මානසික ආතතියෙන් සිදුවූ මරණයක අභිරහසක්


මළවුන්ගේ අනාවරණ 

 

නෙවිල් නිවසට එනවිට අලුයම වන්නට ඇත. ඒ එනවිට ඔහුගේ තරුණ බිරිඳ කවීෂා මේසයට හිස තබාගෙනම මියගොස් සිටි බව දැක විමතියට පත්විය. ඔහු සිය ඥාතීන්ට දුරකථනයෙන් ඒ බව දැනුම් දුන්නේය. ඥාතීන් විසින් මේ බව පොලිසියට ද දැනුම් දෙන ලද නිසා එළිය වැටෙද්දීම නෙවිල්ගේ නිවසට පොලිසියෙන් ද පැමිණ පරීක්ෂණ ඇරඹීය.   

නෙවිල් පවසන පරිදි කවීෂාට කිසිඳු නිධන්ගත රෝගයක් තිබුණේ නැත. එදින ඇය කිසියම් රෝගයකින් පසුවී ද නැත. එසේ නම් ඇය මියගියේ කෙසේද? පොලිසිය කරන ලද පරීක්ෂණවලදී පුටු පෙරළී මල්පෝච්චි බිඳී තිබෙනු දැකිය හැකි විය. ඒ අනුව මෙහි යම් කිසි ගැටුමක් සිදුව ඇති බව පොලිසියේ නිගමනය විය. කවීෂාගේ පවුලේ ඥාතීන් ද මේ දෙදෙනා අතර නිතර ගැටුම් තිබූ බව පොලිසියට පවසා තිබේ. ඒ අනුව නෙවිල් කෙරෙහි පොලිසියේ සැකයේ දෑස් එල්ල විය.   


 පොලිසිය විසින් නෙවිල්ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගනු ලැබිණ. එහිදී හෙළි වූ තොරතුරු අනුව නෙවිල් හිටපු පොලිස් සාජන්ට්වරයෙකි. ඔහුගේ පළමු බිරිඳ මියගොසිනි. ඇය මියගොස් වසර කීපයකට පසු නෙවිල් දෙවන විවාහයක් කරගත්තේ දරුවන්ද විවාහ පත් වූ පසුවය. විවාහ වූ පසු දරුවෝ ඔවුන්ගෙන් වෙන්ව වෙනම පදිංචියට ගියහ. නෙවිල් යුවළ මුල් කාලයේදී සතුටින් කාලය ගත කළත් පසුව දේපළ ආරවුලක් මත ඔවුන් අතර මතභේදයක් හට ගැනිණ.   


 නෙවිල් විවාහ වී තිබුණේ උඩරට නීතියට අනුවය. ඒ නිසා ජීවත්ව සිටියදී වෙනත් පුද්ගලයෙකුට විශේෂයෙන් ලියනු නොලැබුවහොත් ඔහු මියගිය පසු සියලු දේපළ අයත් වන්නේ දරුවන්ටය. බිරිඳට මිය යන තුරු එම දේපළ භුක්ති විඳිය හැකි නමුත් අයිති වන්නේ නැත. ඒ නිසා ඒවා විකිණීමට හෝ බදුදීමට හෝ එවැනි නීතිමය කටයුතුවල වගකීමක් දැරීමට ඇයට නොහැකිය.   


කවීෂා තවමත් තරුණය. නෙවිල් ඇයට වඩා බෙහෙවින් වයසෙන් වැඩිය. තමන්ට පෙර නෙවිල් මියගියහොත් නෙවිල්ගේ දරුවන් ඇයට කෙසේ සලකනු ඇතිද යන ප්‍රශ්නයක් ඇයට දිගින් දිගටම මතුවිය. ඒ නිසා නෙවිල්ගෙන් පසු තමන්ගේ ජීවිතය අනාරක්ෂිත වන බවක් ඇයට හැඟිණ. නෙවිල්ගෙන් පසු දේපළවල අයිතිය තමන්ට ලැබෙන පරිදි නීතිමය කටයුතු සිදුකරන ලෙස කවීෂා සිය සැමියාට ඇවිටිලි කළාය.   
එහෙත් නෙවිල් එයට එකඟ වූයේ නැත. මේ ඇවිටිල්ල දබරයක් දක්වා කෙමෙන් කෙමෙන් දුරදිග ගියේය. කවීෂා මියගිය දිනයේ රාත්‍රියේ ද දෙදෙනා අතර මේ දේපළ ප්‍රශ්නය මතු වී දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් ද සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.   


