මල්වානේ රඹුටන් මෙතරම් රස ඇයි ?


 

 

 

  • සිංහලයන් වඳ කරන්න පෘතුගීසින් රඹුටන් වගා කළා කියා එකල ප්‍රචාරය වුණා
  • සමහරු මල්වානේ සම්ප්‍රදායික රඹුටන් ගස් කපලා අලුත් වර්ග සිටුවනවා
  • අක්කර දෙකේ ඉඩමෙන් ලක්ෂ දහයක ආදායමක්

 

 

​මේ රඹුටන් වාරයයි. සෑම වසරකම ජුලි සහ අගෝස්තු මාසවල දී රඹුටන් වාරය ආරම්භ වෙයි. එහෙත් වසරේ වෙනත් කාලයන්හි දී ද තැනින් තැන රඹුටන් අලෙවි කරන තැන් ද නැතුවා නොවේ. ඒ අවාරයේ ගස්වල හටගන්නා රඹුටන් පලද‌ාවයි.   


රඹුටන් ගැන කතා කරන විට නිතැතින්ම සිහිවන්නේ මල්වාන හා ඒ අවට ප්‍රදේශයයි. මල්වානේ පැණි රඹුටන් ලෙස සඳහන් කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල රඹුටන් අලෙවි කරති. රඹුටන්වලට මල්වාන ප්‍රසිද්ධව ඇත්තේ එම ප්‍රදේශයේ ඇති පසේ ඇති සරුසාරභාවය නිසාය. මල්වාන ප්‍රදේශයේ බොහෝ දෙනකු සිය දෛනික ජීවිතය ගෙන යන්නේ රඹුටන් වගාවෙනි. ඇතැම් අය සුලුවෙන් රඹුටන් වගා කළ ද ඇතැමුන් මහා පරිමාණයෙන් රඹුටන් වගාවේ නිරතව සිටිති.   


රඹුටන් ලංකාවට පැමිණීම පිළිබඳව විවිධ මත ජනප්‍රවාදයේ පවතියි. පෘතුගීසි යුගයේදී ලංකාවට රඹුටන් පැමිණි බව ද සඳහන් වෙයි. සිංහලයන් වඳ කිරීමේ අරමුණින් මෙසේ රඹුටන් පෘතුගීසින් විසින් ලංකාවේ ව්‍යාප්ත කළ බවට ද මතයක් පවතියි. එහෙත් එය සිංහලයන් අතර ජනප්‍රිය පලතුරක් ලෙස ප්‍රචලිත විය.   


ඕලන්ද ජාතිකයන් විසින් මැලේසියාවෙන් ලංකාවට රඹුටන් ගෙන ආ බවට තවත් මතයකි. ඕලන්ද ජාතිකයන්ගේ පෙරදිග පෙදෙස්වල වෙළෙඳ මධ්‍යස්ථානය තිබුණේ බතාවිය යයි සඳහන් ස්ථානයේය. මේ නිසා මැලේසියාවෙන් රඹුටන් පැමිණි බව ද තවත් මතයක් පවතියි.   


තවත් මතයක් වෙන්නේ ‘රැමිටන්’ නම් නැව් කපිතාන්වරයා සියනෑ කෝරළේ මුදලිවලව්වට මුලින්ම පලතුරු වර්ගයක් ගෙන ආ නිසා රඹුටන් යන නම ලැබුණු බවයි. මෙලෙස රඹුටන් ලංකාවට පැමිණීමෙන් පසු සිය මව්බිම වශයෙන් තෝරගත්තේ මල්වාන ප්‍රදේශයයි. මැලේසියාකරයේ සහ ඒ අවට ඇත්තේ බද්ධ කරන ලද රඹුටන් වර්ග පමණි. තායිලන්තයේ රඹුටන් නැතත් අද එහි ඇත්තේ බද්ධ කරන ලද රඹුටන් වර්ග පමණි. මැලේසියානු රඹුටන්වලට වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇත. දුටුවන් සිත් ඇද ගන්නා මැලේසියානු රඹුටන් වර්ගය මල්වාන පුරාම දක්නට ලැබේ.   


