ෙම් ආණ්ඩුව හොඳ නැත්නම් අලුත් හොඳ එකක් හදනවා මිසක් ආපස්සට නම් යන්නේ නෑ


මහ නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක   

රටේ උණුසුම් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් මහ නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය - 20 වැනි සංශෝධනය ගේන එක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට තිබෙන එකම මාර්ගය කියලා කියපු ආණ්‍ඩුව අන්තිමට ඒක අකුලා ගත්තා.   


පිළිතුර - ඒකට හේතුව 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයේ විනිසුරුවන් තුන් දෙනෙකු විසින් දීපු තීන්දුව. පළාත් සභා ඡන්දය කල් දැමීම නිසා ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය නැති වෙනවා කියන පදනම මත ජනමත විචාරණයක් අවශ්‍යයි කියලයි තීන්දුව දුන්නේ. හැබැයි එතැනදී මූලික නීතිමය තර්කයකුත් පැන නගිනවා.

  

ප්‍රශ්නය - ඒ මොකද්ද?  

පිළිතුර - ඒ තමයි පළාත් සභා ක්‍රමයම පවතින්නේ තුනෙන් දෙක මත. පළාත් සභා ක්‍රමය පිහිටුවන්න ව්‍යවස්ථාවේ තියෙන ජනමත විචාරණයට තුඩු දෙන වගන්ති උල්ලංඝණය වෙන්නේ නෑ කියලා ඔය ශ්‍රේ‍ෂ්ඨාධිකරණයම තුන් දෙනෙක් නොවෙයි විනිසුරුවන් නමදෙනෙකුම තීන්දුව දුන්නා. මේකට මේ පළාත් සභා මැතිවරණත් තියන එක සම්බන්ධ කරලා බලනවනම් ඉදිරියේ දී පළාත් සභා ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ද කියන නීතිමය තර්කයත් මෙතැනදී පැන නගිනවා. එතකොට 20 වැනි සංශෝධනයට විරුද්ධව උසාවි ගිය අය පළාත් සභාවලට විරුද්ධ යැයි හැඟෙන අය අනියමාර්ථයෙන් කරලා තියෙන්නේ පළාත් සභා ක්‍රමය කවදා හරි වෙනස් කරන්න තියෙන ඉඩකඩත් මේ අධිකරණ තීන්දුව හරහා හරස් කරලා තියෙනවා. කෙසේ වෙතත් රජයේ අවශ්‍යතාවය පළාත් පාලන ඡන්දය, ඒ වගේම පළාත් සභා හා මහ මැතිවරණය කියන මේ ඡන්ද තුනම කිසියම් ඒකමතික ආකාරයට වෙනස් කිරීම. මහ මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය ගැන දැන් පක්ෂ අතර එකඟතාවයක් ඇති වෙලා තියෙනවා. පළාත් පාලන ඡන්ද ක්‍රමය ගැනත් එකඟතාවයක් ඇවිත්. ඒක අනුමත වෙලා ජනවාරි මාසයේ අලුත් ඡන්දයක් එක්ක ඒක ක්‍රියාත්මකවීමට නියමිතයි. ඊට සමාන්තර ක්‍රියාදාමයක් පළාත් සභාවලටත් අවශ්‍යයි. අනුපාත ක්‍රමයේත්, කොට්ඨාස ක්‍රමයේත් සම්මිශ්‍රණයක්. ඒක තමයි ආණ්ඩුවේ අරමුණ මේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන්.   

 

ප්‍රශ්නය - ආණ්‍ඩුවේ අරමුණ ඒක කියලා ඔබ කිව්වත් ඇත්ත අරමුණ ඡන්ද කල්දා ගැනීමයි. ආණ්ඩුව ඡන්දවලට බයයි.   
පිළිතුර - නෑ. කිසිසේත්ම එහෙම ප්‍රශ්නයක් නෑ. ඡන්ද ක්‍රමය වෙනස්කර ගැනීමයි අරමුණ. කොහොමත් පළාත් සභා මැතිවරණ අවසන් වෙන්නේ 2019 වසරේ මැද. තව විශාල කාලයක් ඒකට තියෙනවා. ඇත්තවශයෙන්ම පළාත් සභා කොටස් වශයෙන් තියන්න හැකි වුණේ මහින්ද රාජපක්ෂ ආණ්‍ඩුව කාලයේ යුදමය තත්ත්වයත් එක්ක ඇති වෙලා තිබුණ ආරක්ෂක හේතුයි.   


