කතරගම වන අඩවියේ අබිරහස්


 

රෝග බියකදී, අතුරු ආන්තරාවකදී, පිහිටාරක්‍ෂාව මෙන්ම භවභෝග වගාවේදී ද ආරක්‍ෂක දෙවිකෙනෙකු ලෙස කතරගම දෙවියෝ ප්‍රකටය. අද වනවිට හින්දු පමණක් නොව බෞද්ධයන් අතරද සුවිශේෂ ඇදහීම්වලට මෙන්ම ගෞරවාදරයට පාත්‍ර වූ දෙවියකු ලෙසත් කතරගම දෙවියෝ සැලකෙති.   


කතරගම දෙවියන් හින්දු භක්තිකයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේ මුරුගන්, වේලන්, ස්කන්ධකුමාර, වේලුපිල්ලේ, සුබ්‍රමනියයම්, කන්දසාමි, කතිරවේල්, කාර්නික, තාරකාජින්, කදිරදේව, යන නම් වලිනි. කතරගම දෙවියන් යනු මුරුගන් නොව කකුසඳ බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කළ තරු රජුගේ සේනාපතියෙකු වී සිට පසුව රජ වූ කතරගම මහසෙන් රජු බවට ද මතයක් පවතී. බොහෝ අනුහස් ඇති දෙවියෙකු ලෙස කතරගම දෙවියන් විශ්වාස කරන අතර ජන ශූන්‍ය ප්‍රදේශවලදී කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ලැබීම ගැන විවිධ ජනප්‍රවාද ද සමාජයේ පවතී.   


ගිනිදලුවක හැඩයෙන් යුත් තලයකින් සමන්විත හෙල්ලයක් වූ වේලායුදය කතරගම දෙවියන්ගේ ආයුධයයි. එය කතරගම දෙවියන්ගේ මෑණියන් වූ පාර්වතී විසින් සූරපද්මන් සමඟ යුද්ධයේදී භාවිත කිරීමට ඇගේ බලය කතරගම දෙවියන්ට ලබාදීමක් ලෙස මෙම වේලායුදය ලබාදුන් බව ජනප්‍රවාදයේ කියැවෙයි.   


නැගෙනහිර පළාතට අයත් පානම් පත්තුවත් ඌව පළාතට අයත් කතරගමත් අතර වූ ප්‍රදේශයේ කුඹුකන් ඔයෙන් එගොඩ නැගෙනහිර දෙසින් පිහිටි හැලව, වදගම, කුමන, මීයන්ගොඩ අතීතයේ ජනාවාස භූමි විය. මේ ගම්මාන අද කුමණ ජාතික ජාතික උද්‍යානයට අයත්ය. මේ ඇතැම් තැන්හි ආදීවාසී ජනතාව හෙවත් වැදි ජනතාව ද විසූ බව පොත්පත්වල ද ජනප්‍රවාදයේද කියැවේ. එවැනි වැදි පරපුරකට නෑකම් කියන ජනකොටසක් වර්තමානයේ පානම ගම්මානයේද වෙසෙන බව සඳහන් වේ.   


කාට කාටත් හොර රහසේම කතරගම දෙවියන් යදින්නට දේශපාලනඥයෝ වැඩි කැමැත්තක් දක්වති. මේ නිසා කාටත් පහසුවෙන් යා හැකි කතරගමට නොගොසින් ඉතා අපහසුවෙන් වෙහෙස මහන්සි වී කුමණ මහ කැලෑව මැද පිහිටි සියඹලා දේවාලය හෙවත් මහකැබිලිත්ත දේවාලයට යාමට ඔවුහු කෙසේ හෝ සූදානම් වෙති. මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය පිහිටි බිම නිස්කලංකය. සුළඟට සෙලවෙන ගස්වල අතු සහ කොළවල හඬත් කුරුල්ලන්ගේ කිචිබිචි නාදයත්, ඉඳහිට තරමක උස් හඬින් කෑගහන වන සතෙකුගේ හඬත් හැරෙන්නට පරිසරයේ ඇත්තේ නිහඬ බවකි.   


