ඩියාරෝ උන්නාන්සේටත් නීති රැස්පට් පෙන්වූ ගැමි නීතිකාරයා


ගමෙන් ඇසෙන කතා

 

 

මෙකල මෙන්​ නොව එකල ඩීයාරෝ කොට්ඨාසයක් යනු ඡන්ද බල ප්‍රදේශයකට එකක් පමණ වන තරමට විශාල වූවකි. එමෙන්ම එකල ඩීයා​රෝලාට නිල වාහන පහසුකමක්වත් නොවීය.   


එකල දඹදෙණි උඩුකහ උතුරු කෝරලේ වාරියපොළ ද එවැනි පුළුල් පරාසයක විහිදුණු ඩීයාරෝ වසමකි. ආදායම් පාලක නිලධාරි විසින් නීත්‍යානුකූල තුවක්කු බලපත් අලුත් කිරීම සඳහා දිනයක් නම නියම කොට තිබුණේ කළුගමුව ගම්සභා කාර්යාලයෙහිය.   
ඒ අසල්වාසි මුදුන්වෙල පදිංචිව සිටි කළු මාමා වූ කලී ඔරිජිනල් නීතිකාරයෙකි. ඔහුගේ හැම වැඩක්ම නීතියට රූලටය. ඔහු මොන ජගතා ඉදිරියේ වුවත් කියන දේ ‘ලබ්බ ගලේ ගැහුවා සේ’ කියයි. විශේෂයෙන් ගමේ ග්‍රාමසේවක,   


 වෙල් විදානේ, සමුපකාර මැනේජර්, දිස්පැන්සලේ ඇපොතිකරි ආදී ඕනෑම නිලමක්කාරයෙකුට ඔහු නොබියව නීති කතා කරයි. ඒ ඔහු ඒ ඒ ක්ෂේත්‍රවල නීති රෙගුලාසි යම් තරමකට දැන සිටි බැවිනි. ඒ නිසා ගමේ පන්ස​ෙල් හාමුදුරුවන්ටය කියාවත් ඔහුගේ මුඛරිභාවයේ රළුව බාල වූයේ නැත. කළු මාමා ටිකක් හෝ මෙල්ල වූයේ මහ දේශපාලන ලොක්කන් පවා තමන් වහන්සේ ළඟ දණගැස්වූ, පළාතක් හොල්ලාගෙන සිටි මානේරුවේ සිරි පියරතන නායක හාමුදුරුවන්ට පමණි.   
උන්වහන්සේ අබිමුවේ පවා ඔහු යමක් කිවුවොත් කිවුවාමය. වරක් කුලුනු සතරකින් යුත් මහා ඝණ්ඨාර මන්දිරයක් හදන්ට යෝජනා වූ තැනේදී කළු මාමා යෝජනා කළ ස්ථානය අවලංගු වී ගිය බැවින් ආයේ තම ජීවිතේ තියෙන තුරාවට ඔහු නොවේ ඒ ඝණ්ඨාර මන්දිරය යටින් ආවේ ගියේ. ඔහුගේ කියුම් කෙරුම් සංග්‍රහ කළොත් පිටු 80 අභ්‍යාස පොතක් පිරවිය හැකිය.   


මේ කතාවද ඔහුගේ කියුම් කෙරුම් අතර ප්‍රමුඛස්ථානයක් උසුලන්නකි.   


එදා තුවක්කු ලයිසන් දිනයේ කළු මාමා තම ලයිසන් තුවක්කුවත් කර තියාන සරා ගොයියා වගේ ගොඩෙන් ගොඩෙන් පැන කළුගමුවේ ගම්සභා ඔපීසිය බලා ගියේය. ඒත් එදා ඩීයාරෝතුමාට මුලම තදවී තිබුණේ බලපත්‍ර ගාස්තු ගෙවූ විට රිසිට් කඩා දිය යුතු කුවිතාන්සි පොත ගේන්ට බැරිවීම හේතු කොට ගෙනය. ඔහු එදා ඊට හේදම අල්ලමින් ගම් සභා සේවකයින්ටත් ලියන්නන්ටත් සැල් අරිමින් සිටින අතරේ තුවක්කු හිමියන්ට නැති අඩුපාඩු පෙන්වමින් සැරවැර විය. ඒ අතරේ තුවක්කුවක් අතින් ගෙන ඔපීසියට ගොඩවැදුණු කළු මාමාගේ ඇඟටත් කඩා පැන්නේය.  