ප්‍රශ්නය - පළාත් සභා කඩින්කඩ තියන්න මුලින්ම පටන් ගත්තේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලයෙයි?   

පිළිතුර - නමුත් ප්‍රධාන හේතුව වුණේ‍ අර මම මුලින් කියපු එක. ඊළඟට මේක දේශපාලන සූදුවක් වුණා. මොකද විරුද්ධ පක්ෂය දේශපාලන වශයෙන් ඒ අයගේ සම්පත්, ඒ අයගේ ක්‍රියාශිලීත්වය පියවරෙන් පියවර වට්ටන්න මේක උපයෝගී කරගත්තා. පළාත් සභා, පළාත් පාලන ආයතන කියන ඒවා මහ ඡන්දයක් මැද්දේ එනවානම් කිසියම් දුරකට ඒකෙන් ආණ්‍ඩුවක ධුර කාලය අතර ජනතාවගේ මතය විමසන්න හොඳ අවස්ථාවක් වෙනවා. අන්න ඒ ආකාරයට මේක සකස් වෙනවා නම් හොඳයි. මැතිවරණ කල් දානවට නම් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.   


ප්‍රශ්නය - මැතිවරණය නියමිත පරිදි පැවැත්විය යුතු කාලය වෙනකොට ඔය සංශෝධන කරගන්න බැරිනම් පැරණි ක්‍රමයට ඡන්දය තියලා ඊට පස්සේ ඔය සංශෝධන කරන්න බැරි ඇයි?   

පිළිතුර - එහෙමත් පුළුවන්. ඒක සියලු පක්ෂ විසින් කතා කරලා එකඟ විය යුතු කාරණයක්. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ සිට 2019 දෙසැම්බර් දක්වා පැතිරෙනවා. ඉතින් මේටික එකට එකතු කරලා එක දවසක තියාගන්න පුළුවන්නම් ඒක ජනතාවගේ ජයග්‍රහණයක්.  

 
ප්‍රශ්නය - කාන්තා නියෝජනය සියයට 30ක් කියන කාරණයත් එක්ක නැවත මේක කල්දා ගැනීමේ සූදානමක් තියෙනවා?   

පිළිතුර - නෑ. ඒ කාන්තා නියෝජනයට වඩා මෙතැන තියෙන ප්‍රශ්නය තමයි සියයට 60ක් කොට්ඨාස ක්‍රමයට, සියයට 40ක් අනුපාත ක්‍රමයට පත්කිරීමයි. සමස්තයක් වශයෙන් ගත්තාම ඒක අනුපාත ක්‍රමයක්. නමුත් කොට්ඨාසයට නියෝජිතයෙක් ලබාදීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ.   


ප්‍රශ්නය - නමුත් ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ ආණ්‍ඩුව ඡන්ද කල් දා ගැනීමේ උප්පරවැට්ටි තෝරමින් ඉන්නවා කියලයි.  

පිළිතුර - ඒකාබද්ධ විපක්ෂයට ඔය ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඔය ආකාරයට ඡන්ද තියලා ඡන්ද දිනන ක්‍රමයත් මේ රටට හඳුන්වලා දුන්නෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා ඒගොල්ලන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ ගමට මන්ත්‍රීවරයෙක් ලබාදීම තමයි රජයේ අරමුණ. ​මේ රජයට ජනවරමක් ලැබුණෙත් ඒ පොරොන්දුවට.

  

ප්‍රශ්නය - අප මේ සාකච්ඡාව කරන මොහොත වනවිටත් වෛද්‍යවරුන් වර්ජනයේ, විදුලි බලමණ්ඩලයේ සේවකයෝ වර්ජනයේ. රට තුළ මහා අරාජිකත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.   

පිළිතුර - ඔව්. ඇත්තටම විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි වැඩවර්ජන කියන ක්‍රියාවලිය හැම මොහො​ෙතම යුක්තිසහගත නෑ. ඒ වගේම යුක්තිසහගත අවස්ථා තියෙනවා වැඩ වර්ජනවලට යොමු වෙන්න. ඒ වගේම සමහර වැඩවර්ජන පිටිපස්සේ වෘත්තීය අයිතීන්වලට එහා ගිය දේශපාලන අරමුණුත් තියෙනවා. ඉතින් මැතිවරණ කිට්ටු වෙන්න වෙන්න ඔය දේශපාලන අරමුණු තියෙන අය වැඩ වර්ජන මෙහෙයවන්න හොයා ගන්නා ස්වභාවයකුත් තියෙනවා.   


