අණවින-කොඩිවිනවලට බියවී යුරෝපයේ කාන්තාවන්ට වදදුන් හැටි


තුන් වැනි ලෝකයේ හා ඉස්ලාමීය රටවල වෙසෙන කාන්තාවන්ට සම අයිතීන් නොමැති බවට චෝදනා කරන බටහිර ජාතීහු, කාන්තා අයිතිවාසිකම් පිළිගැනීම, කාන්තාවට සම තැන දීම, කාන්තාවන් වැඩි වශයෙන් දේශපාලනයට යොදා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් තමන් උපරිමයෙන්ම ක්‍රියා කරන බවට උදම් අනති. එහෙත් අතීතයේ කාන්තාවන් දැඩි වධ බන්ධනවලට හා තාඩන පීඩනවලට ලක් කරන ලද්දේ වර්තමානයේ කාන්තාවට සම තැන ලබාදිය යුතු බවට හඬ නගන බටහිර ජාතීන් විසින්මය. පුරුෂාධිපත්‍යය දැඩිව ක්‍රියාත්මක වූ මධ්‍යකාලීන යුගයේ කාන්තාවෝ විවිධ තාඩන පීඩනවලට මුහුණ පෑහ.  

15 වැනි සියවසට පෙර කාලයේ සිට කුරුස යුද්ධවලට සහභාගි වූ එංගලන්තයේ නයිට්වරු තම බිරියන්ට යකඩින් හෝ සම්වලින් තනන ලද ‘චැසිටිටි බෙල්ට්’ නම් උපකරණයක් පළඳවා එහි යතුර රැගෙන යෑමට පුරුදුව සිටි බව ඉතිහාසයේ සඳහන්ය. එම උපකරණය පැළැන්දූ විට එම ස්ත්‍රියට කිසිදු ලිංගික සබඳතාවක් පැවැත්විය නොහැකි වූ අතර නයිට්වරයා යුද්ධය අවසන් වී යළි පැමිණෙන තෙක් ඇය එම උපකරණය පැළැඳ සිටිය යුතු වූවාය. තමන් නොමැති කාලය තුළ තම බිරිය වෙනත් පුරුෂයකු ඇසුරු කරනු ඇතැයි බියෙන් ඔවුහු මෙවැනි ක්‍රියාවල නිරත වූ බැව් පැවසේ. තම බිරිය පමණට වඩා කතා කරන්නියක නම් ඇයගේ දිව හිරවන ලෙස දැති සහිත යකඩ වෙස් මුහුණක් පැළැඳවීමට ඇතැම් පුරුෂයෝ පියවර ගත්හ.   


අතීතයේ ස්ත්‍රීනට වධ බන්ධන පැමිණවීම සඳහා බටහිර ජාතීන් විවිධ උපකරණ නිර්මාණය කර තිබිණි. ඇතැම් උපකරණ ඉතා බිහිසුණු විය. ඉතා මුවහත් යකඩ තල සහිත පුටුවක හිඳුවා යටින් ගින්දර දමා වධ දීම, ඇණ සහිත විශාල රෝදයකට බැඳ එය වේගයෙන් කරකවා ඇගේ ඇටකටු කඩා දැමීම, දෙකකුලෙන් එල්ලා කියතකින් සිරුර කැබලි දෙකකට වෙන් කිරීම, ගබ්සා සිදු කරගත් කාන්තාවන්ගේ ලිංගික අවයව තුළට යකඩින් තැනූ උපකරණයක් ඇතුළුකොට ප‍්‍රජනන පද්ධතිය ඉරී යන ලෙස එකී උපකරණය ක්‍රියාත්මක කිරීම, යකඩ අඬු යොදා පියයුරු ඉරා දැමීම වැනි දරුණු වධ බන්ධන ද අතීතයේ ක්‍රියාත්මක වී තිබේ.   