 මේ අතර මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදුකෙරිණ. දිස්ත්‍රික් අධිකරණ වෛද්‍යවරයා සිරුර බාහිරින් පරීක්ෂා කළේය. කිසිදු බාහිර තුවාලයක් නැත. ඉන්පසු සිරුර කපා පරීක්ෂා කිරීම ඇරඹූවේය. ශරීර අභ්‍යන්තරයේද කිසිඳු තුවාලයක් කිසිම අවයවයකට සිදුවූ හානියක් දක්නට ලැබුණේ නැත. මරණයට හේතු නොදක්වා විවෘත තීන්දුවක් දුන් අධිකරණ වෛද්‍යවරයා අභ්‍යන්තර අවයවවල පටක කොටස් කීපයක් හා අවයව තමන් භාරයේ තබාගෙන සිරුර අවසන් කටයුතු සඳහා මුදාහැරියේය.   


 වසක් විසක් ශරීර ගත වී ඇත්දැයි පරීක්ෂා කළ ද එවැනි දෙයක් ද තහවුරු කළ හැකි කිසිවක් හමුවූයේ නැත. ඉන්පසු පටක කොටස් අන්වීක්ෂීය පරීක්ෂාවට ලක් කළද ඵලදායී යමක් හමුවූයේ නැත. මේ නිසා විද්‍යානුකූලව යමක් සොයා ගැනීමට වෛද්‍යවරයාට නොහැකි විය. නෙවිල්ගේ පවුල් පසුබිමේ ගැටුම ඔහුගේ හරහට හිටියේ මේ අවස්ථාවේදීය. කිසිම බාහිර හෝ අභ්‍යන්තර තුවාලයක් සිදුනොවන පරිදි මිනීමැරුමක් සිදුකළ හැකි ක්‍රමයක් වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය සිදුකළ නොහැකි පරිදි සුළු වේලාවක් නාසය හා මුඛය තදකරගෙන සිටීමෙන් බව වෛද්‍යවරයාට සිහිපත් විය. ඔහු ඒ මත පිහිටා සිට නිගමනය අධිකරණයට දැනුම් දුන්නේය.   
 එම නිගමනය අනුව යමින් නෙවිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සියලු සාක්ෂි ඔහුගේ හරහට සිටියේය. නෙවිල් අධිකරණයේදී ජූරි සභාවක් හමුවේ සිදුවූ සියල්ල හෙළි කළේය.   


 “එදා අපි දෙන්නා අතර ගැටුමක් ඇති වුණ බව ඇත්ත. හැමදාමත් වගේ කවීෂා මගෙන් පස්සේ එයාට දේපළ අයිතිවන විදිහට ලියන්න කියලා ඉල්ලුවා. මම ඒකට එකඟ නොවුණාම ඇය මාත් සමඟ රණ්ඩු කළා. මම කිසි දවසක නොකළ දෙයක් එදා කළා. එයාගේ කම්මුලට පාරක් ගැහුවා. එයින් තදබල විදිහට කෝපයට පත්වූ කවීෂා ද මට පහර දුන්නා. අතට අහුවෙන අහුවෙන දේවල්වලින් මට ගැහුවා. ඊට පස්සේ එයා මේසයට ඔළුව තියාගෙන අඬන්න පටන් ගත්තා. කේන්තිය වැඩිකමට මම එළියට බැහැලා තානායමට ගිහින් සෑහෙන වෙලාවක් එහි ගත කළා.”   


 “ඔබ ඒ මුළු කාලයේම මත්පැන් පානය කළා.?”   


 “මම තරමක් බිව්වා.”   


 “හරි.. ඉතිරි ටික කියන්න.”   