ප්‍රශ්නය - සයිටම් විරෝධි ජන පවු​රේ ජාතික හෙළ උරුමයත් ඉන්නවා.   

පිළිතුර - අනිවාර්යයෙන්ම. සයිටම් එක සම්බන්ධයෙන් අපේ ස්ථාවරය හරිම පැහැදිලියි. මේ රටට සයිටම් ඇති කළේ මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල. ඒ අවස්ථාවේ අද ඔය වීරයෝ වගේ කතා කරන කිසිම කෙනෙක් ඒකට විරුද්ධව කතා කළේ නෑ.   


ප්‍රශ්නය - ඔබ කතා කළා?  

පිළිතුර - ඔව්. ඒකට විරුද්ධව කතා කළේ මම විතරයි.   

 

ප්‍රශ්නය - ජනාධිපති මහින්ද ඒ වෙලාවේ මොකද කිව්වේ?   

පිළිතුර - ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ මට කිව්වේ මේක එස්බීගේ වැඩක්. ඔයා ගිහින් එස්.බී. එක්ක කතා කරන්න කියලා.   


ප්‍රශ්නය - ඔබ එස්.බී. එක්ක කතා කළාද?   

පිළිතුර - ඔව්. මම රැයක් එළිවෙනකම් එස්.බී. දිසානායක මහත්තයාගේ ගෙදර ගිහිල්ලා මේ ගැන කතා කළා. අපේ අදහස ඉතා පැහැදිළියි. සයිටම් අහෝසි කරන්න ඕන.   


ප්‍රශ්නය - එතකොට ඒ ළමයි?   

පිළිතුර - ඒ ළමයින්ගෙන් සුදුසුකම් තියෙන අයට වෛද්‍යවරුවීමේ අවකාශය ලබාදෙන්න ඕනෑ. ඒ වගේම අපි ප්‍රතික්ෂේප කරන්නේ නෑ වෛද්‍ය උපාධියට මුදල් අය කිරීම. හැබැයි ඒක කරන්න ඕනෑ රජයේ විශ්වවිද්‍යාලවල Z ස්කෝර් එකට අනුව. දැන් තියෙන අර්බුදය විසඳීමේ පදනම කරගන්න ඕනෑ පීඨාධිපතිවරුන් යෝජනා කර තිබෙන නිර්දේශ.   


ප්‍රශ්නය - කොහොම වුණත් රට අස්ථාවර කිරීමේ වැඩ වර්ජන ඇතුළේ ජාතික හෙළ උරුමය නියෝජනය වෙනවා?  

පිළිතුර - අපි ඒකයි කිව්වේ යුක්තිසහගත වැඩවර්ජන තියෙනවා. මේක ඉතාම යුක්තිසහගත දෙයක්. ආණ්ඩුවකට බැහැ මෙහෙම ක්‍රියා කරන්න. අද විශ්වවිද්‍යාලවලට අලුතෙන් වෛද්‍ය ශිෂ්‍යයෝ බඳවා ගන්නේ නැහැ. පළමු අවුරුද්ද නිම කරලා නෑ නව වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක්. ඒ වගේම තවත් වෛද්‍ය ශිෂ්‍යයන් 7500ක් ගෙවල්වල හිර වෙලා ඉන්නවා. ඒ වගේම සීමාවාසික පුහුණුවට වෛද්‍යවරුන් නැහැ. වෛද්‍ය සභාවට සභාපති කෙනෙක් පත් කරලා නෑ.

එතකොට මුළු වෛද්‍ය ක්​ෙෂ්ත්‍රයම අවුල් වෙලා තියෙනවා. ඒ අවුල විසඳන්න ඕනෑ අපි. සමහර ප්‍රශ්න තියෙනවා. යම් යම් ප්‍රතිපත්තිමය කාරණා මත හිටියත් සමාජය තියෙන්නේ වෙන තැනකනම් ඒ තැනට හිස නමන්න අපට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ජයවර්ධන ජනාධිපතිතුමා ඒ වගේම ජනමතයට හිස නැමුවා 1988 දී.  අද ඔය ජනතා විමුක්ති පෙරමුණ අරයා මෙය මොනවා කිව්වත් ඒ අයට එදා තිබුණේ ඒ හරහා විප්ලව කරන්න මිසක් රාගම වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ ඕනෑ කමක් තිබුණේ‍ නැහැ.   