ඒ නිසා භාවනා කරන්නට හෝ නිදහසේ වෙසෙන්නට මේ පරිසරය ඉතා උචිතය. මතු බුදුවීමට පෙරුම් පුරන කතරගම දෙවියන් මේ මහකැබිලිත්තේ භාවනානුයෝගීව වැඩ වෙසෙතැයි යන උපකල්පනය දේව භක්තිකයන් තුළ පවතී. එනිසා මහකැබිලිත්ත දේවාලයට ඇවිත් කතරගම දෙවියන්ට පූජාවක් තැබීමෙන් තමන්ගේ අභිමතාර්ථයන් ඉටුවන බවට ඇති විශ්වාසය නිසාම ගෙවුණ දශක කිහිපය තුළ විධායක ජනපතිවරු කිහිප දෙනෙකු ද ඇතුළු බොහෝ දේශපාලනඥයෝ මහකැබිලිත්තට පැමිණ ගියහ.   


හැටේ දශකයේ කොළඹ පුරපතිවරයාව සිට පසුව අගමැති සහ විධායක ජනාධිපතිධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා මහකැබිලිත්ත දේවාලයට මුලින්ම පැමිණ ඇත්තේ කොළඹ පුරපතිවරයාව සිටිය කාලයේය. පානම්පත්තුවේ මෙන්ම කොටියාගල, ඇමැතිමලේ ගම්වල මෙන්ම වනජිවී දෙපාර්තමේන්තුවේද ඒ මතකය ඇති විශ්‍රාමික නිලධාරීහු අදටත් සිටිති.   


වත්මන් රජයේ ඇමැතිවරයකු වන ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා නිතර කැබිලිත්තට පැමිණි කෙනෙකි. 1975 වසරේ මහ දේවාලයට නුදුරුව පිහිටි බෝධීන් වහන්සේ පාමුල කුඩා බුදුගෙයක් තනවා තිබීම ඊට නිදසුනකි. වනජීවී දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින් පවසන්නේ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එකළ මේ පරිසරයට ඉතා ඇල්මක් දැක්වූ බවයි. දෙතුන් දෙනෙකු සමඟ මහකැබිලිත්ත වැඳපුදා ගන්නට ඔහු ආවේ සිරිතක් ලෙස යැයි ඔවුහු කියති.   


තාන්න මාන්න බලාපොරොත්තුව එදා කතරගම දෙවියන්ට පූජාවන් තියන්න මහකැබිලිත්තට දේශපාලනඥයෝ නොපැමිණියහ. කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කර ආශීර්වාද ලබා ගන්නට ඔවුහු පැමිණියහ. තනතුරු ඉල්ලා දෙවියන්ට කරදර නොකළහ. දෙවියන්ට පින් අනුමෝදන් කළ විට දෙවියන්ගේ පිහිට ලැබෙතැයි ඔවුහු විශ්වාස කළහ.   


සැබැවින් එවැන්නන් දෙස දෙවියන්ගේ බැල්ම ලැබුණි. නගරාධිපති තනතුරේ සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ඇමැතිවරයකු සහ අගමැතිවරයා ද වී ජනාධිපති තනතුර ලබන්නට මහකැබිලිත්තේ වැඩසිටින කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාද ද හේතු වන්නට ඇතැයි සිතා දෝ ඉන්පසු දේශපාලනඥයෝ එහි වැඩිපුරම ගියහ.   


මිනිස් වාසයෙන් කිලෝමීටර් හැත්තෑවක් අසූවක් දුරක් ගෙවාගෙන මහකැබිලිත්තට ඔවුන් ගියේ මීට දශක පහ හයකට පෙර දීය. නමුත් අද ඒ දුර වඩවඩා ළංව පවතින්නේ වනාන්නතරය මිනිසා විසින් ආක්‍රමණය කළ නිසාය.   