අද මල්වානේ රඹුටන් වර්ග කිහිපයක්ම දැකිය හැක. නවීන සොයා ගැනීම් අනුව ඉස්තරම්ම රඹුටන් වර්ගය ලෙස සැලකෙන්නේ ‘මල්වාන ස්පෙෂල්’ නම් වර්ගයයි. එහි විශේෂත්වය වන්නේ මැලේසියන් වර්ගය මෙන් විශාලත්වය ඇති වීමට අමතරව ඊට වඩා ප්‍රනීත රසයෙන් යුක්ත වීමයි. ‘මල්වාන ස්පෙෂල්’ වර්ගය කෘෂිකර්මාන්ත පර්යේෂණවල නවතම සොයා ගැනීමකි. එහෙත් කුඩාවට සෑදෙන එතරම් වර්ණවත් නැති මල්වාන රඹුටන් වර්ග රසයෙන් වැඩිය. මස් ගැලවීමත්, ආකර්ශනීය පෙනුමත් නිසා මැලේෂියන් හා මල්වාන ස්පෙෂල් රඹුටන්වලට ඉල්ලුම වැඩිය.   


මල්වාන සාම්ප්‍රදායික රඹුටන් ගස් කපා දමා ජනප්‍රිය රඹුටන් වර්ග වගා කිරීමට සමහර වගාකරුවෝ පෙළඹ සිටිති. මල්වානේ සාම්ප්‍රදායිකව ඇති මෙම රඹුටන්වලට මල්වානේ ගැමියන් ව්‍යවහාර කරන්නේ වල් රඹුටන් කියායි. මෙම වල් රඹුටන් ගසක ආයු කාලය අවුරුදු 60-70ක් පමණ වෙයි. ඉක්මනින් වැවෙන, ඉක්මනින් මැරෙන ‘බට්’ රඹුටන් ගස් පලද‌ාව අඩුය. අවුරුදු දෙකෙන් තුනෙන් පල දරන බට් රඹුටන් ගසේ ආයු කාලය අවුරුදු 15ක් පමණ වෙයි.   


මල්වානේ රඹුටන් වගාව සහ ඒ සඳහා ගොවීන් සහ ගැනුම්කරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා අපි පසුගියද‌ා මල්වාන ප්‍රදේශයේ චාරිකාවක නිරත වීමු. සෑම තැනකම දැකිය හැක්කේ රතු පාට විදුලි බුබුලු මෙන් ඈතට දිස්වෙන රඹුටන් පලද‌ාවයි.   


මල්වාන පහළ මාපිටිගම පදිංචි එන්. නිහාල් ගුණරත්න මහතා අප සමඟ සම්බන්ධ වෙමින්,  


“මගේ උපන් ගම තමයි මල්වාන. මල්වාන ප්‍රදේශය රඹුටන්වලට ප්‍රසිද්ධියක් උසුලන්නේ මේ ප්‍රදේශයේ පසේ තිබෙන සාරවත් බව නිසයි. අපේ තාත්තලගේ කාලයේ ඉඳදලා තමයි මේ පසේ සාරවත් බව පිළිබඳ ප්‍රකාශ වෙන්නේ. මෙහෙ ප්‍රදේශයට ආවේනික ‘මල්වාන ස්පෙෂල්’ වර්ගයේ රඹුටන් තමයි වගා කරලා තිබෙන්නේ. ඒක මල්වානටම ආවේනික වූ වර්ගයක්. ඒ රඹුටන්වල වෙනස තමයි හොඳ රසයක් තිබෙනවා. ගහත් හොඳට හැදෙනවා. ඉස්සර තිබුණේ වල් රඹුටන් කියලා වර්ගයක්. දැන් ඒක නැහැ. දැන් තිබෙන්නේ බට් රඹුටන් කියන වර්ගය තමයි. මේ ප්‍රදේශයේ අක්කර 10ක් 15ක් වගේ ප්‍රමාණයක රඹුටන් වගා කරන අය ඉන්නවා.   