ඒ අරගලය කරපු කෙනෙක් හැටියට මම කියන්නේ එක ස්ථාවරයක එදත් හිටියා. අදත් ඉන්නවා. අද අපේ දරුවෝ විශ්වවිද්‍යාලයේ. ඒ දරුවෝ අද වර්ජනය කරනවා. ඒ නිසා මේ වෛද්‍ය ක්ෂේත්‍රය කියන එක ඕනෑම ප්‍රතිපත්තියකට විශේෂතා තියෙනවා. දැන් කළමනාකරණ විෂයත්, ඉංජිනේරු විෂයත් මුදල් දීලා උපාධිය ගන්නවා වගේ මේ රටේ තියෙන විශේෂ තත්ත්වයත් එක්ක පෞද්ගලික ආයතනවලට වෛද්‍ය පීඨ පවත්වාගෙන යාමේ හැකියාවක් නෑ. ඉන්දියාවෙත් ඔය වගේ පවත්වාගෙන ගිය නිසා ඉන්දියාවේ සෞඛ්‍යය සේවාවේ ප්‍රමිතිය බාලවීම නිසා වෛද්‍ය විද්‍යාල 32ක් වහන්න වුණා. අපි මෙතැනදී ආදර්ශයට ගතයුත්තේ බ්‍රිතාන්‍ය ක්‍රමයයි. ඒ කියන්නේ ලාබ උපයන්නේ නැති ආයතන හැටියට අධ්‍යාපනය ගෙන යා යුතුයි. ඒ වගේම සමාජ යුක්තිය, සාධාරණත්වය ඉටු විය යුතුයි. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය තමයි මේ රටේ සිද්ධවුණ ප්‍රධානම විප්ලවය. ඒ ක්ෂේත්‍ර දෙක යම් යම් කප්පාදු කිරීම්වලට ලක්වුණත් ඒ දෙක තමයි මේ රටේ අවවරප්‍රසාදිත ජනතාවට යන්න තියෙන ලොකුම දොරටු දෙක. මේ දොරටු දෙක වහන්න දෙන්න බෑ.   


ප්‍රශ්නය - ඇමැති කිරිඇල්ල කියනවා සයිටම් පවත්වාගෙන යාම රජයේ ප්‍රතිපත්තිය කියලා. එතකොට ඔබ මේ විවේචනය කරන්නේ රජයේ ප්‍රතිපත්තියයි. ඔබට නැද්ද කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම්?   

පිළිතුර - නෑ. කැබිනට් මණ්ඩලය තුළ මේ ගැන ඇති වෙන්න කතා කරලා තියෙනවා. කැබිනට් මණ්‍ඩලය හෝ ආණ්‍ඩුව තවමත් තීරණයක් ගත්තේ නැති නිසානේ විවිධ කොමිටි ජනාධිපතිතුමා, අගමැතිතුමා පත් කරන්නේ. අධිකරණ තීන්දුව පදනම් වෙලා තියෙන්නේ නීති තර්ක මත. ඒ නීති තර්කයේ ප්‍රධාන තේමාවක් වෙලා තියෙන්නේ අවම ප්‍රමිතිය ගැසට් නොකිරීම. ඒවා ඉතින් මේ තාක්ෂණික කරුණුනේ. අපි කතා කරන්නේ ප්‍රතිපත්තිමය කරුණු. තාක්ෂණික කරුණුවලට මුවාවෙලා ප්‍රතිපත්තිමය කරුණු යටපත් කරන්න දෙන්න බෑ. ඒ ප්‍රතිපත්තිය ගැන ආණ්‍ඩුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කරලා නෑ.   


ප්‍රශ්නය - සයිටම් පිළිගන්නවා කියලා ආණ්‍ඩුව කියනවනේ?   

