ඡන්ම පත්‍රය නැතිව අනාවැකි කියන්න පුළුවන්ද ?


රාශි දොළසකි. එයම පහසුව සඳහා ලග්න යයි හඳුන්වමු. ග්‍රහයින් ප්‍රධාන වශයෙන් නවයකි. පහසුව සඳහා යුරේනස්. ප්ලුටෝ, නැප්චූන් අත්හරිමු. මේ නවදෙනා ජන්ම පත්‍රයක පිහිටන ආකාරය ‘ග්‍රහ ගෝචරේ යයි කියමු.   

දැන් මේෂ ලග්නයේ ඉපදුණ අයෙක් පළමුව ගනිමු. මේ නව දෙනා පිහිටි භාවසථාන අනුව අන්‍ය මේෂ ලග්න කාරයකුට වඩා හාත්පසින් වෙනස් වන්නේය. අඟහරු හෙවත් ලග්නාධිපති මේෂයේම පිහිටි අයෙක් හා කුජ හෙවත් අඟහරු කටක රාශියේ පිහිටි අයෙක්, තවත් කියනුයේ නම් අඟහරු මකර රාශියේ පිහිටි අයෙක් යන තිදෙනා ගත් කල ඔවුන්ගේ ගතිගුණ, පලාඵල හාත්පසින්ම වෙනස් වන්නේය.   


එසේ නම් මේෂ ලග්න හිමියන්ට අද දවසේ පලාඵල යයි ඇද බාන්නේ කවර යුක්ති ගෝචර නියමයකට අනුවද? අපි තවත් ඉදිරියට යමු. ශනි ග්‍රහයා එකකුගේ මේෂයේම පිහිටා ඇති අතර තවෙකකුගේ තුලාවේ පිහිටා ඇත.   
එසේත් නැත්නම් එකකුගේ ගුරු කටකයේ පිහිටා ඇති අතර ඊළඟ අයගේ ගුරු මකරගේ පිහිටා ඇත. මේවා මේ හතර දෙනාගේ පලාඵල හතර විධියකි. මෙසේ ග්‍රහයින් නව දෙනෙක් සිටි ඔවුන්ගේ පිහිටීම විවිධය.   
භාව ස්ථාන දොළසකි. එවිට කුමන එකක පිහිටයිද යන්න කර්ම ඵල විපාක අනුවම සිදුවේ. ඒ අනුව තනි ලග්න කාරයෙකුට වුවද පලාඵල අඩු තරමින් 108 වාරයකට වඩා වෙනස් වන්නේය.   


මීළඟට නවාංශක කුණ්ඩලිනය ගමු. අද බොහෝ ප්‍රවීණයන් කියා ගන්නා අය නවාංශක කුණ්ඩලිනය දිහා නොබලති. දැනුමේ තරම තමා එය. නවාංශක කුණ්ඩලිය ද ග්‍රහ ගෝචරයේ මෙන්ම විවිධය. විෂමය. ග්‍රහයකුගේ නියම නෛසර්ගික බලය ග්‍රහයාගේ දෘෂ්ටි ඔහු වඩා බල ඇත්තේ කුමන භාවයකට යයි තීරණය කරනුයේ නවාංශක කුණ්ඩලි​ෙයනි.   


එයද කුමන භාවයක පිහිටයි දැයි කිව නොහැක. උද‌ාහරණයක් සේ ගත්තොත් මේෂ ලග්නයේ මේෂයේ පිහිටි අඟහරු නවාංශක වශයෙන් මේෂයේ සිට ධනුව දක්වා නවාංශක නවයක පිහිටයි. මෙයින් කුජ මේෂයේ කටකයේ පිහිටීම මේෂයේ මේෂයේම පිහිටීම අතර ඇත්තේ බරපතළ වෙනසකි. මේ බව නොදැන හෝ නොදන්නා සේ කථාකිරීම දෛවඥ ගුරු නොව දෛවඥ මගුරා නම් වන්නේය.   