එකල වැඩි වශයෙන්ම වධ බන්ධනවලට පත් කෙරුණේ යක්දෙස්සියෝ යැයි විශ්වාස කෙරුණු කාන්තාවෝය. හදිහූනියම් සහ අණවින කිරීම, මනුෂ්‍ය ඝාතනය හා සමාන අපරාධයක් ලෙස අතීතයේ පිළිගැනිණි. මෙවැනි කාන්තාවන් සොයා ගොස් ඔවුනට දඬුවම් පැමිණවීම සඳහාම වෙන් වූ පිරිසක් එකල සිටියහ. සැබෑ ලෙසින්ම හදිහූනියම් අණවින වැනි කටයුතුවල නිරත වූ කාන්තාවන් මෙන්ම අමනුෂ්‍යයන්ගෙන් සිදුවන උපද්‍රව යැයි පවසමින් සමාජය බියපත් කළ කාන්තාවන් මොවුන්ගේ දණ්ඩනවලට පාත‍්‍ර වූ අතර හිස්ටීරියා රෝගයෙන් පෙළුණු කාන්තාවන් ද, හුදෙකලාව ජීවත් වූ අවිවාහක කාන්තාවන් ද මන්ත‍්‍රකාරියන් සේ සැකකොට වධ බන්ධනවලට පත් කළ අවස්ථා ද තිබිණි. විවිධ ලෙඩ රෝග සුව කිරීම සඳහා පමණක් යාගහෝමවල නිරත වූ කාන්තාවන්ගේ වෘත්තිය වැරදි ලෙස තේරුම් ගැනීම මත ඔවුන් ද වධබන්ධනවලට පත් කළ අවස්ථා ද අතීතයෙන් හමුවේ. 


16 වැනි සියවසේ සිට 18 වැනි සියවස අතර කාලයේ මෙවැනි ක්‍රියාවල නිරත වූ කාන්තාවනට දඬුවම් කෙරුණේ ක්‍රිස්තියානු ධර්මයට පටහැනි ලෙස ඔවුන් යක්ෂයාට වන්දනාමාන කරන බවට චෝදනා කරමිනි. යුරෝපයේ ආගමික යුද්ධ පැවැති සමයේ විශාල වශයෙන් යක්දෙස්සියන් දඩයම් කෙරුණු අතර විශේෂයෙන් ප්‍රොතෙස්තන්ත ප‍්‍රතිසංස්කරණ සමයේ හා මධ්‍යම යුරෝපයේ පැවැති 30 වසරක යුද සමයේ යක්දෙස්සියන් සේ සැක කෙරුණු කාන්තාවන් 35,000ත් 100,000ත් අතර පිරිසක් ඝාතනය කර තිබේ. තවත් 200,000 කට අධික පිරිසකට වධ බන්ධන පනවා පණ පිටින් පුලුස්සා හෝ, දියෙහි ගිල්වා හෝ එල්ලා හෝ මරා දමා තිබේ. මොවුන්ගෙන් වැඩිම පිරිසක් මරා දැමුණේ ජර්මනියේය. 18 වැනි සියවස අවසන් කාලයේ යක්දෙස්සියන් යැයි සැකකොට කාන්තාවන් ඝාතනය කිරීම අභාවයට ගියේය. 


යක්දෙස්සියන් දඩයම් කළ පුද්ගලයන්ගේ සැකයට බඳුන් වූ කාන්තාවකට තම නිර්දෝෂීභාවය සනාථ කිරීම සඳහා ජයගත නොහැකි පරීක්ෂණ කිහිපයකට මුහුණදීමට සිදුවිය. ඒවා අතර පිහිනුම් පරීක්ෂණය, යාච්ඤා පරීක්ෂණය, ස්පර්ශ පරීක්ෂණය, අතුරුපස පරීක්ෂණය, මායා ලකුණු පරීක්ෂණය, ඇනීම් සහ සීරීම් පරීක්ෂණය, යැදීම් පරීක්ෂණය යන පරීක්ෂණ ප‍්‍රධාන විය. මේ සෑම පරීක්ෂණයකින්ම කාන්තාවට අගතියක් වූවා විනා ඉන් ජයගත නොහැකි විය. 


යක්දෙස්සියන් සේ සැකකර කාන්තාවක මරා දමන ලද බවට පළමු වරට වාර්තා වූයේ ක්‍රි.ව. 1390 වැනි කාලයේය. ඉතාලියේ වාසය කළ සිබිල්ලා සානි සහ පියරිනා ඩි බුගාටිස් නම් කාන්තාවන් දෙදෙනෙක් මිලාන් නුවර ධනවතුන්ගේ නිවෙස්වල ක්‍රිස්තියානි ධර්මයට පටහැනි වෙනත් ආගමික යාතුකර්මවල නිරත වූහ. මැඩෝනා ඔරියන්ටේ නමැති දේවතාවියක උදෙසා මෙම පුද පූජා පැවැත්වුණු අතර ඇය වෙනුවෙන් සතුන් බිලි දීමට ඉහත කී කාන්තාවන් කටයුතු කර තිබිණි. නඩු විභාගයකින් පසු ඔවුහු දෙදෙනා මරණයට පත් කරන ලදහ. 