පිළිතුර - නෑ. ආණ්‍ඩුව එහෙම කියලා නෑ. විවිධ කමිටුවලින් විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර ආයතනයක් වෙනවා විතරක් නොවෙයි, අනාගතයේ මෙවැනි ආයතන පවත්වාගෙන යාමට තරම් පෞද්ගලික අංශයට ශක්තියකුත් නෑ. වෘත්තීමය ශක්තියකුත් නෑ. ඒ නිසා මුදල් අය කරලා අධ්‍යාපනය පුළුල් කළ යුත්තේ රජය හරහාමය කියන එක තමයි අපේ ස්ථාවරය. ඒක තමයි ​අපේ රටට ගැලපෙනම පිළියම.   


ප්‍රශ්නය - මේ ආණ්ඩුව තවමත් මහින්ද රාජපක්ෂ හදපුවා විවෘත කරගෙන යනවා මිසක් අලුතෙන් හදපු දෙයක් නැහැ.   

පිළිතුර - බොරු කතානේ. ඕනෑ තරම් ඔය කරගෙන යන්නේ. ඔය මහින්ද මහත්තයා මොනවද අලුතෙන් කළේ? මහින්ද මහත්තයා කරපුවා අතීතයේ දිගුවක් නොවෙයිද? දක්ෂිණ අධිවේගී මාර්ගය කවදාද පටන් ගත්තේ? 1994දී. එතකොට කටුනායක අධිවේගී මාර්ගය කවදාද පටන් ගත්තේ? 1968දී. එතකොට මේවා මහින්ද මහත්තයා අලුතෙන් කරපුවා නොවෙයිනෙ. මේ රටේ පොදුවේ භෞතික සැලසුමක් එක්ක යම් යම් ව්‍යාපෘති තියෙනවා. ඒවාට ආණ්ඩු මැදිහත් වෙනවා. සමහර ව්‍යාපෘති ඒ ආණ්ඩු කාලය තුළ දීම අවසන් කරගන්න පුළුවන් වෙනවා. සමහර ව්‍යාපෘති ඒ ආණ්ඩුව කාලයේ ඉවර කරගන්න බැරිව ඊළඟට එන ආණ්ඩුවට බාර වෙනවා. ඛණිජ තෙල් සංස්ථාවේ පිරිපහදුව පටන්ගත්තේ මැතිනිය. ඒකට මුල්ගල් තිබ්බා ඩඩ්ලි. නමුත් ඒක ඩඩ්ලිගෙ දෙයක්වත් සිරිමගෙ දෙයක්වත් නොවෙයි. රටේ දෙයක්. ඒකට වියදමක් යනවා නම් ඒක ගෙවන්නේ රටේ ජනතාව.   


ප්‍රශ්නය - එතකොට මහින්ද රාජපක්ෂගේ මල්ලේ සියඹලා තිබිලම නෑ?   

පිළිතුර - මහින්ද මහත්තයා හිතලා පටන් ගත්ත ලොකුම දෙක තමයි හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ. ඒ දෙකටම මේ රටේ ජනතාව අති විශාල වන්දියක් ගෙව්වා. මේ නිෂ්ඵල ආයතන දෙකට ඉතිහාසයේ ලොකුම වන්දිය ගෙව්වා.   


ප්‍රශ්නය - ඒ නිසා හම්බන්තොට වරායයි. මත්තල ගුවන් තොටුපළයි විකුණුවට කමක් නෑ.  

පිළිතුර - විකිණීම නොවෙයි ගැටලුව. අපි යම් යම් දේවල්වල ආයෝජන කරද්දී ඒ ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ ගැන කල්පනා කරලයි ආයෝජන කළ යුත්තේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ‘‘රටේ අප්පච්චි’’ කියලා කියනවා. රටේ අප්පච්චි එයාගේ ධුර කාලය ඇතුළේ බිලියන 2400ක් වියදම් කළා රජයේ ප්‍රාග්ධන ආයෝජන. මේ ප්‍රාග්ධන ආයෝජනවලින් ඔහු බිලියන 900ක්ම වියදම් කළේ‍ හම්බන්තොටට. හය ලක්ෂයයි ජනතාව. එතකොට හම්බන්තොට සෑම පුරවැසියෙක් වෙනුවෙන්ම මහින්ද අප්පච්චි, රටේ අප්පච්චි වියදම් කරනවා ලක්ෂ 15ක්. රටේ සෙසු ජනතාවට වියදම් කරන්නේ 75000යි. මෙයාද මේ රටේ නායකයා? රටේ අප්පච්චි කියන්නේ මෙයාටද? කොළඹ ජීවත්වන හය ලක්ෂයක් ජනතාවට 75000ක් වත් වියදම් කළේ නෑ. මෙයා හම්බන්තොටට කළා.  