‘අද කරන්ඩ හැටියක් නෑ ලොක්කා, අපි වෙන දිනයක් දැනුම් දෙන්නම් එදාට එනවා’   


වචනයක්වත් කතා නොකොට ආපිට හැරුණු කළු මාමා පඩි දෙක තුන බහින විටම මිදුලේ ඇලුමිණියම් දුරකතන කණුවක ගෝනි ලණුවකින් ගැට ගසා තිබූ තුවක්කු බලපත් නොතීසිය දැක වහා එය ගලවා අතට ගත්තේය. ආපසු හැරුණේය. අඩියට දෙකට ආපසු ඩීයාරෝගේ මේසය වෙත ගිය හෙතෙම නොතීසිය ආදායම් පාලක නිලධාරියාගේ මුහුණ අස්සටම දිගු කොට ‘කවුද මේ නොතීසියට අත්සන් කොරල තියෙන්නේ? යි කඩා පැන්නේය.   


‘මම.....’ නිලධාරියා උත්තර දුන්නේය.   


‘එහෙමද එහෙනං මේං මගෙ තුවක්කුව...’ කියූ කළු මාමා තුවක්කුව මේස දාරයට හේත්තු කොට මදක් පස්සට වූයේය. ‘හෙනං මතක් කර ගත්තොත් හොඳයි අදින් පස්සෙ මේ තුවක්කුව බලපත්තර නැති හොර ගිනි අවියක් බවට පත් වෙනවා. හොර තුවක්කුවක් ළඟ තියාගෙන වැරදිකාරයෙක් ​ෙවන කෙනෙකුට ලැබෙන අච්චුව ගැන අමුතුවෙන් මතක් කර දෙන්ඩ ඕනැ නැතුව ඇතිනෙ. මේං මං ගියා’ කියා වහා ආපසු හැරි පාරට පැන ගත්තේය.   


‘කවුද ඒ මනුස්සයා?’ ඩීයාරෝ ඇසුවේ බයෙන් බිරාන්තවී ඇස් අයාගෙන සිටින සේවකයින්ගෙනි.   


‘සර් ඔය මනුස්සය එක්ක ඇවිලෙන්න යන එක නම් ඒ තරම් ගුණ නෑ. වස නීතිකාරයා. කොහෙන් කෙරවල් වේදැයි කියන්ඩ බෑ’ කළු මාමා ගැන තරමකට දන්නා ලියන අප්පු කෙනෙක් අනතුරු ඇඟවීය.   


‘එක්ක එනව, එක්ක එනවා ගිහින් ඔය මනුස්සයව’  


වහා පහළට බැසගත් ලියන්නාට කළු මාමා අල්ලා ගන්නට හැකිවූයේ බලල්ලෙ මහත්තයාගේ කොප්පරා ස්ටෝරුව ළඟදී ය. ‘යං මාමෙ සමාවෙලා හිට. මාමට ආයෙ මේ වැඩේට තව දවසක් මෙහාට බඩගාන්න අපි ඉඩ තියන්නෙ නෑ’ කියා යාප්පුවෙන් ආපසු හරවා ගන්නා ටිකට ආදායම් පාලක නිලධාරි තම සාක්කුවෙන් පැට්රෝල් ගසා හැතැප්ම දාසයක් දුර වාරියපොළට තම හිල්මන් මින්ක්ස් කාර් එක පිටත්කර වහා කුවිතාන්සි පොත රැගෙන එන්නැයි දෙදෙනකුට පංගාර්තු කර තිබුණයි කියන කොට   
එදා ඩීයාරෝ උන්නාන්​සේ විසින් ඒ ක්ෂණික පියවර නොගන්නට අපට සිදුවනු ඇත්තේ මේ කතාවට තවත් අපූරු විච්චූරණයක් අමුණන්නටය.  

 

 

ගුණතිලක මැටියගනේ