නිවසක වාසනාව ගෙන එන දොරටු


 

නිවසක වසන සියලුදෙනාට යහපත හෝ අයහපත වාසනාව, අවාසනාව මේ සියලු දේ සිදුවන්නේ එහි සැලසුම අනුවයි. මෙහිදී මෙම මාතෘකාවට අදාළව නිවස වාසය කරන අයට යහපත් වාසනාව ගෙන එන ප්‍රධාන දොරටු මොනවාද? යන්න පැහැදිලි කරමි. 
 

ඉඩමට ඇතුළුවන ගේ්ට්ටුව  


ඉඩමට ඇතුල්වන ගේට්ටුව කිසිම අවස්ථාවක නිරිත, වයඹ, ඊසාන, ගිනිකොන අතුරු දිසා අසුවන සේ ඉඩමේ මුල්ලක තැබීමෙන් අසුබ බල ගෙනදෙන නිසා එහි නොතබන්න. නැගෙනහිර දිසාවේ තබන්නේ නම් ඉඩමේ නැගෙනහිර සම්පූර්ණ දිග අටෙන් බෙදා 3 හෝ 5 යන කොටසක ගේට්ටුව තබන්න.  


දකුණු දිසාවේ නම් සම්පූර්ණ දිග අටෙන් බෙදා ගිනිකොන සිට 5 වන කොටසේ තබන්න. බටහිර දිසාවේ නම් නිරිත කොනේ සිට 5 හෝ 6 කොටසක තබන්න. උතුරු දිසාවේ නම් වයඹ කොනේ සිට ඊසානට සම්පූර්ණ දිග අටට බෙදා 4 වන කොටසේ තබන්න. මේ අනුව ඔබේ නිවසට යහපත සැලසේ. මෙයට වෙනස් වී නම් නිතර කරදර අයහපත පැමිණේ.  


ඉදිරිපස මිදුල  


නිවසක ඉදිරිපස මිදුල සිත් ඇදගන්නා පරිදි සකස් විය යුතුය. රෙදි වැල්, මාළු වළවල්, බලු කූඩු කුරුලු කූඩු, මිදුලට ඉතා අසුබ දායක වේ. ධන හානි හා අසමගිය ඇති වේ. මිදුලේ දිග හා පළල ​අතේ රියනෙන් මැන එකට එකතු කර අටෙන් වැඩිකර නවයෙන් බෙදූ විට ඉතිරිය 2, 5, 7 සංඛ්‍යාවක් එන සේ සකස් කරගන්න.  


එම සීමාව දිග හා පළල ගඩොලින් හෝ සිමෙන්ති කොන්ක්‍රීට්වලින් අඟල් 4 ක් උසට සීමා කරගන්න. ඉන්පසුව නැවත ඇතුළට අඩි 2 ක් පළල වන සේ දිග හා පළල පැති 4 තුළ වටේට අඟල් 4 ක් උසට ගඩොල් හෝ කොන්ක්‍රීට් වලින් වෙන් කරන්න. ඒ තුළ වටේට විසිතුරු මල් වර්ග වවන්න. කොටසක මිරිස් බටු ආදී පැළ කීපයක් සිටවන්න. මිදුලට ඇතුල්වීම සඳහා ඔබට පහසු පරිදි කොටසක් වෙන්කර ඉඩ අරින්න. මෙය ඔබට වාසනාව ගෙන එන දොරටුවක් වන්නේය.  


නිවසේ ප්‍රධාන දොර උළුඅස්ස  


නිවසේ ප්‍රධාන දොර උළු අස්ස සුබ පාදයේ තැබීමෙන් යහපත සැලසේ. අසුබ පාදයේ තැබීමෙන් විනාශය සිදුවේ. නිවසේ මුළු ආශ්‍රිතව ප්‍රධාන දොර තැබීමෙන් සතුරන් හටගනී. සතුරන්ට හිස නැමීමට සිදුවේ. එම නිසා සුබ පාදය සොයා බලා එහි ප්‍රධාන දොර උළුඅස්ස තැබිය යුතුය.   