 

ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රීත් පොලොන්නරුවට?   

පිළිතුර - පොඩ්ඩක් ඉන්න. හම්බන්තොටට තමයි කළේ. නමුත් ප්‍රතිලාභ ලැබුණද? හදපු පාරවල්වලින්, ගුවන් තොටුපළෙන්, වරායෙන්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙන්, ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ප්‍රතිලාභ ආවාද? නෑ! මේවායින් සිද්ධ වුණේ රට ණය බරක හිරවීමයි. ලබන අවුරුදේදේ ණය ගෙවන්න අපට අවශ්‍යයි බිලියන 1800ක්. මේ 1800න් සියයට 87ක්ම මහින්ද මහත්තයාගේ මේ විකාර සංවර්ධනය නිසා වැය වෙච්ච ධනය. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. අද ජනතාවගේ පත්ල මත හූරලා යන්න වෙලා තියෙන්නේ කිසිම ගානක් නැතිව තමන්ගේ පවුලයි තමන්ගේ ගමයි නගා සිටුවන්න ගත්ත ආත්මාර්ථකාමී වේෂය නිසයි. මේ රටට අද අවශ්‍යයි රටක් ගැන හිතලා කටයුතු කරන ආණ්ඩුවක්. රටක් හදන ආණ්ඩුවක්. එහෙම නැතිව පවුලයි ගමයි හදන ආණ්ඩු නොවෙයි. මේ වගේ මේ ග්‍රාමීය පසුගාමී වැඩවසම් මානසිකත්වය අතු ගාලා දාන්න ඕනෑ මේ රටෙන්. රාජපක්ෂ කියන්නේ ඒ වගේ පිළිලයක්.   


ප්‍රශ්නය - කොහොමත් ඔබගේ මෙගා ව්‍යාපෘතිවලට ආණ්ඩුව ශතයක්වත් දීලා නෑ කියලා ඔබටම කියන්න වුණේ?  

පිළිතුර - මම කියපු ප්‍රකාශයක් වරදවා වාර්තා කරලා තිබුණේ.  

 
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට සල්ලි දීලා තියෙනවා?   

පිළිතුර - මගේ අමාත්‍යංශයට සල්ලි දීලා තියෙනවා. නමුත් මහ නගර ව්‍යාපෘතිය කියන එකට රාජ්‍ය ආයෝජනයක් වෙලා නෑ. අපි කියන්නේ වැදගත් ප්‍රතිපත්තිමය කාරණයක්. එහෙම නැතිව කාටවත් කරන අඬෝවැඩියාවක් නොවෙයි. ආණ්ඩුව වහාම තමන්ගේ ප්‍රමුඛතා මාරු කරන්න ඕනෑ.   


ප්‍රශ්නය - ඒ කියන්නේ?   