මහකැබිලිත්තට යන පාරවල් දෙකකි. එකක් නැගෙනහිර පළාතේ පොතුවිල් පසුකර, ගොස් පානම ගම්මානය හරහා ඕකන්දට පැමිණ කුමණ ජාතික උද්‍යානයෙන් ප්‍රවේශ පත්‍ර ලබා යායුතුය. එසේ යනවිට හැලව, බාගුරාව, කුමණ, ආදී ප්‍රදේශ පසුකර කුඩාකැබිලිත්ත හෙවත් මඩමෙතොට පැමිණ එතැන් සිට දුෂ්කර මාර්ගයක් ඔස්සේ, අලුත්ගං ආර, අලකොළ ආර, කලුකුඤ්ඤං ආර ආදී ආරවල්වලින් එගොඩ වී කුඹුකන් ඔය ඉවුර ආසන්නයෙන් ඇති දුෂ්කර මාර්ගය ඔස්සේ ආ යුතුයි. කුමණ පිවිසුමේ සිට මහකැබිලිත්තට දුර කිලෝ මීටර් අසූවකට ආසන්න බව වනජීවී නිලධාරීහු පැවසූහ. මේ මාර්ගයෙන් එන අයට දැඩි නීති රීති බලපායි.   


අනෙක් පාර වැටී ඇත්තේ ඌව මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ සහ කොටියාගල හරහා ය. කොටියාගලට දෙව්පුදසිරිගම දක්වා සාමාන්‍ය වාහනවලින් පැමිණිය හැකිය. එතැන් සිට කිලෝමීටර් හතළිහක දුරක් යා යුතු අතර ඒ දුර යා හැක්කේ ට්‍රැක්ටර්වලිනි. ඊට අමතරව මහකැබිලිත්තේ යන්නටම සැකසූ ජීප් රථ කිහිපයක් ද තිබේ.   


මේ මාර්ගයෙන් මහකැබිලිත්තට යන්නට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැත. දිවා රාත්‍රී දෙකේ ඕනෑම වේලාවක මහකැබිලිත්ත බලා යන්නට මෙන්ම මහ කැබිලිත්තේ සිට එන්නට කොටියාගල පාරෙන් හැකියාව තිබේ. ඒ නිසා මේ මාර්ගයේ වරෙක බලධාරීන් වන්නේ මහකැබිලිත්තට යන ට්‍රැක්ටර්වල රියැදුරන් සහ කපු මහත්වරු ය.   


2009 යුද්ධය නිමාවන්නට පෙර මහකැබිලිත්ත පිහිටි යාල කලාප අංක දෙකත්, කුමණ ජාතික උද්‍යානයට අයත් ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටියේ කොටි ත්‍රස්තවාදීන්ය. ඒ නිසා මේ කාලයේ කොටි ත්‍රස්තයන් සමඟ සම්බන්ධකම් පැවැත්වුවන් හැර වෙන කිසිවෙකුත් මහකැබිලිත්තට නොගියහ.   

 

අද ජරාවාස වී ඇති කුඹුක්කන්ඔය   

 


කොටියාගල සිට මහ කැබිලිත්ත දක්වා යායුතු මගද පහසු නැත. ට්‍රැක්ටර් යාම නිසාම පුංචි වැස්සකදී වුවත් ඒ පාර මඩ වෙයි. එවැනි අවස්ථාවල මඩවළවල් මඟහැර ඒ අසලින් තවත් පාරක් තැනෙයි. මේ නිසා කොටියාගල පාර අද වනවිට ඉවක් බවක් නැතිව පැමිණෙන ට්‍රැක්ටර් සහ වාහන නිසා වනාන්තරයට සතා සිවුපාවාට බාධාවක්ව පවතී.   