 “මම ආපහු ආවේ එළිවෙන පාන්දර දෙකට විතර. ඒ එනකොටත් කවීෂා මේසයට ඔළුව තියාගෙනම හිටියා. ඒ වෙලාවේ මට ඇය ගැන දුක හිතුණා. එයාගේ ඔළුව අතගාලා වෙච්ච දේට සමාවෙන්න කියලා ඉල්ලුවා. ඒත් එයා කිසිම සද්දයක් නැහැ. මම හිතුවා නින්ද ගිහින් කියලා. ඒ නිසා එයාව ඇඳට එක්ක යන්න හිතාගෙන අතින් අල්ලලා නැගිට්ටුවන්න හැදුවා.   


අත ඇල්ලුවාම මට අමුත්තක් දැනුණා. ඒක හරිම සීතලයි. එයාගේ මුළු ඇඟම සීතලවෙලා කියලා මට දැනුණා. මම එයාව හෙලෙව්වා. ඒත් එය දරදඬු වෙලා. මට තේරුණා එයා මියගිහින් කියලා. ඒත් මට ඒක අදහගන්න බැරි වුණා. එයාට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. එයා මොනවත් බිව්වා කියලා හිතන්න පුළුවන් කිසිම දෙයක් ඒ අහල පහලක තිබුණෙත් නැහැ.   


 මේක කියන්නේ කාටද? මොනවද කරන්නේ කිසිම දෙයක් හිතාගන්න බැරුව මම ටික වෙලාවක් එයාව බදාගෙන අඬ අඬා එතනට වෙලා හිටියා. ඒක කොච්චර වෙලාවක්ද කියලා මට මතකයක් නැහැ. ඊට පස්සේ මම මගේ සහෝදරයාට කිව්වා. එයා හිටියේ අපේ ගෙවල්වලටත් කිට්ටුවෙන්. එයා ඇවිත් බලලා කවීෂාගේ ගෙදර අයටත් අපේ පවුලේ අනෙක් ඥතීන්ටත් කිව්වා. මල්ලි තමයි පොලිසියටත් කෝල් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වෙලාවේ එන්න පුළුවන් වුණ ඥාතීන් හැමෝම ආවා. පොලිසියෙනුත් ආවා.”   


 මේ ප්‍රකාශයෙන් පසු ඔහුගෙන් හරස් ප්‍රශ්න රාශියක් අසනු ලැබිණ. ඒ සියල්ලට ඔහු දුන් පිළිතුරු ද අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව ද පදනම් කරගනිමින් ඔහුට තීන්දුවක් ලැබිණ. ඒ තීන්දුව අනුව ඔහු මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවා බවට පත්වූ අතර වසර විස්සක සිරදඬුවමකට යටත් කෙරිණ. එයින් නෙවිල් බරපතළ ලෙස කම්පනයට පත්විය. තමන් මෙවැනි දෙයක් කිසිසේත් නොකළ බව ඔහු තීන්දුවෙන් පසුව ද ප්‍රකාශයක් කරමින් හැඬූ කඳුළෙන් යුතුව පැවසුවේය. එහෙත් තීන්දුව වෙනස් නොවිණ. ඔහුගේ සහෝදරයා මැදිහත් වී ජනාධිපති නීතිඥයෙකු මගින් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.   


 අභියාචනය ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥයා මෙම නඩු වාර්තාව අධ්‍යයනය කරන විට එහි දුර්වල තැන් හමුවිය. ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව සම්පූර්ණයෙන්ම වෛද්‍ය සාක්ෂි මත පමණක් පදනම්ව තීරණය ගෙන තිබීම නිසා ඒ දුර්වල තැනින් රිංගා ගොස් තම සේවාදායකයා බේරාගැනීමට හැකි වනු ඇතැයි නීතිඥවරයා විශ්වාසය කළේය. ඒ නිසා ඔහු අධිකරණයේදී මෙම වෛද්‍ය සාක්ෂිය අභියෝගයට ලක් කරන්නට සිතුවේය. ඒ අනුව ඔහු එම වෛද්‍ය සාක්ෂි අධිකරණ වෛද්‍ය විශේෂඥයකු ලවා පරීක්ෂා කරවීමට අවසර ඉල්ලා සිටියේය. අධිකරණයෙන් ඊට අවසර ලැබිණ.   