පිළිතුර - මම ඔබට උදාහරණයක් කියන්නම්. 1994දී පටන් ගත්ත අධිවේගී මාර්ග 2015 වෙනකොට කිලෝ මීටර් 175ක් හැදුවා. 2015 ​ඉඳලා මේ වෙනකොට අපි තවත් කිලෝ මීටර් 189ක් හදන්න කටයුතු කරගෙන යනවා. නමුත් අපි අහන්න ඕනෑ සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ අධිවේගී මාර්ග හැදීම නිසා කොයිතරම් දුරට අපේ මාර්ග තදබදය අඩු වුණාද? නගර නිර්මාණය කොයිතරම් පහසු වුණාද? එහෙම බැලුවම අපට පේනවා සමහර මාර්ග අත්‍යවශ්‍යයි. කටුනායක මාර්ගයයි, පිටත වටරවුම් මාර්ගය. ඒ වගේම ගාල්ල දක්වා මාර්ගය, ඒ වගේම මම හිතනවා කුරුණෑගල දක්වා මාර්ගයත් අත්‍යවශ්‍යයි. සෙසු ඒවා මේ මොහොතේ අත්‍යවශ්‍ය නෑ. උදාහරණයක් හැටියට කුරුණෑගල ඉඳලා ගලගෙදරට තියෙන කිලෝ මීටර 39 හදන්න බිලියන 145ක් පමණ වැය වෙනවා තැනීම් ගාස්තු වශයෙන්. ඉඩම් අත්පත් කර ගැනීම් ඇතුළු ඔක්කොම ගත්තම බිලියන 200ක් 250ක් පමණ වෙයි. නමුත් ඒ ටිකම මංතීරු හතරේ මාර්ගයක් හදන්න පුළුවන් බිලියන 10කින්. එතකොට අපි තෝරා ගත යුත්තේ මොකද්ද? ඊළඟට දෙවැනි වැදගත් කාරණය අපේ අනාගත භෞතික සැලැස්ම. ඒ සැලැස්මෙන් ප්‍රකාශ කරලා තියෙනවා නායයම් වළක්වන්න පාරිසරික සංවේදී ප්‍රදේශ හරහා ජනාවාස ඇති කිරීම නවත්වන්න කියලා. කවුරු මොනවා කිව්වත් මීට අවුරුද්දකට දෙකකට පෙර තිබුණ තත්ත්වය නොවෙයි අද තියෙන්නේ. මේ ගැන මීට අවුරුදු ​20කට කලින් මම අනාවැකියක් කිව්වා ‘සංවර්ධනයේ තුන්වැනි යාමය’ කියලා පාරිසරික වශයෙන් එන භයානක විපත්වලට දැන් තමයි අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඉතාම තද වැසි, ඒ වගේම නියඟය. රත්නපුරයට ගංවතුර, පැල්මඩුල්ලට ගංවතුර. පොඩ්ඩක් එහාට ගියාම ඇඹිලිපිටියට නියඟය. මේක ​ෙම් රටට විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි.

ෆ්ලොරිඩාවේ, හුස්ටන්වල හැම තැනම මේ ප්‍රශ්නය ඇවිත් තියෙනවා. ඉන්දියාවේ 1200ක් මිය ගියා ගංවතුරෙන්. මේ උවදුරුවලට අපට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා කඳුකර ප්‍රදේශ, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල වැනි ප්‍රදේශ ජනාවාස ඇති කරන්න සුදුසු ප්‍රදේශ නොවෙයි. අපි පුළුවන්තරම් උනන්දු කරවන්න ඕනෑ අලුත් ජනාවාස කොළඹ ඉඳන් ත්‍රිකුණාමලය පැත්තට ගෙනියන්න. ඒ ජාතික භෞතික සැලසුමට ඒකවිරුද්ධයි. අපේ සංවර්ධනයේ ප්‍රමුඛතාවය විය යුත්තේ අධිවේගී මාර්ග නොවෙයි. ජල කළමනාකරණයයි. එක තැනක අධික ගංවතුර. තව තැනක අධික නියඟය පාලනය කිරීමට ව්‍යාපෘතියක් ඕනෑ. අද ඕනෑ මහවැලි ව්‍යාපාරය නොවෙයි, කැලණි ව්‍යාපාරය. අද ඕනෑ කළු ව්‍යාපාරය. අද ඕනෑ අත්තනගලු ව්‍යාපාරය. අපි ඊළඟ අවුරුද්දේ මිලියනයක් වියදම් කරන්න ඕනෑ පානීය ජල සැපයුම් හදන්නත් වැඩි ගංවතුර අනික් ප්‍රදේශවලට රැගෙන යන්නත්. ගංගා ​ෙද්‍රා්ණි පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවා, ඒ හරහා යන බලගතු අධිකාරියක් පිහිටුවලා රටේ ජල කළමනාකරණය කරලා විප්ලවීය වෙනසක් අපි කළේ නැත්නම් මේ රට පාරිසරික වශයෙන් විනාශයට පත්වෙන එක නවත්වන්න බෑ. අන්න ඒ ප්‍රමුඛතාවයයි අපි මේ අවධාරණය කරන්නේ.  


ප්‍රශ්නය - එහෙම අවධාරණය කරන්න වෙලා තියෙන්නේ ආණ්‍ඩුවට දැක්මක් නැති නිසා?  