මහකැබිලිත්තේ සියඹලා දේවාලයට එන වාහන කුඹුක්කන් ඔය ගංඉවුරට පැමිණ නැවතිය යුතුය. ඉන් එහාට පාරක් නැත. මුලින්ම රැගෙන ආ බඩුමුට්ටු දානය පිළියෙල කිරීමට සුදානම් කරගැනේ. ඉන්පසු කුඹුකන් ඔයෙන් දියනා ගංඉවුරේ වැල්ලේ වළවල් හාරා නොඉඳුල් දියෙන් මුරුතැන්බත් දානය සකසාගැනීම සිරිතය. එසේම මේ කටයුතු කරගැනීම සඳහා නැවතී සිටින මෙගොඩ ඉවුරේ රාත්‍රී අඳුර මකා ගන්නේ පහන් එළියකින් හෝ බැටරි උපයෝගී කරගෙන දල්වා ගන්නා බල්බයකිනි. කොටියාගල පැත්තෙන් කුලී ගමන් එන ට්‍රැක්ටර්වල මෙවැනි විදුලිපහන් පහසුකම් ලබාදෙයි. එසේ නැත්නම් කැලේ ඇති දර එකතු කරගෙන දල්වාගත් ගිනිමැලයකින් අඳුර මකා ගැනීම සිරිතය.   


මහකැබිලිත්තේ සියඹලා දේවාලය හෝ මහකැබිලිත්ත දේවාලය කියූ සැණින් කෙනෙකුගේ සිතට නැගෙන්නේ වහලයක් සහ බිත්ති සහිත පැරණි ස්වරූපයේ දේවාලයක් විය හැක. නමුත් පළමු වරට එහි යන කෙනෙක් තම සිතේ මවාගත් මහකැබිලිත්ත දේවාලය කොහේදැයි සොයන්නේ සැබැවින්ම එහි දේවාලයක් නැති නිසාය.   


යාල කලාප අංක දෙකේ කුඹුකන් ඔය ඉවුරට මීටර් දෙසීයක් පමණ කැලෑව තුළට වන්නට පිහිටා තිබූ අඩි පහළොවක් පමණ උස් වූ වට අඩියකට වැඩි නොවූ කුඩා සියඹලා ගසක් ඉදිරිපිට අඩි දෙකේ දෙකේ සුදු යකඩ ආවරණයක් තුළ කතරගම දෙවියන්ගේ රුවක් තැන්පත් කර ඒ ඉදිරිපිට පූජාවන් තැබීමට කුඩා ආසනයක් තනා තිබුණි. ඒ මීට වසර හය හතකට පෙරදීය.   


ඒ සියඹලා ගස වටකොට අඩි විස්සේ විස්සේ හරි හතරැස් කොටුවක් වැනි සුදුවැලි ඇතිරූ බිම මහකැබිලිත්ත දේවාලය විය. ඒ බිමේ එක් මුල්ලකට වන්නට එතැන තිබූ පැරණි දේවාලයේ ලී කණුවක් 2012 වසරේ එහි ගිය අවස්ථාවේ දැකගත්ත ද දැන් එය එහි නැත.   


මහකැබිලිත්තට යනවිට මාසයක් පමණ මස් මාංශ අනුභවයෙන් වැළකී පේ වී සිට යාම සිරිතක් විය. එසේ නොයන අයට විවිධ අතුරු ආන්තරාදිය සිදුවන බවට එදා ලොකු විශ්වාසයක් විය. එවැනි අතුරු ආන්තරාදියට මුහුණදීම එවැන්නන්ට සිදුවු බව ද සත්‍යයක්ම විය.   


කලකට ඉහතදී කාන්තාවෝ මේ පුදබිමට නොගියහ. ඊට හේතුවක් විය. භාවනානුයෝගීව වැඩ සිටින කතරගම දෙවිඳුන්ගේ දැහැන බිඳෙන නිසා කාන්තාවන් මෙන්ම කුඩා දරුවන් ද එහි රැගෙන නොයාමට එදා මහකැබිලිත්තට ගිය බැතිමත් හු පියවර ගත්හ. ඒ නිසා මහකැබිලිත්ත පුදබිම මහා හාස්කම්වලින් යුතු තැනක් විය.   


