිව්වා හිටපු විදානාරච්චි සෙනරත් රත්නායක මහතාට.  

 

 


මතු සම්බන්ධයි  

 

 

 


සටහන හා ඡායාරූප  
අම්බලන්තොට විශේෂ - ඩී.ජී. ජයසුන්දර