පිළිතුර - අපේ දැක්ම අනුව එහෙම නොවුණා කියලා අපි අධෛර්යට පත් වෙලා නෑ. අපි වැඩ කරගෙන යනවා. වරාය නගරය දැන් හදාගෙන යනවා. ඒ වගේම හෝමාගම තාක්ෂණ නගරය ගොඩ නගාගෙන යනවා. ඒක තමයි මේ රටේ අනාගතය. කසළ කළමනාකරණයට, මාර්ග තදබදයට විසඳුම් දීගෙන යනවා. අපි කියන්නේ අධිවේගී මාර්ගවලට වියදම් කරන මුදලින් සියයට 10ක් වෙන් කරන්න රටේ බස් හා දුම්රිය සේවය දියුණු කරන්න. ඒ සඳහා අපි සැලසුම් ඔක්කොම හදලා ඉවරයි. නමුත් තවම අපිට නීත්‍යානුකූල ආයතනයක් නෑ. මහ නගර අධිකාරියක් නෑ. ඒ නිසා අපට සිද්ධ වෙලා තියෙනවා අනික් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න.  


ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ ආණ්‍ඩුව කාලේ ​ඔබ සුදු කරපිටි නිලධාරී මාෆියාවක් ගැන කිව්වා. මේ ආණ්ඩුවේ එහෙම නැද්ද.  

පිළිතුර - මතක තියාගන්න, නිලධාරීන්ගේ දූෂණය, දේශපාලන දූෂණය වගේම බලගතු දූෂණයක්. හැබැයි මේ රටේ අවාසනාවක් තියෙනවා. ඒ තමයි විශාල හොරකම් කළාම ප්‍රශ්නයක් නෑ. ලලිත් වීරතුංග මහත්තයා සිල්රෙදි කාරණයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළේ‍ නෑ කියලා එතුමට හිරබත් කන්න වුණා. මහින්ද මහත්තයා දැන් තමයි කියන්නේ මං වගකීම ගන්නවා කියලා. එයා නියම නායකයෙක් නම් අවුරුදු 10ක් පුරා තමන් එක්ක හිටපු නිලධාරීන්ව රැකගන්න එයාට තිබුණා උසාවියට ගිහින් ඕක කියන්න. ඒක කළේ නෑ.

 
ප්‍රශ්නය - විධායක බලතලවලට අනුව උසාවියට යන්නත් බෑ. ​ගෙන්නගන්නත් බෑ කියලා සමහරු කියනවා.  

පිළිතුර - කවුද කියන්නේ? මහින්ද රාජපක්ෂට තිබුණ ගිහිල්ල කියන්න මමයි නියෝග දුන්නේ කියලා. ඒක කළේ නෑ. මහින්ද පස්සෙ යන හැමෝම මේ චරිතය හඳුනාගන්න ඕනෑ.  


ප්‍රශ්නය - කොහොම වුණත් අන්තිමට ඔබේ දේශපාලනය ඔබම දොන් ජුවන් ධර්මපාල කියලා කියපු අගමැති රනිල් වික්‍රමසිංහ ළඟ නතර වුණා.

පිළිතුර - අපේ දේශපාලනය කා ලඟවත් නතර වෙලා නෑ. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ දේශප්‍රේමී නෑ. තවරාගත්ත දේශප්‍රේමීත්වයක් තිබුණේ. සුනාමි සහන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එයා. 2005 ජනාධිපතිවරණයෙන් දිනන්න කොටින්ට සල්ලි දුන්නේ එයා. අපි ඒවා දැනගෙන ඒ මොහොතේ ඔහුගෙන් නිශ්චිතව ගතයුතු දේ ගත්තා. රනිල් වික්‍රමසිංහ වෙනස් වෙලා තියෙනවා. අපිත් වෙනස් වෙලා තියෙනවා. චන්ද්‍රිකා, රනිල් දෙන්නම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිපත්තිය වැරදියි. නමුත්, ඒක අතීතය. ඒක දැන් ඉවරයි.

අපිට දැන් තියෙන්නේ අනාගතයේ ඉස්සරහට යන්න. අපි අතීතයේ එල්ලිලා ඉන්නේ නෑ. අනාගතය ගොඩනගාගන්න මේ ඇති කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව අපි ප්‍රයෝජනයට ගන්න ඕනෑ මේ රට හදන්න. මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් ඒවත් හදාගෙන යායුතුයි. මේක වැරදි නම් මීට වඩා හොඳ එකක් හදනවා මිසක් ආපස්සටනම් රට ගෙනියන්න දෙන්න බෑ.   

 

 

 

 

සාකච්ඡා කළේ‍ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්