මීළඟට ග්‍රහ දෘෂ්ඨීන් ගනිමු. පළමු භාවයේ සිටි ග්‍රහයාට 7 වැන්න පෙනේ යයි කියමු. එහෙත් සැලකිය යුත්ත නම් 7 වැන්නේ පිහිටි අංශක 30 ම නොපෙනෙන බවයි. එය භාවයේ සිටි අංශක ගණන අනුව තීරණය කළ යුතුයි. මෙය වරද්දා ගතහොත් පලාඵල වැරදිය. නවාංශක චක්‍රයද සලකා බැලුවහොත් ග්‍රහ නවදෙනාගේ ග්‍රහචාරය ගිණිය නොහැකි තරම්ය.   


මීළඟට ග්‍රහ යෝග බලමු. ලංකාවේ දැනට සිටින දෛවඥයන් අනුව ග්‍රහ යෝග දහස් ගණනකි. ඒ එ් යෝග පිහිටීම අනුව ග්‍රහ ඵලවල වෙනස් වන්නේය. අප පහසුවට ප්‍රධාන කීපයක් පමණක් ගනිමු. රාජ යෝග, සක්විති යෝග, ශ්‍රමන යෝග ඒවා වෙයි. පංච මහා සක්විති යෝග පසෙකි. එය පිහිටීම අනුවම පස් විධියකි. කලාතුරකින් වන පිහිටීමක් වන මෙය අතරද භේද ති​ෙබ්. මේෂය ලග්නය වී හතර වැන්නේ ගුරු හංස යෝගය පිහිටීම. මකරය ලග්නය වී හත් වැන්නේ ගුරු හංසය පිහිටීම දෙකකි. ප්‍රතිඵල ශුභ නමුත් දෙආකාරයි.   


වැරදිලා හෝ ප්‍රධාන ග්‍රහයෙක් දෙන්නෙත් නීචව පිහිටීම මේ යෝගයේ බලය ඉතා අඩු කරයි. යෝග කාරකයා වෙත චන්ද්‍රයාගේ පිහිටීම දෘෂ්ඨිය අනුව එය නැවත අඩු වැඩි කරයි. ග්‍රහ දෘෂ්ඨීන් අනුව මෙහි බලය අඩු වැඩි වේ. මේ කිසිත් නොබලා මේස ලග්න හිමියන්ට කොහොමදැයි ප්‍රකාශ කිරීම අතින් අරන් වහ කෑමකි.   


පලාඵල කීමේදී බැලිය යුත්තේ එපමණක් ද නැත. අපි මහ දශා, අන්තර්දශා ගැන නොසිතමු. මහා දශා නමයකි. එකට අන්තර් දශා නමය බැගින් අසූ එකකි. තවද දශාවන් ඇතිද? ඒවා මෙහිදී ගණන් ගෙන මෙය තවත් පටලවන්නට නොසිතුවෙමු. උපන් ලග්නය අනුව ඒ ඒ මහ දශා වෙනස් ​ෙව්. මේෂ ලග්නයට ශතියේ මහ දශාව, පලාඵල තුලා ලග්නයට වෙනස් වේ.   


මේෂ ලග්නයට ශනි මකරයේ සිට මේෂ ලග්නයේම ශනි මේසයේ සිටීමට වඩා පලාඵල වෙනස්ය. රාහු මහ දශාව ලැබීම මෙයටද වෙනස්ය. මෙසේම ජන්ම වේලෙහි ඒ ඒ ග්‍රහයාගේ නෛසර්ගික බල අනුව නැවත වෙනස් වන්නේය. අන්තර් දශා අනුව පලාඵල වෙනස්වීම ගැන කියනුම කවරේද? මේ කිසිත් නොවිමසා මේෂ ලග්නය ගැන පලාඵල කීම කොතරම් සාවද්‍ය ද? ග්‍රහ යෝග පවා නිසි මහදශාව ලැබීම හෝ නොලැබීම අනුව බලවත් වේ. අර්ථ ශූන්‍ය වේ. කටට වැටුණ විට ගිලගන්ට නොලැබී යයි කියනුයේ මෙවිටය. බල යෝග අර්ථ ශූන්‍ය වනු අපද දැක ඇත්තෙමු.   