සුදුවැලි ඇතිරූ දේවාලය තිබුණ බවට විශ්වාස කරන සීමාවේ එකදු කොළයක් හෝ වැටී ඇති අවස්ථාවක් අතීතයේ නිරීක්‍ෂණය කළ නොහැකි විය. අතුපතු ගාන කිසිවෙකුත් එහි නොසිටියද සැබැවින්ම එතැන සුපිරිසිදුය.   
මෙතනට යන සෑම කෙනාම දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලන්නේ තමන් විසින්මය. මුලින්ම කුඹුක්කන් ඔයේ වාහන නවත්වන අන්තයේ ඇති බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරති. දෙවනුව කුඹුක්කන් ඔයෙන් එගොඩ මහකැබිලිත්ත දේවාලයට යන පාරේ පිහිටි බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරති. එසේ කිරීමෙන් පසු කුඩා සියඹලාවට ගොස් පූජා වට්ටි තබා තමන් විසින් පැමිණි කාරණය දෙවියන්ට සැලකරන්නේ සිතෙනි. හඬ නගා කීමක් හෝ යාතිකා කිරීමක් එතැන සිදු නොවිණි.   


ඉන් පසු ඊටත් තරමක් දුරින් පිහිටි මහ සියඹලාවට ළඟට ගොස් එතැනදී දී තමන් පැමිණි කාරණාව සිහිපත් කර කතරගම දෙවියන්ගේ ආශිර්වාද පතති. එහෙත් දැන් ඒ අතීත චාරිත්‍ර සියල්ල කණපිට පෙරළී ගොසිනි. කපු මහත්වරුන් සමඟ පැමිණෙන නඩ තමන් පැමිණි කාරණාව මහ වනය ගිගුරවමින් කපු මහත්වරුන් ලවා යාතිකා කරවති. එකිනෙකා පරයමින් කෙරෙන යාතිකා නිසා භාවනානුයෝගීව සිටින්නේ යැයි විශ්වාස කරන කතරගම දෙවිඳුන්ට එය මහා බාධාවක් වනු ඇත.   


කෙසේ නමුත් ඇතැම් කපු මහත්වරු ඉතා මැනවින් බෝධිපූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කරති. ඒ බෝධිපූජා පවත්වන මිහිරි නාදය වනාන්තරය සිසාරා හමායන විට දැනෙන්නේ පහන් හැඟීමකි. මේ කපු මහත්වරුන් අතර දේව කන්නලව් හෝ නිසි ආකාරයට බෞද්ධ ආගමික කටයුතු නොදත් අය ද සිටින බව පෙනේ. සමහර කපු මහත්වරු දේවාලයක් ඉදිරියේ කරන යාච්ඤා බෝධීන් වහන්සේ ඉදිරියේ කරන ආකාරයක් පෙනේ.   


ඒ නිසා දැන් මහකැබිලිත්ත ද ජනාකීර්ණ තැනක් බවට පත්ව තිබේ. මහකැබිලිත්ත සිය යැපුම් මාර්ග බවට පත් කරගත් මිනිසුන් නිසා එතැන තිබූ නිහඬ බව වගේම හාස්කම් සහ ගෞරවයට ද විශාල හානි සිදුව තිබේ. දේවාලයට මුරුතැන් පූජාව සකසා පූජා වට්ටි පිළියෙල කිරීමට කැපූ පළතුරුවල සහ මුරුතැන් බත් පිසිනු ලැබී මුට්ටි කුඹුකන් ඔය ඉවුරේ තැනින් තැනය.   