දැන් මැලේෂියන් රඹුටන් කියලා වර්ගයකුත් තිබෙනවා. ඒ රඹුටන් ගෙඩිය ටිකක් ලොකුයි. ඒක ලංකාවට ආවේනික එකක් නොවෙයි. ‘මල්වාන ස්පෙෂල්’ කියන එක තමයි මෙහෙට ආවේනික රඹුටන් වර්ගය වෙන්නේ. මල්වාන ප්‍රදේශයෙන් පිට කළුඅග්ගල, කහහේන වගේ ප්‍රදේශවලත් රඹුටන් වගා කෙරෙනවා. නමුත් රඹුටන්වලට ප්‍රසිද්ධියක් උසුලන්නේ මල්වානයි. ඉස්සර ඉදලා ජුනි, ජුලි, අගොස්තු වගේ කාලවලදී තමයි රඹුටන් පලදාව හටගන්නේ. දැන් අවාරයට රඹුටන් හැදෙනවා. පායලා ඒ අතරතුර වැස්සක් වැහැපුවාම නැවත මල් හට ගන්නවා. අන්න එතකොට තමයි අවාරයට රඹුටන් හැදෙන්නේ. නියම රඹුටන් වාරය තමයි මේ දවස්වල තිබෙන්නේ.   

 

 

රඹුටන් අලෙවි කිරීමට සැරසෙමින්

රඹුටන් පලදාව නෙළමින්

ඩිල්කි සත්සරණි

 

 

 

මේ වසරේ පලද‌ාව ටිකක් අඩුයි. ඒකට ප්‍රධාන හේතුව තමයි දේශගුණය වෙනස් වීම. හොඳම මල් එන කොට පායලා ඉවර වෙලා හොඳට වැස්සක් ලැබුණාම හොද පලද‌ාවක් තිබෙනවා. ඉස්සර වෙළෙඳපොළේ රඹුටන් ගෙඩියක් රුපියල් 8ක් වගේ මිලකට ඉහළ ගියා. දැන් රුපියල් 3.50යි 4.00ත් වගේ මිලකට තමයි රඹුටන් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ. අපි ළඟට වෙළෙන්දන් එනවා. ඒ ගොල්ලෝ ඇවිල්ලා බලලා කරලා අපට මෙච්චර ඕනෑ, මෙච්චර ඕනෑ කියලා කියනවා. පංගුවක් අය ඇවිල්ලා ඒගොල්ලොම කඩාගන්නවා. අපිත් කඩලා දෙනවා. ගෙඩි ගණනට තමයි අපෙන් මිලදී ගන්නේ. ගෙඩි 4000-5000ක් වගේ අරගෙන යන අයත් ඉන්නවා. සිල්ලරටත් දෙනවා. ඔවුන් ඇවිත් රඹුටන් 500ක් 1000ක් වගේ අරගෙන යනවා. වෙළෙන්ද‌ා තමයි සාමාන්‍යයෙන් වැඩි මුදලක් උපයා ගන්නේ. මේක පරිස්සම් කරන්න ගියාම තමයි වෙහෙසක් ගන්නේ. රෑට වවුල්ලු එනවනේ. වවුල්ලු වර්ග 2ක් ඉන්නවා. මාවවුල්ලෝ කියලා කොටසක් එනවා. ඇට වවුලෝ කියලා තවත් පිරිසක් එනවා. ඒ ඇට වුවලෝ රෑනකට 100-200ක් වගේ පිරිසක් එනවා. උන් ටකය ගැහුවට යන්නේ නැහැ. දුම ගහන්න ඕනෑ. පොල් රොඩු එකතු කරලා දුම ගහනකොට තමයි උන් යන්නේ. දවස ගානේ රෑ එළිවෙනකම් නිදි මරන්න ඕනෑ. රෑ 12 වෙනකම් කට්ටියක් ඉන්නවා. 12න් පස්සේ තව කට්ටියක් ඉන්නවා. කොතරම් මහන්සි උනත් ආද‌ායම් නැති අවස්ථාත් තිබෙනවා.”  