නිවසේ නැගෙනහිර පැත්ත දිග අටෙන් බෙදා ඊසාන සිට 3, 5 කොටසක සුබදායක වේ. දකුණු පැත්තට උළුඅස්ස තබන්නේ නම් සම්පූර්ණ දිග අටෙන් බෙදා ගිනිකොන සිට 5, 6 පාදයක තබන්න. ප්‍රධාන උළුඅස්ස උතුරට තැබීමට අවශ්‍ය නම් වයඹ සිට ඊසානට සම්පූර්ණ දිග අටෙන් බෙදා වයඹ සිට 4, 5 කොටසක උළුඅස්ස තබන්න.  


මෙවැනි සුබ පාදයක ප්‍රධාන දොර උළුඅස්ස තැබීමෙන් නිවසේ වාසනාව යහපත උදා වේ. එය වාසනාව ගෙන එන දොරටුවක් වන්නේය.  


මුළුතැන්ගෙය  


නිවසක මුළුතැන් ගෙය වැරදි ලෙස දිසාගතවී ඇතිනම් එම නිවසේ තදබල ගැටලු නිතර මතුවීමෙන් මානසික පීඩනය සීමාවක් නැතිවේ. ඊසාන දිගට නිතර ලෙඩ දුක් නිසා ධන හානි හටගනී. වයඹ දිගට පියාට අපල ගෙන දෙයි. නිරිත දිගට ඇතිවෙමින් තිබූ දියුණුව මග ඇන හිටී. ගිනි කොන ඉතා සුබදායකයි. වාසනාවයි.  


ළිඳ  


නිවසකට බීමට ජලය ලබාගැනීමට ළිඳක් කපා ගත නොහැකි ලෙස කළුගල පැතිර පවතී නම් කිසිම ස්ථානයක ළිඳක් කැපිය නොහැකි නම් එම ඉඩම ඉතාම වාසනාව ශූන්‍යවන දිළිඳු ඉඩමකි. එහි වසන නිවැසියන් සැම දා දුකේය.  


නිවසකට ජලය සම්පතකි. ඒ සඳහා ළිඳ ඊසාන හෝ උතුරු දිසාවේ කැපිය යුතු වේ. නිවසේ මුළු අසු නොවන සේ ළිඳ කැපිය යුතුවේ. ඉඩමේ සීමාවේ ප්‍රේත පාදය ද අසුබ වේ. නිවසේ අත්තිවාරමේ සිට රියන් 7, 15 දුර ප්‍රමාණය ඉතා සුබ වේ. 4, 5, 11 ඉතා අසුබ වේ. රියන් 5, 11 භාර්යාවට මරණද 43, 48 ගෘහ මූලිකයාට විපත්ද 12 රියන පුත්‍ර හානිද සිදුවේ.  


උතුර ඊසාන ළිඳ කැපීමෙන් නිවසට දියුණුව සැලසේ. ගිනිකොන ළිඳ කැපීමෙන් ගිනි උවදුරු අකුණු සැර උවදුරු ඇතිවේ. දකුණේ ළිඳ කැපීමෙන් පවුලේ හදිසි මරණ සිදුවේ. නිරිත දිසාවේ නම් පවුලේ අසමගිය සිදුවේ. වයඹ දිසාවේ නම් සියලුම සම්පත් ධනය විනාශ වේ. නැගෙනහිර දිසාවේ නම් භාර්යාව අකාලයේ මරණයට පත් වේ.  


නිවසට වාසනාව ගෙනෙන ගස් වර්ග:  


දෙළුම්, අඹ, කොස්, නිවස ඉදිරිපිට වත්ත සීමාව තුළ සුබදායක වේ. මල් වර්ග වලින් සමන් පිච්ච ඇට්ටේරියා අනෙකුත් සුවඳ හමන සුදු පැහැති මල් වර්ග උතුර ඊසාන දිසාවන්ට සුබදායක වේ. රතු පැහැති මල් වර්ග නිවස ඉදිරිපිට ප්‍රධාන දොර ඉදිරියේ අසුබ වේ.  


වත්තේ සැරිසරන ප්‍රේත භූත කොටස් බිය ගන්වන ඔවුන්ට ඉතා අසුබදායක බිලින් ගසක් වත්තේ බටහිරින් වවන්න.  

 

 

 

 


ජ්‍යෝතීර්වේදී ජේ. ගුණපාල,  
දකුණු උඩුව කුඩාඋඩුව,  
හොරණ