යම් භාවයක ග්‍රහයින් කීප දෙනෙක් සිටි පමණින් යෝග වේ යයි නොසිතිය යුතුය. ග්‍රහයකුගේ ග්‍රහ විහිදෙනුයේ නවාංශක 04 ක් තුළ පමණි. එනම් අංශක 13.20 තුළ පමණි. එතනින් එහාට අප බලය හීන වන ආකාරය දනිමු. උද‌ාහරණ වශයෙන් රවි බුධ යෝගය ගනිමු. මෙය බද්ද යෝගයකි. රවිට එහායින් අංශක 17 තුළ බුධ පිහිටීම රවි බුධ යෝගයයි. එසේම රවිගෙන් අංශක 13.20 තුළ බුධ පිහිටීම බුධ ආදිත්‍යයා යෝගයයි. පළමු එකට වඩා මෙය ප්‍රබලය.   


එසේම මතක තබා ගත යුත්තේ තුලා රාශි තුළ හෝ මීන රාශිය තුළ මෙය නොයෙදිය යුතුය. එසේ වූවොත් මෙය බල රහිත වේ. මෙසේම කවර ජන්ම පත්‍රයක් තුළ හෝ යෝගනාශ්ක යෝග නොපිහිටිය යුතුය. රවි චන්ද්‍ර දෙදෙනා නීච වීම යෝග නාශක යෝගයකි. ඇතැම් විට ප්‍රබල යෝගයක් පිහිටිය ද මහා දශා හා අෑදෙන ආකාරය අනුව ප්‍රතිඵල දෙන්ට අපොහොසත් වන්නේය.   


ජන්ම පත්‍රයක් ගෙන බලන්න. එහි රාශි අර්ථය, තේර්කානය, ද්විදශාංශය, ත්‍රිපාන්සනය, යෝගය, කර්ණාය ආදී තවත් බොහෝ කාරණා සඳහන්ව ඇත. ඒවා සඳහන් කර ඇත්තේ ජන්ම පත්‍රයේ පාළුව මකන්ටද? ඒ හැම එකකින්ම ගත හැකි අදහස් රාශියකි. නිකම් මේෂයට පලාඵල කීවෙ නම් ඒ පිළිබඳ දැනුමක් තිබේද? එසේ කීම ප්‍රලාප යයි කීවේ එබැවිනි. දැන් දැන් අප අත්දුටු කරුණක් නම් බොහෝ දෛවඥයින් නවාංශක කුණ්ඩලිය දෙපද නොබලා පලාඵල කථනය කරන බවයි. අහෝ ජ්‍යොතිෂයට ගිය කල !   


මෙසේ ​ෙම් කිසිත් ජන්ම පත්‍රවල සටහන් කරුණු නොදැන ඔබට කෙසේ දැයි ලජ්ජා බය නැතිව ප්‍රවීණයයි කියා ගන්නා කොපමණ සිටීද?   


ගල් අහුරක් විසිකල කල්හි ඒක වදින ආකාරයට අැතමෙකුට මෙය හරි විය හැකිය. එවිට ඔහුගේ ප්‍රවීණ භාවය රැකේ. එසේ නමුත් අපි මෙම වැටී සිටින අගාධයෙන් ගොඩවිය යුතුය. එයට අවශ්‍ය වනුයේ නිසි නැණැස පමණි. සිංහලයා අන්ධ විශ්වාස, ගතානුගතික විශ්වාසයන්ගෙන් මුද‌ාගත නොහැක. ඔවුන්ට බේගල් එපමණටම ප්‍රියය.   

 

 

 


මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී
පාරම්පරික දෛවඥ සහ ගුප්ත විද්‍යාධාරි