යක්දෙස්සියනට එරෙහිව පළමු වරට නඩු විභාගයක් පැවැත්වූයේ ක්‍රි.ව. 1581දී ජර්මනියේ ට්‍රියර් ප‍්‍රදේශයේය. එම ප‍්‍රදේශයට පත්ව ආ නව අගරදගුරුවරයා ප්‍රොතෙස්තන්තයන්, යුදෙවුවන් හා යක්දෙස්සියන්, මිථ්‍යාදෘෂ්ටිකයන් වශයෙන් සලකන ලද්දේය. එහි කිසියම් දේශපාලනික අරමුණක් තිබිණි. ඔහුට අවශ්‍ය වූයේ තමන් ජෙසුයිට් නිකායට සහය පළකරන බැව් ප‍්‍රදර්ශනය කිරීමය. ක්‍රි.ව. 1587 සිට ක්‍රි.ව. 1593 අතර කාලයේ ගම්මාන 22 සිටි කාන්තාවන් 368 දෙනකු යාතුකර්මවල නියැළුණු බවට චෝදනා ලද අතර ඔවුන් සියලු දෙනා පණපිටින් පුලුස්සා මරා දැමිණි. 


ක්‍රි.ව. 1612 වැනි කාලයේ එංගලන්තයේ ලැන්කැෂයර් ප‍්‍රාන්තය යාතුකර්ම මඟින් ලෙඩ සුව කරන්නියන්ගෙන් පිරී පැවතියේය. රට පුරා අණවින පිළිබඳ බියක් පැතිර ගිය අතර රජුගේ නියමයෙන් එම ප‍්‍රදේශයේ යාතුකර්මවල නිරත වූ කාන්තාවන් විශාල පිරිසක් එල්ලා මරා දැමිණි. 


ඇමෙරිකාවේ යක්දෙස්සියක බවට පළමුවරට චෝදනා කෙරුණේ ඇල්සෙ යං නමැති කාන්තාවකටය. ඇමෙරිකාවේ යක්දෙස්සියන්ට එරෙහිව පැවැති ප‍්‍රකට නඩු විභාගය වනුයේ ක්‍රි.ව. 1692 දී මැසචුසෙට්හි පැවැති සාලෙම් නඩු විභාගයයි. එහිදී එම ප‍්‍රදේශයේ සිටි 150ක පමණ කාන්තාවන් පිරිසකට අණවින හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා කෙරුණු අතර ඉන් 18 දෙනකු වරදකාරියන් බවට සනාථ වීම හේතුවෙන් මරණ දඬුවමට ලක්කෙරිණි. 1697දී වින්ඩ්සර් ප‍්‍රදේශයේ කාන්තාවන් 46 දෙනකුට එරෙහිව නඩු විභාගයක් පැවැති අතර ඉන් 11 දෙනකුට මරණ දඬුවම හිමි විය. ඇතැම් පුද්ගලයෝ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා ඇතැම් කාන්තාවන්ට යක්දෙස්සියන් යැයි චෝදනා එල්ල කොට ඔවුන් මරා දැමීමට උත්සාහ කළහ. මේ හේතුවෙන් බොරු චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා නීති පැනවීමට රජයට සිදුවිය. 
ස්වීඩන් ඉතිහාසයේ යක්දෙස්සියන් සේ චෝදනා ලැබූ කාන්තාවන් වැඩිම පිරිසක් මරා දැමුණේ 1674දී ටොර්සකර් ප‍්‍රදේශයේදීය. එකම දිනයකදී ගෙල සිඳීමෙන් හා පණ පිටින් පුලුස්සා දැමීමෙන් කාන්තාවන් 35 දෙනකු ඝාතනය කෙරිණි.  

 


මතු සම්බන්ධයි 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා