ගැඹුරු හිමේ ගොදුරු සොයන බොබි කැට්


 

කැනඩාවේ බිට්‍රිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා සිට, ඇමෙරිකාවේ අයිඩහෝ, මොන්ටැනා, වයෝමින්, කොලරාඩෝ ජනපද හරහා නිව්මෙක්සිකෝ ජනපදය තෙක්, කිලෝ මීටර් පන්දහසක දුරක් රොකී කඳු වැටිය දිවයයි. රොකී කඳු වැටියේ උසින් වැඩිම ස්ථානය ඇල්බට් ශිඛරයයි. උස කිලෝ මීටර් 4,800 කි. සුදෝ සුදු හිමෙන් වැසුණු කඳු වැටි සහ ඒවා වටා ඇති වනාන්තර ජෛව විවිධත්වයෙන් පිරී පවතී. වසර පුරාවට හිමෙන් වැසී පැවැතියත්, සිසිර කාලයට රොකී කඳුකරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 54 ට වඩා අඩු වෙයි. කොතරම් සීතලදැයි කීවොත්, වාතයේ ජල අංශු මිදී ඉතා කුඩා පළිඟු බවට පත් වෙයි. මේවා හැඳින්වෙන්නේ ‘දියමන්ති දූවිලි’ යනුවෙනි. සීත කාලයේදී පවා එකසේ ක්‍රියාකාරී දඩයක්කරුවකුගේ නිවහන වන්නේ රොකී කඳුකරය ආශ්‍රිත වනාන්තරයයි. මේ දඩයක්කරුවා බිළාල පවුලේ සාමාජිකයකු වන බොබ් කැට්ය.


මහ බළලා 


බොබ් කැට් අයත් වන්නේ මහ බළල් පවුලටය. එනම්, සිංහයන්, දිවියන්, ව්‍යාඝ්‍රයන් අයත් පවුලටය. උතුරු ඇමෙරිකාවේ මහ බළල් පවුලට අයත් සාමාජිකයන් වන්නේ, ‘ලින්ක්ස්’, ‘බොබ්කැට්’, ‘ඔසෙලොට්’, ‘ජගුරන්දි’, ‘කෲගර්’ සහ ‘පූමා’ය. කෙසේ නමුත් මොවුහු සිංහයන්, ව්‍යාඝ්‍රයන් සහ දිවියන් මෙන් සද්දන්තයෝ නොවෙති. ‘ලින්ක්ස්’ සහ ‘බොබ් කැට්’ දෙදෙනා පෙනුමින් එක හා සමානය. දෙදෙනාටම තරමක් විශාල උල් හැඩයේ කන් ඇත. දිග වලිගයක් නැත. වලිගය හාවකුගේ මෙනි. හොඳින් වැඩුණු බොබ් කැට් කිලෝ ග්‍රෑම් 8.6 ක් බරය. ආයු කාලය වසර 7 කි. ‘ලින්ක්ස් රූෆස්’ යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි. 


ගලින් ගලට පනිමින් ...


බොබ් කැට්ගේ කන් තියුණුය. දඩයම් කරන්නේ, සියුම් චලනවලින් නිකුත් වන හඬ අනුවය. ගැඹුරු හිමේ ගමන් කරන්න බොබ් කැට් හපනෙකි. බොබ් කැට් හිමේ ගමන් කරන්නේ ඉතා පරිස්සමෙනි. සුපරික්ෂාකාරීවය. හිමේ යද්දී නැගෙන හඬ ගොදුරු අල්ලා ගැනීමට බාධාවක් බව බොබ් කැට් දනී. හිමේ ගමන් කළ යුත්තේ කිසිදු හඬක් නොනැගෙන ලෙසිනි. එහෙයින්, බොබ් කැට් හැකි තරම් ගමන් කරන්නේ හිමේ ඉහළට එසවී ඇති ගල් ගොඩැගිවලට මතිනි. ගලින් ගලට පනිමින් පය තබමිනි. එවිට, බොබ් කැට්ගේ පා සලකුණු හිමේ සටහන් වන්නේ නැත.