මල්වාන සමනබැද්දේ පදිංචි ලලිතා කුමාරපේලි මහත්මිය අදහස් දක්වමින්,  


“මේ පාර රඹුටන් පලදාව ටිකක් අඩුයි. වෙන වාරවලට වඩා ටිකක් අඩුයි. හේතුව තමයි වැස්ස හරි හැටි ලැබුණේ නැහැ. ඊට පස්සේ නැවත වැස්ස ලැබුණාම මල් හට ගත්තා, ඒවා කුඩා ගෙඩි සේරම වැටුණා. අතරින් පතර හැදිච්ච රඹුටන් තමයි දැන් ඉතිරි වෙලා තිබෙන්නේ. අපි අක්කරයක වගේ ප්‍රමාණයක රඹුටන් වගා කරලා තිබෙනවා. ගැනුම්කරුවන් එනවා. ඒත් මේ දවස්වල ගැනුම්කරුවන් ටිකක් අඩුයි. පසුගිය ද‌ා ඇති වූ කලබලකාරී තත්ත්වය නිසා ගැනුම්කරුවන් බඩු ගෙනියන්න කැමැති නැහැ. අපි නම් ගෙඩි ගණනටත් දෙනවා. බොහෝ විට ගස් ගණනට තමයි දෙන්නේ. දැන් ගහකට අපි කිව්වොත් මේ ගණනට දෙන්නේ කියලා, ඒ ගොල්ලෝ ඒ ගණන අඩු කරනවා. ඒක අපිට ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. ඒ පලද‌ාවේ හැටියට. සාමාන්‍යයෙන් අපි මුලදි රඹුටන් ගෙඩියක් අලෙවි කළේ රුපියල් 8ට. පස්සේ 7 වුණා. දැන් අලෙවි වන්නේ රුපියල් 3.50ත් 4ත් වගේ මිලකටයි. මෙහෙන් ඒ ගණනට අරගෙන ගිහින් වැඩි ගණනක් තියන් ඔවුන් විකුණනවා. අතරමැදියා තමයි මෙතෙක් ලාභ ගත්තේ.”  


මල්වානේ පදිංචි හසිතා සතරසිංහ මහත්මිය අදහස් දක්වමින්,  


“මේ ගස් සියල්ලම අපේ තාත්තා හිටවපුවා. ඒ ගස් හිටවලා හොඳ වර්ගයේ පැළ බට් කරලා තමයි තිබෙන්නේ. අපි මේ වත්ත බද්දට තමයි දෙන්නේ. මේ පාර අපිමයි රඹුටන් කඩලා ගැනුම්කරුවන්ට ලබා දෙන්නේ. මොකද මේ පාර පලදාව ටිකක් අඩුයි. මෙතන අක්කර දෙකක පමණ ප්‍රමාණයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ 10ක විතර ආද‌ායමක් ලබා ගන්නවා. දැන් මේ රඹුටන් ඉදිලා තිබෙන්නේ. තව ගැට වගයක් තිබෙනවා. ඒවා පෙබරවාරි වෙනකොට නැවත කඩන්න පුළුවන් තත්ත්වයක පවතිනවා. ඒ නිසා වෙන්න ඇති මේ පාර පලද‌ාව අඩුවුණේ. සාමාන්‍යයෙන් වසරකට එකපාරයි රඹුටන් හැදෙන්නේ, අගෝස්තු මාසයේදී. නමුත් මේ පාර රඹුටන් පලද‌ාව අඩු නිසා තව පාරක් රඹුටන් හටගන්නවා.   
දැන් මේවා අපි නඩත්තු කරන්න ඕනෑ. වෙලාවට පොහොර ටික යොදන්න ඕනෑ. අවුරුද්දකට සැරයක් පොහොර යොදන්න ඕනෑ. ඊට පස්සේ වවුලන්ගෙන් ලේනුන්ගෙන් බේරගන්න ඕනෑ. සාමාන්‍යයෙන් අයිතිකාරයට ඒ දෙවල් සොයලා බලලා කරනවා නම් විශාල ලාබයක් උපයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොහොරවලටයි මිනිස්සුන්ගේ පඩි නඩිවලට රුපියල් ලක්ෂයක් වැය කළොත් රුපියල් ලක්ෂ 7ක් 8ක් හොයන අයත් ඉන්නවා. හරියට කළොත් පාඩු නැහැ, මේක ආද‌ායමක් හැටියට මේක කරන අයට. සාමාන්‍යයෙන් මේ අවට සිටින බොහෝ දෙනකුගේ ප්‍රධාන අාද‌ායම් මාර්ගය තමයි මේ.   