 එම තීන්දුව අනුව කවීෂාගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙත භාරකෙරිණ. ඔහු පළමුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සතුව තිබූ සියලු වාර්තා ගෙන්වා ගත්තේය. ඡායාරූප, අන්වීක්ෂීය පටක කදා සහ පටක කොටස් සියල්ල ද ගෙන්වා ගත්තේය. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් මෙම තොරතුරු සියල්ල මුල සිට අගට නැවත පිරික්සන ලදී. මුල් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ හෝ ඡායාරූපවල සැලකිය යුතු දෙයක් නොවූයෙන් අන්වීක්ෂීය පටක කදා වෙත අවධානය යොමු කරනු ලැබිණ.   


 වකුගඩු හා අක්මාවෙන් ලබාගත් පටක කොටස්වලින් සැදුම්ලත් අන්වික්ෂීය කදාවල වෙනසක් ඔහු දුටුවේය. මේ පටකවල පිහිටි කුඩා රුධිර නාළවල ඇමිලොයිඩ් නම් ද්‍රව්‍යයක් තැන්පත්ව ඇති බව එහිදි නීරීක්ෂණය විය. ඇමිලොයිඩ් යනු ශරීර පටකවල පරිවෘත්තීය ක්‍රියාවලියේදී ඇතිවන අසාමාන්‍යතාවක් නිසා ස්වභාවිකව හටගන්නා රසායනික ද්‍රව්‍යයකි. සෑම පුද්ගලයෙකු තුළම එලෙස ඇමිලොයිඩ් නිපදවෙන්නේ නැති අතර ජානමය ලක්ෂණ එයට බලපානු ලැබේ. ඇමිලොයිඩ් අධික ලෙස රුධිර නාළවල තැන්පත් වීමෙන් එහි බිත්ති දුර්වල කරනු ඇත. එවැනි තත්ත්වයකදී යම් ආකාරයකින් රුධිර පීඩනය වැඩි වුවහොත් බිත්ති පුපුරා පිටතට ලේ ගැලීමට ඉඩ තිබේ. ඒ තත්ත්වය එක්වරම හඳුනාගන්නට නොහැකි වුවහොත් මරණය පවා සිදුවිය හැකිය.

   
 නිරෝගී පුද්ගලයකු හදිසියේ කිසිම රෝගී තත්ත්වයක් නොපෙන්වා ක්ෂණිකව මරණයට පත්වීමට හෘදයේ සිදුවන වෙනස්කම් බලපානු ඇත. එවැනි තත්ත්වයක් කවීෂාගේ හෘදය වස්තුවෙන් සොයා ගැනීමට හැකි වේද? ඇගේ රුධිර නාළවල අසාමාන්‍ය ලෙස තැන්පත් වුණ ඇමිලොයිඩ් රසායනික අනුව කල්පනා කළහොත් කවීෂාගේ හෘදය වස්තු​ෙව් පටකවලින් යම් හෝඩුවාවක් සොයාගැනීමට හැකි වනු ඇතැයි වෛද්‍ය විශේෂඥවරයා කල්පනා කළේය.   


 ඒ අනුව හෘදය වස්තුවේ පටක පරීක්ෂාව ඇරඹීය. එක් අන්වීක්ෂීය පටක කදාවක කෙළවරම රුධිර නාළිකාවක බිත්තිය ඉරීගොස් ඇති අයුරු දැකගත හැකි විය. එයින් රුධිරය ගලාගොස් තිබෙන ආකාරයක්ද දැකිය හැකි විය. එයින් සෑහීමකට පත් නොවූ වෛද්‍යවරයා කවීෂාගේ හෘදය වස්තුවෙන් ලබාගත් පටකවලින් පටක කදා තිහකට අධික ප්‍රමාණයක් සාදා ගත්තේය. පසුව ඒවා එකිනෙක පරීක්ෂා කළේය. පෙර කදාවේදී දුටු රුධිර නාළිකා බිත්ති ඉරීයාම හා එයින් රුධිරය ගලායාම දිගටම දැකිය හැකි විය. ඉන්පසු එම පටක කොටස් කොන්ගො රෙඩ් නම් විශේෂ වර්ණකයකින් වර්ණ ගැන්වීය. මෙම වර්ණකය සමඟ ඇමිලොයිඩ් හොඳින් වර්ණ ගැන්වෙන නිසා ඒවා මෙම රුධිර නාළිකාවේ තැන්පත්ව තිබේද? යන්න සොයාගැනීම වෛද්‍ය විශේෂඥවරයාගේ බලපොරොත්තුව විය.   