සැඟවුණු ගොදුර


සෙමින් සෙමින් පියවර තබන බොබ්කැට් මේ ඇදෙන්නේ, හිම අතරේ ඇසෙන සියුම් හඬක් ඔස්සේය. දුන්නක් සේ සිරුර නමා, එක සැණින් අහසට පැන බොබ් කැට් හිම තට්ටු යට සැඟවී සිටින ගොදුර වෙත පනී. ඉලක්කය සාර්ථකය. ගොදුර කටින් ඩැහැ ගනිමින්, බොබ් කැට් හිම අතරින් හිස ඔසවයි. ගොදුර මීයෙකි. එක පුංචි මීයකුගෙන් සෑහීමකට පත් පත්විය නොහැකිය. ගොදුරු සොයා බොබ් කැට් ඉදිරියට ඇදෙයි. ගල් ගොඩැලි නොමැති විට, සරබර හඬ නැගෙන අයුරින් ගැඹුරු හිම තට්ටු අතරේ එරෙමින් ගමන් කරන්න බොබ් කැට්ට සිදුවෙයි. එසේ වුවත්, නිහඬව ගොදුරකට ළං වෙන්න බොබ් කැට් තරම් දක්ෂයෙකු නැත.


ඉලක්කය වරදී


හොඳින් ඉලක්කය බලා හිම තට්ටු අතරේ තවත් ගොදුරකට බොබ් කැට් පනී. හිම තට්ටු ගැඹුරු වැඩි අවස්ථාවලදී බොබ් කැට්ට පහසුවෙන් ගොදුරු හසුකර ගැනීමට නොහැකිය. ගොදුරු අල්ලා ගන්න කිහිප වරක් බොබ් කැට් උත්සාහ ගනී. ඒත් ඒ සෑම උත්සාහයක්ම අසාර්ථකය. ශීත සෘතුව උත්සන්න වෙද්දී, හිම තට්ටුවල ගැඹුරින් වැඩි වෙයි. එවිට ගොදුරු සොයා ගැනීම තවත් අසීරුය. මේ කාලයට බොබ් කැට් තමා ජීවත්වන වැයික්කිය අතහැර සැතපුම් ගණනාවක් ඈතට ගමන් කරන්නේ ගොදුරු අල්ලා ගැනීමට පහසු තැන් සොයමිනි. එසේ ගමන් කරන හැම බොබ් කැට්ටම වාසනාව පෑදෙන්නේ නැත. ඒත්, අපේ කතා නායකයාට වාසනාව පෑදෙයි. 


උණුසුම් නිම්නය


බොබ් කැට් පැමිණෙන නිම්නය සුවිශේෂී එකකි. දරාගත නොහැකි සීතල සහ හිම මැද මෙම නිම්නයේ ඇති ගංගාව මිදෙන්නේ නැත. ඊට හේතුව උණුදිය උල්පත්වලින් එය පිරී පැවැතීමය. උණු දිය ලැබෙන්නේ මෙම ගංගාව අයත් නිම්නය යමහලක් මත පිහිටීමය. එහෙයින්, ගංගාවේ ජලය අවට වාතයටත් වඩා සෙල්සියස් අංශක 50 ක් උණුසුම්ය. මෙය සතුන්ගේ පාරාදීසයයි. බඩගින්නෙන් සිටින හැම සතකුම පාහේ මේ උණුසුම් නදිය පිහිටි නිම්නයට ඇදෙයි. නොයෙක් කොක්කු විශේෂ, තාරාවන්, කයෝටි හිවලුන්, දිය බල්ලන්, මූස් ගෝනුන්, පිනිමුවන් ආදී රොකී කඳුකරයට ආවේණික මෙන්ම සීතලෙන් බේරීමට උත්සාහ ගන්නා සෑම සතකුම පාහේ පහළ පිහිටි මෙම නිම්නයට පැමිණෙයි.


ගංගාව හරහා ...