බද්දට දෙනවා කියන්නේ අපි ගැනුම්කරුවන්ට පෙන්නනවා. පෙන්නලා ගාණක් නියම කරනවා. ඒ ගණනට එ්ගොල්ලෝ කැමැති නම් ගන්නවා. නැතිනම් ගණන පොඩ්ඩක් අඩු කරනවා. ඒ වගේ දේවල් වෙනවා. ලාභයක් තිබෙනවා. දැන් මේ ඉඩමට පොහොර දමන්න රුපියල් 50,000ක් වැය වුණාම රුපියල් ලක්ෂ 5ක් 6ක් වගේ ආද‌ායමක් ගන්න පුළුවන්. ඒ ගොල්ලෝ තමයි එතකොට නඩත්තු කරන්නේ. අපිට ලක්ෂ 5ක් දුන්නොත් ඒගොල්ලෝ ලක්ෂ 12ක විතර ආද‌ායමක් ලබා ගන්නවා. ගැනුම්කරුවන් මෙහෙට ඇවිල්ල පලද‌ාව අරගෙන යනවා.”


මල්වානේ පදිංචි ගාමිණී කරුණානන්ද මහතා   


“මම නම් රඹුටන් වතු බද්දට තමයි අරගන්නේ. රඹුටන් ගැට සාමාන්‍යයෙන් ජිල් බෝලයක තරම් හැදුනම අයිතිකාරයන්ගෙන් අපි බද්දට ගන්නවා. සාමාන්‍යයෙන් වත්තේ ගස් 100ක් තිබෙනවා නම් මම බලන්නේ රඹුටන් ලක්ෂ කීයක් හැදෙනව ද කියලා. සාමාන්‍යයෙන් ඒ ගණනට තමයි අපි වත්ත බද්දට ගන්නේ. සාමාන්‍යයෙන් රඹුටන් ලක්ෂ 4ක වගේ සංඛ්‍යාවක් තිබෙනවා නම් රුපියල් 2ක් වගේ මිලකට තමයි අපි අරගන්නේ. ඒගොල්ලෝ කැමැති නම් ඒ ගාණට මම බද්දට ගන්නවා. නැති නම් තව කෙනෙක් ඊට වඩා වැඩි ගණනකට ඉල්ලුවොත් අයිතිකාරයත් එ් අයට බද්දට දෙනවා. සාමාන්‍යයෙන් 25,000ක් 30,000ක් වගේ වටිනවා කියලා හිතුනොත් මමත් අරගන්නවා. ඒ කාලයට ඉල්ලුම වැඩියි.   
මම නම් මේ වත්ත වසර 7ක 8ක සිට අරගන්නවා. මම පොහොර දාලා නඩත්තු කරන නිසා අයිතිකරුවන් මටම දෙනවා වත්ත බද්දට. අයිතිකරුවන් දන්නවා රඹුටන් කැඩෙන ගණන. අලෙවි කෙරෙන ගාණ. අපි ගසට හානියක් නොකර පලදාව ලබා ගන්න නිසා වතු අයිතිකරුවන් මටම තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් මල්වානේ රඹුටන් ගෙඩියක් දැන් රුපියල් 3ක් 4ක් අතර මිලකට පහත වැටිලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් එක ගෙදරක ගහක් දෙකක් තිබෙනවා නම් රුපියල් දෙකට කඩා ගන්න කියනවා. එහෙම කඩාගන්න අය තමයි වෙළෙඳසලේ රුපියල් 100ට ගෙඩි 20යි කියලා විකුණන්නේ. මම දැන් වසර 25කට අධික කාලයක් ඉඳලා තමයි රඹුටන් බිස්නස් එක කරන්නේ.   


මම නම් සාමාන්‍යයෙන් වතු දෙක තුනක් බද්දට ගන්නවා. සේවකයන් විශ්වාසවන්ත කට්ටියක් ගන්න ඕනෑ. අනික නිදිමරන්න පුළුවන් අයත් වෙන්න ඕනෑ. වවුලන්ගෙන් බේර ගන්නත් ඕනෑනේ.   


මල්වානේ රඹුටන් තමයි ප්‍රසිද්ධ. ඒකට හේතුව තමයි මල්වානේ රඹුටන් කඩලා දවස් දෙක තුනක් තබාගන්න පුළුවන්. මැළවීමක් වෙන්නේ නැහැ. ඒ කඩපු තත්ත්වයෙන්ම තියාගන්න පුළුවන්. පිට පළාත්වල රඹුටන් තියාගන්න බැහැ. කළු වෙනවා කියලා කියනවා.   