 එම බලපොරොත්තුව මල්ඵල ගැනිණ. හෘදය වස්තුවෙන් ලබාගත් මෙම පටක කැබැලිවල තිබූ රුධිර නාළිකාවල අධික ලෙස ඇමිලොයිඩ් තැන්පත්ව ඇති බව සිදුකළ පරීක්ෂණයේදී තහවුරු විය. ඇමිලොයිඩ් රුධිර නාළවල තැන්පත්වීමෙන් පෙර සඳහන් කළා සේම රුධිර නාළ බිත්ති දුර්වල වේ. එවිට මානසික ආතතිය වැඩි වන අවස්ථාවකදී රුධිර පීඩනය වැඩිවීමෙන් දුර්වල වූ රුධිර නාළ ඉරී යා හැකිය. ඉහත පරීක්ෂා කළ පටක කදාවලින් දක්නට ලැබුණේ එලෙස ඉරී ගිය රුධිර නාළිකාවල තත්ත්වය වේ. හෘදය වස්තුවේ සිදුවන මෙවැනි රුධිර නාළ ඉරීයාමක් මරණීය විය හැකිය. කවීෂාගේ පටක කදා පරීක්ෂාවේදී හෘදය වස්තුවේ රුධිර නාළයක් ඉරී ඒ ආශ්‍රිතව රුධිර කැටියක් ඇති වී තිබෙන බවත් ඒ නිසා සාමාන්‍ය රුධිර ගමන ක්ෂණිකව අවහිර වී ඇති බවත් නිරීක්ෂණය කළ වෛද්‍යවරයා ඒ බව අධිකරණයේදී පැහැදිලි කළේය.   


 කවීෂා හා නෙවිල් අතර ඇති වුණ ප්‍රශ්නයෙන් පසු ඇය අධික ලෙස හැඬීම නිසාත් ඇය මානසික වශයෙන් පීඩාවට පත්වීමත් නිසා රුධිර නාළ තුළ පීඩනය වැඩිවීමෙන් ඇමිලොයිඩ් නිසා දුර්වල වූ රුධිර නාළ ඉරීයාම වේගවත්ව සිදුව ඇති බවත්, එක් රුධිර නාළයක හෝ සිදුවන අවහිරවීමත් හෘදය වස්තුවේ එක කොටසකට රුධිර සැපයුම අඩාළ කර එහි පටක මිය යාමකට ඉඩ සලසනු ඇති බවත් පෙන්වා දුන්නේය. එවිට හෘදය වස්තුවේ ස්පන්දනය අඩාළ වී අදාළ පුද්ගලයා ක්ෂණිකව මරණයට පත් කරනු ඇත. කවීෂාගේ ක්ෂණික මරණයට හේතු වී තිබෙන්නේද එම තත්ත්වය බව අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අධිකරණය හමුවේ පැහැදිලි කර දුන්නේය.   


 පළමු වතාවේ ඉදිරිපත් කළ වෛද්‍ය මතයට වඩා මෙහි තර්කානුකූල බවක් තිබූ බැවින් අභියාචනාධිකරණය එය පිළිගනිමින් කවීෂාගේ මරණය ඇගේ රෝගී තත්ත්වයක් මත සිදුවූවක් බව තීරණය කර මිනීමැරුම් චෝදනාවලින් නෙවිල් නිදොස් කොට නිදහස් කරනු ලැබිණ. වෛද්‍ය සාක්ෂි නිවැරදිව අර්ථ නිරූපණය නොකළහොත් නෙවිල්ට අත්වූවා සේ වැරදි තීන්දුවක් ලැබිය හැකි වනු ඇත. ඇතැම්විට එවැනි සාක්ෂි මත පදනම්ව එල්ලා මැරීමේ තීන්දුවක් වුව ලැබිය හැකිය. ඔහු අභියාචනයක් නොකළේ නම් එයට ඔහුට ශක්තියක් නොවුණේ නම් නිරපරාදේ වරදක් නොකළ කෙනෙකු මරණ දණ්ඩනයට යටත් වනු ඇත. එය බරපතළ වරදකි. 

 

 

 
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න)   

 

 


මුදිතා දයානන්ද