උණුසුම් ගංගාව ශීත කාලය පුරාවට ආහාර එසේත් නැතිනම් මාළුන්ගෙන් පිරී පවතී. මාළු අල්ලන්න හැකි නම් ආහාරවලින් අඩුවක් නැත. වතුරට පැන මාළු අල්ලන්න එතැනට පැමිණ සිටින කයෝටි හිවලෙක් උත්සාහ ගනී. කයෝටි හිවලුන් පවා ශීත කාලයට මාළු අල්ලන්න හපනුන්ය. බොබ් කැට් සෙමින් සෙමින් ගං ඉවුර වෙත පැමිණෙයි. බළල් පවුලේ සාමාජිකයකු වීම නිසාම, බොබ් කැට් සිරුර තෙමා ගන්න කැමැත්තක් දක්වන්නේ නැත. විකල්පයක් නැතිනම් වතුරට බැසීමට සිදුවන බව බොබ් කැට් හොඳින් දනී. අකමැත්තෙන් වුවත්, ගංගාවේ මැද මාළු සිටින හරියට යෑමට බොබ් කැට් තීරණය කරයි. ගංගාව මැද ඇති ගලින් ගලට බොබ් කැට් පනී. බොබ් කැට් ගංගාවේ අනෙක් ඉවුරට යයි. දැන් අල්ලා ගැනීම කළ යුත්තේ කුමන විදියේ ගොදුරක් දැයි පැහැදිලිව තෝරා ගැනීම කළ යුතුය.


ලේනෙක්


රන්වන් ඇස් තාරාවෝ ගංගාවේ පිහිනමින් සිටිති. තාරාවකු අල්ලා ගන්න ඉවුරේ සැඟවී සිටින බොබ් කැට් කුරුමානම් අල්ලයි. තාරාවා ළඟට පිහිනා එද්දී අසුරු සැණින් ක්‍රියාත්මක වී තාරාවා දෙසට පනී. තාරාවා බොබ් කැට්ගෙන් බේරී යයි. තෙත බරිත වුණු බොබ් කැට් ගංගාව හරහා යන්න තීරණය කරයි. ගංගාව අනෙක් ඉවුරේ ගංගාවට ළංව පිහිටි ගස් හරිත වර්ණයෙන් දිදුලයි. ඒ, ගංගාවෙන් නිකුත් වන උණුසුම් ජල වාෂ්ප නිසාය. ගස්වල ඉහළ අතු අතරේ ගොදුරු සැඟවී සිටිය හැකි බව බොබ් කැට් දනී. එක් රූස්ස පයින් ගසක ඉහළ හඬ නගන ලේනකු බොබ් කැට්ගේ ඉලක්කය වෙයි. ලේනා සිටින්නේ අඩි 20 ක් උසිනි. ඉලක්කය හොඳින් බලා එක පිම්මට ගසේ කඳ බදා ගන්නා බොබ් කැට් විදුලි වේගයෙන් ගස දිගේ ඉහළට නගින්න පටන් ගනී. එය ඉතා ක්ෂණිකව සිදුවිය. බොබ් කැට් නතර වන්නේ ගස මුදුනට ගොස් ලේනා කටින් අල්ලා ගැනීමෙන් පසුවය. විදුලි වේගයෙන් ඉහළට නගින් බොබ් කැට් ගොදුර කටින් ගෙන සෙමින් සෙමින් පහළට බසී. ලොකු ගොදුරක් නොවුණත්, ලේනාගෙන් සෑහීමකට පත් වෙන්න බොබ් කැට්ට සිදුවෙයි. සීතල කඳුකරයේ දිව රැක ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒත් බොබ් කැට් ඒ අසීරු ජීවිතයට හොඳින් හැඩ ගැසී ඇති අයුරු සැබැවින්ම අපූරුය. 

 

ගලින් ගලට පය තබමින්

ගොදුරක් දැක පනිමින්....

ගංගාව තරණයට සූදානමින්

දිග පිම්මක්

ගොදුරු සොයමින්

තාරාවෝ

ලේනා දැක...

ගසට නගී

ලේනා අල්ලා ගනී

 

 

 

ලුසිත ජයමාන්න
බී.බී.සී ප්ලැනට් අර්ත් ඇසුරිනි