දැන් මැලේෂියන් රඹුටන් කියලා දෙයක් ඇවිල්ලා තිබෙනවා. ඒකෙ ගෙඩිය ලොකුයි. රඹුටන් ඇටේ කුඩයි. එ්ක දිග ගෙඩියක් හැටියටයි හැදෙන්නේ. අපි ගාව නම් ඒ රඹුටන් නැහැ. ඒකේ පලද‌ාව අඩුයි. මේ රඹුටන් වගේ නොවෙයි. ඒ ගහේ අතු දිගට විහිදෙන්නේ.


ජුලි අගෝස්තු වගේ කාලයේ තමයි රඹුටන් පලදාව එන්නේ. අවාරයටත් රඹුටන් හටගන්නවා. ඒකට හේතුව තමයි ගස්වල දලු මෝරන්න ඕනෑ. මොරච්ච මදි දල්ල එන්නේ නැහැ වැස්සට පස්සේ. ‌ළපටි දල්ල ටිකක් දවස් යනකොට මෝරනවා. ඒ ​මෝරලා වැස්ස නියම වෙලාවට ලැබුණොත් තමයි ගෙඩි හටගන්නේ. අවාරයේ හැදෙන රඹුටන් ගාණ අඩුයි. මොකද රඹුටන් ගෙඩියේ ලස්සන අඩුයි. රසයකුත් නැහැ. වෙළෙන්දෝ එන්නෙත් නැහැනේ. ඉතින් පාරවල් අයිනේ තියාගෙන විකුණ ගන්නවා. වාරයට තමයි වෙළෙන්දෝ එන්නේ. හලාවත, පුත්තලම, මඩකළපුව, කල්මුණේ, ත්‍රිකුණාමලය වගේ පළාත්වලින් තමයි බොහෝ වෙළෙන්දෝ එන්නේ. මාතර, ගාල්ල වගේ පළාත්වලින් වැඩිය වෙළෙන්දෝ එන්නේ නැහැ.”


රඹුටන් අලෙවි කරන මල්වානේ ඩිල්කි සත්සරණි මෙනවිය   


“මේ තිබෙන්නේ මල්වානේ ස්පෙෂල් කියන එක. නමුත් ඒකට වඩා මේ කහ පාට එක රසක් තිබනවා. ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ ‘මල්වාන ස්පෙෂල්’ කියන එක මිලදී ගන්න. ඒකෙන් තමා අපිත් වැඩි ආද‌ායමක් ලබා ගන්නේ. කහ පාට එක විකිණෙනවා අඩුයි.මේ කහ පාට තිබෙන්නේ මැලේෂියන් එළ කියන වර්ගය. ‘මල්වාන ස්පෙෂල්’ එකට වඩා කහ පාට එක රසයි. වතු හිමියන්ට ලාභ ‘මල්වාන ස්පෙෂල්’ කියන එකෙන්. මේ කහ පාට එක රුපියල් 2.50ට අලෙවි කරනකොට රතු පාට එක රුපියල් 4ට වගේ විකුණන්න පුළුවන්. අපි වතුවලට ගිහිල්ලා අරගෙන ඇවිත් තමයි විකුණන්නේ. අපිට වතු නැහැ. අපි දන්න කියන අයගෙන් තමයි අරගන්නේ. මල්වානේ බිස්නස් එකට ඇඳුනුම්කම් නැහැ. අඩුකරලා දෙන්නේ නැහැ. අනිත් වෙළෙඳුන්ට දෙන ගණනටම තමයි අපිත් මිලදී ගන්නේ.   


දවසකට රුපියල් 2000ක විතර ආද‌ායමක් ලබා ගන්නවා. මේ අවට අය නෙවෙයි ගොඩක් දෙනෙක් රඹුටන් ගන්නේ. පිට පළාත්වලින් එන අය තමයි අරගන්නේ.”

 


 

මෙහිදී සහාය දුන් දෙල්ගොඩ පදිංචි මුදිත මහතාට සහ අජිත් මහතාට අපගේ ස්තුතිය.   


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර (මල්වානේ සංචාරයකින් පසුව)   

 


ඡායාරූප - චානුක කුලසේකර