කුඹුකන් ඔය දෙපස එවැනි කුණු ගොඩවල් ගණනාවකි. දෙවියන්ට නොව මනුස්සයෙකුට හෝ සිටින්නට බැරි ලෙස අපිරිසිදුය. කාන්තාවන් සමඟ පැමිණෙන ළමයින් මෙන්ම තරුණ තරුණියෝ ද උස් හඬින් කෑ ගසමින් කුඹුක්කන් ඔයේ දිය කෙළිති. සමහරුන්ගේ ඇඳුම් පැලඳුම් මෙන්ම හැසිරීම් ඒ පරිසරයට අනුචිතය.   


දැන් මහකැබිලිත්ත විනෝද වන්නට එන තැනක් බවට පත්ව තිබේ. වන්දනාකරුවන් රැගෙන එන ට්‍රැක්ටර්වල හඬින් වනයේ ඇති නිසසල බව පහව ගොසිනි. සමහර දවසට ට්‍රැක්ටර් පනහ ඉක්මවා පැමිණ ඇති බව කීවේ එතැන පිහිටුවා ඇති යුද හමුදා කඳවුරේ සෙබළෙකි. ආරක්‍ෂක හේතූන් මත සිය නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි හමුදා සෙබළෙකු පැවසුවේ දීර්ඝ සති අන්තවල දී දහස ඉක්මවා සෙනඟක් එහි එන බවයි.   
වසර කිහිපයකට පෙර රාත්‍රී කිහිපයක් කුඹුක්කන් ඔය ඉවුරේ ගත කළේ කතරගම දෙවිඳුන්ගේ හාස්කම් ලිපි පෙළ ලිවීමට අත්දැකීම් ගන්නටය. එදා සමහර දිනවල කිසිවෙකුත් නැති අවස්ථා ද තිබුණි. එහෙත් මෙදා හැම විටම ට්‍රැක්ටර් දෙක තුනක් හෝ ජීප් රථයක් දෙකක් වරදින්නේ ද නැත.   


කුඹුක්කන් ඔය ඉවුරේ අක්කර දෙක තුනක් එළිපෙහෙළි වී ගොසිනි. ප්ලාස්ටික්, ඉටිකොළ, ආදී නොදිරන අපද්‍රව්‍ය ගොඩවල් තැනින් තැනය. කුණු කන්නට වනයේ අලි සිව්දෙනෙක් පැමිණෙයි. කලින් සිටියේ අලි දෙදෙනෙකි. එකෙක් මද්දූය. අනිකා දඟයා ය. ඒ නම් තබා ඇත්තේ මහකැබිලිත්ත දේවාලය අසල පිහිටි යුද හමුදා කඳවුරේ සෙබළුන්ය.   


උන් දෙන්නාට අමතරව තවත් අලි දෙන්නෙක් දැන් එහි පැමිණෙති. එකෙකුගේ වලිගය කොටය. මද්දු හැර අනික් තිදෙනාම දරුණුය. සමහරු පස්සෙන් පන්නයි. දේවාලයේ පූජාවට ගෙනා පලතුරු කන්නට අඳුරු වැටුණු පසු පැමිණෙති. එය වන්දනාවට එන නඩවල ආරක්‍ෂාවට විශාල තර්ජනයකි.   


’‘මෙතන තියන හාස්කම් අනුව තමයි මේ නපුරු අලි කිහිපදෙනා එන්නේ. ඉස්සර මෙහෙම තිබුණේ නෑ. දැන් එන සමහරු හරියට පේවෙලා, භක්තියක් ඇතුව එනවා නෙවෙයි. ඔහේ විනෝ​ෙදට එනවා. අලි කරදර කරන්නේ ඒ වගේ අයටයි.” ආරක්‍ෂාවට ස්ථාපිත කර ඇති හමුදා කඳවුරේ සෙබළෙක් පැවසුවේ ය.   

 

 


(ඉතිරි කොටස ලබන සතියට)


සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය